කළු ජූලියට අදට වසර 26 කි. මෙම ලිපිය ඒ අඳුරු මතකයන් පිළිබඳව කෙරෙන ආවර්ජනයකි.
අසූව දශකයේ උතුරේ සන්නද්ධ කණ්ඩායම් රැසක් සංවිධාන ගත වී සිටියේය. ඒ අතරින් එල්.ටී.ටී.ඊ. සංවිධානය දලුලමින් වැඩුණු අවදිය ලෙස නිසැකවම හැඳින්විය හැක. ප්රභාකරන් ඇතුළු කොටි සාමාජිකයන්ගේ ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීමට යාපනය නගරය පුරා නොයෙක් සැහැසිකම් සිදු කළේ මෙම යුගයේදීය.
1981 ඔක්තෝබර් 15 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවට විශේෂ දිනයකි. ඒ ජෙනරාල් තිස්ස ඉන්දික වීරතුංග යුද හමුදාපති ධුරය සඳහා දිවුරුම් දුන් හෙයිනි. එහෙත් ඒ විශේෂ දිනය අඳුරු වළා පටළින් වසා දැමීමට කොටි සංවිධානය අමතක නොකළේය. ඔවුන් ආණ්ඩු විරෝධී ත්‍රස්ත කණ්ඩායමක්a බව ඔප්පු කරමින් කොන්ඩාවිල් ප්‍රදේශයේදී බෝම්බයක් පුපුරුවා හැරියේය. ඒ ප්‍රහාරයේ සැලසුම්කරු ලෙස පෙරමුණ ගෙන කටයුතු කළේ එවකට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දෙවැනියා ලෙස සිටි චාල්ස් ඇන්තනී හෙවත් (සීලන් ය) ඔහු ප්රභාකරන්ගේ සමීපතම මිතුරාද විය.
කොටි සංවිධානය ඒ ප්‍රහාරයෙන් නොනැවතුණි. විටින් විට ත්‍රස්ත ප්‍රහාර රැසක් එල්ල කළේ එවකට පැවැති ආණ්ඩුවට අනතුරු ඇඟවීම් ලෙසය. ඒ හෙයින් ආරක්ෂක හමුදාවන්ටත්, පොලිසියටත් හානි සිදු නොවුණාම නොවේ. මෙවැනි ත්‍රස්ත ප්‍රහාර ආරක්ෂක ප්‍රධානීන්ට හිසදරයක් වී තිබුණි. කොටි සංවිධානය තිඹිරි ගෙයිම වළ දැමීමට ආරක්ෂක ප්‍රධානීන්ට අවශ්‍ය වුවත් ඒ සඳහා දූරදර්ශී නායකත්වයක් රට තුළ නොමැතිවීම කොටි සංවිධානයට වාසිසහගත විය.
කොටි සංවිධානය සතුව අවි ආයුධ එතරම් නොමැතිවීම ඔවුන්ගේ සංවිධානය ශක්තිමත් කිරීමට බාධකයක් වී තිබුණි. ඒ හෙයින් ආරක්ෂක අංශවලට විටින් විටි ප්‍රහාර එල්ල කරමින් ආයුධ එක්රැස් කිරීමට ඔවුහු උත්සාහ ගත්හ.
යාපනේ නගරයට දැඩි ආරක්ෂාවක් ලබාදීමට ආරක්ෂක බලධා`රින් කටයුතු කළේ මේ අවදියේදීය. යුද හමුදා නිලධාරීන්ගේ මෙන්ම සෙබළුන්ගේ ඒකායන අභිමතය වූයේ ප්රභාකරන් ඇතුළු කොටි සාමාජිකයන් කීප දෙනා විනාශ කිරීමය. ඒ සඳහා යුද හමුදා බුද්ධි අංශයට විශේෂ කාර්යභාරයක් ඉටුකිරීමට සිදු වී තිබුණි. ඔවුන් නොයෙක් ක්‍රම මගින් කොටි සංවිධානයේ තොරතුරු ලබාගත්තේය. ඔවුන්ගේ එක් බලාපොරොත්තුවක් සාක්ෂාත් වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. එනම් චාල්ස් ඇන්තනී හෙවත් සීලන් ඇතුළු කොටි සාමාජිකයන් පිරිසක් සැරිසරන බවට තොරතුරක් ලැබිණි. ඒ තොරතුරත් සමගම යුද හමුදාවෝ විදුලි වේගයෙන් ක්‍රියාත්මක වූහ. එම ත්‍රස්ත කණ්ඩායම දුටු සැනින් ඔවුන්ගේ ගිනි අවි ක්‍රියාත්මක වූයේ පළාතම භිතීයට පත් කරවමිනි. එක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් වෙඩි වැදී එතැනම ඇද වැටුණේය. අනෙක් කීප දෙනා හිස් ලූ ලූ අත දුව ගියත් සීලන්ට වැඩි දුරක් යන්නට හැකි වූයේ නැත. ඔහුත් මරු වැළඳගත්තේ නොසිතූ මොහොතකය. ඒ පුවත කොටි නායක ප්රභාකරන්ගේ කණ වැටීමත් සමගම දුක, වේදනාව, කෝපය, සිත තුළ දෝංකාර දෙන්නට විය. "මගේ මිත්‍රයා ඝාතනය කළ පළිය මම ගන්නවා" ප්රභාකරන් ඒ අවස්ථාවේ තම සාමාජිකයන් අමතා පවසා සිටියේය.
ප්රභාකරන් එතැන් සිට සීලන් ඝාතනය කිරීමේ පළිය ගන්න සුදුසු අවස්ථාවක් එන තෙක් සැලසුම් සකස් කළේය. ඔහු සිතා සිටියේ තම මිත්‍රයා මැරූ පළිය ගැනීම සඳහා ඔහුම ප්‍රහාරයක් එල්ල කළ යුතු බවයි.
කිඹුලා ගොදුරක් ලැබෙන තෙක් කට අයාගෙන සිටිනවා මෙන් ප්රභාකරන් තම ගොදුර එන මඟ රැකගෙන සිටියේය. එදා මහා අඳුරු මූසල දිනයකි. ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු ආරක්ෂක හමුදාවෝ යාපනේ සිට පේදුරුතුඩුව දක්වා ගමන් ආරම්භ කළේය. තිත්තවැලියට ළඟා වීමත් සමගම ඔවුන් ගමන් කළ ජීප් රිය සහ ට්‍රක් රථය ඉලක්ක කරගෙන බෝම්බ දෙකක් පිපිරිණි. ඒ සමගම තුන් පැත්තකින් වෙඩි වරුෂාවක් ද එල්ල විය. අපගේ රණවිරුවන් එකා පිට එකා ඇද වැටෙන විටත් ඔවුන්ගේ ගිනි අවි ක්‍රියාත්මක විය. ලුතිනන් වාස් ගුණවර්ධනගේ ගිනි අවියෙන් නිකුත් වූ උණ්ඩයක් කොටි සාමාජිකයකුගේ ලය පසාරු කරගෙන ගියේ ලුතිනන් වාස් ගුණවර්ධනටත් මරණය උරුම කර දෙමිනි. එම අවස්ථාවේදී තවත් 12 දෙනකු ඔහු සමග මරණයට පත් විය. කොටි ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයකින් යුද හමුදා නිලධාරියකු මියගිය පළමු අවස්ථාවද එය විය.
ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු සෙබළුන් 12 දෙනා කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය කළ පුවත රට පුරා පැතිර යැමත් සමගම සිංහල මිනිසුන් කෝපයට පත් වූහ. සෑම දෙමළ මිනිසකු කෙරෙහිම වෛරයක් ඇති විය. ඒ වෛරයේ ගිනි පුපුර ගිනි ජාලාවක් වෙයි කියා කිසිවෙක් නොසිතූහ.
ජූලි 24 වැනිදා කාලගුණයෙන් අඳුරු දිනයක් නොවුණි. එහෙත් ඒ දිනය මුළු දිවයිනටම අවාසනාවන්ත දිනයක් විය. එනම් ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු සෙබළුන් 12 දෙනාගේ මෘත දේහයන් කොළඹට රැගෙන ඒමට යෙදී තිබුණේ ඒ අවාසනාවන්ත දිනයේදීය. එදිනම යුද හමුදා ගෞරවාචාර මැද බොරැල්ල කනත්තේදී දේහයන් මිහිදන් කිරීමට සියලු විධිවිධාන සැලසුම් කළ තිබිණි. ඔවුන්ගේ ඥතීන්ටද එම අවස්ථාවට සහභාගිවීමට සියලු පහසුකම් ලබාදී තිබුණි. බොරැල්ල කනත්තම එකම ජන ගංගාවකින් පිරී ඉතිරී ගියේ එහි සිටි ජනතාව විශ්මයට පත් කරමින්ය.
එම අවස්ථාවට පැමිණි ඇතැම් පිරිස් පොලු මුගුරු රැගෙන "කොටි ත්රස්තවාදීන් මරාපියව්, උන්ට මේ රටේ ඉඩක් නැහැ. ශ්‍රී ලංකාවේ ජීවත් විය යුත්තේ සිංහලුන් පමණයි." යනුවෙන් කෑමෝර දෙන්නට විය. ගත වූයේ නිමේෂයකි. එහි සිටි සියලු ජනතාව ජාති ආලයෙන් මුසපත් වී සිටියහ. ඔවුන්ට අතට අහුවෙන්නේ කුමක්ද එය ඔවුන්ගේ ආයුධය බවට පත් විය. බොරැල්ල නගරයම එකම යුද පිටියකි. දමිළ ජනතාව සොය සොයා පහර දෙන්නට විය. කඩ සාප්පු ගිනි තැබූහ. ද්‍රවිඩ ජනතාවගේ අඳෝනාවෙන් බොරැල්ල නගරය දෝංකාර දෙන්නට විය. වාහනවලින් නැගුණු හෝන් ශබ්දයෙන් මුළු බොරැල්ලම එකම ගාලගෝට්ටියක් බවට පත් විය.
බොරැල්ල කනත්ත දෙසින් හටගත් ගිනි දැල් කොළඹ නගරය පුරා විහිද ගියේ නියං සමයට හේන් ගිනි තියන්නාක් මෙන්ය. මුළු කොළඹ නගරයම එකම අවුල් ජාලාවක් බවට පත් වීමට ගත වූයේ සුළු මොහොතකි.
දමිළ ජනතාවගේ විලාප හඬ කොළඹ නගරය පුරා පිළිරැව් දුන්නේය. එහෙත් ඒ හඬට සවන්දීමට ප්‍රකෝප වූ පිරිසවලට අවස්ථාවක් නොලැබිණි. අහිංසක දමිළ ජනතාව බඩ වියත රැකගත් කඩල කරත්තයේ සිට සුපිරි කඩ සාප්පුව දක්වා ගිනි බත් කළේ ඇතැම් අහිංසක දමිළ ජනතාව මරුමුවට ද පත් කරමින්ය. ඔවුන් මර බියෙන් හිස ලූ ලූ අත දිව යන්නට විය. එහෙත් ඔවුන්ව බේරාගැනීමට කිසිවෙක් සිටියේ නැත. ඔවුන්ගේ විලාප හඬට සවන් දෙන්නට කිසිවෙක් සිටියේ ද නැත. දමිළ දරුවන් තුෂ්ණිම්භූත වී ගල් ගැහි තැන් තැන්වලට ගුලි වී සිටියේ අපට මේ මොකක්ද වුණේ කියලා අසන්නට කෙනෙක් නැති හෙයින්ය.
බොරැල්ල කනත්තෙන් ඇරඹුණු ජාතිවාදී කෝළාහලය නමැති "කලු ජූලිය" මුළු දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට ද්‍රවිඩ විරෝධී පිරිස් කටයුතු කළේය. දමිළ ජනතාව බහුලව සිටි වැල්ලවත්ත, බම්බලපිටිය, දෙහිවල, රත්මලාන මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ කරාද භීෂණය ව්‍යාප්ත විය. ඒ ප්‍රදේශවල දමිළ ජනතාවගේ නිවාස, කඩ සාප්පු විනාශ විය. ඇතැම් දමිළ ජනතාව මරුමුවට ද පත් විය. ද්‍රවිඩ විරෝධීන් දිස්න දෙන කඩු, කිනිසි රැගෙන ප්‍රසිද්ධියේ
ඇවිද ගියේ කොස් කොටන්නට නොව අහිංසක ජීවිත විනාශ කිරීමටය. එහෙත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට එවකට සිටි රජය කටයුතු නොකිරීම විශ්මයට තුඩු දුන් හේතුවකි.
ජාති ආලයෙන් මුසපත් වූ පුද්ගලයන් මංකොල්ලකරුවන් බවට පත් වූයේ දමිළ ජනතාවගේ සුපිරි කඩ සාප්පු විනාශ කිරීමත් සමගය. එම කඩ සාප්aපුවල තිබූ බඩුබාහිරාදීය ගෝනි පිටින් ඔවුන්ගේ ගෙවල්වලට රැගෙන යැමට පසුබට වූයේ ද නැත. ඔවුන් එය ප්‍රසිද්ධියේ සිදු කළේය. එහෙත් ඔවුන්ව වළක්වන්න කිසිවෙක් සිටියේ ද නැත.
වැලිකඩ බන්ධනාගාරය තුළද ජාතිවාදී කැරලි කෝළහල ඇති විය. එහි සිටි ද්‍රවිඩ සැකකරුවන් රැසකගේ ජීවිත විනාශ කිරීමට සිරකරුවන් කටයුතු කළේ ඔවුන්ගේ සැහැසිකම් තවත් ඔප්පු කරමින්ය.
දිවයිනේ ඈත පිටිසර වතු ආශ්‍රීත ලැයිම් කාමර තුළ සිටි දමිළ ජනතාවට ද කළු ජූලියේ උණුසුම නොදැනුනා නොවේ. ඔවුන්ට ගුටි බැට දීමට ඇතැම් ගැමියෝ කටයුතු කළේ ඔවුන්ගේ හොර ජාවාරම් කරගැනීම සඳහායි. ලැයිම් කාමර තුළ සිටි අහිංසක මිනිසුන්ගේ කණ කර බඩු ද, ඔවුන් ළඟ හැදී වැඩුණු කුකුළන්, එළුවන් පවා ඔවුන් පැහැරගෙන ගියේ සතුන් කෙරේ ඇති වූ අනුකම්පාව නිසා නොව ඔවුන්ගේ සාහසිකත්වය පෙන්නුම් කිරීමටය.
එහෙත් එවකට සිටි රජය කිසිදු පියවරක් නොගත්තේය. මෙම අවාසනාවන්ත සිද්ධිය සිදු වූ දිනම ඇදිරි නීතිය පැනවීමට රජයට පුළුවන්කමක් තිබුණද රජය එය ක්‍රියාත්මක කළේ 26 වැනිදාය. එයින් හැගී යන්නේ භීෂණය කෙරෙහි රජය දෙබිඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ බව නොවේද?
කළු ජූලියේ අනිසි ප්‍රතිඵලයක් ලෙස කොළඹ අවට ප්‍රදේශවල දමිළ ජනතාව විශාල සංඛ්‍යාවක් අනාථයන් ලෙස අනාථ කඳවුරුවලට සීමා විය. තවත් පිරිසක් මරණයට පත් විය. ඇතැම් පිරිස් රෝහල්ගත කෙරිණි.
කළු ජූලියෙන් නැගුණු ගිනි දැල්වල උණුසුමෙන් ද, දමිළ ජනතාවගේ ශාපයෙන් ශ්‍රී ලංකාවට අඳුරු යුගයක් උදා විය. ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර රටවල් ශ්‍රී ලංකාව දෙස වපර ඇසින් බලන්නට විය. ඔවුන් ශ්‍රී ලංකාව ජාතිවාදීන් ලෙස සැලකූහ. දමිළ ජනතාව ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට යන්නට උත්සාහ දැරූහ. එම යුගයේ විදෙස්ගත වූ ඇතැම් දමිළ ජනතාව අදත් මවු බිමට පැමිණීමට අකමැත්තෙන් සිටිති.
කළු ජූලියේ වාසිය අත් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයටයි. ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබිණි. ආධාර උපකාර ලැබිණි. ඔවුන් ඒ තුළින් ඔවුන්ගේ සංවිධානය ශක්තිමත් කර ගැනීමට කටයුතු කළේය.
මනස විකෘති වූ ප්රභාකරන් නමැති අධමයාගේ ම්ලේච්ඡ ක්‍රියා නිසා දකුණේ අහිංසක දමිළ ජනතාව කුමක් කරන්නද? එය තේරුම් ගැනීමට එවකට සිටි පාලකයන්ට නොහැකි වූයේ ඇයි. එවකට පැවැති ඡේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයත්, ඇතැම් බඩගෝස්තරවාදී දේශපාලනඥයන්ගේ යටිකූට්ටු අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහාත් කළු ජූලිය නමැති ජාතිවාදී කෝළාහලය නිර්මාණය විය.
එහෙත් වෙනත් අයගේ කර මතට එය පැටවීමට ඔවුන් කටයුතු කළේ මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින්ය. "කොළඹ හා දිවයිනේ ප්‍රදේශ කිහිපයක හට ගෙන ඇති කැරලි කෝළහල සංවිධානාත්මක පිරිසකගේ ක්‍රියාවක් ලෙස සැක කළ හැකි බව" කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා ප්‍රකාශ කර සිටියේය. එහෙත් ඔවුන්ට එය වසන් කිරීමට නොහැකි විය. ජනතාව සක්සුදක් සේ කළු ජූලියේ නිර්මාණකරුවන්ව දැන සිටියේය.
අද අපට නිවැරැදි නායකත්වයක් ඇත. සියලුම ජන කොටස් එකම ශ්‍රී ලාංකිකයන් කියා සිතමින් ජීවත් වන යුගයක් අපට උදා වී ඇත. ඒ හෙයින් නැවත ශ්‍රී ලංකාව තුළ ජාතිවාදී කෝළාහල ඇති නොවෙයි. එවැනි අඳුරු මතකයන් නැවත ශ්‍රී ලංකාද්වීපයට ඇති නොවේවායි පතමු.
තරංග රත්නවීර
(දිවයින_09/07/23)
ටිප්පණිය_කළු ජූලිය අහේතුක නොවේ. එහි මුල් බිජුවට පිරපාහරන් පැල කළේ ය. ඔහුට ඒ බිජුවට ලැබුණේ ජාතිවාදී ද්‍රවිඩ නායකත්වය වෙතිනි.එය අතු ඉතිලා වැඩෙන්නට අවැසි සාධක එවකට රට පාලනය කළ එජාපයේ අම්බරු නායකත්වය විසින් සපයන ලදි. නියපොත්තෙන් කඩා විසි කළ හැකිව තිබූ වැල්වැටිතුරේ හොර බඩු ජාවාරම්කාර පාතාළයින්ගේ ත්‍රස්තවාදයෙන් රටට තිස් වසරක් දුක් විඳින්නට වූයේ ඒ නිසා ය.
කෙසේ වුව ද ත්‍රස්තවාදය සහ ද්‍රවිඩ ජනතාව යනු දෙපිරසක් බව අනතුරුව සිංහල ජනතාව අවබෝධ කරගත්හ. එහෙයින් 1983ට පසු කිසි කලෙක පිරපාහරන්ගෙන් පළිගැනීමට දකුණේ ද්‍රවිඩ ජනතාවට පහර දෙන්නට සිංහලයෝ නොසිතූහ. එය කුඹුර පාළු කළැයි ගෙදර මුව මහට තඩි බෑමක් පමණකි. දැන් සියල්ල අවසාන ය. සියලු බේද හමස් පෙට්ටියට විසි කර රට වෙනුවෙන් එහි දියුණුව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් ලෙස අත්වැල් බැඳගත යුතු සමය එළැඹි ඇත.
Wednesday, July 22, 2009
Subscribe to:
Post Comments (Atom)
1 comment:
ඔබේ කතාව සහතික ඇත්ත . . ගියදේ ගියා . . අද ඉදන් වත් අපි හෙට ගැන හිතමු . . . !
Post a Comment