Thursday, July 30, 2009

අලි අපරාධ - 2 ධර්ම සාක්‍ෂිය සහ හෘද සාක්‍ෂිය

පින්නවල අලි අනාථාගාරයේ ඉපිද, එහිම ඇති දැඩි වෙමින් සිටි කිරි බොන වයසේ ඇත් පැටවුන් දෙදෙනකු ඇත් මවුවරුන් දෙදෙන විලාප තබද්දී යුද හමුදාව සහ පොලු මුගුරු ගත් සාහසිකයන් යොදවා රැගෙන යැම පිළිබඳව "දිවයිනේ" පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ ගරුතර මහා නායක තිබ්බටුවාවේ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්‌ගිරි පාර්ශ්වයේ ගරුතර මහා නායක උඩුගම බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් එවන ලද කරුණු දැක්‌වීමක්‌ ඊයේ (30 වැනිදා) දිවයින මුල් පිටුවේ පළ වී ය. මෙරට බුද්ධාගමේ මුදුන් මල්කඩක්‌ බඳු ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ උතුම් භාරකරුවන් වන උන්වහන්සේ දෙනමගේ සිත් තුළ ධර්ම සංවේගයක්‌ ඇති කිරීමට අපගේ ප්‍රවෘත්තිය ඉවහල් වී නම්, උන්වහන්සේලාගේ පා දස දහස්‌ වාරයක්‌ නමැද සමාව ඉල්ලීමට අප සූදානම් ය. එහෙත් මේ සිද්ධිය පිටුපස සිටින ගිහි හොරුන් සහ අලි බිස්‌නස්‌කාරයන් පිළිබඳව අපගේ ස්‌ථාවරය කිසි කලෙකත් වෙනස්‌ වන්නේ නැත. මෙවැනි සොරුන්ට අපායේදී අනුභවයට ලැබෙන්නේ ගිනි අඟුරු ය. අඳින්නට ලැබෙන්නේ රතු පැහැයෙන් දිලෙන ගිනියම් වූ ලෝහ ඇඳුම් ය. ඔවුන් එහිදී වචනයක්‌වත් කීමට කට ඇරියොත් වහා ලෝ දිය වත් කරනු ලැබේ.

ගරුතර මල්වතු - අස්‌ගිරි නායක හාමුදුරුවන් වහන්සේ දෙනමද මෙරට වැඩ සිටින සෙසු සියලු බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා ද දන්නා පරිදි මේ රටේ අලි හොරුන් සුදු අඳින්නට පෙර සිටම "දිවයින" රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටියේ ය. සිංහල ජාතිය හා බුද්ධාගම ගැන කතා කිරීම පාපයක්‌ව තිබූ සහ බෝම්බ පහර කෑමට තරම් වරදක්‌ව තිබූ සටන් විරාම කාලයේදී පවා "දිවයින" පෙර කී කාරණා සම්බන්ධයෙන් පෙනී සිට එකල පැවැති රජයේ උදහසට ලක්‌විය. ඉතින් ගරුතර හාමුදුරුවනේ "දිවයින"ට නැතිවන්නට දෙයක්‌ ඇතොත් ඒ වූ කලී රට ජාතිය හා ආගම ය. ඒ උතුම් ත්‍රිත්වය රැක ගැනීමට "දිවයින" දිවි හිමියෙන් ක්‍රියා කරනවා ඇත.

මේ නිවේදනයට ගරුතර මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන් අත්සන් කළත් ඒ නිවේදනය පිළියෙළ කළේ වෙනත් පාර්ශ්වයක්‌ බව අපි දනිමු. ඔවුන් ගරුතර ස්‌වාමීන් වහන්සේ දෙපළ නොමඟ යවා ලියෑවිල්ලට අත්සන් ලබාගෙන ඇති බව අපගේ විශ්වාසයයි. දළදා මාලිගාවට ඇත් පැටවුන් දෙදෙනකු ලබා ගැනීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ මගින් රජය අවසර ලබා දුන් බව ඇත්ත. එහෙත් ඇත් මවුවරුන්ගෙන් කිරි උරා බොන පැටවුන් කැඳවාගෙන එන ලෙස එම නියෝගයේ නැත. මේ ඇත් පැටවුන් ප්‍රවාහනය කිරීමට යුද හමුදාව කුමටද? මෙය සෙනසුරාදා දහවල් කාලයේදී සිදු නොකර රාත්‍රි කාලයේදී සිදු කළේ ඇයි? කිරි බොන දරුවකු මවකගෙන් වෙන් කිරීම බුදු වදනට කළ ගැරහුමකි.

ගරුතර මහා නායක ස්‌වාමීන් වහන්සේගේ නමින් නිකුත් කර තිබූ නිවේදනයේ සඳහන් වන පරිදි, ඇත් පැටවුන් දෙදෙනා මවුවරුන්ගෙන් වෙන් කිරීමට එරෙහිව කතා කරන අය මේ රටේ බෞද්ධ ආගමික සංස්‌කෘතික මංගල්‍යයක්‌ සාම්ප්‍රදායිකව පවත්වාගෙන යැම නො ඉවසන අය වෙති. අප ගරුතර ස්‌වාමීන් වහන්සේගේ දෙපා නමැද කියා සිටින්නේ එබඳු කුමන්ත්‍රණකාරයන් උන්වන්සේලාගේ අතේ දුරින් දැනට වසර තුනක පමණ සිට ගැවසෙන බවයි. එහෙත් උන්වහන්සේ ඒ බව නො දනිති. ගරුතර හාමුදුරුවනේ, මේ රටේ සිටින සමස්‌ත ඇත් පරපුරමත්, මතු උපදින්නට සිටින ඇත් පරපුරත් දළදා මාලිගයට පූජා කිරීමට යෝජනාවක්‌ එන්නේද, අප සාධුකාර දී එයට එකඟ වෙමු. එහෙත් ඒ පූජාව කරන්නේ මස්‌ කඩ කාරයන් පින් කරන ආකාරයට නම් අප එයට විරුද්ධ වෙමු. ඇත් පැටවුන් දෙන්නා සම්බන්ධයෙන් නිකුත් කළ කැබිනට්‌ පත්‍රිකාවේ පිටපතක්‌ අප සතුව ද ඇත. රෑ හතට හමුදාව සමඟ පැමිණ කිරි බොන ඇත් පැටවුන් ගෙන යන ලෙස එහි නැත.

ගරුතර නායක ස්‌වාමීන්වහන්සේගේ දැන ගැනීම සඳහා තවත් කාරණයක්‌ කියමු. පැහැරගත් අලි පැටවුන් දෙදෙනා මෙල්ල කිරීම සඳහා උන්ට පහර දී රත් කළ යකඩ වලින් සිරුරු පුළුස්‌සා තිබේ. අපට තිබෙන එකම ප්‍රශ්නය මෙයයි. මේ සා වධ බන්ධනයට ලක්‌ කර ඒ කිරි සප්පයන් හිරකර ගාල් කර තබන්නේ කුමක්‌ සඳහා ද යන්නයි.

අපගේ වැටහීම නම් මේ පහත් ක්‍රියාව රජය හා ජනාධිපතිතුමා අපහසුතාවකට පත් කිරීමට ගත් කොන්ත්‍රාත්තුවක කොටසක්‌ බව ය. යන්තම් මේ රට ගොඩ ආවා පමණි. එය යළි වළට දමා අලින් ලවා පෑගවීමට යත්න දරන බව පෙනේ.

(දිවයින_09/07/31)

ටිප්පණිය_අලි පැටවුන්ට වූ අසාධාරණය ජනපතිතුමාගේ මැදිහත්වීමෙන් කෙළවර වී තිබේ. එහි අවශ්‍යතාව අපි පෙරදා අවධාරණය කළෙමු. මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් ද නොමග යවමින් යම් වසලයින් පිරිසක් නොහොබිනා වැඩක් කරතිබේ. උතුම් දළඳ වහන්සේගේ නම විකුණමින් මෙවන් නීච වැඩ කරන්නන් ගැන වහාම පියවර ගත යුතුය. මේ වූ කලී උතුම් දළඳාවට කළ නින්දාවකි. මල්වතු අස්ගිරි නාහිමිවරුන්ට ද කරන ලද නින්දාවකි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !