Wednesday, October 6, 2010

ආණ්ඩුවේ අවධානය පිණිස

ජෙනරාල් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ජවිපෙ විසින් පෝස්ටර් අලවා තිබිණි. එහෙත් ජෙනරාල් මරා දමා දැන් බොහෝ කල් ය. ලෝකයේ හොඳ ම යුද හමුදාපති ලෙස ගරු නම් ලද ජෙනරාල් දේශපාලන නරා වළට ඇද දමා මරා දැමුවේ ජවිපෙ සහ එජාලය විසිනි. ඒ තම පටු දේශපාලන අරමුණු වෙනුවෙනි. ඒ අනුව මේ පෝස්ටරය අලවා ඇත්තේ මිනීමරුවා විසිනි. අද වැලිකඩ තපින්නේ ජෙනරාල් නොව සරත් ෆොන්සේකා ය. අපේ යුද වීරයා නො ව යුද්ධයට විරුද්ධව කටයුතු කළ උන්ගේ පසුකාලීන නායකයා ය. හමුදාපති තනතුරට ජානක පෙරේරා පත් කළ යුතු යැයි කී අපේ වීරයා ගැලවීමේ හමුදාවට සුදුසු යැයි කී අයගේ නායකයා ය.

අපේ වීරයා රටේ හතුරන්ගේ පිළට ගොස් උන්ගේ නායකයා වූ කල අපට ඔහු වීරයෙක් වන්නේ නැත. ඔහු වීරයෙක් වන්නේ හතුරන්ගේ ය. ඔහු සිය පිළට එක්වීමෙන් වඩාත් සතුටු වු ඊළාම්වාදීන්ගේ ය. කෙසේ වුව ද විශ්‍රාම යන්නට බලා සිටි ෆොන්සේකා හමුදාපති කර, ඔහුට වීරයෙක් වන්නට මග හෙළි කළේ මහින්ද ය. මේ ටික ඔහුට අමතක වුව ද ජනතාවට අමතක නොවූ බව ජනාධිපතිවරණයෙන් ලද අන්ත පරාජයෙන් පැහැදිළි වෙයි.

මේ මොහොතේ දේශපාලනයේ අන්තයට පිරිහී වැලේ වැල් නැතිව සිටින විපක්ෂයට සටන් පාධ සැපයීමට, අනවශ්‍ය මහජන අනුකම්පාවක් ලබා ගැනීමට රජය ඉඩ දිය යුතු නැත. මේ මොහොතේ ෆොන්සේකා තරගයට විකුණමින් බොර දියේ මාලු බෑමට කිසිවෙකුට ඉඩදිය යුතු නැත. රට ගැන වෛරයෙන් සිටින ද්‍රෝහීන්ට ඒකරාශි වන්නට තිප්පොළවල් තනා දීම කළ යුතු නැත. කොටින් ම ලංකාවේ අවුන් සාන් සුකී කෙනෙක් තැනීමට නම් කිසිසේත් ඉඩදිය යුතු නැත.

දැන් මේ විපක්ෂය පෙළ ගැසෙන්නේ කුමකට දැයි ආණ්ඩුව අවබෝධ කරගත යුතු ය. ජාතික සහ ජාත්‍යන්තර තලයේ ජාතිකත්වය වෙනුවෙන් ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ද ෆොන්සෙකා අලෙවි කර ඒ මතින් ගොඩ යෑම විපක්ෂයේ අරමුණ බව පෙනේ. ජවිපෙ සහ එජාපය පොරකමින් උද්ඝෝෂණ කරන්නේ ඒ සඳහා ය. ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අභීතව සටන් කළ වීරයෙක් ලෙස බෞතීස්ම කරන්නට සතුරෝ පුල පුලා බලා සිටිති. ඒ කිසිවකට නොව මේ රජය පෙරළා දමා උන්ට අවශ්‍ය පරිදි රූකඩ ආණ්ඩුවක් පත් කර රට පාලනය කිරීමට ය. රට ආපස්සට ඇද ගෙන යාමට ය.

එහෙයින් කළ යුත්තේ ජනාධිපති සමාව යටතේ ෆොන්සේකා නිදහස් කිරීම ය. ඊනියා වීරයෙක් තැනීමට රජය සම්මාදම් විය යුතු ය. එමගින් විපක්ෂය මෙන් ම අපට හිනාවන්නට බලා සිටින ද්‍රෝහීන්ට ද බකං නිලා සිටින්නට සිදුවනු ඇත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !