Thursday, July 30, 2009

පිරිහුණු අධ්‍යාපනයේ අඳුරු අනාගතය

අද ශ්‍රී ලංකාවේ දූෂිතම අංශය පොලිසිය නොව අධ්‍යාපනය වන අතර එහි වරද අධ්‍යාපන ඇමැතිවරයාගේ නොව 1970 දී බලයට පත් සමගි පෙරමුණ ආණ්‌ඩුව බව අවධාරණය කරමින් අද මේ තීරුව ආරම්භ කරමු. සිංහල ළමයා ඉතිහාසයක්‌ නැති ළමයකු බවට පත් කරමින් ඒ ආණ්‌ඩුව ඉතිහාස පාඩම විෂය මාලාවෙන් ඉවත් කළේ ය. සිංහල ළමයා භාෂාවක්‌ සහ සාහිත්‍යයක්‌ නැති ළමයකු බවට පත් කරමින් ඒ ආණ්‌ඩුව සිංහල සාහිත්‍යය පාඩම විෂය මාලාවෙන් ඉවත් කළේ ය. සිංහල ළමයා ප්‍රජාචාරය සහ භූගෝල විද්‍යාව නො දන්නා ළමයකු බවට පත් කරමින් ඒ ආණ්‌ඩුව ඒ පාඩම් දෙකම විෂය මාලාවෙන් ඉවත් කළේ ය. 1977 දී බලයට පත් උගත් නීතිඥ ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා බුද්ධ ධර්මය, සිංහල භාෂාව හා සාහිත්‍යය ගැන ඉංගිරිසියෙන් කියෑවූ විද්වතකු වූ බැවින් මේ රටේ අනාගත පරපුර අධ්‍යාපනයේ පිරිහීම නිසා විනාශ මුඛයට යමින් සිටින බව තේරුම් ගත්තේ නැත. එතුමා දුටුවේ එකම සිහිනයකි. ඒ ශ්‍රී ලංකාව සමාන්තර සිංගප්පූරුවක්‌ හෙවත් ආසියානු ආර්ථික බලවතකු බවට පත් කිරීමේ සිහිනයයි. ප්‍රභාකරන් පළමුවන බෝම්බය පිපිර වූ සැණින් ඒ සිහිනය කැබලි වී ජනතාවගේ හිස මතට පහත් විය. එයින් ඔලු තුවාල කරගත් අපි එදා සිටම විශ්ව ගම්මානය, ගෝලීයකරණය, පිටරටින් ගෙන්වන කදිම ක්‍ෂණික ආහාර මිලට ගැනීමට වත්කමක්‌ නො තිබීම සහ ඒ වත්කම ලබා ගැනීම සඳහා කෙසේ හෝ මුදල් සොයන ආකාරය ගැන කල්පනා කරමින් සිටියෙමු. ඒ අතර ලෝකය වෙනස්‌ වී, කාලය තවදුරටත් ඉදිරියට ගොස්‌ සා. පෙළ ගණිත විෂයයෙන් ළමයින් 45% ක්‌ අසමත් වන්නට පටන් ගත් විට සියලු දෙනාගේම පස්‌සා පැති ගිනි ගන්නට විය. අද කතාව එතැන් සිට ය.

උතුරු මැද පළාතේ මධ්‍ය වාර පරීක්‍ෂණය සඳහා 8 වැනි ශ්‍රේණිය වෙනුවෙන් මුද්‍රණය කර තිබූ බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ තිබූ සෝදුපත් දෝෂ සහ විෂය දෝෂ ගැන පසුගිය සතියේ පුවත්පත්වල පළවිය. ත්‍රිපිටකය වෙනුවට දේපිඨකය යන්න මුද්‍රණය වී තිබීමත්, පෙර සඳහන් දෝෂ සමූහයත් නිසා එම ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලදී. ඒ අතරම විභාගයේ ඉතිරි කොටස පැවැත්වීම 28 වැනිදාට යොදා තිබූ නමුත් ප්‍රශ්න පත්‍ර නියමිත වේලාවට මුද්‍රණය කර ගැනීමට නොහැකි වූ නිසා විභාගය අවලංගු කෙරිණ. මේ විභාගයේම නව වැනි ශ්‍රේණිය සඳහා බෙදා දුන් බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ ද දෝෂ බහුල විය. එහි බොහෝ තැන්වල "පිළිතුරු" යන වචනය මුද්‍රණය කර තිබුණේ "පිලිතුරු" යනුවෙන් මුර්ධජ ළි යන්න රහිතවය. "සන්‍යාසි" වෙනුවට "සන්නයාසි" ලෙසත් "බමුණා" වෙනුවට බමුනා ලෙසත් මෙහි සටහන්ව තිබිණි. වැරදි වශයෙන් ගණන් කළහොත් බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ ඇති වැරදි ගණන 20 ඉක්‌මවයි. මේ වැරදි ප්‍රශ්න පත්‍රය හැදූ පඬිරුවනට එක වරදට එක කස පහර සහ අවුරුද්දක සිර දඬුවම බැගින් දෙන ලෙස යෝජනා කරමු. මේ අඳුරු කෙරෙමින් පවතින්නේ ජාතියේ අනාගතයයි.

වසර 30 ක්‌ තිස්‌සේ පැවැති අඳුරු බෙදුම්වාදී යුද්ධය විසින් අපට බොහෝ දේ අමතක කරන ලදී. අධ්‍යාපනය සංස්‌කෘතිය පමණක්‌ නොව කෑම, ඇඳීම පවා අපට අමතක විය. අපි අතට අසු වූ දේ ගිල දමා අතට අසු වූ දේ ඇඳගෙන යුද්ධය දෙස කට ඇරගෙන බලා සිටියෙමු. අද යුද්ධය නිම වී ඇති අතර කට යළි තිබූ තැනට ගෙන අනාගතය දෙස බැලීමට අපට සිදු වී තිබේ. එසේ බලන විට අපට පෙනී යන්නේ පිරිහුණු අධ්‍යාපනයක්‌ සහ අඳුරු අනාගතයක්‌ නම් එයින් එහා වචනයක්‌වත් කතා කිරීමට අපට ඉතිරි වන්නේ නැත.

(දිවයින_09/07/30)

ටිප්පණිය_මේ ප්‍රශ්න පත්‍ර සැදූ අය 70 සහ 77 දරුවෝ ය. පෙර කී හේතු නිසා ඔවුන් විෂය දැනුමෙන් පමණක් නොව සමාජ දැනුමින් ද පිරිහී තිබේ. ඔවුන් කෙතරම් ආගාධයකට වැටී ඇද්ද යන්න පැහැදිළි වන්නේ බුදු රජානන් වහන්සේගේ මෘත දේහයක් ගැන කතා කිරීමෙනි. 77 සිට සිංගප්පූරු පාර දිගේ අප ගමන් කරන්නේ සංස්කෘතික කාන්තාරයක් කරා ද යන්න විමසා බැලිය යුතුය.

1 comment:

දුකා said...

good . . .some time we dont read news papers but we read blogs . . .good u publish this here . . .tnx

and its really now rite time to talk about these . . .!

 
සිය රට දේ සිරි සැප දේ !