Wednesday, February 18, 2009

දේශපාලනයේ මෙතෙක් කතාව වෙනස් කරමු

ගරු සේවයක් ලෙස ඇරඹුණු මේ රටේ දේශපාලනය ක්‍රමයෙන් විශ්‍රාම වැටුප් හා සුවිශේෂ වරප්‍රසාද සහිත සුපිරි රැකියාවක් බවට පත්වීමත් සමඟම එහි තිබුණු උතුම් හා සාධනීය ලකෂණ විනාශ වී ගොස් ඇතැයි කීම එහි නිරත වී සිටින බොහෝ දෙනකුගේ කනට අමිහිරි වුව ද සත්‍යයකි. දේශපාලනය පමණක් නොව මිනිස්කම් ඇතුළු යහපත් දේවල් ද විනාශ වී යෑම පිළිබඳව දේශපාලනඥයන් තරමට ම ඔවුන් තෝරා ගන්නා ජනතාව ද වගකිවයුතු බව අපේ හැඟීම ය.

දේශපාලනය යනු වෙනත් කවර හෝ රැකියාවකට සුදුසුකම් නැති කිසිදු උගත්කමක් හෝ වැදගත්කමක් ද නොමැති අපතයින්ටම වෙන් වු නරකාදියක් යැයි අපි කිසිසේත් නො සිතමු. නො කියමු. මන්ද යත් දේශප්‍රේමය, දේශ වාත්සල්‍යය මෙන්ම ජාතික අනුරාගයෙන් හා ජාතික සමගියෙන් ද යුත් දේශයක් නිර්මාණය කිරීම සඳහා නිවැරදි දේශපාලනයක් කවර රටකට වුව ද අත්‍යවශ්‍ය බව අපගේ හැඟීමයි. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ යථාර්ථය කුමක් ද?

1977 දී තුනෙන් දෙකක දේශපාලන බලයක් ලබාගත් ජේ. ආර්. ජයවර්ධන මහතා මේ රටේ මැතිවරණ සිතියම හකුලා දමන බවට වහසි බස් දෙඩු අයුරු ද අපට මතක ය. එහෙත් ජේ. ආර්. ජයවර්ධන මහතා කළේ මැතිවරණ මංකොල්ල සංස්කෘතියකට රට තල්ලු කර දැමීමක් බව අපගේ හැඟීම ය.

ප්‍රජාතන්ත්‍රවාදය මෝඩයන්ගේ ක්‍රමයක් යැයි ද කියමනක් තිබේ. එහෙත් එකී මෝඩ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජනතාවට කැමැති මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීමට එකල හැකි විය. ජේ. ආර්. සිය නඩය සමඟ එක් වී ඒ සරල මැතිවරණ ක්‍රමය වංචනික ලෙස වෙනස් කළා පමණක් නොව ලාම්පු කළගෙඩි සෙල්ලම නමින් හැඳින්වෙන කපටි සුත්තරයකින් මැතිවරණ කල් දැමීමට ද වග බලා ගත්තේ ය.

කෙසේ හෝ ඔහුගේ අලුත් ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් මනාප ඡන්ද ක්‍රමයේ ප්‍රතිඵල අද අපගේ ඇස්පනාපිට දැකගත හැකි ය. මනාප ඡන්ද ක්‍රමය හා ජාතික ලැයිස්තු ක්‍රමය ඔස්සේ දේශපාලනයට වැඩිපුරම එක් වුයේ කුණු රොඩු බව අපගේ අදහස ය. ජාතික ලැයිස්තුවේ අගනා අභිලාෂ ප්‍රසිද්ධ කර තිබුණත් එයින් ප්‍රතිලාභ ලද්දෝ කවරහුදැයි දේශපාලන නායකයෝ ම දනිති.

සරල ඡන්ද ක්‍රමය විකෘති කළ ජේ. ආර්. ගේ මනාපය නිසා අද ඒ ඒ දේශපාලන පකෂවල අපේකෂකයෝ පවා කුළල් කා ගනිති. ජාතික හෝ සංස්කෘතික හරයක් නොමැති කළු සල්ලිකාරයන්ටත්, වෙනත් අධම ගනයේ දුෂිතයන්ටත්, සල්ලාලයන්ට, මැරයන්ට හා කුඩ්ඩන්ටත් මනාප තරගයේදී ශිල්ප දැක්වීමට හැකි වු අයුරු ද රහසක් නොවේ.

අප විසින් මෙසේ සංකෂිප්තව දක්වන ලද දේශපාලනයේ මෙතෙක් කතාව වෙනස් කිරීමේ අවධියකට රටම එළඹ ඇති බව අපගේ හැඟීම ය. ක්‍රමයෙන් රට මහ මැතිවරණයක් කරා ගමන් කරමින් සිටියි. වයඹ හා මධ්‍යම පළාතේ ඡන්දයෙන් පසු බස්නාහිර පළාත් සභා ඡන්දයට ලකලෑස්ති විය යුතු ය. ඊළඟට මහ මැතිවරණයක් ද එළඹෙනු දැකිය හැකි ය.

මේ මොන මැතිවරණ පැවැත්වුවත් අප ලගින්නේ පරණ දේශපාලන ගොහොරුවේම ය. එනිසා අලුත් වෙනසක් : නව දේශපාලන සංස්කෘතියක් සඳහා රට යොමු කරවීමේ වගකීම ද ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලුම දේශපාලන පකෂවල නායකයන්ගේ වගකීමක් බව අපි පෙන්වා දෙමු.

දේශපාලනයෙන් රටට වැඩක් කිරීමට ශක්තිමත් මෙන්ම ප්‍රබුද්ධ කණ්ඩායමක් ද අවශ්‍යය. එහි මුඛ්‍ය සාධකය මුදල් හෝ චණ්ඩිකම නොවේ. යහමින් මුදල් වීසිකර කොළඹ නගරයේ තාප්ප පමණක් නොව ගම්වල බෝක්කු හා ගස් ද අපවිත්‍ර කරන පෝස්ටර්වල එල්ලී ජනතාවට විලිස්සන බොහෝ දෙනකුගේ ඉලක්කය පළාත් සභාව හෝ පාර්ලිමේන්තුවයි. එහෙත් ඒ වර්ගයේ ඇතැම් පංචස්කන්ධවලින් මේ රටට ලබාගත හැකි සේවය කුමක්දැයි දැඩිව සිතා බලන ලෙස අපි පකෂ නායකයන්ගෙන් මෙන්ම ජනතාවගෙන් ද ඉල්ලා සිටිමු. බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් අපට ඒ අලුත් දේශපාලන සංස්කෘතියේ හැරවුම ඇරඹිය හැකි නම් කොතරම් අගේ ද?
(දිවයින_09/02/19)

පසු වදන_
අපේ දේශපාලන පද්ධතිය බෙහෙවින් පිරිහී ඇත. ජේ. ආර්. ගේ ධර්මිෂ්ට සමාජය දැන් කුණු වී ඕජස් ගලන්නේ සිව් සිය ගව් දුගඳ කරමිනි. එහෙත් ක්‍රමිකව වර්ධනය වූ මේ පිළිලය වත්මන් ජනාධිපතිවරයා මත පටවා අත පිසදා ගැනීමට ඇතැම්හු බලා සිටිති. විශේෂයෙන් මේ මහා පිළිලය රටට ‍බෝ කළ unp ය එහි පෙරමුණේ සිටිති. එහෙත් මේ වූ කලී 2005 ඇති වූවක් නොවන බව කුහකයෙකු නොවන ඕනෑම අල්පශ්‍රැතයෙකුට වටහාගත හැකි ය.

78 සිට රට පාලනය කළ සියලු දේශපාලන පක්ෂ මේ ව්‍යසනයට වගකිව යුතු ය. ඊට මහින්ද මෙන් ම රනිල් ද වගකිව යුතු ය. වර්තමානයේ රටේ පවතින ප්‍රමුඛතම ප්‍රශ්නය විසඳූ වහා ජනපතිතුමා අවදානය යොමු කළ යුතු ගැටළුවකි මේ. එහෙත් මේ සුබවාදී ගමන යෑමට පාලකයින් මෙන් ම ඔබ ද යම් කැපකිරීමක් කළ යුතු ය. එහෙම නේද ?

10 comments:

Anonymous said...

මට තියෙන ප්‍රධාවම ගැටලුව තමා ලංකාවට ප්‍රජාතනත්‍රවාදය ගැලපෙනවාද යන්නයි ප්‍රජාතන්ත්‍රවාදය මෝඩයන්ගේ ක්‍රමයක් යන්න මම පිලිගන්න කරුනක්
මොඩ . ස්ත්‍ර දුෂක. හොර තක්කඩියෙක් චංදය ඉල්ලුවොත් මිනිස්සු චංදය දෙන්නේ පොර කකා .මිනිස්සු බලන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති නොවෙයි. මි හරකේක් වගේ ඇග ඇග තියනකාකම් හරක් මොලයක් තියනවානම් දුන්නා.ඉතින් අර කතාව බොරුද ඉතින්

නාමල් උඩලමත්ත said...

ඒක සහතික ඇත්ත දිසා, ප්‍රජාතන්ත්‍රවාදය හොඳන් ක්‍රියාත්මක වෙන්න නම් සංවර්ධිත සමාජයක් වෙන්න ඕන. ඒ කියන්නේ ආර්ථික සමාජ සංස්කෘතික ආදි සෑම අංශයකින් ම දියුණු සමාජයක තමා ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ක්‍රියාත්මක වෙන්නේ.

ඇත්තට ම 13 වැනි සංශෝදනය වගේ ම ප්‍රජාතන්ත්‍රවාදයත් අප මත බලෙන් පටවපුවා. අපේ මිනිස්සු තව ම ඉන්නේ වැඩ වසම් යුගයේ. ඒ කාලේ බලවතා ඉඩම් අයිතිකාරයා, පතල්කාරයා. එයා වටා තමා ජනතාව මුදල් බලය ඒකරාශි වුණේ. අදත් එච්චරයි. බල්ලෝ මරලා හරි සල්ලි හෙව් එකා බලවතා. මැතිතුමා. අපේ අය එදා වගේ ම අදත් ඒ අයට සලකනවා.

වරද අපේ සමාජය තව ම එතරම් දියුණු නොවීම. මොකද අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණේ ඉල්ලලා නෙමේ. බලෙන් දුන්නා. ඒ වෙනකොට අපට වැඩ වසම් ක්‍රමය එපාවෙලා නැහැ. තවමත් නැහැ. දිසා, මොනවා මිනිස්සු මත බලෙන් පැටෙව්වත් වැඩක් නැහැ. ඒ අයට වැටහුණු දාටයි ප්‍රතිචාර දක්වන්නේ. ඉතිහාසය පුරා බඩ ගැන හිතලා ඡන්දේ දුන් මිනිස්සු අද රට ගැන හිතලා ඡන්දය දෙනවා. ඒත් අදට වසර 10-20 පෙර තත්ත්වට කොහොම ද?

හැබැයි අපි ඒ දවස උඩින් වැටෙන තුරු බලා ඉඳලා හරි යන්න‍නෙ නැහැ. හෙට වෙනුවෙන් අපි අද කතා කරමු. ඒ බීජ සමාජයේ දස අත හෙමින් පැළවේවි. දවසක මල් පුබුදාවී. නැද්ද දිසා?

Anonymous said...

අපෙ මිනිස්සු නිකන් දෙනවානමි පොරො පාරක් උනත් ගන්නවානේ එහෙම හම්බඋන දෙයක් තමයි ඔය මහ ලොකු ප්‍රජාතනත්‍රවාදය

නාමල් උඩලමත්ත said...

වැඩේ කියන්නේ දිසා, අපේ රටේ ඉන්න සමහරක් උන්දැලට කවුරු හරි අපි මත බලෙන් පටවපුවා මයි අගේ. තැඹිලි ගෙඩියකට වඩා කෝකාකෝලා වටිනවා. බත් අහුරකට වඩා පාන් වටිනවා. පුදුම රටක් මේක ...?

Narada said...

ඔබ මතු කර කියන කාරණා මම පිලි ගන්නේමි, ඒ ලෙසම මා කියන්නේ ආර්ථිකම අපහසුතා තිබෙන අප රටේ මේ වාර්ෂිකව මෙන් පවතවන ජන්ද ක්‍රම වෙනස් කිරිමත් ජනයාට තම රිසි ලෙසත් බුද්ධි ගෝචරව භාවිතා කිරිමට පෙළඹවිය යුතු කාලයකි, අපි මේ තත්වයට ඇද දැමුවේ ඔබ කියන පක්ෂය පමණක් නොවන බව මගේ මතයයි. සියල්ලෝම මිට වග කිව යුත්තේය.

නාමල් උඩලමත්ත said...

නෑ බිංකු මම කියන්නේ නැහැ මේ ක්‍රමය ජාතක කළ අය විතරක් මේකට වගකිව යුතු බවක්. ඒ අය වගේ ම ඒ ක්‍රමය නඩත්තු කළ අයත් ඒකට වගකිව යුතුයි. ඒත් අද මේ ජරාජීර්ණ තත්ත්වට රට ඇද දාපු unp නිකන් පත්තින අම්මා වෙන්න හදනවා. ඒ ක නිකන් ගණිකාවගේ පතිවෘත්තාව වගේ තමා. මම නැවතත් කියනවා මේ අයට වෙන කිසිවෙකුට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඒ අය තමා අධර්මිෂ්ට සමාජයේ නියම පියවරු. එහෙම කියලා මේ ක්‍රමය කිරි පොවලා නඩත්තු කළ අය හොඳ වෙන් නැහැ. ඔබ කීවා වගේ ම හැමෝගෙම කිල්ලොටවල ටික ටික ...

රටේ ජනතාව සිය ඡන්දය බුද්ධි ගෝචර ලෙස භාවිතයට හුරු කිරීමට ඔබ කළ යෝජනාව හරිම වටිනවා. අපි දැනුත් ඒකම නේද කරන්නේ බිංකු? මේ කුඩා සටහන බලලා තම තමන් ඡන්දය පාවිච්චි කළ ආකාරය ගැන කෙනෙක් හෝ යළි හිතනවා නම් ඒක තමා අර යට කී සිහිනයේ මුල් බිජුවට. මම වැරදි ද බිංකු?

Ramachandra said...

නාමල් මේ දේශපාලන ක්රමය ධනේශ්වර ක්රමය.ඔබත් මාත් අපි කවුරුත් විරුද්ධ වෙන විෂම ලක්ෂන යනු පසුගාමී ධනවාදී ක්රමයකට අනන්‍ය ආවේනික ලක්ෂන.ධනවාදී දේශපාලන ව්‍යුහය වෙනස් නොකර මේවාට උත්තර හොයන්න බැහැ.UNP වගේම SLFP කියන්නෙත් මේ ක්රමය පවත්වාගෙන යාම උදෙසා බිහිවුන ආයතන දෙක.මේ පක්ෂ දෙකම පවතින්නෙ මේ ක්රමයට පින් සිදු වෙන්න.මීට පෙර ඔබ ලියූ සටහනකට අදාල feedback එකකදී මම සුමතිපාල මුදලාලි මහතා පිලිබද සදහන් කලා.වත්මන් ජනාධිපතිතුමත් මේ ක්රමය රකිනවා මිස එය වෙනස් කිරීමට සූදානම් නැති බවට ඊට අතිරේකව නිදසුන් ගනනක් තවත් ඉදිරිපත් කරන්න පුලුවන්.ඇත්ත කරුන නම් වැදගත් දේශපාලන සංස්කෘතියක් හදන්න මේ ක්රමය වගේම මේ ක්රමය රකින බංකොලොත් ආයතන දෙකත් ඉතිහාසයේ කටුගෙට යවන්න සිද්ද වෙනවා.
ඔබතුමා මා සමග එක්වරම එකග නොවීමට ඉඩ තියෙනවා.නමුත් මොවුන් දෙපාර්ශවයම එකක් බවට වන අදහස ගැන තරමක් දුරට කල්පනා කර බලන ලෙස ඉල්ලා සිටින්න කැමතියි.

නාමල් උඩලමත්ත said...

නැහැ, නැහැ, රාමචන්ද්‍ර මම ඔබත් එක්ක එකඟයි. ඒත් වර්තමාන ජනාධිපතිවරයාට පැවරී ඇති මූලික වගකීම රට නැවත එක්සේසත් කිරීම. ජනතාව ඔහු පත් කළේ එකට. ඔහු පහු ගිය වසර 3 තුළ ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. එහි ප්‍රතිඵල අපට තවම නොදැනුණාට තව නොබෝ කලකින් එහි සුබ පල ලැබේවි. යළි එක්සේසත් වුණේ දෙකට බෙදෙන්න ඔන්න මෙන්න කියා තිබුණු රට. ඇත්තට ම ඊ ළඟ කොසෝවෝ බිහි වෙන්න තිබුණේ අපේ රටෙන්. දුෂ්ට බලවේග ඒකට තිඹිරගේ හදලා, දින හරියනකම් ඇඟිලි ගැන්නේ ඊළාම් හුරතලා නළවන්න. ඒත් අද එතන ඉදලා බොහෝ දුර ඇවිත්.

අන්න ඒ නිසයි මම කියන්නේ මේක 'උනුත් එකයි මුනුත් එකයි' සටන් පාඨ බැනර්වල අඳින වෙලාව නෙමේ කියලා. (එහෙම කළ ජවිපෙට වෙච්ච දේ මතකයිනේ.) ත්‍රස්තවාදය අවසන් වන තුරු අපට සෙසු දේවල් ඉවසන්න වෙනවා. ඒක අහවර වුණා ම අපි ඊ ළඟ ඉල්ලීම වෙනුවෙන් සටන් කරමු. දැනට අපි අද වන හොඳ දේට සහය දෙනවා. මේ ප්‍රශ්නය නිසා රට වසර 30 තිස්සේ දුක් වින්දා. අපට වඩා උතුරේ සාමාන්‍ය ජනතාව දුක් වින්දා. අපි ඒ ප්‍රශ්නයට මුල් තැන දීලා ඒක විසඳගමු.

මහින්ද ධනවාදය නඩත්තු කිරීම, කුඩුකාරයින්ට, මැරයින්ට නාම යෝජනා දීම නිසා ඔහු අද වඩා හොඳින් කරන කාර්ය නරක් වෙන්න විදිහක් නැහැ. පවතින ක්‍රමය එකවර වෙනස් කරන්න බැහැ. මහින්ද ත්‍රස්තවාදය මේ විදිහට මුහුදට තල්ලු කරයි කියලා කවුද විශ්වාස කළේ 2005ට පෙර. මුළු රට ම පරාජිත මානසිකත්වයක හිටියේ. අද එහෙම ද? නැහැනේ. දැන් මිනිස්සු අහන්නේ අයියෝ මුන්ද මේ කොටි කියලා.

ඊළඟ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් නොදුන්නොත් මහින්දටත් ගෙදර යන්න වෙනවා. එදාට රාමචන්ද්‍ර, අපි ජනතාව අවිදි කරමු ඔහුට වඩා හොඳ නායකයෙක් ඒ ප්‍රශ්නයට විසඳුම් දෙන්න පත්කර ගන්න.

'වැදගත් දේශපාලන සංස්කෘතියක් හදන්න මේ ක්රමය වගේම මේ ක්රමය රකින බංකොලොත් ආයතන දෙකත් ඉතිහාසයේ කටුගෙට යවන්න සිද්ද වෙනවා.' ඔබ මේ ප්‍රකාශය කළේ මාක්ස්වාදී ආස්ථායක පිහිටා නම් මට කීමට ඇත්තේ මාක්ස්වාදය ගැන අද මට කිසිම විශ්වාසයක් නැති බවයි. ඒ ගැන කාලයක් මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒත් දැන් මම හිතන්නේ අපි ජාතික ආර්ථිකයක් ගොඩනඟා ගෙන ඒ මත සිට ඉදිරියට යා යුතුයි කියලා. අත්තික්කා ගහේ මල් එනකම් බලා ඉන්නවට වඩා අපට තිබෙන දෙය උපරිම යහපතක් වෙන අයුරින් සකසා ගැනීමට අප උත්සහ ගත යුතුයි.

නාමල් උඩලමත්ත said...

ආ කියන්න අමතක වුණා. අපට විවිධ දේශපාන මතවාද අදහස් තිබුණාට අපි එකම රටක මිනිස්සු. ඒ නිසා මිත්‍රශීලි ලෙස අදහස් දැක්වීම රටක් වටිනවා. අද ඔබ ඉතා ම මිත්‍රශීලි ලෙස අදහස් පළකළේ.ඒකට බොහොම පිං රාමා.

Ramachandra said...

1.ප්රධාන පක්ෂ දෙකේම හරය එකකි යන්න "මේ වෙලාවේ යුද්ධය කරනවා" යන උද්ධෘතයට යටත්ව හෝ ඔබ පිලිගැනීම පිලිබද සතුටුයි.ඔබේ බ්ලොග් සටහන් කියවන්නෙක් ලෙස ඔබගේ ස්ථාව‍රයනගේ ඇතැම් සීමාවන්ට මා එ‍රෙහි වුනත් ඔබේ දේශපාලන අවංකභාවය පිලිබද මට සැකයක් නැහැ.මම තර්ක කරන්නේ පාලකයන් දේශප්රේමය වැනි "හොද" දේවල් තමන්ගේ ආත්මාර්ථකාමී බල අරමුනු වෙනුවෙන් යොදාගන්නවා යනුවෙනුයි.ජනාධිපතිතුමා ප්රමුඛ මේ ආන්ඩුවේ "දේශප්රේමීන්" සුනාමි සහන මන්ඩලය ගෙනා වෙලාවේ හැසිරුන අන්දම මතක ඇති.මේ සූදුවම එක්තරා කාලයක චන්ද්රිකාත් තව කාලයක ජේ ආර් විසිනුත් සිදු කලා.ඔවුන්ට දේශප්රේමය බලය පවත්වගෙන යාමේ මගක් විතරයි.මුදාගත් නැගෙනහිර සම්පත් ඉන්දියාවට පවරා දීම තුල ඇති ජාතික ආලය ගැටලු මතුකරන්නක් නොවෙයිද?
2.මාක්ස්වාදය ගැන ඔබේ සදහන තරමක් දීර්ඝව සාකච්ඡා කල යුත්තක්.කොහොමත් යම් කිසි දෙයක් පරිපූර්නව තේරුම් ගැනීම‍ට විද්‍යාත්මක සමාජවාදය පිලිබද අදහස් ප්රබල පිටුබලයක් සපයන බවයි මගේ විශ්වාසය.ඔබ සදහන් කල ජාතික ආර්ථිකය ගැන යම් කතිකාවකට මුල පුරන්න පුලුවන් නම් එවැන්නකදී වි.සමාපවාදය ගැන අවබෝධය කෙතරම් වැදගත්ද යන්න පැහැදිලි වේවි.එවැනි සංවාදයකට ඉදිරියේදී යන්න පුලුවන් නම් හොදයි
3.මිත්රශිලි බව ගැන කියනවා නම් යහපත් දේශපාලන සංස්කෘතියක් ගැන අදහන ඕනම අයෙකු මා දකින්නේ මිතුරෙක්/සංවාදයට සුදුස්සෙක් ලෙස මිස සතුරෙක් ලෙස නොවෙයි.ඔබේ අදහස් වල සිංහල අධිකාරිවාදී ස්වභාවයක් ඇති බව මට සිතෙනවා සහ ඒ ගැන මට දේශපාලන විවේචනයක් තිබෙනවා.ඔබටත් අප පිලිබද විවේචන ඇති.අපේ විවේචනයෙන් ඔබටත් ඔබේ විවේචනයෙන් අපටත් යමක් උකහා ගත හැකි වන්නේ මතවාදීමය ලෙස අභිමුඛ වීමෙන් පමනයි.ඔබේ සටහන් උඩ්න් පැන නොගොස් මෙසේ සාකච්ඡා කරන්න පෙල‍‍ෙඔන්නේම ඔබ‍ගේ සටහන්වල දේශපාලනික අවංකභාවය(ස්ථාවරය‍ නොවේ) පිලිබද ඇති අගය කිරීම නිසා.

 
සිය රට දේ සිරි සැප දේ !