Friday, October 8, 2010

හිටපු ජෙනරාල් නිදහස් කළ යුත්තේ ඇයි?





මේ ගැන විවිධ අය විවිධ කතා කියති. පහුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට පිරිත් නූල් බැඳ ආශිර්වාද කළ අය කියන්නේ යුද සමයේ සියලු දෙනා සමගිව සිටි හෙයින් දැන් ඔහුට සමාව දිය යුතු බවයි. තව ද දුටුගැමුණු, වලගම්බා සිය ජයග්‍රහණයෙන් පසු තම සෙන්පතියන්ට සැලකූ අයුරු ද ගෙන හැර පායි. එහෙත් ඒ සෙන්පතිවරු රජුට සැලකූ අයුරු නො දෙසති.

මොහු ගැලවීමේ හමුදාවටත් නුසුදුසු යැයි ද ජානක පෙරේරා හමුදාපති කළ යුතු යැයි ද කී එජාපය අද කියන්නේ ලොව හොඳම හමුදාපති සිරේ දැමීම අපරාධයක් බවයි. නැතහොත් සුදු වෑන්වලින් පැහැර ගෙන මිනිසුන් මරා දමතියි එදා පාර්ලිමේන්තුවේ චෝදනා කළ හමුදාපති නිදහස් කරන ලෙස ය.

ජවිපෙ කියන්නේ දළඳා මාලිගාවට පහර දී මහ සඟ රුවන මරා දැමූ කරුණාට රජ සැප දෙමින් මොහු හිරේ දැමීම අසාධාරණ බව ය. එහෙත් තමන් ද දළඳා මාළිගාවට පහර දුන් බව ද කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි ඇතුලු මහ සඟරුවන මරා දැමූ බව නොකියති.

ලංකා ඊනිව්ස් වැනි මාධ්‍ය පවසන්නේ කොටි විනාශ කළ ෆොන්සේකා හිරේ දැමුවාට අන්තවාදි දෙමළ පිරිස් මහින්දට ස්තුති කර පෝස්ටර් ගසා ඇති බව ය. මේ පෝස්ටර් පසුපස සිටින්නේ බොරදියේ මාලු බාන ඊ නිව්ස් වැනි අය බව අප කිය යුතු නැත. දෙමළ ඩයස්පෝරාව සිය සතුරා හඳුනති.

පහුගිය ජනාධිපතිවරණයේ දී මේ දෙමළ ඩයස්පෝරාව ද සහාය දුන්නේ කාට ද? උතුරු නැගෙනහිර ඡන්ද ජයග්‍රහණය කළේ කවුද? යන සරල ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකි අයට මේ කතාවලට හිනායාම වැළැක්විය නොහැකි ය. ඊනිව්ස් පුවත නිවැරදි නම් උතුරු නැගෙනහිර ඡන්දවලින් දිනන්නේ මහින්දය. එහෙත් දිනුවේ ඔවුන්ගේ වීරයා ය.

අප විශ්වාස කරන පරිදි හිටපු ජෙනරාල් නිදහස් කළ යුත්තේ මේ මනස්ගාත නිසා නොවේ. දේශපාලන අගාධයේ පතුලට වැටී සිටින කල්ලි දෙකක් එක්වී zero කෙනෙක් hearo කරන්නට යන ගමන වැළැක්වීමට ය. එදා අපට වීරයා වූ හිටපු ජෙනරාල් අද සීරෝ වූයේ කෙසේ දැයි දැන් ඔබ මගෙන් අසනු ඇත. ඔහු එදා සීරෝ වූ අයට ද්‍රෝහියා වූ අයට අද වීරයා වී ඇත. එවිට ඔහු අපේ වීරයා වන්නේ කෙසේ ද?

මේ වීරාභිෂේකය වෙනුවෙන් දෙමළ ඩයස්පෝරාව සිය යුතුකම මැනවින් ඉටු කළේ ය. ඒ උතුරු නැගෙනහිර ඔහු දිනවීමෙනි. එහෙත් රටේ වාසනාවට දකුණේ කල්ලි දෙකට එය කළ නොහැකි විය. මොවුන් කෙරෙහි විශ්වාසය තැබූ හිටපු ජෙනරාල්ට වූයේ අලි ඇබැද්දියකි. (උන්දෑට බලයක් තිබුණා නම් කටු ලොවින්නට දෙන්න තිබුණි මුන්ට) ඒ නිසා දැන් හිටපු ජෙනරාල්ගෙන් මේ කල්ලි දෙක සමාව ඉල්ලිම නිවැරදි ය.

දැන් එජාප සහ ජවිපෙ කල්ලි දෙක තතනන්නේ ලංකාවේ අවුන් සාං සුකී කෙනෙක් හදා ඒ පිටින් ගොඩ යන්නට ය. දෙමළ ඩයස්පෝරාව, බටහිර ඇතැම් රටවල් බලා සිටින්නේ ඒ හරහා නැවත රටේ බෙදුම්වාදය කරා දක්කන්නට ය. එහෙයින් කළ යුත්තේ හිටපු ජෙනරාල් නිදහස් කිරීම ය.


No comments:

 
සිය රට දේ සිරි සැප දේ !