Wednesday, July 8, 2009

සිදුවෙමින් පවතින්නේ කුමක්‌ද?

මින් විසි වසරකට පෙර ම විසින්ම කරන ලද ප්‍රකාශයකින් මේ ලිපිය ආරම්භ කිරීමට සිදුවීම මට කිසි ලෙසකින් ප්‍රිය මනාප කටයුත්තක්‌ නොවේ. එසේ වුව මා මෙහිලා දක්‌වන නිගමනය විශද කිරීමට ඇති හොඳම ප්‍රවේශය එය වෙයි. විසි වසරකට පෙර "ගනඳුරු මැදියම" පොත මගින් මා දැක්‌වූ නිරීක්‍ෂණය මෙවැනි වෙයි.

"කොටි ආක්‍රමණය අප විසින් හැඳින්විය යුත්තේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ භාෂා ප්‍රශ්නයක්‌ ලෙස නොව අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්‌ ලෙසිනි. එ කුමන්ත්‍රණයට එරෙහිව ඉන්දියාව දියත් කර ඇති ප්‍රති කුමන්ත්‍රණයක්‌ ද එ තුළ ඇත. (25 පිටුව)

පසුගිය කාලය තුළ මේ අධිරාජ්‍යවාදීන් මෙහෙයවූ කුමන්ත්‍රණය පිළිබඳ ගැඹුරු අවබෝධයක්‌ ලබාගැනීමට සමත් වීමු. එA ලෙසින්ම ඉන්දියානු කුමන්ත්‍රණය (එය ප්‍රති කුමන්ත්‍රණ තත්ත්වය දැන් ඉක්‌මවා ඇත.) පිළිබඳ අවබෝධයක්‌ ලබාගැනීමට අද අපට හැකිවී තිබේ. මේ ලිපියේ මූලික අරමුණ එය පෙන්වාදීම වෙයි.

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයේ මූලික අරමුණ වූයේ ප්‍රභාකරන් නමැති ත්‍රස්‌තවාදියා මගින් මේ රට තුළින් තමාට පය ගැසීමට හැකි සිය බල කඳවුරු පිහිටුවා ගැනීමට හැකි භූමි භාගයක්‌ ලබාගැනීමයි. අවසානයේ මුළු රටම එ සඳහා යොදා ගැනීමයි. එ කුමන්ත්‍රණයට පිටු දුන් එක්‌ වැදගත් පුවතක්‌ හිටපු ඉන්දියානු තානාපතියකු වූ එම්. කේ. භද්‍රකුමාර් මහතා විසින් මෑතකදී හෙළි කර තිබෙනු මම දුටිමි. ඔහු පෙන්වා දෙන කරුණ සැකෙවින් මෙවැන්නකි.

"ඇමරිකාව ප්‍රධාන බටහිර ජාතීන්ට මෙතෙක්‌ පර්සියන් බොක්‌ක වෙත විහිදුවන ලද NATO ආරක්‍ෂක සංවිධානය ඉන්දියානු සාගරය වෙත ව්‍යාප්ත කිරීමට කලක්‌ වේලේ සිට දැඩි වුවමනාවක්‌ තිබිණ. ඉන්දියානු සාගරය වෙත ගෙන එනු ලබන එA නේටෝ සංවිධානය නමැති කිරුළ මුදුනෙහි ඇති මාණික්‍යය වනු ඇත්තේ ලංකාවයි. රුසියාව, ඉරානය, ඉන්දියාව, චීනය මීට එරෙහිව සිටියේය."

මේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළ උදෙසායි, මේ අධිරාජ්‍යවාදීන් බටහිර බලවේග ප්‍රභාකරන් නමැති ත්‍රස්‌තවාදියා, විමුක්‌තිකාමියකු බවට පත් කර කවා පොවා ඇති දැඩි කර අපරාජිතයකු බවට පත් කරන ලද්දේ. එහෙත් ප්‍රභාකරන් ලවා සිය අරමුණු ඉෂ්ට කර ගැනීමට මේ අධිරාජ්‍යවාදී බලවේග සමත් නොවීය. ඊට මූලික හේතුව වූයේ අන් කිසිවක්‌ නොව චීනය, රුසියාව වැනි ලෝක බලවතුන් මෙන්ම පකිස්‌තානය විසින් ද ප්‍රභාකරන් විනාශ කිරීමට අවශ්‍ය අවි ආයුධ උපදේශ අප වෙත නොමසුරුව ලබාදීමයි.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය ෙ-. ආර්. ජයවර්ධන "ගොනාට අන්දවා" කටයුතු කළ ආකාරය ගැන විස්‌තරයක්‌ සිරිල් රණතුංග හමුදාපතිවරයා විසින් මෑතකදී ලියන ලද පොතෙන් විස්‌තර කර තිබේ. මහින්ද රාජපක්‍ෂ චීනයෙන් අවි ඉල්ලා සිටියේ ඉන්දියාව විසින් එවැන්නක්‌ කිරීම ප්‍රතික්‍ෂේප කළ පසුවයි. කලකට පෙර ප්‍රභාකරන්ගේ ත්‍රස්‌ත හමුදාව අපේ සෙබළුන් යාපනය තුළ හිරකර වනසා දැමීමට තැත් කළ අවස්‌ථාවේ අප ඉන්දියාවෙන් ආධාර ඉල්ලා සිටි විට ඉන්දියාව කළේ අප ඉල්ලූ අවි දීම වෙනුවට අපේ හමුදා ඉවත් කර ගැනීමට නැවක්‌ ලබාදීමට ඉදිරිපත් වීමයි.ෘ

ඉන්දියාව මේ ලෙසින් එ මුල් අවධියෙහි කටයුතු කළ ද "අධිරාජ්‍ය ගැති" සහ "අධිරාජ්‍ය විරෝධී" කඳවුරු දෙක අතර ඇරැඹුණු "සීතල යුද්ධය" මුහුකුරා යැමත් සමග අධිරාජ්‍ය විරෝධී කඳවුර වෙත ක්‍රමයෙන් තල්ලු විය. ඊට මූලික හේතුව මන්මෝහන් සිං රජයට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළ අවබෝධ වීම බව පෙනේ. යම් ලෙසකින් බටහිර ජාතීන්ගේ අනුග්‍රහය මත මේ රට තුළ ඊළාමයක්‌ තනා ගත හොත් එහි ආනුභාවය ටැමිල්නාඩුවට ද පැතිර ගොස්‌ "මහා ඊළාමය" සඳහා පදනම බිහිවන බව මන්මෝහන් සිංට පෙනිණ. ඒ අවබෝධයත් සමග ප්‍රභාකරන්ට සහාය වීම තබා ප්‍රභාකරන් වැනසීමට ශ්‍රී ලංකා රජය ගෙන යන යුද්ධයට එරෙහි නොවීමට ඉන්දියාව වග බලා ගත්තේය. "තමන් සිදු කළේ ඉන්දියාව සිදු කළ යුතුව තිබූ යුද්ධය"ය. යන මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිරීක්‍ෂණය නිවැරැදි වෙයි. එතුමා එසේ ප්‍රකාශ කළේ කිසියම් "කළගුණ සැලකීමක්‌" බලාපොරොත්තුවෙන් විය හැකියෘ

මේ පසුබිම තුළ ප්‍රභාකරන් පැරදවීම පමණක්‌ නොව බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය පැරදවීමට ද අපි සමත් වීමු. ඊට මුල් වූ ප්‍රධාන සාධකය වූයේ චීනය, රුසියාව, ඉරාකය, පකිස්‌තානය, ඉන්දියාව ආදී වූ අධිරාජ්‍ය විරෝධී කඳවුරට අයත්වන රටවල සහාය ලබාගැනීමට මහින්ද රාජපක්‍ෂ රජය සමත්වීමයි. එA අතින් මහින්ද රාජපක්‍ෂ රජය, සිරිමා බණ්‌ඩාරනායක රජය අනුව යමින් ඉතා බුද්ධිමත් ලෙස කටයුතු කළ බව අප විසින් පිළිගත යුතු වෙයි.

සිය අභිමතාර්ථය ඉටු කර ගත නොහැකි වූ අධිරාජ්‍යවාදීන්ගේ අවසාන තුරුම්පුව වූයේ තමන්ට අවනත රටවල් 17 ක්‌ යොදාගෙන, ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කඩ කර ඇතිය යන චෝදනාව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය (UN HRC) හමුවෙහි තැබීමයි. එමගින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට අමතරව මහින්ද රාජපක්‍ෂ ඇතුළු යුද හමුදා නායකයන් යුද්ධ අධිකරණයක්‌ හමුවට ගෙන එමේ අරමුණක්‌ ද තිබිණ. R2P ක්‍රියාදාමය දියත් කිරීමේ හැකියාව ද තිබිණ. එහෙත් එA අවසාන තුරුම්පුව චීනය සහ රුසියාව විසින් නිෂ්ප්‍රභ කරන ලදී. එවැනි මානව හිමිකම් කඩ කිරීමක්‌ සිදු වී නොමැති බව මේ රටවල් දෙක විසින් එක හඬින් ප්‍රකාශ කරන ලදී.

මෙහිදී අප විසින් එක්‌ කරුණක්‌ පැහැදිලිව වටහා ගත යුතු වෙයි. එනම් අප ලද එ ජයග්‍රහණයට හේතුව, බෙදුම්වාදීන් (දෙමළ ජාතිවාදීන්) අපට එත්තු ගැන්වීමට තැත් කරනු ලබන, දයාන් ජයතිලක එහිදී නගන ලද "ගෝරනාඩුව" නොවන බවයි. ඒ "ගෝරනාඩුව" දයාන් ජයතිලකට නම් සිය දෙබිඩි වත වසන් කරගන්නට නැත්නම් පව් සෝදා ගන්නට පොටක්‌ පාදා දෙන්නට ඇත. දයාන් ජයතිලක එවැනි ගෝරනාඩුවක්‌ නොකළ ද, විශේෂ යෝජනාවක්‌ ඉදිරිපත් නොකළ ද එවේලෙහි චීනය, රුසියාව අපගේ ජය ස්‌ථාපිත කරනු නොඅනුමානය. දයාන් ජයතිලක එ විශේෂ යෝජනාව තුළට "මහින්ද රාජපක්‍ෂ රජය දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වී ඇතැයි" යන අනවශ්‍ය වාක්‍යය ඇතුළු කිරීමෙන් කළේ ලෝක ප්‍රජාව හමුවේ මහින්ද රාජපක්‍ෂ රජය සිරකර තැබීමක්‌ නොවේද?

මුළු ජීවිත කාලය තුළ දෙමළ ජාතිවාදයට සේවය කළ, ඉන්දියාව තනා දුන් උතුරු - නැගෙනහිර රාජ්‍යය තුළ වර්ධරාජා පෙරුමාල් සමග ඇමැතිකම් කළ දයාන් ජයතිලක ප්‍රභාකරන් විරෝධියකු වුව දෙමළ ජාතිවාදයට විරුද්ධ පුද්ගලයෙක්‌ නොවේ. වර්ධරාජා පෙරුමාල් ප්‍රභාකරන්ගෙන් ගැලවී පණ බේරා ගත්තේ ඉන්දියාවට පැන ගෙනයි. දයාන් ජයතිලකට පණ බේරා ගැනීමට තිබුණේ මේ පැත්තට පැන ප්‍රභාකරන් මැරීමට සහාය වීමෙනුයි. ඔහුගේ වෙස්‌ මුහුණ අද ගැලවෙමින් පවතී. අද ඉන්දියාව (රෝ සංවිධානයට) ඇති හොඳම හොරණෑව දයාන් ජයතිලක බව පෙනේ.ෘ

ලංකාව කේන්ද්‍ර කරගෙන, අධිරාජ්‍ය ගැති සහ විරෝධී කඳවුරු දෙක අතර පවතින සීතල යුද්ධයේදී ඉන්දියාව අප වෙනුවෙන් පෙනී සිටීම කෙසේ වුව, මධ්‍යස්‌ථව සිටියද, ප්‍රභාකරන් වැනසීමට එරෙහි නොවූවද දැන් එ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය අවසාන වීමත් සමග ඉන්දියාව සිය කුමන්ත්‍රණය දියත් කරමින් ඇති බව පෙනේ. මා සඳහන් කළ ප්‍රති කුමන්ත්‍රණය ආරම්භ වී ඇත. ප්‍රභාකරන්ලා නොමැති සිය අනායක්‌ අනුව කටයුතු කරන දෙමළ ජාතිවාදයක්‌ මෙරට තුළ පවතිනු දැකීම ඉන්දියාවේ අභිලාෂය බව පෙනේ.

ඉන්දියාව මේ ප්‍රතිකුමන්ත්‍රණය ආරම්භ කළේ ප්‍රභාකරන් විනාශ කළ සටනේ රස්‌නය නිවෙන්නටත් පෙරයි. මැයි 21 දා (ප්‍රභාකරන් මියගියේ 20 දායි) ලංකාවට නියෝජිත පිරිසක්‌ එවූ ඉන්දියාව මහින්ද රාජපක්‍ෂ මහතා 13 සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව ලොවට ප්‍රකාශ කර සිටියේය. ප්‍රභාකරන් විනාශ කිරීමට ඉඩ දුන්නේ මේ ප්‍රතිඥව පිට බව වක්‍රාකාරයෙන් පෙන්වා සිටියේය. එදා මෙදා සිට ඉන්දියාව දිනපතා මහින්ද රාජපක්‍ෂට "මස්‌රාත්තල" ඉල්ලා තර්ජන ගර්ජන කරන සැටි අපි දකිමු. ඊයේ පෙරේදා එහි ගිය බැසිල්, ගෝඨාභය සොහොයුරන්ට ද එක හඬින් කියා සිටියේ දහතුන් වැනි සංශෝධන ක්‍රියාත්මක කළ යුතු බවයිෘ එ ගමනට මහින්ද රාජපක්‍ෂ මහතා නොයැම අපගේ ප්‍රසාදයට හේතු වෙයි.

අද ඉන්දියාව අප අරභයා හැසිරෙන ආකාරය 87 දී රජිව් ගාන්ධි අප අරභයා අනුගමනය කළ ප්‍රතිපත්තියේම දිගුවක්‌ ලෙස සැලකීම සදොස්‌ නොවේ. එදා ඉන්දියාව එසේ හැසිරුණේ ෙ-. ආර්. ජයවර්ධන ඇමරිකාවේ හුරතලා වීම නිසාය. අද ඉන්දියාව කටයුතු කරන්නේ ද එම මානසිකත්වයෙන් බව පෙනේ. එදා ඉන්දියාව ඇමරිකාව දුටු අයුරිනුයි මෙදා ඉන්දියාව චීනය දකින්නේෘ

මෙවැනි නිගමනයකට නොපැමිණ ඉන්දියාවේ වත්මන් ක්‍රියාකලාපය අපට අවබෝධ කර ගත හැකිද? අද ඉන්දියාව අප අරභයා හැසිරෙන ආකාරය එවැනි චීන භීතියක්‌ නිසා ඇති වූවක්‌ විනා අන් කවරක්‌ නිසා ඇති වූවක්‌ ද? මේ හැසිරීමට අන්කිසි හේතුවක්‌ මම නොදකිමි. එසේ නැතිව එය උතුර - නැගෙනහිර වසන දෙමළ ජනතාව වෙත පහළ වූ මහා කරුණාවක්‌ නිසා පහළ වූවක්‌ විය නොහැකියි. "පරිප්පු" දැමීමට පෙර ද ඉන්දියාවට එවැනි මහා කරුණාවක්‌ ඇති වූ බව අපි දිටිමුෘ එමෙන්ම දැන් ඡන්දයෙන් පසු පස්‌ස බිම ඇන ගත් ටැමිල්නාඩුවේ ඉන්නා කරුණානිධි, ජයලලිතා, වයිකෝ දිනා ගැනීම පිණිස මෙවැන්නක්‌ මේ අවස්‌ථාවේ කිරීම අවශ්‍ය නොවේ.

ඉන්දියාව එවැනි චීන භීතියකින් යුතුව කටයුතු කිරීම අපට අවබෝධ කරගත හැකියි. චීනය තව නොබෝ කලකින් මේ කලාපයේ බලවතා පමණක්‌ නොව ලෝකයේ ද බලවතා බවට පත් වනු ඇත.

ඉන්දියාව දෙස බැලූ විට එහි අනාගතය අරභයා එවැනි සුබවාදී චිත්‍රයක්‌ අපට දැකගත හැකි නොවේ. ඉංගී්‍රසීන් තනා දුන් "ඉන්දියාව" තවමත් එA අයුරින් පවතින්නේ ඉන්දියානු ධනපති පංතියේ ආධිපත්‍යය උඩයි. වත්මන් ලෝක ආර්ථික අර්බුදය හමුවේ එA ආධිපත්‍යය කෙතරම් කලක්‌ පවතී ද යන්න සැක සහිතය. එමෙන්ම ඉන්දියාව පුරාම දැන් ත්‍රස්‌තවාදය හිස ඔසවමින් පවතී. සෑහෙන ප්‍රාන්ත ගණනාවක්‌ අරාජික තත්ත්වයට පත්ව ඇත.

චීනය අද මුළු මහත් ඉන්දියානු සාගරය පමණක්‌ නොව ඉන් ඔබ්බෙහි ඇති සාගර කලාප ද සිය අතට ගැනීමට තැත් කරමින් සිටියි. පැට්‍රොaලියම් නිෂ්පාදන ගෙන යන ප්‍රවාහන සේවාවලින් 7% ක්‌ ගමන් කරන්නේ ඉන්දියානු සාගරය හරහායි. චීනය ඉන්දියානු සාගරය වටා මේ වන විට මුතු පොටක්‌ අමුණමින් සිටියි. හම්බන්තොට වරාය එ මුතු පොටෙහි ඇති අනගි මුතු ඇටයක්‌ වෙයි. එ මුතු ඇටය නිමවනු ලබන්නේ චීන ආධාර මතයි. මහින්ද රාජපක්‍ෂ මහතා චීනය සලකනු ලබන්නේ ලංකාවට නිරතුරු පිහිට වන කල්‍යාණ මිත්‍රයකු ලෙසයි. එ මදිවාට ලෝක අධිරාජ්‍යවාදීන්ගේ පරම හතුරා වන එහෙත් චීනයේ පරම මිතුරා වන බුරුමය වෙත සුහද චාරිකාවක යෙදීමට මහින්ද රාජපක්‍ෂ මහතා අමතක නොකරයි.

දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කර තමන්ට අනුගත දෙමළ ජාතිවාදී පිරිසකට උතුර - නැගෙනහිර ලබාදුනහොත් ලංකාව චීනයට නතුවීම වළක්‌වා ගත හැකි නොවේද? ඉන්දියාව කල්පනා කරන්නේ මේ අයුරින් බව පෙනේ. මේ කල්පනාව එදා ඉන්දිරා ගාන්ධි තුළ ඇතිවූ කල්පනාවට වෙනස්‌ නොවේ. එදා එතුමිය උතුර - නැගෙනහිර දෙමළ රාජ්‍යයක්‌ බිහි කිරීමට කටයුතු කළේ ෙ-. ආර්. ජයවර්ධන දණ ගස්‌වනු සඳහායි. සිය බල කඳවුරක්‌ මෙහි පිහිටුවනු සඳහාය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ සිය පුතා තමන්ට අහිමිවීම පමණක්‌ නොවේ. ප්‍රභාකරන් සකල ලෝකවාසී දෙමළ ජනතාවගේ "සූර්ය තේවාන්" බවට පත් කිරීමයි. අවසානයේදී ඉන්දියාව තනා දුන් භූමියත් වීරයාත් ප්‍රයෝජනයට ගන්නා ලද්දේ ඉන්දියාවට එරෙහි බටහිර බලවේග විසිනුයි. ඉන්දියාව හදන්නේ එදා කළ එ අනුවණ කම ම යළි කිරීම බව පෙනේ. මධ්‍යම රජයට අනුශාසනා කරන "සවුත් බ්ලොක්‌" තුළ ඉන්නා දෙමළ ජාතිවාදීන් මෙවැනි දිරච්ච ලණු දීමෙහි සමත් බව අපි දනිමු.

අප චීනයට නතුවීම වළක්‌වා ගැනීමට ඉන්දියාව කළ යුත්තේ මෙහි අනික්‌ පැත්තයි. අපට තව තවත් ළං වීමයි. අපේ සුබසිද්ධිය පතන වැඩිමහල් සොහොයුරාගේ තැන ලබාගැනීමයි. කෙතරම් කෙණහිලිකම් කළ ද සිංහල අප තුළ ඉන්දියානු විරෝධයක්‌ නොමැති බව ඉන්දියාව වටහාගත යුතුයි. තර්ජනාංගුලිය ඔසවා දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස බල කර සිටීම මගින් අප බය කර එ මගින් අප නතු කරගත හැකි වෙතියි ඉන්දියාව කල්පනා කළහොත් එය අතිශය මුළාවකි. සිංහල ජාතිය ඉතා ප්‍රෞඪ අභිමානවත් ජාතියක්‌ය යනුවෙන් එක්‌තරා ඉන්දියානු විද්වතකු කලකට පෙර කළ ප්‍රකාශය මෙවේලෙහි මගේ සිහියට නැඟේ.

සියල්ල දැන් අවසානය සිතා ජය පැන් බොමින් කොඩි උස්‌සාගෙන නටන සිංහලයන් විසින් අද සිදුවෙමින් පවතින්නේ මෙවැන්නක්‌ බව වටහා ගැනීමට තැත් කිරීම යෙහෙකි.

ආචාර්ය ගුණදාස අමරසේකර

(ඉරිදා දිවයින_09/07/05)

පසුවදන-ජයග්‍රහනයට පියවරු 100කි. පරාජයට පියෙක් නැත. යන ආප්තය කෙතරම් නම් සත්‍යයක් දැයි සනාථ වූයේ යුද ජයග්‍රහනය සමරමින් ජයපැන් බොන පිරිස දුටු විට ය. එය කළ නොහැක්කකැයි නන් දෙඩවූ උන් දැන් එහි පියා වන්නට වළිකති. දැන් පියවරු වැඩිවීම නිසා ජයග්‍රහනය ද අවජාතක වී ඇත. කෙසේ වුව ද දැන් ඔල්වරසන් නතර කර බොන ජය පැන් බිම තබා සිදුවන්නේ කුමක්දැයි විමසා බලා අවශ්‍ය පියවර ගැනීම රටට දැයට ළැදී සුධීන්ගේ පරම යුතුකම ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !