Sunday, February 15, 2009

බැටළු හම් පොරවා ගත් වෘකයන්ට ඉඩ නො දෙමු

යුද ගැටුම් පවතින ප්‍රදේශවල සිර වී සිටින සිවිල් ජනතාවගේ ජීවිතාරක්ෂාව තහවුරු කරලීම සඳහා රජය හා එල්.ටී.ටී.ඊ.ය තාවකාලිකව සියලු යුද මෙහෙයුම් අත්හිටුවිය යුතු බව සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක රෝස් රෙඩ්මන් මහතා පසුගිය දා අවධාරණය කර තිබුණි.

සිවිල් ජනතාවගේ ජීවිතාරක්ෂාව තහවුරු කරලීම අනිවාර්යයෙන් ම සිදු විය යුත්තකි. ඒ පිළිබඳව කිසිදු විවාදයක් තිබිය යුතු ද නැත. නමුත් ඒ සඳහා යුද මෙහෙයුම් සියල්ල තාවකාලිකව අත්හිටුවිය යුතු බව කීම මහ නොසන්ඩාල කතාවකි.
ඉකුත් දශක දෙකහමාරකට අධික කාලය පුරාවට ම එල්.ටී.ටී.ඊ.ය මෙතරම් අසරණ වූ කාල වකවානුවක් තිබුණේ නැත. කිසිදු අවස්ථාවක කොටියාට මෙතරම් රිදෙන්නට වැදුණේ ද නැත. ඒ නිසා කොටි ත්‍රස්තවාදය මරණාසන්නව වැතිර සිටින මෙවන් මොහොතක යුද මෙහෙයුම් තාවකාලිකව නැවැත්විය යුතු යැයි කිසිවෙක් හෝ කියන්නේ නම් එය වක්‍රාකාරයෙන් එල්.ටී.ටී.ඊ.යට ජීව වායුව පිඹින්නට ගන්නා උත්සාහයක් ලෙස අපි දකිමු.

එක්සත් ජාතීන් නමින් පෙනී සිටින මේ පොලිස්කාරයාට සරණාගතයන් පිළිබඳ කිසියම් වගකීමක් තිබෙන බවට කිසිදු තර්කයක් නැත. නමුත් ඔවුන්ගේ වගකීම් හා තර්කන සියල්ල යථාර්ථවාදී විය යුතු ය. ත්‍රස්තවාදයෙන් ඇති පමණට බැට කා හෙම්බත්ව සිටින ජාතියක් කිසි විටෙකත් වාචාල කතාවලින් රවටනු නො හැකි ය.

ත්‍රස්තවාදය පිළිබඳව දශක දෙකහමාරක කාලයක් පුරා එක දිගට ශ්‍රි ලංකාව තරම් අත්දැකීම්, විනාශයන් හා විපාක අත්විදී ලොව වෙනත් රටක් ඇත්දැයි සැක සහිත ය. ඒ අතීතය එතරම් ම ශෝචනීය ය. නිරපරාදේ රටටත්, ජාතියටත් අහිමි වූ අමිල ජීවිත ගණන දස දහස් ගණනකි. එක්සත් ජාතීන්ට ජාත්‍යන්තර තලයේ කොතරම් අත්දැකීම් තිබුණත් රාජ්‍යයක් වශයෙන් ශ්‍රි ලංකාවට තරම් ත්‍රස්තවාදය පිළිබඳව පරිචයක් ඔවුන්ට නොමැති බව අමුතුවෙන් නොකිවමනා ය. කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මහ සටනට රටක් වශයෙන් ශ්‍රි ලංකාව සිටින්නේ ඒ පරිචයෙන් ලත් පන්නරයත් අනුපමේය අත්දැකීම් සම්භාරයත් සමගිනි. ඒ අනුව බලන කල සරණාගතයන් පිළිබඳව වගකීම ඇති එක්සත් ජාතීන් ත්‍රස්තවාදය මැඬලීම පිළිබඳව අප්‍රමාණ අත්දැකීම් ඇති ශ්‍රි ලංකාව නමැති ගලිවරයා ඉදීරියේ තවත් එක් ලිලිපුට්ටකු පමණකි. මෑතක් වනතුරු ම ලෝක මතය වූයේ ලොව භයානකම ත්‍රස්ත කල්ලිය එල්.ටී.ටී.ඊ.ය බව ය. යුද, ගුවන් හා නාවික බලයෙන් ද සමන්විත ලොව එක ම ගරිල්ලා කණ්ඩායම ද එල්.ටී.ටී.ඊ.ය බව ය. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ හා සිවිල් ආරක්ෂක බළකායේ වීරෝදාර රණවිරුවන්ගේ ආත්ම පරිත්‍යාගයෙන් යුත් කැප කිරීම් හා නොපසුබස්නා උත්සාහය හමුවේ එල්.ටී.ටී.ඊ.ය පිළිබඳ ලෝක මතය මේ වන විට පුස් වෙඩිල්ලක් බවට පත් වී තිබේ.

තව කෙටි කලෙකින් බිහිසුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදය යුද බලයෙන් සුනු විසුනු කළ රටක් ලෙස ශ්‍රි ලංකාව ලෝක ඉතිහාසයට එක්වීමට නියමිතව තිබේ. ඒ ආසන්නයේදී එක්සත් ජාතීන්ගේ නමට මුවා වී යුද මෙහෙයුම් නවතන්නට හෝ අඩපණ කරන්නට උඩු බුරලන්නවුන්ගේ හඬ අප එක් තඹයකටදු මායිම් කළ යුතු නැත.

ශ්‍රි ලංකාවේ මේ උත්සාහය දශක දෙකහමාරක් පුරා කොටි ත්‍රස්තවාදයේ සිරකරුවන් බවට පත්ව සිටින සිවිල් ජනතාව කොටි ග්‍රහණයෙන් සදාකාලිකව ම මුදවා ගැනීමට ය. ඔවුන් මුදවා ගැනීම සඳහා කෙරෙන මානුෂීය මෙහෙයුම සිවිල් ජනතාවට එරෙහිව කෙරෙන ක්‍රියාන්විතයක් ලෙස නම් කිරීම කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. මේ මොහොතේ දී වන්නිකරයේ අසරණ සිවිල් වැසියන්ගේ පරම සතුරා බවට පත්ව ඇත්තේ එල්.ටී.ටී.ඊ.ය ය. තමන්ගේ දීවි බේරා ගැනීම උදෙසා සිවිල් ජනතාව බලෙන් ඉදීරියට දමා ශ්‍රි ලංකා රජය එල්ලයේ ජාත්‍යන්තර බලපෑම් ඇති කරවා යුද මෙහෙයුම් නවතාලන්නට එල්.ටී.ටී.ඊ.ය අපරිමිත උත්සාහයක නියැළෙන බව ඉතා පැහැදීලි ය. ඒ අනුව බලන විට මේ මොහොතේ දී සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයත්, කොටි සංවිධානයත් ක්‍රියා කරමින් සිටිනුයේ එක ම අරමුණක් වෙනුවෙනි.

තවදුරටත් කොටින්ගේ උප්පරවැට්ටිවලට හසු නොවී ජාත්‍යන්තරය මේ සත්‍යය තේරුම්ගත යුතුව තිබේ. ජාත්‍යන්තරයේ හා කොටි ත්‍රස්තවාදයේ උවමනාව සමපාත වූ තැන එහි උපරිම අවාසිය අත්වනුයේ ශ්‍රි ලංකා රජයට ය. අපගේ වීරෝදාර හමුදාවන්ට ය. මේ වන විට සමස්ත ලෝකයේ ම අවධානය යොමුව ඇත්තේ ලෝක ත්‍රස්තවාදය මැඬලීම කෙරෙහි ය. ඔවුන්ට ඒ සඳහා අවංක උවමනාවක් ඇත්නම් මේ තීරණාත්මක මොහොතේ දී ඔවුන් ම කියූ පරිදී ලෝකයේ බිහිසුණු ම ත්‍රස්තවාදී සංවිධානය මැඬලීමේ අවසන් අදීයර සඳහා පූර්ණ සහාය පළ කළ යුතුව තිබේ. නමුත් ඒ මුවාවෙන් සිදුවනුයේ කොටින්ට යළි ජීව වායුව පිඹීමේ උත්සාහයක් නම් ලෝක ත්‍රස්තවාදය මැඩලීම යනු තවත් හුදු සටන් පාඨයක් පමණක් ම වනු නියත ය.
සරණාගතයන් පිළිබඳව වග කියන්නා වූ එක්සත් ජාතීන්ගේ අරමුණ විය යුත්තේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් වන්නිකරයේ අසරණ ජනතාව මුදා ගැනීම ය. ම්ලේච්ඡ මිනීමරු කොටි අහිංසක සිවිල් ජනතාව බලහත්කාරයෙන් මුලතිව්හි රඳවා ගෙන සිටිති. ත්‍රස්තවාදීන්ගෙන් මිදී හමුදා පාලන ප්‍රදේශ බලා එන අහිංසකයන්ට ගිනි බිදීති. එකා පිට එකා වැටෙන සේ මරා දමති. මේ කුරිරු ම්ලේච්ඡ ක්‍රියාදාමය මැඬලීම කෙරෙහි කිසිවක් නොදොඩා මේ ඒක පාර්ශ්වික එක්සත් ජාතීන් ද ඇතුළු ජාත්‍යන්තරය මුඛ පූට්ටු කරගෙන බලා හිදීති. ඒ අතරේ යුද මෙහෙයුම් නවතන ලෙස බල කරමින් ශ්‍රි ලංකා රජයට උඩු බුරලති.

ලෝක ත්‍රස්තවාදය මැඬලීම කෙසේ වුවත් කොටි ත්‍රස්තවාදයේ පසුබෑම් ඇතැම් ජාත්‍යන්තර සංවිධානවල මෙන්ම එන්.ජී.ඕ.ගත අන්තර්ජාතික සාම මුදලාලිලාගේ ද ඩොලර්, පවුම් පසුම්බිය හිල් කරවන්නක් වී ඇති වග ද අපි දනිමු. සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ අරමුණ කවරක්දැයි අපි නො දනිමු. කෙසේවතුදු සරණාගතයන්ගේ ගැලවීම මුවාවෙන් කඩා හැළෙන කිඹුල් කඳුළු තුළ සැඟව ඇත්තේ සිය ගෝස්තරයත් කොටින්ගේ විමුක්තියත් පමණකි.
එසේ හෙයින් බැටළු හම් පොරවාගෙන අප හමුවට එන වෘකයන් දෙස අප සෑම මොහොතකම බැලිය යුත්තේ සැක මුසු අවධානයකිනි. මේ අනතුරු සංඥාව කුමක්දැයි යන්න රටේ පාලකයන් හා සියලු බලධාරින් තරයේ සිහිකටයුතු ය. සියලු බලපෑම් හා පීඩනයන් ඉදීරියේ වඩාත් ප්‍රඥා සම්පන්න නො වුවහොත් ශක්තිමත් කශේරුවක් නො තිබුණ හොත් විනාශය නොපමාව ම යළි අප කරා එන බව දැඩිව අවධාරණය කළ යුතු ම ය.

(රිවිර ඉරිදා සංග්‍රහය_09/02/15)

පසු වදන_
එක්සත් ජාතීන් ගැන නොව අපේ රට හූරගෙන කෑ මංකොල්ලකාරයා ගැන කීමට යමක් තිබේ. මහා බ්‍රිතාන්‍යයට නිතර අමතක වන දෙයක් තිබේ. ඒ ශ්‍රී ලංකාව 1972 ස්වාධීන ජන රජයක් වූ බව ය. එහෙයින් ඔවුන් තවම සිතන්නේ ලංකාව සිය කොළනියක් හෙවත් යටත්විජිතයක් බව ය. එක අතකින් එහි අරුමයක් ද නැත. මෙරට ඉපිද මෙරට අම්මා කෙනෙකුගෙන් කිරි බී තවමත් මෙරට පය ගසා සිටින දීන තුප්පහි පරයින් පිරිසක් ද එසේ සිතන කල. මේ ගෙවලයෝ සුද්දන් ලෙස පෙනී සිටින්නට හරි ම කැමති ය. සුද්දාට කඩේ යාමෙන් සුද්දා සුප්පා ඉවත දමන මානව හිමිකම්, සුළු ජාතික අයිතීන් වැනි කටු ලෙවීමෙන් තමන් ද සුද්දෙක් වෙතැයි උන් සිතති. එහෙත් මෙරට පය ගසා සිටින දෑ හිතකාමී ජනතාව සියලු භේද අමතක කර රට වෙනුවෙන් ජාතික කොඩිය යට ගොනු වෙති.මධ්‍යම වයඹ වූයේ එය මිස අනෙකක් නොවේ. අපේ මව් බිම දිනේවා!

3 comments:

නිලන්‍ත said...

ඔය කිඹුල්කඳුලු හෙලන මානව හිතවාදි කට්ටිය හරිම කැමති මේ රට සදාකාලිකව යුද්දෙට පැටලිලා උන් ලඟ දනින් වැටිල ආධාර උපකාර හිඟාකනවනං. එතකොට උන්ට පුලුවන් එකඑක කොන්දේසි දාලා උන්ට ඕනි විදිහට රට කරවන්න. ඒක අහිමිවේය කියන භීතියෙන් තමා එකපාරටම නින්දෙන් අවදිවෙලා වගෙ සටන් විරාමයක් ඉල්ලලා ඉකි ගසමින් අඬන්නෙ. උන් කවුරුවත් හිතුවෙම නෑ ලංකාවෙ මේ තරම් වීරෝධාර හමුදාවක් ඉන්නවාය කියල.

සටන් විරාම ගිවිසුමෙන් විලංගු දාල තිබුනු සිංහයා මාවිල්ආරුවෙදි මහින්ද මුදාහැරිය. විලංගු දාපු සිංහයගේ ඇඟඋඩ පවා පහරපු කැනහිල්ලුන්ට තමා කවුද යනවග පවා අමතක වෙලාතිබුනේ. දැන් වලිගෙ දෙපරන්ද අස්සෙ ගහගෙන උන්හිටිතැන් නැතිව හැංගිල ඉන්න තමන්ට දැන්ඇති එකම ගැලවීම හෙවත් මානව හිමිකම් ගැන අඬන සංවිධාන වල එල්ලිලා පන බේරගන්න දඟලන්නෙ. මානව හිමිකම් තියෙන්න මිනිස්සුන්ට. මේ කාලකන්නි වෙඩි තියල මරා දමන අහිංසක මිනිස්සුන්ට, කිරිසප්පයින්ට. මේ මිනීමරුවො මේවගේ අහස පොලොව නුහුලන අපරාධ කරල උන්ගෙ මානව හිමිකම් කඩවෙලාය කියල බෙරිහන්දෙනකොට පිටරටවල ඉන්න, මොකද උනේ කියල මෙලෝහසරක් නොදන්න එව්වොත් ඝාතකයාගෙ පැත්තට ඔහේ කෑගහනව. උන් තාමත් හිතන්නෙ මෙරට උන්ට අයත් කොලණියක් කියල. ඒකනෙ මේ රටේ රජයෙන් කිසිම විමසීමකින් තොරව ලංකාව භාර නියෝජිතයො පත් කරල මෙහෙට එවන්නෙ. ඒත් මේ ගමන ඒක හරියන්නෙත් නෑ. ත්‍රස්තවාදියාගේ මිනීපෙට්ටියට අවසාන ඇණෙත් ගහන්න රජය සහ මහජනතාව තීරණය කරල ඉවරයි.

බටහිර රටවල් මිනීමරු කොටියගේ පැත්ත ගෙන ශ්‍රී ලංකාවට තහංචි දාන්න හදද්දී මහජන චීනය සහ රුසියාව තම නිශේධබලය පාවිච්චි කරල ශ්‍රී ලංකාවට සහය දක්වල තියෙනව. ඒකියන්නෙ සත්‍ය වටහාගත් ඇත්තටම ත්‍රස්තවාදයට විරුද්ධ ප්‍රබල ජාත්‍යන්තර මිතුරනුත් අපට ඉන්නව.

දිසා said...

අපෙ ම්ත්‍ර යැයි සදහන් රටවල් අතරින් ඇමරිකාව සහ රුසියාව පිලිබදව පොඩිකරුනක් සටහන් කරන්න හිතුනා. ඇමරිකාව අපට දුන්න සැම දෙයක්ම කාලා දාන්න පුලුවන් දේ (තිරිගු)රුසියාව යමන් දුන්නානම් එවා රටෙ දියුනුවට යොදාගත හැකි දේ.

නාමල් උඩලමත්ත said...

හරියට හරි නිලන්ත, අවුරුදු 30ක් මුන්ගේ බඩගෝස්තරේ වුණේ මේ යුද්දේ. දැන් බඩට වදින නිසයි අමාරුව. ඇත්තම කියනවා නම් මේ ඊනියා යුද විරෝධී නාම්බෝ විරුද්ධ යුද්දෙට නෙමේ. යුද්දේ ඉවර වෙනවට. අපට සාම කපු කළ නෝර්වේ ලෝකේ 3වන විශාලතම ආයුධ වෙළෙන්දා. උන්ගේ ඉඳුල් කාලා බඩ කට ඉඳිමුණු හැත්තක් අපේ රටෙත් ඉන්නවා. මුන්ට කඩේ ගියාම තමාත් සුද්දෙක් වෙතැයි සිතන දෙලොටම නැති එවුන් රැළකුත් මේ රටේ ඉන්නවා. ඒත් ජනතාව පෙරේදා දුන්නා නියම තීන්දුව.

දැන් අපේ රට 1505 අහිමි වුණු හැබෑ නිදහස සොයාගෙන යනවා. මේ රට සැබෑ නිදහස ලබන්නේ ත්‍රස්තවාදය මුලිනුපුටා දාලා, ත්‍රස්තවාදයේ පියා වන බෙදුම්වාදය සමූල ඝාතනය කළ දාටයි. බෙදුම්වාදීයා මොන ජාතියේ වුණත්, මොන පක්ෂයේ වුණත්, ත්‍රස්තවාදී වුණත්, ප්‍රජාතන්ත්‍රවාදී වුණත් ප්‍රතිඵලය එකයි. ඒ කියන්නේ උන්ගේ අන්තිම අරමුණ රට කැඩීම. උන් හැමෝම රටේ සතුරෝ. ඒ නිසා බෙදුම්වාදීයාට බෙදිය යුත්තේත් ත්‍රස්තවාදීයාට බෙදූ හැන්දෙන්මයි.

ඇමරිකාව අපට දීපු ලොකුම හෙණ ගෙඩිය තමයි පාන් පිටි. පාන් නැති වුණොත් රට හාමතේ. තුන් වේලම පාන් නිසා ජනතාවගේ පෝෂණ මට්ටම හොඳටම බැහැලා. දැන් සිංහලයෙක් දැක්කම හිතෙනවා අම්මපා මුන්ගේ සීයාල ද අර අනුරාධපුර පොළොන්නරු ශිෂ්ටාචාර හැදුවේ කියලා. අපි අනාගතයේ මේ සඳහා වහාම විකල්ප සොයාගත යුතුයි. ත්‍රස්තවාදයෙන් නිදහස් වන අපේ රට ගොඩ නඟන්න හයි හත්තිය තියෙන පැය 8ට වඩා වැඩ කළ හැකි ශ්‍රම හමුදාවක් ඕන. චීනය රුසියාව වගේ මිත්‍ර රටවල් අපට ලොකු ශක්තියක්.

 
සිය රට දේ සිරි සැප දේ !