Sunday, July 12, 2009

තබ්බෝවේ සංහාරය (නීචයන් වනසමු)

ලේ පිපාසිත යකුන් ලෙස සැලකිය හැකි කාලකන්නි මනුෂ්‍යයන් පිරිසක්‌ විසින් කරන ලද නීච ක්‍රියාවක්‌ ගැන සති අන්තයේදී වාර්තා විය. මේ සිදුවීම වූ කලී පුත්තලමේ තබ්බෝව කිරි ගොවිපළක රඳවා සිටි වසු පැටවුන් 39 දෙනකු ඉකුත් 9 වැනිදා රාත්‍රියේදී පොලුවලින් පහරදී මරා දැමීම ය. මේ කිරි ගොවිපළ පවත්වාගෙන යන ගොවීහු උදෑසන කිරි දෙවීම පිණිස ගොවිපළට යන විට වසු පැටවුන් සංහාරය කර ඇති බව දුටහ. මේ සංහාරය සිදුකර ඇත්තේ දැව ජාවාරම්කාරයන් පිරිසකි. ඒ පිරිසට අයත් නීචයන් දෙදෙනකු දැනටමත් අත්අඩංගුවට පත්ව සිටිති. ඔවුන්ට නිසි සත්කාර හා ප්‍රතිකාර කර ඇත්ත දැන ගැනීමට මේ ගැන පරීක්‍ෂණ පවත්වන කරුවලගස්‌වැව පොලිසිය බැඳී සිටී. වහළවල එල්ලා පහර දිය යුත්තේ ස්‌ත්‍රී දූෂකයන්ට පමණක්‌ නොවේ. මෙබඳු නීචයන් ද වහළය ආසන්නයට යා යුතුම ය.

මේ රටේ වනාන්තරය පාලනය කරන්නේ වන ජීවී දෙපාර්තමේන්තුව බවට බොරු මතයක්‌ තිබේ. එහෙත් සත්‍ය වශයෙන් ම මේ රටේ වනාන්තර පාලනය පවතින්නේ දැව හොරුන්, ගංජා හේන්කාරයන් සහ දඩයක්‌කාරයන් යන පාර්ශ්ව අත ය. එක්‌දහස්‌ නවසිය තිස්‌ ගණන්වලදී නිෂ්පාදනය කරන ලද බෝර 12 පතරොම් දැමිය හැකි කසිකබල් තුවක්‌කු හා සමාන ගිනිඅවි කිහිපයක්‌ වන ජීවී දෙපාර්තමේන්තුව සතුව තිබේ. දඩයක්‌කාරයන්, දැව ජාවාරම්කාරයන් සහ ගංජා හේන්කාරයන් සතුව ඇති අති නවීන තුවක්‌කු සමග හැරීමටවත් මේ කබල් තුවක්‌කුවලට නොහැකි ය.

දඩයක්‌කාරයකු සමහරවිට මුවකුට හෝ ගෝනකුට වෙඩි තබන්නේ වෙඩිල්ල මුවා පමණක්‌ නොව වන ජීවී නිලධාරියත් පසා කරගෙන යන ආකාරයට ය.

අපරාධකරුවන්ට දිගින් දිගට ම අපරාධ පවත්වාගෙන යා හැක්‌කේ ඔවුන් අපරාධ සිදුකරන ප්‍රදේශයට සිවිල් වැසියන් නො එන තරමට ය. නිතරම පොලිසියට හෝ හමුදාවට ඔත්තු යන්නේ සිවිල් වැසියන් හරහා ය. දර කැඩීමට හෝ හරක්‌ බැලීමට කැලයට යන ගැමියෝ ගංජා හේන්කාරයන් හෝ දැව හොරුන් දැව කපන ආකාරය දැක ඒ බව ගමේ තැන තැන කියති. මේ ආරංචිය පොලිසියට හෝ වන ජීවී දෙපාර්තමේන්තුවට ද යයි. වැටලීම් සිදු වන්නේ එවිට ය. මේ නිසා සිවිල් වැසියන් හැකි තරම් වනයෙන් ඈත් කර තැබීමට අපරාධකරුවෝ ක්‍රියා කරති. පුත්තලමේ වසු පැටවුන් සංහාරය සිදු වන්නට ඇත්තේ ද මේ ලෙස ය. හරක්‌ පට්‌ටි කැලයෙන් ඈත් කර තැබීමට කටයුතු කළ විට ගැමියෝ ද වනයට නො එති. මෙයට කලකට පෙර තණමල්විලදී ගැමියන් සමූහයක්‌ සංහාරය කරන ලදී. මෙය කොටි සංවිධානයේ ගිණුමට බැර කර තිබිණි. එය ඉතා ලෙහෙසි විසඳුමකි. එහෙත් මේ සංහාර සිදු කළේ ගංජා හේන්කාරයන් ය. මෙය දශක කිහිපයක්‌ තිස්‌සේ සිදු වූවකි. මෙයට වසර 30 කට පමණ පෙර සිංහල චිත්‍රපට නිෂ්පාදකයෙක්‌ කිසියම් කාරණයකට කැලයකට රිංගුවේය. එහෙත් ඔහු කවදාවත් ආපසු ආවේ නැත. කැලෑ කපන්නන් විසින් ඒමහතා මරා දමන ලද බවට සැකයක්‌ පවතී.

පුත්තලමේ වසු පැටවුන් සංහාරය රූපවාහිනි නාළිකා මගින් ද ප්‍රචාරය කරන ලදී. මේ රූප පෙළ හදවත් කම්පා කරවී ය. කිරි එළදෙනුන් හා වසු පැටවුන් මැරීම මේ රටේ නීතියට අනුව දඬුවම් ලැබෙන වරදකි. සමහර තිරිසන් මස්‌ කඩකාරයන් වසු පැටවුන් මරා එළුමස්‌ ලෙස සඟවා විකුණති. මෙබඳු ලේ පිපාසිත අපරාධකාරයන්ට දිය යුතු දඬුවම මරණ දඬුවම ය. එය වහා ක්‍රියාත්මක කළ යුතු නීතියකි.

(දිවයින_09/07/13)

කතුවැකිය_මරණ දඬුවම ටික කලකට හෝ ක්‍රියාත්මක කළ යුතු යැයි නව අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශය දුටු මොහොතේ අප තුළ ඒ කෙරෙහි යම් අප්‍රසාදයක් හටගත්ත ද මේ පුවත දුටු කෙනෙහි අපට සිතුණේ එය කළ යුත්තක් බවය. ත්‍රස්තවාදයෙන් රට මුදාගත් වහා මතුවු ත්‍රිත්ව මිනිස් ඝාතන රැල්ලට ස්ත්‍රී දූෂණවලට වගගකිව යුතු අපරාධකරුවන්ට දිය යුත්තේ මරණ දඬුවම හැර කුමක් ද? මේ ම්ලේච්ඡයින්ට රජ කාලේ දුන් දෙතිස් දඬුවම් දී අවසන මරණ දඩුවම දිය යුතුය. අහිංසක වසු පැටවුන් මරා දැමූ තිරිසනුන්ට ද දිය යුත්තේ ඒ දඬුවම ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !