Friday, February 6, 2009

හිලරි ක්ලින්ටන්ට සහ ඩේවිඩ් මිලිබෑන්ඩ්ට පරිවර්තනය කර යැවීම පිණිස....

අවි බිම තබා යටත් වන්නැයි ආණ්ඩුව පසුගිය දිනෙක කොටි සංවිධානයට නියෝග කළේ ය. එයින් දින කිහිපයකට පසු ශ්‍රී ලංකාවට ආධාර දෙන කණ්ඩායමේ රටවල් එම ඉල්ලීම ම කොටින්ට ඉදිරිපත් කළේ ය. අරගලය අත්හැර දමා නැති බවත් ආධාර කණ්ඩායමේ සාමාජිකයකු වන නෝර්වේ රාජ්‍යය බලවත් රටවල අතකොළුවක් බවත් දිගටම සටන් කරන බවත් කොටි සංවිධානය එවිට පැවැසී ය.

මේ සමඟම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් සාකච්ඡාවක් පවත්වා නිවේදනයක් නිකුත්කර ඇත.. එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ නිත්‍යනුකුල ආණ්ඩුව නීති විරෝධී ත්‍රස්තවාදී කොටි සංවිධානය සමඟ සටන් විරාමයක් ඇති කර ගත යුතු බව ය.



(The Island-06/02/09)

මේ රටේ වීරෝදාර ත්‍රිවිධ හමුදාව ජනාධිපති රාජපකෂගේ සේනාධිනායකත්වය යටතේ කොටි සංවිධානයට පහර දීමට පටන් ගත්තේ එම සංවිධානය සිය ඉතිහාසයේ දියුණුතම අවස්ථාවට අවතීර්ණව සිටියදී ය. ඒ වන විට උතුර හා නැගෙනහිර යන දෙකම කොටි සංවිධානය යටතේ පැවැතිණ. දකුණේ වැසියකුට කොටි පාලන ප්‍රදේශයෙන් ඇතුළට යෑමට නම් ඕමන්තේ කොටි මුරපළට බද්දක් ගෙවා තාවකාලික වීසා බලපත්‍රයක් ගත යුතුව තිබිණ. දකුණේ මිනිසකු ඕමන්තේ මුරපොළෙන් ඇතුළට කොස් ඇටයක් ගෙන යන්නේද, ඒ සඳහා කොටින්ට බද්දක් ගෙවිය යුතුව තිබිණ. කොටි පාලන ප්‍රදේශය තුළ උසාවි, පොලිසි, තැපැල් කන්තෝරු යනාදිය විය. ඔවුන් සතුව නැති වුයේ ඊළාම් මුදල් නෝටිටු පමණි. ඔවුන් සතුව ගුවන් හමුදාවක් තිබිණ. නාවික හමුදාවක් තිබිණ. සබ්මැරීන්, සබ්මැරීන් නාශක ටොර්පිඩෝ, ප්‍රහාරක යාත්‍රා, මරාගෙන මැරෙන බෝම්බකරුවන්, රසායනික අවි, වෙනත් යුද අවි නිෂ්පාදන කම්හල්, 50000 ක පමණ කේඩරයන්, සියලු ආකාරයේ නවීන ආයුධ ඔවුන් සතුව තිබිණ. ඔවුනට නැති වුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසනයක් හා වෙනම රටක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමත් පමණි.

මේ මිථ්‍යාව පුපුරුවා හරින ලද්දේ ප්‍රභාකරන්ගේ ඉල්ලීම මත ය. එනම් රාජපකෂ ආණ්ඩුව බලයට පත් වී ස්වල්ප කලෙකින් කොටි කැබිතිගොල්ලෑවේදී බස් රථයක් පුපුරුවා හැරියහ. ඊළඟට ඔවුහු සාම්පුර් ප්‍රදේශයේ මුස්ලිම් වැසියන්ට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. ආණ්ඩුව අවසාන ඊළාම් යුද්ධය පටන් ගැනීමට පළමුවැනි වෙඩි මුරය තබන ලද්දේ එවිට ය. අද වන විට ප්‍රභාකරන්ගේ ඊළම අක්කර කිහිපයකට සීමා වී තිබේ. නුදුරු දිනවලදී එය අඩි 6 x 4 ප්‍රමාණයේ වළකට සීමා වනු ඇති.

හිලරි ක්ලින්ටන් සහ ඩේවිඩ් මිලිබෑන්ඩ් කලඑළි බැස නටන්නට පටන්ගෙන ඇත්තේ මේ දුෂ්කර මොහොතේදී ය. හිලරි ක්ලින්ටන් යනු ඇමෙරිකන් ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා ගැනීම සඳහා බරක් ඔබාමා සම

ඟ තරග කර පැරදී දැන් බරක් ඔබාමා යටතේ සේවය කරන කෙනෙකි. ඩේවිඩ් මිලිබෑන්ඩ් යනු බ්‍රිතාන්‍ය අගමැති වීමේ හෝ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වීමේ අරමුණෙන් ජාත්‍යන්තර දේශපාලන ගමනක යෙදී සිටින්නෙකි. මේ දෙදෙනා සිය නම ප්‍රචාරය කර ගැනීම සඳහා අනුන්ගේ රටවල අභ්‍යන්තර ප්‍රශ්නවලට අත පොවන්නට පටන්ගෙන ඇත. මේ දෙදෙනා සටන් විරාමයකට එළඹෙන ලෙස අපට කියන්නේ කවර අයිතියක් මත ද? ඔසාමා බින් ලාදින් සමඟ සාම සාකච්ඡා පවත්වන ලෙස අපි ඇමෙරිකාවට කීවෙමු ද? අයර්ලන්ත ගරිල්ලන් සමඟ සාම සාකච්ඡා කරන ලෙස අපි බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කීවෙමු ද? ඉස්ලාමීය ගරිල්ලන් ලන්ඩනයේ උමං දුම්රියපොළවල බෝම්බ පුපුරුවන විට එම ගරිල්ලන් සමඟ සාම කතා අරඹන ලෙස අපි කීවෙමුද?

අනුන්ගේ ඉලව්වලට ඇඟිලි නො ගසන ලෙස අපි හිලරි ක්ලින්ටන්ගෙන් සහ ඩේවිඩ් මිලිබැන්ඩ්ගෙන් ඉල්ලමු. අපේ ප්‍රශ්නය අපට විසඳාගත හැකි ය. එය දැනටමත් 99% ක් විසඳී අවසන් ය.

(දිවයින-09/02/06)

පසු වදන,
මෙහි 'බද්ද' යන වදන වෙනුවට 'කප්පම්' යන වදන යෙදීම යෙහෙකි. රජයකට හැර කිසිවෙකුට බදු එකතු කළ නොහැකි ය. ත්‍රස්තයින් සහ මැරයින් ලබාගන්නේ කප්පම් ය. අද මෙරට ඇත්තේ ජගත් ප්‍රජාව පත් කළ ආණ්ඩුවක් නොව ශ්‍රී ලංකා ජනතාව පත් කළ ආණ්ඩුවකි. එහෙයින් ඩේවිඩ්ලා මිලිබෑන්ලා තම තමන්ගේ වැඩක් බලා ගත යුතු ය. උන්ට බින් ලාඩන් ත්‍රස්තවාදියා වී පිරපාහරන් විමුක්තිකාමියා වුවාට අපට උන් දෙන්නා ම එක ය.
පෙර අප පළ කළ කතුවැකියක් ගැන කෙනෙක් විමසුවේ සොල්හයිම්ට සිංහලෙන් ලිපි ලියා කුම‍ටද යනුවෙනි. අද දිවයින කතුවැකියේ සිරස ඊට පිළිතුරකි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !