Thursday, December 9, 2010

කබල් දේශපාලනයට යට වුණු නොබෙල් ත්‍යාගය


නොබෙල් සාම ත්‍යාගය මෙවර ලැබුණේ චීන සිරකරුවෙකු වන ලියු සියාඔබෝට ය. ඔහුට චීන රජය විසින් වසර එකොළහක සිරදඬුවමක් නියම කරන ලද්දේ රතු චතුරස්‍ර අරගලයට නායකත්වය දීම නිසා ය. තව වසර 20-30ක් තුළ ලෝක ආර්ථික බලවතා වන චීනය කෙරෙහි බටහිර රටවල ඇති තරහ පිරිමසා ගැනීමට මේ සාම ත්‍යාගය භාවිත කරන බව පැහැදිළි ය.

නොබෙල් සාම ත්‍යාගය මෙන් ම සාහිත්‍ය ත්‍යාගය ද මෙසේ දේශපාලන ආයුධයක් ලෙස මෑත ඉතිහාසයේ දිගින් දිගට ම භාවිත කර තිබේ. බටහිර ගැති නොවන ආණ්ඩුවලට එරෙහි වන්නත්, එකී ව්‍යාපාර වෙනුවෙන් පොත් ලියන්නන් වීරයින් ලෙස හුවා දැක්වීම එම ව්‍යාපාරයයි. සලමන් රුෂ්ඩි, අවුං සාං සුකී මෙන් ම ලියු සියාඔබෝ ද අයිති වන්නේ ඒ කුලකයටයි. නියමින් හෝ අනියමින් බටහිර සේවය කිරීම මේ ත්‍යාගය ලැබීමට හේතු වෙයි. දේශපාලන අනාථයින් වන වික්‍රමබාහු වැන්නෝ මේ සම්මාන සඳහා කෙළ හලන බව හැසිරීමෙන් පෙනේ.

මේ ඊනියා වීරයින් විසින් කරන ලද්දේ සිය රටේ සමාජ සංස්කෘතික හර පද්ධති විවේචනය කිරීම, ඒවාට සමච්චල් කිරීම, බටහිර ගැති නොවන ආණ්ඩුවලට විරෝධය පෑම වැනි කටයුතු ය. නැතහොත් අධිරාජ්‍යවාදීන් විසින් කලක් කළ දේ උන් විසින් පෝෂණය කළ ස්වදේශිකයෙකු විසින් කිරීම පමණි. තම අධිරාජ්‍යවාදය එකී සමාජ වෙත පතුරුවා හැරීමට මෙකී පුද්ගලයින් විසින් ඉටු කරන ලද මෙහෙවර ඇගයීමක් පමණි මේ සම්මානය. මේ වූ කලි කැලෑ නසන්නට කැලේ ගසක් යොදා ගැනීමේ තියරියයි.

එහෙයින් එම උළෙල වර්ජනය කිරීමට ලංකා රජය ගන්නා ලද ක්‍රියා මාර්ගය අපි අගය කරමු. ඒ වෙනුවෙන් පෙනී සිටිමු. එහෙත් එකී මතවාදය වෙනුවෙන් ඔස්ලෝ තානාපතිවරයා පෙනී නොසිට, අන් රටවල් කරන දේ තමා ද කරන බව පැවසීම සහ මෙය නිල රාජ්‍ය උත්සවයක් නොවන නිසා සහභාගී නොවෙතියි පැවසීම වැනි ඇල් මැරුණ කතා අපි හෙළා දැකිය යුතුව තිබේ. මෙය නිළ රාජ්‍ය උත්සවයක් වුව ද සෙසු රටවල් සහභාගි වුව ද අප වර්ජනය කළ යුතු අවස්ථාවකි. එහි නිවැරදි බව ඉතිහාසය විසින් තහවුරු කරනු ඇත.

කළ යුත්තේ, බටහිර දේශපාලන ව්‍යාපෘතිවලට අපි කර නොගසන බවත්, බටහිර පදයට අපි නටන්න සුදානම් නැති බවත් තම මිතුරු රටක් අපහසුතාවයට පත් කිරීමට මෙකී සාම න්‍යාගය ගණිකා වෘත්තියේ යෙදවීමට අප විරුද්ධ බවත් ඒ නිසා මේ උළෙල වර්ජනය කරන බව පැවසීම පමණි.
 
සිය රට දේ සිරි සැප දේ !