Friday, May 21, 2010

සොබාදහම කැළඹීම

DNA හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංන්ධානය පවසන පරිදි ජෙනරාල් උතුමාට රජය සිදු කරන අනන්ත හිරිහැර දරනු බැරිව සොබාදහම පවා කැළබී තිබේ. බෙංගාල බොක්ක කැළඹී ඇත්තේ ඒ නිසාය. ලයිලා කුණාටුව හැමවේ ඒ නිසාය. ගං වතුර ඒ නිසාය. ඒ කතාවේ ද ඔවුන් ඇදබාන අනෙක් කතාවල මෙන්ම ඇත්තක් තිබේ. මීට පෙර කවදාවත් ගං වතුර ගැලුවේ නැත. මේ ගං වතුර වුවද DNA අනුගාමිකයින් තෝරා බේරා සෙසු පක්ෂවල අය පමණක් යට කළේය. සුළි සුළං හැමුවාට ලයිලා කුණාටුව හැමුවේ නැත. ඒවා කෙසේ වුවත් රටට කෙළවෙන තුරු බලා සිටින බෙංගාල බොකු නම් අද තරම් කවදාවත් කැළඹුණේ නැති බව සහතිකය.

බෙංගාල බොක්ක කුමක් නිසා කැළඹුනත් රට ගං වතුරින් යට වී තිබේ. පක්ෂ බේදවලින් තොරව ලක්ෂ ගණනක් පීඩාවට පත්ව තිබේ. කොළඹ ගම්පහ කළුතර ආදි ප්‍රධාන නගර ගණනාවක් යට වී තිබේ. පොද වැස්සටත් දැන් නගර යටවෙයි. මෙයට ප්‍රධාන හේතුව අනවසර ඉදිකිරීම් බවට තර්කයක් නැත. කිහිපදෙනෙකු කරන නීති විරෝධි වැඩ නිසා මුළු මහත් ජනතාව ම අපහසුතාවට පත්වෙයි. මෙවන් අවස්ථාවල රජය තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුය. නගරවල සියල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය තීරණය කරයි නම් අපි රජය වෙනුවෙන් පෙනී සිටිමු.

කිසිවෙකුට නීති විරෝධි වැඩක් කර සිය අයිතිවාසිකම් ගැන කතා කිරීමට අයිතියක් නැත. ජීවත්වීමට මගන් නැතැයි කියා කසිප්පු පෙරන්න හෝ කුඩු විකුණන්න අයිතියක් නැත්නම් මුළු රටක් අගාධයට හෙළමින් නීති විරෝධි ඉදිකිරීම් කරනට ද කිසිවෙකුට අයිතියක් නැත. රජය අනවසර ඉදිකිරීම් ඉවත් කරන විට සිය බඩගෝස්තරවාදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඊට විරුද්ධ වන උත්තමයින් පරිස්සම් විය යුතුය. මන්ද ගං වතුර නිසා පීඩාවට පත්ව සිටින ලක්ෂ ගණන් ජනතාවගේ දුක ඉවසනු බැරිව සොබාදහම කැළඹි අකුණු පාත් විය හැකි හෙයිනි.

2 comments:

නාමල් උඩලමත්ත said...

අපේ උණුසුම් සුබ පැතුම්!!! http://www.divaina.com/2010/05/23/news02.html

නාමල් උඩලමත්ත said...

නිමල් සිරිපාල ඇමතිතුමා අප ඉල්ලා සිටින නියෝගය දුන් බව පුවත්පත්වල පළ වී තිබේ. http://www.divaina.com/2010/05/24/news01.htmlඑය සතුටට කාරණයක් වුවත් ඒ නියෝග ක්‍රියාත්මක වනතුරු අපි විශ්වාස නොකරමු. සුළුතරයක් ගැන නොව රටේ ඉදිරි ගමන සහ මහ ජනතාව ගැන සිතා ඍජු දැඩි තීරණ ගත යුතු යැයි අපි විශ්වාස කරමු. අපි කිසි රටක පිටපතක් විය යුතු නැතද සිංගප්පූරුව ගොඩනැඟු ලී ක්වාන් යූගෙන් අපට බොහෝ ආදර්ශ ගත හැකිය.

 
සිය රට දේ සිරි සැප දේ !