Monday, February 2, 2009

තණ කබල් නො බුදිව්!

අහෝ! පෙනෙ හැටියට දැන් කොටින්ට කොටි ද නැත. යථාර්ථය දුටු කල වරද දුටු කල යමෙක් සුමඟට ඒ නම් අපි සතුටු වන්නෙමු. සුබ පතන්නෙමු. කෙදිනකවත් මෙරට ඊළමක් බිහිකළ නොහැකි බැව් දැන් සක්සුදක් සේ පැහැදිළි ය. කොටින්ට එරෙහිව ඊයේ යාපනයේ දෙමළ වැසියෝ 15 000ක් පෙළපාලි ගිය හ. ලිප්ටන් වට රවුමේ ඊනිමා මානව හිමිකම් ගැන උඩුබුරන දෙතුන් දෙනෙකුගේ විහිළු සමස්ත ලාංකේය ජන මතය ලෙස හුවා දක්වන බීබීසීයට, අන්තිම කොටි තිප්පොළේ සිවිල් මරණ අතිශ්‍යෝක්තියට නඟන බීබීසීයට, මේ පුවත මඟ හැරුණු අරුම! සිංහල බසින් කොටි බ්ලොග් ලියන සිංහල නාමධාරීන්ට මේ යථාර්ථය නොවැටහෙන අරුම! මේ අද දිවයිනේ කතු වැකිය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් එල්. ටී. ටී. ඊ. සංවිධානය සමග පැවති සියලු සම්බන්ධකම් අත්හැර දැමීමට තීරණය කර ඇති බව සඳහන් පුවතක් අද අප පත්‍රයෙහි මුල් පිටුවෙහිම පළ වෙයි. පුවත නම් අප තුළ විස්මය දනවන්නකි. එහෙත් එය අපට මෙන්ම මේ රටේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාටම සුබ ආරංචියක් බව කිව යුතුය. එසේම එබඳු තීරණයකට එළඹී මේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වීම පිළිබඳව ද අපි දෙමළ සන්ධානයට අපගේ සුබ පැතුම් ද පිරි නමන්නෙමු.

දෙමළ සන්ධානයේ දේශපාලන භාවිතය පිළිබඳ අපට තිබුණු එක් විවේචනයක් වුයේ ඔවුන් ප්‍රභාකරන්ගේ රුකඩ බවට පත්ව සිටින බවය. පාර්ලිමේන්තුව තුළ ප්‍රභාකරන්ගේ කටහඬ බවට පත්ව සිටි ඔවුහු ඉන් බාහිරව ඊළම්වාදී ප්‍රචාරකයන් බවට ද පත්ව සිටියහ.

ප්‍රභාකරන්ගේ හෝ තමිල් සෙල්වම්ගේ නියෝග නොඉක්ම වු ඔවුහු ජනඝාතක ජනපීඩක ෆැසිස්ටිවාදියකු දෙමළ ජනතාවගේ එකම නායකයා බව ද ලොවටම කියා සිටීමට තරම් දුබල වුහ. ආනන්ද සංගරී වැනි දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ඒ අතින් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටි වීරයෙකැයි අපි හඟිමු.

දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව බොහෝ රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන්ට ද වෙනත් සමාජ ක්‍රියාකාරීන්ට ද ප්‍රභාකරන්ට හෝ ඔහුගේ ම්ලේච්ඡ සංවිධානයට එරෙහිව වචන මාත්‍රයක් හෝ ප්‍රකාශ කිරීමට තරම් ශක්තියක් නොවු බවද අපි දනිමු. ඒ සියල්ලන්ම ක්‍රියා කළේ ප්‍රභාකරන් විසින් ඔවුන්ගේ කටට ඉබි යතුරු දමන ලද ආකාරයෙන් බව ද අපි දනිමු.

ප්‍රභාකරන් යුදමය ලෙස පරාජය කළ නොහැකිය යන මිත්‍යාව දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රචලිත කළ ඔව්හු ප්‍රභාකරන්ගේ පස්ස පමණක් නොව හොස්ස ද බිම ඇනී තිබෙන විට පවා ඔහු සුරුකීමේ ක්‍රියාදාමයක නිරත වුහ.

ප්‍රභාකරන්ගේ බටහිර මිත්‍රයන් එක් පසෙකින් විවිධ බලපෑම් කරද්දී දෙමළ සන්ධානය තමිල්නාඩුවට දිවගොස් ඉන්දියාව ලවා ප්‍රභාකරන් සුරුකීමට ක්‍රියා කළ අයුරු ද රහසක් නොවේ. දැන් කෙසේ හෝ 2006 වසරේවර්ග කිලෝමීටර් 150,000 ක පමණ භුමි ප්‍රමාණයක අණසක පතුරුවා ගෙන සිටි ප්‍රභාකරන්, වර්ග කිලෝමීටර් 300 ක 350 ක පමණ භුමි ප්‍රමාණයක හිරවී සිටින බව ද ලොව පුරා ප්‍රකටය.

නෝර්වේ ප්‍රමුඛ බටහිර කපටි ආරක්ෂකයන් විසින් එල්. ටී. ටී. ඊ. යට දක්වන ලද ලැජ්ජා සහගත අනුග්‍රහය කෙබඳුදැයි දැන් රටටම හෙළිවී තිබේ. සටන් විරාම දම්වැලෙන් ආරක්ෂක හමුදාවේ දෑත් දෙපා බැඳ දැමු අය ද දැන් හමුදා විජයග්‍රහණ පිළිබඳව ඔල්වරසන් නඟති. ආරක්ෂක හමුදා විලංගුවෙන් මුද වු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අපේක්ෂා කළ පරිදිම ගෝඨාභය රාජපක්ෂ නමැති ආරක්ෂක ලේකම්වරයා ප්‍රභාකරන්ගේ නාසිවාදය පරාජය කර තිබේ.

ත්‍රස්තවාදයේ කඳින් හිස වෙන් කළත් තවමත් හිස කොතැනක හෝ දෙබුක්කුවක සඟවාගෙන පණ ගහන බව පෙනේ. එහෙත් ඒ ඉතාමත් කෙටි කාලයකට බව අපි නිසැකවම දනිමු. නෝර්වේ වැනි අතක ඇඟිලිවලින් ගණන් කළ හැකි කීප දෙනෙක් තවමත් මේ වෙන්කළ හිස හා කඳ යා කිරීමේ ප්‍රයත්නය අත්නොහැර සිටිනු ද විය හැකිය. එහෙත් දෙමළ සන්ධානය එයින් බැහැරව, සිය දේශපාලනය ආරම්භ කිරීමට ගත් තීරණය නිවැරදි හා ප්‍රායෝගික ද වේ. ප්‍රභාකරන්ගේ ෆැසිස්ටිවාදී මිනී වළට පැන දිවි නසා ගැනීම වෙනුවට දෙමළ ජනතාවගේ සැබෑ නායකයන් අතරට එක්වීම ඔවුන් විසින් ගන්නා ලද බුද්ධිමත් තීරණයක් බව ද අපි හඟිමු.

ප්‍රභාකරන්ගේ කට හඬ පමණක් නොව ඔහුගේ මනෝකාය බවට පත්ව සිටි කරුණා අම්මාන්ට මෙන්ම පිල්ලෙයාන්ට ද කොටි පුල්ලි මකා ගත හැකිවී නම් දෙමළ සන්ධානයට එහිලා කිසිදු බාධාවක් ද නැත.

කේසර සිංහයෝ කෙබඳු කුස ගින්නක් දැනුන ද තණ කබල් නොබුදිතියි අගනා සුභාෂිතයක් ඇත. ප්‍රභාකරන් නිසා කොටි වෙස් ගෙන තණ කබල් බුදින ලද සියලු දෙනාටම ද දැන් එයින් මිදීමට හැකි බව ද අවසන් වශයෙන් සඳහන් කරමු.
(දිවයින 09/02/02)

2 comments:

Manoj colambage said...

සිංහ හම පො‍රොව ගත්තු කොටළුවන් තමයි ඔය ජයටම තණ කොළ හොයාගෙන ගොහිං බුදින්නේ.

නාමල් උඩලමත්ත said...

මනෝජ්, මේ සිඟාලයෝ තණ කෑවට අපට කමක් නැහැ. වැරැද්ද උන් කාලා අපටත් කන්න කියන එකනේ. නොකෑවම අපහස කිරීමනේ. එක පිංගුත්තරයෙක් කියලා තිබුණා කොටි විනාශ කළාට ත්‍රස්තවාදය විනාශ කරන්න බැහැ කියලා. අපට නම් මේ රටේ ත්‍රස්තවාදය සහ කොටි කියන්නේ එකයි. ඒක වෙන් කරන්න බැහැ. කොටි විනාශ කිරීම කියන්නේ ත්‍රස්තවාදය විනාශ කිරීම. ඒත් අරක කියපු පිංගුත්තරයට කොටි විමුක්තිකාමියෙක් වෙන්ට ඇති. බීබීසී එකට වගේ. හැබැයි මේ බෙදුම්වාදී පිංගුත්තරයින්ට තියෙන්නේ සිංහල නම්. අම්මපා ඇයි මුන්ට බැරි තමන්ගේ නම් උන්ගේ ස්වාමිවරුන්ගේ ඌරුවට වෙනස් කරගන්න බැරි.

 
සිය රට දේ සිරි සැප දේ !