Thursday, February 5, 2009

තුන්වැනි වතාවටත් රට එක සේසත් කිරීම

සිංහලයා තම ඉතිහාසයේ වැඩි කලක් ගත කළේ පරදේසක්කාරයන් සමඟ යුද වැදීම පිණිස ය. මොවුන තුරින් සොළී ආක්‍රමණිකයාට ප්‍රමුඛ තැනක් හිමි වෙයි. ක්‍රි. පු. දෙවැනි සියවසේ සිටම මේ තත්ත්වය පැවතිණ. ක්‍රි. ව. 161 දී දුටුගැමුණු රජතුමා එළාර නමැති සොළී රජු සමඟ යුද කර ඔහු මරා රට එක සේසත් කළේ ය. මේ වු කලී ශ්‍රී ලංකාව එක සේසත් කරන ලද පළමුවැනි අවස්ථාව ය.

ශ්‍රී ලංකාව දෙවැනි වරට එක සේසත් කරන ලද්දේ කවරකු විසින් ද? මෙය ඇසු සැනින් පිළිතුරු දිය නොහැකි, ප්‍රශ්නය එල්ලවන්නා ව්‍යාකුලත්වයට පත්කරන ප්‍රශ්නයකි. එහෙත් කවුරු කොහොම කිව්වත් ශ්‍රී ලංකාව දෙවැනි වරට එක සේසත් කරන ලද්දේ එංගලන්තයේ පස්වැනි ජෝර්ජ් රජතුමා විසිනි. ඔහුගේ යුද හමුදාව මුහුදුකරයෙන් ලන්දේසීන් පලවා හැර, මධ්‍යම කඳුකරයේ පිහිටි සිංහල රාජ්‍යයේ රජතුමා වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගෙන පිටුවහල් කර, 1815 දී උඩරට ගිවිසුම හරහා මුළු මහත් ශ්‍රී ලංකාවම තනි රටක් ලෙස බ්‍රිතාන්‍ය කිරීටය යටතට ගත්තේ ය. පළමුවැනි එකසේසත් කිරීම සහ දෙවැනි එකසේසත් කිරීම අතර වෙනසක් පවතී. පළමුවැනි එකසේසත් කිරීම අදීන ක්‍රියාවකි. දෙවන එකසේසත් කිරීම දීන ක්‍රියාවකි. පළමුවැනි එකසේසත් කිරීමේදී සොළී රජු පැරදවීම පිණිස මුළු මහත් සිංහල ජනතාවම දුටුගැමුණු රජුට සහාය දුන්හ. දෙවැනි එකසේසත් කිරීමේදී බ්‍රිතාන්‍ය කිරීටය යටතට තනි රටක් වශයෙන් ශ්‍රී ලංකාව ගෙන ඒමට සියයට සියයක් පිරිසිදු සිංහල ලේ ඇති උඩරට උසස් සිංහලයන් පිරිසක් ජෝර්ජ් රජතුමාට උදව් කළහ.

ඉන්පසු ගෙවී ගිය කාලය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ සමාජ පරිවර්තන රැසක් ඇති විය. 1948 දී අද වැනි දිනක බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වු අපගේ ජනයා ඈනුම් අරිමින් ද, ඔලුව කසමින් ද, බඩ අතගාමින් ද, කල්පනා කළේ මීළඟ ආහාර වේලට උදව් කරන රජා කවරකු විය හැකි ද යන්න ය. ඒ අතර උතුරුකරයට රැස්වු සමහර දේශපාලනඥයන් සහ දෙමළ ත්‍රස්තවාදී පිරිස් එක්ව උතුර - නැගෙනහිරට දෙමළ නිජ භුමි සංකල්පයක් ආදේශ කර රට කැඩීමේ ව්‍යාපාරයක් අරඹා මුළු මහත් උතුරත් - නැගෙනහිරත් තම ආධිපත්‍යය යටතට ගත්හ. ඊළඟට එම ප්‍රදේශවල නිල නොවන වෙනම රාජ්‍යයක් බිහි විය. ජනාධිපති මහින්ද රාජපකෂ වීරෝදාර ත්‍රිවිධ හමුදාව මෙහෙයවා මේ ත්‍රස්තවාදීන් පලවා හැර අපට අහිමි වු අපේ භුමිය යළි ලබාගෙන තුන්වැනි වතාවටත් රට එක සේසත් කළේ ය. දුටුගැමුණු රජු එළාරට එරෙහිව කළ යුද්ධයේදීත් ජනාධිපති මහින්ද රාජපකෂ ප්‍රභාකරන්ට එරෙහිව කළ යුද්ධයේදීත් පොදු චරිතයක් විය. ඒ වු කලී ගෝඨාභය ය.

මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් ලියන ලද උතුරු ශ්‍රී ලංකාවේ ආර්ය ජනපද යන පොතෙහි සඳහන් වන පරිදි සිංහලයන්ගේ මුල් ජනාවාස පිහිටා තිබුණේ උතුරේ ය. මේ උතුර දැනට නැගෙනහිර ලෙස හැඳින්වෙන ප්‍රදේශය ද ආවරණය වන පරිදි උතුරු රට ලෙස හඳුන්වන ලදී. තම්බපන්නි නගරය ආරුගම්ආරු ගඟේ දකුණු ඉවුරේත්, අනුරාධ ග්‍රාමය මල්වතු ඔය අසලත්, උරුවේලය කලාඔයේ මෝය කට ළඟත්, උපතිස්සගම කන්දරා ඔය අසබඩත්, විජිත නගරය මහවැලි ගංගාධාරයේත් පිහිටි බව මහාචාර්ය පරණවිතානගේ මතයයි. පසුව හටගත් සොළී ආක්‍රමණ නිසා මේ සියලු සිංහල ජනපද මැද රටටත්, දකුණටත් තල්ලු වී ආ බව කියනු ලැබේ. උතුටේ හා නැගෙනහිර දෙමළ නිජ භුමි සංකල්පයේ අතීතය පටන් ගන්නේ එතැනිනි. බලලෝභී සිංහල සහ දෙමළ දේශපාලනඥයන් කිහිපදෙනකුත්, ජාතිවාදී බලවේග කිහිපයකුත් විජාතික බලවේග රැසකුත්, නිජභුමි සංකල්පය ප්‍රයෝජනයට ගෙන යාපනේ දෙමළ කුල ක්‍රමය තුළ අසරණව සිටි වෛරී සහගත තරුණ පිරිස් ත්‍රස්තවාදීන් බවට පත් කර රට ලේ විලක් නො කළේ නම් රට යළි එක සේසත් කිරීම සඳහා මේ තරම් විශාල ශ්‍රමයක්, ධනයක්, කාලයක් සහ මිනිස් ජීවිත සංඛ්‍යාවක් කැප කිරීමට සිදු වන්නේ නැත. ඒ සියල්ල සංවර්ධනය දෙසට යොමු කිරීමට ඉඩ තිබිණ.

ජනාධිපති මහින්ද රාජපකෂ තුන්වැනි වතාවටත් රට එකසේසත් කිරීමෙන් ගත වී ඇත්තේ දින කිහිපයක් පමණි. මෙහිදී තුන්වැනි වතාවට රට එකසේසත් කළ නායකයා ලෙස අප ජනාධිපති රාජපකෂ හඳුන්වන්නේ පළවැනි විජයබාහු, පළවැනි පරාක්‍රමබාහු, හයවැනි පරාක්‍රමබාහු රජතුමා, සීතාවක රාජසිංහ වැනි රජවරු ඒකීය රටක් තැනීමට කළ මෙහෙය අමතක කර නොවේ.

1948 පෙබරවාරි 4 වැනිදා බ්‍රිතාන්‍ය කිරීටයෙන් අප නිදහස්ව වසර 61 ක් ගත වී තිබේ. ඒ අතර සියලු ජාතික සටන්වලට උරදීමටත් රටේ භෞමික අඛණ්ඩතාව රැකීම පිණිසත් දිවයින බිහිවුයේ ද වසර 27 කට පෙර අද වැනි හතරවැනිදාවක ය. මේ මොහොතේදී අප ප්‍රාර්ථනය කළ යුත්තේ මේ රට ජනාවාස බවට පත් වීමෙන් පසු අපේ ඒකීයත්වය රැක ගැනීම සඳහා කිරීමට සිදු වු යුද්ධ සහ ලේ වැගිරීම් යළි ඇති නොවේ වා! යන්න ය.
(දිවයින-09/02/04)

5 comments:

සජීව විජේවීර said...

වැරදියි සහෝදරයා,
දෙවැනි වතාව පළමුවැනි විජයබාහු
තුන්වැනි වතාව හයවැනි පරාක්‍රමබාහු

Anonymous said...

රනිල් ඒක්ක තරහකටද පළමුවැනි පරාක්‍රමබාහු බගෙට කැපුවෙ

දිලාන් said...

" සිංහල ලේ ඇති උඩරට උසස් සිංහලයන් පිරිසක් ජෝර්ජ් රජතුමාට උදව් කළහ. "

:සුද්දන්ට උදවු කලේ උසස් සිංහලයන් කියල මමනම් කියන් නැ. ඒකාලේ තමන්ගේ පෞද්ගලික ලාභ බලාගෙන තමයි ඔය කට්ටිය සුද්දට උදවු කලේ.උසස් සිංහලයන් වන්නේ සුද්දට එරෙහිව මවු බිම නිදහස් කරගැනිමට සටන් කල සිංහලයන්ය.

Anonymous said...

මෙතන උසස් කියලා තියෙන්නෙ වන්සෙ කබල්ගාන වලව් පැලැන්තියට වගෙ

නාමල් උඩලමත්ත said...

සියලුම ප්‍රතිචාරවලට පිං. මෙහි පළවන්නේ ඇතැම් විට මගේ පෙර වදනක් ද සහිත දිවයින කතුවැකි පෙළකි. රටේ ආණ්ඩුව කවර දේශපාලන මතවාදයක් දැරුව ද ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඔවුන් පෙනී සිටියේ ය. ත්‍රස්තවාදය නිවැරදිව හදුනාගත් ඔවුන් ත්‍රස්ත විරෝධි පැහැදිළි ස්ථාවරයක සිටියේ ය. අපි ඊට සදා ගරු කරමු. රටේ වත්මන් දේශපාලන න්‍යාය ජාති මාමක බලවේග අතට පත් කර රට නිවැරදි මාවතට ගෙන ඒමෙහිලා ඔවුන් කළ කාර්ය සුළුපටු නොවේ.

කෙසේ වුව ද මෙහි පළවන්නේ ඔවුන්ගේ දෘෂ්ටියයි. රට එක්සේසත් කිරීම සහ එහි සමාජ දේශපාලන බලපෑම සලකා මෙම වර්ගීකරණය කර ඇතැයි සිතේ. "මෙහිදී තුන්වැනි වතාවට රට එකසේසත් කළ නායකයා ලෙස අප ජනාධිපති රාජපකෂ හඳුන්වන්නේ පළවැනි විජයබාහු, පළවැනි පරාක්‍රමබාහු, හයවැනි පරාක්‍රමබාහු රජතුමා, සීතාවක රාජසිංහ වැනි රජවරු ඒකීය රටක් තැනීමට කළ මෙහෙය අමතක කර නොවේ." යන ප්‍රකාශයෙන් සනාථ වන්නේ එයයි. එම ප්‍රකාශය සජීවගේ අවධානයට යොමු වී නැතැයි සිතේ.

රනිල් නමැති අපේ රටේ විරුද්ධ පක්ෂ නායකයා (මතක තබා ගන්න- ආණ්ඩුවේ නොව රටේ) ගැන රටේ බහුතරයක් ජනතාව තුළ ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ. බටහිර ගැති ඔහු පරාක්‍රමබාහු ගැන කතා කිරීම ද ඒ මහා සිංහලයාට කරන නින්දාවකි.

rahoocent හරියට ම හරි. මෙහි උඩ රට උසස් සිංහලයින් යනු ශ්‍රේෂඨ දෑ හිතකාමී සිංහලයින් යන අර්ථයෙහි නොව රට දැය පාව දෙන දේශද්‍රොහී කුලීනයින් යන අර්ථයෙන් යෙදී ඇත. ඔවුන් එදා මෙන් ම අද ද සිටිති. එදා මෙන් ම අද ද රට දැය පාව දී නේක වරදාන ලබති.

 
සිය රට දේ සිරි සැප දේ !