Friday, February 13, 2009

මව් බිමට කඩේ යාම

අපි ඊයේ රටේ විපක්ෂය මේ තීරණාත්මක මොහොතේ රට වෙනුවෙන් ආණ්ඩුවට සහය දීමේ අවශ්‍යතාව අවධාරණය කළෙමු. ඒ හඩ අප තුළ පමණක් නොව එම පක්ෂවල දෑ හිතැති නායකයින්ගේ හදවත් තුළින් ද මතුවන්නට පටන්ගෙන ඇත. මේ වූ කලී අත් නොහැරිය යුතු ජාතික වඟකීමකැයි ඔවුහු ශීඝ්‍රයෙන් අවබෝධ කරගනිමින් සිටිති.

තොප්පිගල කැළෑව, අලිමංකඩ-පාමංකඩ, කිලිනොච්චි-මැදවච්චි වස් කවි අද දීනයින්ට පාරාවළල්ලක් වී තිබේ. රටේ හමුදාවට නිඟා දුන් උන් දැන් රණ විරුවෝ ගැන කතා කරති. සම්‍යයක් දෘෂ්ටිය පහළ වී ද? මැතිවරණයේ ඡන්දදායකයින් ජාත්‍යන්තර ප්‍රජාව නොවන බව සිහිවී ද? නොදනිමි.
විපක්ෂයේ දීන පර හඬ යටගොස් දේශප්‍රෙමී හඬ මතුවේවා! එකී පක්ෂවල දීනයින් වෙනුවට අදීන නායකයින් පහළ වේවා! මව් බිමට ජයෙන් ජයම වේවා!

රුක්මන්, එජාපය හා කොටි සංවිධානය

අපගේ ජාතික ප්‍රශ්නයේදී නිවැරුදි අදහසක් පළ කිරීම සම්බන්ධයෙන් රුක්මන් සේනානායක මහතාට මම සුබපතමි. ඔහුගේ ප්‍රකාශය වුයේ අප මේ අවස්ථාවේදී රජයට කොන්දේසි විරහිතව සහයෝගය දැක්විය යුතු බවයි. එම ප්‍රකාශය ඔහුගේ නායකයාගේ සහ ඔහුගේ පක්ෂයේ බොහෝ දෙනකුගේ අදහස්වලට වෙනස් වුවකි. අනෙක් පැත්තෙන් මෙම ප්‍රකාශය සිදු වුයේ අපගේ යුද හමුදාව වෙත ඔහුගේ පක්ෂය ප්‍රශංසා කරමින් සිටින අවස්ථාවකදීය. ඇත්ත වශයෙන්ම මෙය ඔවුන්ට අනිවාර්යයෙන්ම කිරීමට සිදු වුවකි. ඒ ඔවුන්ගේ යහපතටමය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ආදී චරිත එක්තරා දුරකට නොසලකා හරිමිනි. මොවුන් දෙදෙනාටම රටේ ජනතාවගේ ගෞරවය හිමි විය යුතුය.

එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය ප්‍රතිපත්තිය දිගටම ගෙන ගියා නම් රට ඉතාමත් අගාධයකට පත්වීමට ඉඩ තිබිණි. එහි අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ රට දෙකඩ වීමයි. එමෙන්ම එය දෙවැනි කොසෝවක් ඇතිකරනවා හා සමාන වනු ඇත. සටන් විරාම ගිවිසුම අත්සන් කරනු ලැබුවේ රහසිගතවය. හමුදා ප්‍රධානීන් පමණක් නොව, සේනාධිනායිකාව පවා එය දැන සිටියේ නැත. මෙම ගිවිසුමට අනුව අප රටේ දිස්ත්‍රික්ක දෙකක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයට පත්විය. එම දිස්ත්‍රික් දෙක පිළිබඳව මධ්‍යම රජයට කිසිදු පාලනයක් තිබුණේ නැත. සටන් විරාම ගිවිසුම අත්සන් කළ අස්ථාවේදී මා ලියු ලිපියක මා අවධානය යොමු කළේ එම ගිවිසුමේ 1, 8 වගන්තියටය. ඒ අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධ අනෙක් සියලුම කණ්ඩායම් අවි ආයුධ අත්හැරිය යුතුය. එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙම වගන්තියෙන් සම්පුර්ණ වාසිය ලබාගැනීමට අමතක කළේ නැත. එම ගිවිසුමේම 1.10 වගන්තියට අනුව ඒ. 9 මාර්ගයේ ගමන් ගන්නා වු අපගේ හමුදාවලට පවා ආයුධ ගෙන යා නොහැකිය. අපගේ හමුදා අසරණ තත්ත්වයට පත්විය. මෙම මිනීමරු ත්‍රස්තවාදීන් අපගේ පොලිස් හමුදාවේ 640 දෙනකු අමු අමුවේ ඝාතනය කළ හැටි අපට තවමත් මතකය. ජනාධිපති ප්‍රේමදාසට එල්.ටී.ටී.ඊ. සංවිධානය පොරොන්දු වුණේ නැගෙනහිර පළාතේ පොලිස් හමුදාව භාර වන්නේ නම් ඔවුන්ට එම කලාපයෙන් ඉවත් වීමට ආරක්ෂාව සලසා දෙන බවය. එහෙත් සිදු වුයේ වෙනත් දෙයකි. මෙම ගිවිසුමේම 1.11 සහ 1.12 වගන්තිවලට අනුව එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට රජය යටතේ පවතින පෙදෙස්වලට පැමිණීමට ඉඩකඩ ලබාදී තිබිණි. එමෙන්ම 1.13 වගන්තියෙන් ඔවුන්ට රජයේ පෙදෙස්වලට පැමිණ දේශපාලන කටයුතුවල නියැළීමේ අයිතියද ලබාදී තිබිණි. ඔවුන්ව පරීක්ෂාවකට භාජන නොකරන බවත් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවටත් එකඟතාවකට පැමිණ තිබිණි. එමෙන්ම විදේශ රටවලට යෑමේ අයිතිය සහ අවශ්‍ය ආයුධ ඔවුන්ට ලබාගැනීමේ ඉඩකඩද ලබාදී තිබිණි. ඒ හැරුණු විට නවීනතම සන්නිවේදන උපකරණ ලබාගැනීමටද ඉඩ දී තිබිණි. මෙම භාණ්ඩ ගෙනෙන කන්ටේනර් රේගු පරීක්ෂාවට ලක් නොකිරීමට ද පහසුකම් සපයා තිබිණි. ඒ සියලුම පහසුකම් ලබාදී තිබුණේ සටන් විරාම ගිවිසුම යන නාමයෙනි. එවකට බ්‍රිතාන්‍යයේ අගමැතිව සිටි ටෝනි බ්ලෙයාර් පැවැසුවේ ඉදිරියට යෑමට ගත හැකි හොඳම පියවර මෙය බවය. එය ඔහුගේ නොදැනුවත්කම නිසා කළ ප්‍රකාශයක් විය හැකිය.

සටන් විරාම ගිවිසුමට පිං සිදු වන්නට එල්.ටී.ටී.ඊ. සංවිධානයට රජය යටතේ පවතින ප්‍රදේශවල පවා කාර්යාල විවෘත කිරීමට ඉඩකඩ ලැබිණි. එය ප්‍රයෝජනයට ගනිමින් උතුර හා නැගෙනහිර පෙදෙස්වල ඔවුන්ගේ දේශපාලන ශක්තිය සම්පුර්ණයෙන්ම තහවුරු කර ගත්තේය. හමුදාව බැරැක්කවලට පමණක් සීමා විය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ රජය යටතේ පවතින පෙදෙස්වලට පැමිණ නිකන් සිටියේ නැත. රජයේ සේවකයන්ට, ගුරුවරුන්ට, පාසල් සිසුන්ට තර්ජන ගර්ජන කළහ. ඔවුහු විවිධාකාරයේ විරෝධතා ව්‍යාපාර දියත් කළහ. ජනතාව තමන් දෙසට ඇද ගැනීම සඳහා පොංගු තමිල් උත්සවය සංවිධානය කළේය. කොළඹ සිටි රජය මේ කිසිවක් සැලකිල්ලට ගත්තේ නැත. එල්.ටී.ටී.ඊ. සංවිධානය නැව් පිටින් අවි ආයුධ මෙරටට ගෙනාවේය. රජය ඒ පිළිබඳව මුනිවත රකිමින් සිටියේය. එවකට සිටි නාවුක හමුදාපතිවරයා එල්.ටී.ටී.ඊ. යුද නැවකට පහරදීම සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට පවා ලක්විය. එලෙසම අවි ආයුධ ගෙනා දෙවැනි නැව ගිල්වා දැමුවේ අගමැතිවරයාට දැන ගැනීමට පවා ඉඩ නොතබමිනි.

අපගේ හමුදාවට වෙඩි උණ්ඩ ලැබුණේ නැත. ආරක්ෂක ආවරණ ලැබුණේ නැත. විදේශ රටවල සිටින දෙමළ ජනතාවගේ ආධාරය ලබා ගැනීම පිණිස එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයනට ලොව පුරා සංචාරය කිරීමට ඉඩ දී තිබිණි. අපගේ බුද්ධි අංශය සම්පුර්යෙන්ම සමුල ඝාතනය කිරීමට ඔවුනට ඉඩකඩ ලැබිණි. එහි ප්‍රධානී බ්‍රිගේඩියර් මුතාලිෆ් පවා ඝාතනය කර දැමීමට ඔවුන්ට හැකි විය. 2002:2003 යන වසර දෙක තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය බෙහෙවින් ශක්තිමත් විය. පවතින රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ නොකළේ නම් වැඩි කලක් යෑමට මත්තෙන් ඔවුන් නිදහස ප්‍රකාශ කිරීමට ඉඩ තිබිණි. බටහිර සිටින ඔවුන්ගේ මිතුරු රටවල් ඊළම බොහොමත් සන්තෝෂයෙන් පිළිගන්නවා නිසැකය.

රුක්මන් සේනානායක මහතාගේ මෙම ප්‍රකාශය සිදු වුයේ මෙවැනි පසුබිමක් මතය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කෙරෙන මෙම යුද්ධයේදී අපගේ දේශපාලන මතිමතාන්තර අමතක කර දැමිය යුතුය. රුක්මන් සේනානායක මහතා සෑම අවස්ථාවකම පක්ෂයට වඩා ඉදිරියෙන් තැබුවේ රටය. ඔහු බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර ඇත්තේ මේ ගැටුම්වාදී දේශපාලනය අප රටින් නැති කළ යුතු බවය. ජාතික ප්‍රශ්න මතුවු අවස්ථාවන්වලදී ජාතික රජයකට යෑමේ අවශ්‍යතාව ගැන ද එතුමා කතා කර ඇත. ඔබගේ පක්ෂය වගකිව හැකි ජාතික දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කිරීමට ඔබට ශක්තිය ලැබේවා යන්න මගේ පැතුමයි.

නන්ද ගොඩගේ විසින්
දි අයිලන්ඩ් පුවත්පතට සැපයු ලිපියකිනි
පරිවර්තනය : අසෝක වන්නිආරච්චි
(දිවයින_09/0214)

4 comments:

NUWAN said...

මම ඔබේ රට ගෑන තියෙන ආදරය අගය කරනවා

නිලන්‍ත said...

The Island පුවත්පත දිවයින පුවත්පතෙහි මතයට විරුද්ධ මතයක් ගෙනයන බවට වහසිබස් දෙඩූ මහත්තයටනං මේක නිකං කූඩැල්ලට දෙහි ඉස්ම දැම්ම වගේ පුවතක්.
@nuwansl.blogspot
අඩුමගානේ කොටිත්‍රස්තයින්ට විරුද්ධව කතාකල කෙනෙකුගේ අදහස් මෙසේ හෝ ඇගයීමට හැකිවීම ගැන ඔබට මගේ ප්‍රනාමය.

anonymous blogger said...

ලිව්වෙ කිව්වෙ නැති උනාට නාමල් ගෙ ලිපි සහ නිලන්තගෙ කමෙන්ට් මමත් අගයනවා. ඔන්න කිව්වා.

නාමල් උඩලමත්ත said...

ඔබ තිදෙනාගේ මා දිරිමත් කරන ප්‍රතිචාරවලට බෙහෙවින් පිං. 'මා රටින් ලද දේ මහ මෙරකි. මා රටට දුන් දේ ඇබින්ඳකි.' යන සිතිවිල්ල උදේ හවා මගේ සිතට නැගෙනවා. ඒ නිසා මට කළ හැකි දේ උපරිමයෙන් මම කරනවා. ඔබ සියලු දෙනාත් රටට දෙන්න පුළුවන් හොඳම දේ දෙන්න. දැන් දැන් මුළු රටම ජාතික කොඩිය යටට ඒකරාශි වෙනවා. ඒ බලමුළු තරකරමු. ජාතිය සවිබල ගන්වමු. අපේ ලක් අම්මා ලෝකය අබියස දෙපයින් නඟා සිටවමු.

 
සිය රට දේ සිරි සැප දේ !