Sunday, February 15, 2009

රට පළමුව : කුස දෙවනුව!

මාක්ස්ගේ මතයට අනුව ධනවාදය හා සමාජවාදය හැර වෙනත් දේශපාලන ක්‍රමයක් මෙලොව තිබිය නො හැක. ඒ අතර මැද සිටින ප්‍රජාතන්ත්‍රවාදය නපුංසක දේශපාලන ක්‍රමයකි. බර්ලිනයේ සමාජවාදී තාප්පය රුසියාව මත කඩා වැටී රුසියාව ඇමරිකාව මත කඩා වැටී, ක්‍රෙම්ලිනයේ විශේෂ කුටියක් තුළ සියවසකට කිටිටු කාලයක් බෙහෙත් ගල්වා ආරකෂිතව තැබු ලෙනින්ගේ සිරුර මමියක් පමණක් බවට පත්ව ඇති මෙකල ධනවාදය හඳුන්වන අලුත්ම නම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බවට පත්ව තිබේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් නපුංසක වන්නේ නැත. එය සියලු අංගෝපාංග ක්‍රමවත්ව පිහිටි කදිම පංචස්කන්ධයකි.

පසුගියදා පැවැති වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණය සමඟ මේ පංචස්කන්ධය ගැලපෙන්නේ කෙසේදැයි කෙනකු ප්‍රශ්න කළහොත් අප දෙන උත්තරය නම් 1977 න් පසු මේ පංචස්කන්ධය යටතේ පැවැති, පුර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා බෙහෙවින්ම අඩු, හොර ඡන්ද දැමීම බෙහෙවින්ම අඩු, අතපය කඩා ගැනීම් සහ ඔලු පලාගැනීම් බෙහෙවින් ම අඩු මැතිවරණය මෙය බව ය. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ දුෂිත සමගි පෙරමුණු ආණ්ඩුව පැරදවීම සඳහා 1977 දී පැවැති මහ මැතිවරණය ඉතාම භීෂණකාරී දේශපාලන අනාගතයකට මග පෑදී ය. එතැන් පටන් පැවැති ජනමත විචාරණය හෙවත් ලාම්පු : කළගෙඩි ඡන්දය, ජනාධිපතිවරණය, මහ මැතිවරණය පමණක් නොව සමුපකාරය සඳහා නිලධාරීන් තෝරා ගැනීම සඳහා පැවැති ඉතාම කුඩා නිලවරණය පවා මිනී මැරුම්, ඔලු පලා ගැනීම්, ගෙවල් ගිනි තැබීම් යනාදියෙන් කෙළවර විය. මෙවර පළාත් සභා මැතිවරණයේදී ඒ කිසිවක් නැත. ඡන්දය පාවිච්චි කළේද 55%:60% අතර පිරිසකි. හොර ඡන්ද දැමු බවට සැක කෙරෙන පුත්තලම ආසනයේ මැතිවරණය පමණක් ශුන්‍ය කරන ලදී. මේ නීතිය අතීතයට ද බලපාන පරිදි ක්‍රියාත්මක කරන්නේ නම් 1977 ඡන්දය ද ඇතුළුව මැතිවරණ ගණනාවකම ප්‍රතිඵල ශුන්‍ය කළ යුතු ය.

මේ පළාත් සභා ඡන්දයේදී ලැබුණු ප්‍රතිඵල අනුව ඊට සහභාගි වු සියලු පකෂවලට තමන් ගැන තක්සේරුවක් ලබා ගැනීමට හැකි ය. ආණ්ඩුවේ ජයග්‍රහණයට ප්‍රමුඛ හේතුව ලෙස අප දකින්නේ මේ රටේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව දරන මතවාදයයි. උතුර හා නැගෙනහිර යන දෙපළාත රටේ කොටසක් සේ තිබෙනු දැකීමට මේ පොළවේ උපන් ජනතාව කැමැති ය. එහි තේරුම රටේ ඒකීයත්වය නමැති සංකල්පය මිනිසුන්ගේ ලේ නහර විදගෙන ගොස් තිබෙන බව ය. එ.ජා.ප.ය මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් දරන අදහස, එහි මන්ත්‍රීවරුන් අලිමංකඩ : පාමංකඩ, කිලිනොච්චිය : මැදවච්චිය යනාදී වශයෙන් යුද හමුදාවට කළ අපහාස මිනිසුන් අනුමත කර නැත. ජ.වි.පෙ. කියන්නේ මේ ඡන්දය යුද හමුදාව වෙනුවෙන් දුන් ඡන්දයක් බව ය. එසේ නම් රජය විසුරුවා හැර ත්‍රිවිධ හමුදාපතිවරුන් එකතු කර හමුදා ජුන්ටාවක් ගසා හමුදාව ලවා රට පාලනය කිරීමට පියවර ගන්නේ නම් මැනවිදැයි අපට ප්‍රශ්නයක් නැගිය හැකි ය. එහෙත් එම ප්‍රශ්නය නැගීමෙන් අප වැළකී සිටින අතර ඊට උත්තර ද බලාපොරොත්තු නොවෙමු. අපට ඇති දුක අදුෂිත, ප්‍රතිපත්ති මත පමණක් පිහිටා කටයුතු කළ පකෂයක් අද ක්‍රමයෙන් ජනතාව වෙතින් ප්‍රතිකෙෂ්ප වෙමින් පැවැතීම ය.

හෙට ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වුවද මෙයින් එහා ප්‍රතිඵලයක් අපේකෂා කළ නො හැකි බව අපගේ වැටහීමයි. අවුරුදු 20 කට පෙර කැඩී වෙන් වී ගිය තම රටේ උතුර සහ නැගෙනහිර ආපසු ලැබීම ගැන ජනයා මහත් සේ කැමැත්තෙන් සිටින බව පෙනේ. අප සිතා හිටියේ මිනිසුන්ගේ ප්‍රතිපත්තිය සකස් වී ඇත්තේ කුස පළමුව රට දෙවනුව යනාදී වශයෙන් බව ය. එහෙත් මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ රට එකට කුස දෙකට යන ප්‍රතිපත්තියෙහි පිහිටා මිනිසුන් කටයුතු කරන බව ය.

(දිවයින_09/02/16)

පසු වදන_

මේ මැතිවරණ ජය රට ලැබූ ජයකි. ත්‍රස්තවාදයට එරෙහි රජයේ ක්‍රියාදාමය ජනතාව මහ ඉහළන් අනුමත කිරීමකි. දෙස් විදෙස් ඊනියා සාම නඩයේ පශ්චාත් භාගයට ජනතාව රිදෙන්න පා පහරක් දී තිබේ.

එම ජයෙන් රට පුරා දෑ හිතැති ජනතාව ඔකඳ වුවාට කිසිදු සැකයෙක් නැත. එහෙත් කොළඹ රතිඤ්ඤා නොදැල් වුණා යයි ද ජනතාව තුෂ්ණීම්භූතව සිටියේ යයි ද එක්තර මානසික රෝගියෙක් කියා තිබිණි. මුන්ට මේ රටේ ජන විඥානය තේරුම්ගත නොහැකි ය. අප මතෙන් බලෙන් පටවන ලද පලාත් සභා හෝ ඒ මැතිවරණ දේශපාලන පක්ෂවලට මිස ජනතාවට දැනෙන්නක් නොවේ. ඡන්ද ප්‍රකාශය පවා 50-60% මට්ටමක තිබිණි. දශක දෙකක් පලාත් සභා ඇදගෙන ආව ද ජනතාව ඊට ප්‍රතිචාර නොදක්වති. රටේ ජනතාවට පුනරීන් ජය තරම් මෙය නොදැනුණේ ඒ නිසා ය.

අදාළ ප්‍රදේශවල ඇත්තේ ද ඒ ඒ පක්ෂ විසින් අවුළන ලද කෘතීම උණුසුමකි. මේවා රටට තීරණාත්මක බලපෑමක් කරන දෙයක් නොවන බව ජනතාව දනිති. මේ සුදු අලියා නඩත්තු කරන්නට යොදන මහජන ධනය පවා අපතේ යයි. මෙවර එක ම විශේෂය වූයේ ආණ්ඩුවේ ජනප්‍රියතාව මැනගත හැකි වීමයි.

"උඳු වපුරා මුං නොපතනු" යනු අපේ ගැමියන් අතර ප්‍රචලිත ආප්තයෙකි. උඳු වපුරා මුං පැතූ විපක්ෂයට මධ්‍යමින් හා වයඹින් කදිම දඬුවමක් ලැබිණි. රටේ විරුද්ධ පක්ෂය බවට පත් වූ එවිපයට (ඊනියා unp) යන එන මං නැති විය. ඔවුන් හැම අතින් ම පරාද ය. සැබවින් ම පරාද ඔවුන් නොව ඔවුන්ගේ දීන ප්‍රතිපත්තියයි. එක අතකින් මේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකුම දායකත්වය ලබා දුන්නේ ඒ දීනත්වයයි. ජනතා අවදි වූයේ ඒ මූසල දීනත්වයට එරෙහිවයි. ජවිපෙට මේ ඉරණම නියත බව අපි කලින් ම පැවැසුවෙමු. සිය මෑත කාලීන තීන්දු තීරණ ගැන එහි නායකයින් නැවත සිතා බැලිය යුතු ය. ජනතාව නම් ඒ ගැන තීන්දුව ගෙන හමාර ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !