Sunday, July 12, 2009

ෆෙඩරල්වාදී දේශපාලන නාට්‌ටාමිලා

අපි පළමුවෙන්ම විමසා බැලිය යුතුයි අද අපිට මේ ෆෙඩරල් උගුල පරදනවාද, අහුවෙනවාද වගේ, සාකච්ඡාවකට අවතීර්ණ වීමට බලපෑ හේතු කාරණා ගැන. අපි කවුරුත් දන්නවා මිනීමරු ත්‍රස්‌තවාදය පරාජයට පත් කිරීමත් සමඟ දේශපාලන භූමියේ විශාල වෙනස්‌කම් ඇති වී තිබෙනවා. යුද්දේ තිබුණේ උතුරේ සහ නැගෙනහිර වුණාට ඒ යුද ජයග්‍රහණය විසින් දකුණු ඉන්දියාවේ කරුණානිධි මහත්තයාගේ මොලේ වැඩ කරන ආකාරය පරිවර්තනයක්‌ සිද්ධවෙලා තියනවා. මේ අලුත් තත්ත්වය කවරාකාර අලුත් තත්ත්වයක්‌ද කියනවා නම් පසුගිය දිනවල එල්ටීටීඊය බේරා ගැනීම සඳහා වායුසමීකරණ යන්ත්‍ර මැද උපවාසයක නියෑලුණු කරුණානිධි මහත්තයට සිදුවී තිබෙනවා දෙමළ ඊළාම් සටන දැන් ඉතින් වලංගු නෑ... දෙමළ ජනතාව රජය සමඟ එකතුවී අයිතිවාසිකම් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි කියලා එතුමාගේ කටින්ම කියන්න. අලුත් තත්ත්වයක්‌ අපි ඉදිරියේ නොතිබුණා නම් මේ අලුත් කතාව ඉදිරියට එන්නේ නෑ. ඒ විතරක්‌ නෙමෙයි. පසුගිය සතිය තුළ කැඳවපු සර්ව පාක්‌ෂික සමුළුවට දෙමළ සන්ධානේ නියෝජිතයෝ ආවා. පළමු වතාවට ලංකාවේ සියලු පක්‌ෂවල නියෝජිතයන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇවිත් ඒ මේසෙ වටේ වාඩිවුණා.

ඒ අලුත් තත්ත්වය විසින් කරන බලකිරීම මත සමහරු එන්නේ බලකිරිම ප්‍රබල නිසා මිසක්‌ එන්න ඕන නිසා නෙමෙයි. නමුත් නෑවිත් බැරි නිසා එනවා. පරණ තත්ත්වෙ නම් තිබුණේ මේ දේවල් මෙහෙම වෙන්නේ නෑ. දැන් අපි ඉන්නෙ තිබුණු පැරණි තත්ත්වෙ අංශක එකසිය අසූවකින් වෙනස්‌ වූ අලුත් තත්ත්වයක්‌ තුළ. දැන් මේ අලුත් අවස්‌ථාව තමන්ගෙ න්‍යාය පත්‍රයට අනුව, තමන්ගෙ අරමුණට අනුව පාවිච්චි කරන්න දෙගොල්ලක්‌ උත්සාහ කරනවා. මේ එක බලවේගයක්‌ තමයි ගතවූ 30 වසරක ඉතිහාසය ඇතුළෙ මේ රටේ ෆෙඩරල්වාදී මතය වපුරන්න කටයුතු කරපු අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධානවල හුරතලුන් වුණු රටට හතුරු බලවේගවල දේශපාලන නාට්‌ටාමියන් බවට පත්වුණු, ඒ අය උත්සාහ කරනවා මේ අවස්‌ථාව ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුකූලව කළමනාකරණ කරන්න. ඔවුන් පිරබාහරන් ජීවතුන් අතර සිටින විටත් ඒ අරමුණින් වැඩකළා. ඒ කාලෙ කිව්වා ලෝකෙ බලසම්පන්නම ත්‍රස්‌තවාදී සංවිධානය, ඒක පරාජය කරන්න බෑ. අපේ හමුදා මෙහෙයුම් සියල්ල අසාර්ථකයි. තවත් ජීවිත විනාශ කරන්න බෑ. ඒ නිසා වහාම මේ ප්‍රශ්නයට සන්ධීය විසඳුමක්‌ ඇති කළ යුතුයි කියලා. මේ මතවාදය වපුරපු කල්ලියේ සමහරු අද ඉන්නවා ඔළුව වැල්ලෙ හංගගෙන, තව සමහරු ජාත්‍යන්තර බලවේගවලට විකුනන්න පුළුවන් මොනවද කියලා හොයමින් ඉන්නවා. ඒ මොකුත්ම නැති තව කණ්‌ඩායමක්‌ තමන් දන්න මේ එකම ෆෙඩරල් මාතෘකාව වමාර වමාර බුදින තත්ත්වයක්‌ ඇතිවෙලා තිබෙනවා.

එදා පිරබාහරන් ඉන්න කොට ඔවුන් කීවේ පරද්දන්න බෑ. ඒ නිසා සාමය හදන්න මෙය බෙදමු කියලා. අපත් කියනවා මේ ඇතිවූ සාමය කල් පවත්වන සාමයක්‌ කරන්න, නැවත පිරබාහරන් කෙනෙක්‌ උපදින එක වලක්‌වන්න බලය බෙදමු කියලා. අපි දන්නෑ තිස්‌ස විතාරණ මහත්තයා කාට කියලාද ඒ පේනේ බලාගත්තේ කියලා. එදා මොවුන් සමාජය බය කළේ පිරබාහරන්ගේ මිල්ටරි බලය, මරාගෙන මැරෙන සෙබළු, මුහුදු කොටි, මුදල් බලය, අන්තර් ජාතික දෙමළ ප්‍රජාව, පෙන්නලා, එදා ඒවා හරහා තමයි මේ සමාජය බය කරලා කොඳු කඩලා වේලුපිල්ලේ පිරබාහරන්ට මේ පොළවෙන් 1/3 ක්‌ දන්දෙන තැනට මේ රට අරගෙන යන්න හැදුවේ.

මේ යුද විරෝධීන්ට, සාමවාදීන්ට, ෆෙඩරල් වාදීන්ට තමයි අන්තර් ජාතික ප්‍රජාවේ මතවාදී මෙහෙයුම බාරදුන්නේ. ඒක සාර්ථක වුණේ නැහැ. ඒවා පරාජය කරන්න මේ රටේ ජාතික දේශප්‍රේමී බලවේගවලට පුළුවන්කම ලැබුණා. ඉතිහාසයේ මේ පරිච්ඡේදය ජාතියට අවශ්‍ය පරිදි පරිසමාප්ත අර්ථයකට අරගෙන ඇවිත් තියෙන්නේ මේ රටේ ජාතික බලවේග විසිනුයි. ඒ නිසා අපි මේ ප්‍රශ්නයට අවතීර්ණ වෙන්න ඕන ජයග්‍රාහී කඳවුරක මානසිකත්වයෙන් මිසක්‌ අසරණ වූවන්ගේ කඳවුරක මානසිකත්වයෙන් නෙමෙයි. අද අර අන්තර් ජාතික බලවේගවල දේශපාලන නාට්‌ටාමියන් ටික ඒ ද්‍රෝහී නඩය ඉන්නේ පරාජය වූවන්ගේ පිලේ. ඔවුන්ගේ මතවාදය න්‍යාය පත්‍රය දැන් පරාදයි. ස්‌කැන්ඩිනේවියානු රටවල් රාජ්‍ය නොවන සංවිධානවලට දුන්න සල්ලි මූදේ දැම්මා වගේ. නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයට, කුමාර් රූපසිංහගේ සහජීවන ව්‍යාපාරයට, තිස්‌ස විතාරණ මහත්තයා සමීපව ඇසුරු කරන බර්ශොෆ් පදනමට යූ. ඇන්. පීයෙන් පසුගිය ඡන්දෙට ඉදිරිපත් වුණු ශිරාල් ලක්‌තිලකට, පාක්‍යසෝති සරවනමුත්තුට කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි දුන්නේ මේ රට බෙදාගන්න. ඒත් ඔවුන්ට බැරි වූණේ ඒ සල්ලිවලින් මේ රටේ ඉරණම තීරණය කරන්න. ඒක සුඩානයේ, සයිබීරියාවේ, නැගෙනහිර ටිමෝරයේ සාර්ථක වුණා. ඒත් ශ්‍රී ලංකාවේ ඒක කරන්න බැරිවුණේ මේ රටේ දේශප්‍රේමී ජාතිකවාදී බලවේග මේ රට ඇහැරවලා පුබුදුවලා සියලු බලවේග මේ ද්‍රෝහී මෙහෙයුමට එරෙහිව කළමනාකරණය කරන්න පුළුවන් වෙච්ච හින්දා.

දැන් මේ අපි හමුවේ ඉන්නේ ජාතිය විශිෂ්ට විජයග්‍රහණයක්‌ කරා රැගෙන ආපු බලවේගයක්‌ මිසක්‌ පරාජිත බලවේගයක්‌ නෙමෙයි. ඒ අභිමානය, ජයග්‍රාහී මතය අපට තියෙන්න ඕනේ. ඕනම ෆෙඩරල් අවතාරෙකට හොල්මනකට මුහුණ දෙන්න අපට පුළුවන් වෙන්න ඕනේ. පිරබාහරන්ගේ මිනීමරු බෙදුම්වාදී ත්‍රස්‌තබලය කුඩු පට්‌ටම් කරන ලද මේ රටේ දේශප්‍රේමී බලවේගවලට තිස්‌ස විතාරණලගෙ කිඹුහුම් පයිසෙකට ගණන් ගන්න දෙයක්‌ නෑ කියන පදනමින් තමයි මේ ජාතික දේශප්‍රේමී බලවේග එකට එකතු වෙලා තියෙන්නේ. ඒ මහා ජයග්‍රාහී මනසින් යුතුවයි මේ මාතෘකාව අපි අපේ සාකච්ඡාවට ගත්තේ. අද මේ අන්තර් ජාතික බලවේගවල දේශපාලන නාට්‌ටාමිලාට ප්‍රධාන අරමුණු තුනක්‌ ඉටු කරගන්න අවශ්‍ය වෙලා තිබෙනවා. එකක්‌ තමයි හැකිනම් මේ රට සන්ධීය ක්‍රමයක්‌ කරා රැගෙන යන්න. යුද්දෙ ඉවර වුණා විතරයි රාජිත සේනාරත්න මහත්තයා ස්‌වාධීන රූපවාහනියට ඇවිල්ලා කියනවා දැන් ජනාධිපතිතුමා අපේ නායකයා වෙලා ඉවරයි. දැන් එතුමාට තියෙන්නේ ෆෙඩරල් විසඳුමක්‌ ගෙනත් අන්තර් ජාතික නායකයෙක්‌ වෙන්න කියලා. කොහොමද ෆෙඩරල් විසඳුමක්‌ ගෙනාවා කියලා රටේ නායකයා අන්තර් ජාතික නායකයෙක්‌ වෙන්නේ. එතකොට ලංකා සිතියමේ හැඩේ වෙනස්‌ වෙලා ලෝක සිතියම වගේ වෙනවද? මේ කියන්නේ බටහිර බලවේග කැමැති දේ කළොත් ජනාධිපතිතුමනි ඔබට ලෝක නායකයෙක්‌ වෙන්න පුළුවන් කියලා. මේ ලණුවම තමයි චන්ද්‍රිකා නෝනා වටේ හිටපු ෆෙඩරල්වාදියෝ ටික එතුමියට කැව්වෙත්. චන්ද්‍රිකා නෝනා මේ ලණුව අඹරන්නත් කලින් ගිල්ලා. ගිලලා ඇතුළෙදි තමයි අඹර ගත්තේ. අන්තිමට එතුමියට ලෝක නායකකම කෙසේ වෙතත් හඟුරන්කෙත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ශාඛා සමිතියේ නායකත්වයවත් බේරගන්න බැරි වුණා. මේ ලණුව ගිලින කාට වුණත් වෙන්නේ ඕකයි. සමහරු හදනවා ජනාධිපති තුමාටත් මේ ලණුව අඹරන්න. නමුත් ජනාධිපතිතුමා පැහැදිලිවම "හින්දු" පුවත්පතට කියලා තියනවා ලංකාවට ෆෙඩරල් ක්‍රමය ගේන්න අපට වුවමනාවක්‌ නෑ කියලා.

මේ විදිහට අන්තර් ජාතික බලවේග හදනවා පුළුවන් නම් රට සන්ධීය ක්‍රමයකට ගෙනියන්න. දැන් ඒක බැරිවුණා.

මේ බැරි බව අද ඔවුන් දන්නවා. එදා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ තිබ්බ රැස්‌වීමෙදි තිස්‌ස විතාරණට ජනාධිපතිතුමා බැණලනේ ගියේ, "මොනවද තිස්‌ස මේ වෙලාවේ ෆෙඩරල් ගැන, බලය බෙදිලි ගැන කතා කරන්නේ කියලා. තිස්‌ස විතාරණ මහත්තයට උකුණු හිසක තරම්වත් මොළයක්‌ තියනවා නම් ඒ ප්‍රතිචාරවලින් තේරෙනවා බලය බෙදීම අසාර්ථක ව්‍යාපෘතියක්‌ බව. ඒත් මේකෙන් එක දෙයක්‌ පේනවා. මේ 13 වෙනි සංශෝධනයෙන් හරි වෙන මොකකින් හරි මේ බෙදමු බලය, බෙදමු බලය කියන කථිකාව, එක්‌ක ජාතිය භේද බින්න කිරීමේ අවස්‌ථාව ඔවුන්ට ලැබෙනවා. රටේ ඇතිවිය යුතු සමගියට බාධා එල්ල වෙනවා. ආණ්‌ඩුව තුළ විවිධ මත ඇති වෙනවා. මත අතර ගැටුම් ඉස්‌මතු වෙනවා. රටේ දේශපාලන සාකච්ඡාව මේ අලුත් තත්ත්වයට අවශ්‍ය සාකච්ඡාවක්‌ බවට පත්කර ගැනීම වෙනුවට මේ පරණ මාතෘකාව වටේ රොත්ත ගහන තත්ත්වයක්‌ ඇති වෙනවා. ඒක තමයි දැන් උන්නැහෙලාට අවශ්‍ය. දැන් අපි මේ ඒකට එරෙහිව කරන්නෙත් ඒකම තමයි. ඒ නිසා අපි මේ සාකච්ඡාවන්ට යන්න ඕන මේක ඉක්‌මනින් අවසාන කිරීමේ ඉලක්‌කය ඇතුවයි. නැත්නම් අපිත් ඒකට අහුවුණා වෙනවා. අද ජාතික ව්‍යාපාරයට තියන වගකීම තමයි මේ උගුලේ පැටලෙන්නේ නැතුව මේ සාකච්ඡාවට දෙන්න තියන හොඳම මිසයිල ප්‍රහාරෙ එල්ල කරලා ඉක්‌මනින් මේක අවසන් කරන එක. අද ජාතික ව්‍යාපාරේ හමුවේ තියෙන්න ඕන සාකච්ඡාව මේක නෙමෙයි. ඒ අර්ථයෙන් තිස්‌ස විතාරණලා මෙතෙන්දි සාර්ථක වෙලා තියෙනවා. අද අපේ දේශපාලන ශ්‍රමය යම් තරමකින් හෝ මේ පරණ යල්පැනගිය සාකච්ඡාව වෙනුවෙන් වැය කරන්න වෙලා තියනවා. ඒ අතින් අද අන්තර් ජාතික බලවේග සාර්ථකයි. මේ සමගම බැඳුණු ඔවුන්ගේ ඉලක්‌කය තමයි ජාතිය හමුවේ නිර්මාණය වූ මේ ස්‌වර්ණමය අවස්‌ථාව අපතේ යෑවීම, මේ අවස්‌ථාවේ නිර්මාණය විය යුතු සාකච්ඡාව නිර්මාණය වීම වළක්‌වන එක. ඒ දුෂ්ට බලවේගවල ඉලක්‌කය ඒක නම් අපි මොකක්‌ද කරන්න ඕන.

ජාතිය බේදබින්න කරන රට නොබෙදුනත් මේ සමාජය භේද බින්න කරන මේ පරණ හනමිටි මාතෘකාවෙන් අද ජාතිය එළියට ගන්න ඕන, 13 වටේ කැරකෙමින් ශ්‍රමය අපතේ යෑවීමට ජාතියට ඉඩ දෙන්නේ නැතුව අපි මේ මාතෘකාවෙන් ජාතිය ගලවා ගැනීමට මුළු ශක්‌තිය යොදවන්න ඕන. අලුත් තත්ත්වය විසින් ඉල්ලන අලුත් මාතෘකා මගින් මේ පරණ මාතෘකාව යට කරලා දාන්න ඕන. 13 ධනද 13 සෘනද කියලා ඒක වටේ කැරකෙනවා වෙනුවට 13 ස්‌වාභාවිකවම කාලක්‍රියා වන ආකාරයට කටයුතු කරන්න ඕන මේ අබල දුබල වෙලා තියන එකකට ගහලා මරලා මිනීමැරුම් චෝදනා ගන්න යන්නෙ නැතුව. ස්‌වභාවිකව කාලක්‍රියා කරන්න ඒකට ඉඩදීලා 13 න් වහාම මේ සාකච්ඡාව ගෙනියන්න ඕන. දැන් සර්ව පාක්‌ෂික සමුළුව ඒ අර්ථයෙන් අලුත් ප්‍රවේශයක්‌. ඒකෙන් අලුත් මාතෘකාවක්‌ ගෙනාවා. සංවර්ධනය හා ප්‍රතිසංවිධානය, ඒක අලුත් තත්ත්වය විසින් ඉල්ලා සිටින මතෘකාව, දැන් අලුත් සර්ව පාක්‌ෂික සමුළුව විසින් තිස්‌ස විතාරණගෙ පරණ සර්ව පාක්‌ෂික කමිටුවේ භූමිකාව අභාවයට යවලා තිබෙනවා. දැන් කවුරුහරි ගිහින් එතුමගෙන් ඇහුවොත් මේක අභාවයට ගියාද කියලා එතුමා ඒක පිළිගන්නේ නෑ. එතුමා තමන්ගේ සුපුරුදු සතුට සොයාගෙන යන්න හැමදාම මේක කෙටුම්පත් කර කර ඉන්නවා. හරියට අර පොඩි ළමයි වැල්ලෙ මාලිගා කෝම්පිට්‌ටු හදනවා වගේ. ඒ එතුමගෙ සතුට. නමුත් අද අලුත් සර්ව පාක්‌ෂික කමිටුව ඔප්පු කරලා ඉවරය පරණ එක යල්පැන ගියා කියලා. පරණ එක වංලගු නම් මොකටද අලුත් සර්ව පාක්‌ෂික සමුළුවක්‌. දැන් වෙන්න ඕන ඒක තමයි. අලුත් සර්ව පාක්‌ෂික කමිටුවෙන් පරණ එක යටපත් කළා වගේ දැන් අලුත් මාතෘකාවෙන් පරණ මාතෘකාව යටපත් කරන්න ඕන. මේ රටේ දේශප්‍රේමී බලවේග අද ඉන්නේ ඒ හැකියාව සහිත භූමියක. ඔවුන් අද ඉන්නේ දිනපු බලවේගයක්‌ හැටියට. ඒ නිසා දැන් අපි ඉන්නේ පරණ සටන් කලාවෙන් ප්‍රශ්න විසඳ ගන්න ඕන තැනක නොවෙයි. ඊට වඩා දියුණු සටන් කලාවකින් සතුරා මැඩපවත්වන්න පුළුවන් තැනකයි ජාතික දේශප්‍රේමී බලවේග ඉන්නේ. ඒ දියුණු සටන් කලාවෙන් සතුරා පැරදවීම කියන්නේ මොකක්‌ද? ජාතිය භේද බින්න කරන පරණ මාතෘකාව යට කරලා මේ රට ඉල්ලා සිටින මේ සාමකාමී වාතාවරණය විසින් සිංහල දෙමළ මුස්‌ලිම් සියලු ජනයා සමගි කරන තැනකට මේ රට අරගෙන යන්න ඕන. ඒ සාකච්ඡාව 13 නෙමෙයි. ඒ සාකච්ඡාව ෆෙඩරල් නෙමෙයි. ඒක පරණ සාකච්ඡාව. ඒ පිරබාහරන් ජීවතුන් අතර ඉන්න කාලෙ සාකච්ඡාව. දැන් සාකච්ඡාව මේ රටේ ආර්ථික සංවර්ධනය, යහ පාලනය, අපේ රටේ අධ්‍යාපනය මේ ජාතියට සරිලන එකක්‌ බවට පෙරලා ගැනීම, අද ජාතික කොඩි වන වන හිටියට මේ රටේ අධ්‍යාපනයෙන් එළියට දාන්නේ ජාතික දේශප්‍රේමී මනසක්‌ සහිත දරුවෙක්‌ නෙමෙයි. ඒ නිසා මොන විජයග්‍රහණ ලැබුවත් මේක නම් අපි නිපදවන සමාජය ඕන නම් වෙන අයට ඉදිරියේදී ෆෙඩරල් කරගන්න පුළුවන් සමාජයක්‌ වේවි.

අනාගත පිරබාහරන් කෙනෙක්‌ බිහිවේවි කියලා දැන් බය විය යුතු නෑ. එහෙම බිහි වෙන්න කිසිම ඉඩක්‌ නෑ. මොකද ඔවුන් මේ කෑවේ එසේ මෙසේ කෑමක්‌ නොවෙයි. කොටි සංවිධානයේ අරමුණු මොනවා වුණත් ඔවුන්ගේ තිබුණ බලයට සරිලන මොලයක්‌ පිරබාහරන්ට තිබුණේ නෑ. ඇන්ටන් බාලසිංහම්ට ඒ මොලේ තිබුණා. ඒත් බලය තිබුණේ පිරබාහරන්ට. බලය තිබුණ පිරබාහරන් ඒ බලය පාවිච්චි කරලා, ඒ මගින් තමන්ට අවශ්‍ය ගිවිසුමට ගිහින් එමගින් තම අරමුණු සාක්‌සාත් කර ගන්න තිබුණ අවස්‌ථාව අහිමි කරගත්තා. මම මේ කියන්නේ ඒ මොළේ නොතිබීම ගැන සතුටෙන්. තිබුණා නම් අපි ඉවරයි. බාලසිංහම්ට ඒ මොලේ තියෙන්න ඇති. ඒත් පිරබාහරන්ට තිබුණේ නෑ. ඒ නිසා තමයි ඔහු තමන්ගේ බලය පිළිබඳ අධි තක්‌සේරුවකට ඇවිල්ලා අන්තිමේදි රොත්ත පිටින්ම සුද්ධ වෙලා යන තැනට වැඩ සලස්‌වා ගත්තේ. ඒ අතින් කොටි ලෝකේ ඉන්න බලවත්ම ත්‍රස්‌තවාදී සංවිධානය වගේම ලෝකෙ ඉන්න අඥනම ත්‍රස්‌තවාදී සංවිධානයත් තමන් බව සනාථ කළා. නැත්නම් ලෝකෙ හැම ත්‍රස්‌ත සංවිධානෙකම කවුරු හරි නායකයෝ ටිකක්‌ ගියාම තව නායකයෝ ටිකක්‌ ඉතුරු වෙනවා. ඒ වුණාට අද කොටි පුළුටක්‌ නෑ. ඒ නිසා නැවත එවැනි පිරබාහරන් කෙනෙක්‌ ගැන භීතිකාවක්‌ මේ සමාජය ඇති කර ගත යුතු නෑ. ඒ නිසා අද තීරණ ගන්න ඕනෙ යළි උපදින පිරබාහරන් කෙනෙක්‌ ගැන හිතලා නෙමෙයි. තීරණ ගන්න ඕනේ මේ අවස්‌ථාව දේශය ගොඩනංවන්න, ආර්ථිකය සංවර්ධනය කරගන්න, නීතිය, සාමය ආරක්‌ෂා කරන්න යහ පාලනය ගොඩනංවන්න මේ රටේ හැකියාව ශක්‌තිය අපතේ නොයවා ජාතික ඉලක්‌ක කරා ළඟාවෙන්න පාවිච්චි කළ යුත්තේ කොහොමද කියන එක ගැන හිතලා. අද අපි ඊට අවශ්‍ය මහා සමාජ දේශපාලන කථිකාවට පණ දෙන්න ඕන. අද මේ මාතෘ භූමිය දිනවන තැනකට රට අරගෙන ආපු දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයත් ඉතුරු අභියෝග දිනන තැනට මේ රට අරගෙන යන්න නම් ඒකට සරිලන සාකච්ඡාවට පණ දෙන්න ඕන. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අප හමුවේ ඇති මේ ස්‌වර්ණමය අවස්‌ථාව, මේ අවස්‌ථාව විසින් ඉල්ලා සිටින මහා මඟ පෙන්වීම, මහෞඔෂධ භූමිකාව, ජාතිය අපේක්‌ෂා කරන භූමිකාවට අද අපි පණ දෙන්න ඕන. ඒක කරන්න පුළුවන්, කළ හැකි දේශප්‍රේමී බලවේගයක්‌ ජීවමානව සිටින රටකයි අද අපි මේ සාකච්ඡාව කරන්නේ. අන්න ඒ සාකච්ඡාවට පණ දෙමින් මේ මාතෘ භූමිය ඉදිරිපිට වන්දනීය පූජනීය මව් පොළව ඉදිරිපිට නිර්මාණය වී තිබෙන සෙසු අභියෝගත් ජයග්‍රහණය සඳහා එක්‌ රොක්‌ වෙමු. සමගි වෙමු. දැනුවත්ව ඥනාන්විතව ඒ අභියෝගය කරා ජාතිය රැගෙන යමු කියන ආරාධනාව කරමින් මම මේ වචන ස්‌වල්පය අවසන් කරනවා.

ජා.නි.පෙ. සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

(ඉරිදා දිවයින_09/07/12)

පසුවදන_කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමග අභාවයට යා යුතුව තිබූ හම්පඩ මාතෘකාවක් ගැන නැවත නැවත ලිවීමට සිදුවීම අවාසනාවකි. බෙදුම්වාදයට විසඳුම් ලෙස 1987 ගෙන ආ අසාර්ථක යෝජනාවල ඉදිරි දිගුවක් ලෙස ක්‍රියාත්මක වන මේ ෆෙඩරල් උමතුව වහාම කරළියෙන් එළියට විසි කර නැවුම් රටේ නැවුම් මගක් ඔස්සේ සිංහල දෙමළ මුස්ලිම් සියල්ලන්ට සදාතනිකව ඒකීය රටක සමගියෙන් ජීවත්වන්නට ඉඩ හසර සලසන තිර විසඳුම කරා රට ගෙන යා යුතුය. ඒ අන් කිසි මගක් නොව රටේ සංවර්ධනය සහ පරිපාලනය ගම්දනව්වලට බෙදාහැරීමයි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !