සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙන් අනෙකුත් ජාතීන්ට අගතියක් හා ජාතික අර්බුදයක් ඇති වුණා යෑයි ඇතැමුන් විසින් කරනු ලබන ප්‍රකාශ තමන් බැහැර කරන බවත්, 1956 එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා මහ ජනතාවගේ අදහස් සැලකිල්ලට ගෙන සිදුකළේ කාලෝචිත ක්‍රියාවක් බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය දි. මු. ජයරත්න මහතා පසුගියදා ගම්පොල දී ප්‍රකාශ කර ඇත. එම ප්‍රවෘත්තිය ජුනි 16 "දිවයින" පුවත්පතේ පළ වී තිබුණි. ජයරත්න ඇමැතිවරයාගේ ප්‍රකාශය සත්‍යයකි. එහෙත් පසුගිය අඩ සියවස පුරාම දේශපාලන වෘත්තියේ සිටින බොහෝ දෙනා කළේ මෙම යථාර්ථය ආවරණය කොට දෙමළ ජනයා ජාතිවාදය කරා තල්ලු කිරීමයි.
ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක්‌ව පැවැති සමයේ දැඩි පීඩනයකට ගොදුරු වුණේ සිංහල ජනතාව යි. ආගමික වශයෙන් හිරිහැර වින්දේ බෞද්ධ ජනතාව යි. ක්‍රිස්‌තියානි මිෂනාරීවරුන් යටතේ ක්‍රියාත්මක වුණ රජයේ පාසල් කොමිසම 1834 දී ඉංග්‍රීසි භාෂාව අධ්‍යාපන මාධ්‍ය බවට පත්කළේය. රජයේ ආධාර දුන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වෙන පාසල්වලට පමණි. ඒ හේතුවෙන් බෞද්ධයන් පවත්වාගෙන ගිය සිංහල පාසල් රාශියක් වැසී ගියේය. බෞද්ධාගමෙන් හා පාරම්පරික සංස්‌කෘතියෙන් ඈත්වුණ තමන්ට පක්‌ෂපාතී පිරිසක් බිහිකර ගැනීම ඔවුන්ගේ අපේක්‌ෂාව වුණි. තාන්න මාන්න බලාපොරොත්තු වෙන් ඉංග්‍රීසීන්ට අවනතව කටයුතු කළ සිංහලයෝ සීමිත පිරිසක් සිටියහ. අනගාරික ධර්මපාලතුමා මේ කරුණ පෙන්වා දුනි. ජනගහනයෙන් සුළු පිරිසක් වූ දෙමළ ජනයාගේ විශේෂ වරප්‍රසාද හා අධ්‍යාපන පහසුකම් ලබා දෙන්නට ඉංග්‍රීසීහු පියවර ගත්හ. ඒ අනුව ක්‍රිස්‌තියානි ආගම වැළඳගෙන මිෂනාරි පාසල්වල ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලද උතුරේ දෙමළ ජනතාවට රැකියා සහ උසස් තනතුරු ලැබුණි. සිංහලයන්ට වඩා සංඛ්‍යාවෙන් අඩු වුවද, උගත්කමින් හා තනතුරුවලින් දෙමළ ජනයා ඉදිරියෙන් සිටින බව දෙමළ දේශපාලකයන් කීවේ එබැවිනි. ඒ නිසා රටේ අයිතිවාසිකම්වලින් සියයට පණහක් දෙමළ ජනයාට හිමිවිය යුතු බව ද ඔවුහු තර්ක කළහ.
භාෂාව යනු ජාතියක් සතු පාරම්පරික උරුමයන් මතු පරපුර වෙත ගෙන යන ප්‍රවාහයකි. ජාතියක අනන්‍යතාව සුරකින භාෂාව වැනසීමෙන් එම ජාතිය සතු ආගම, සාහිත්‍යය, චින්තන විධි ඇතුළු ඥාන සම්භාරයම අහෝසි වෙයි. වියට්‌නාමය එබඳු ඛේදවාචකයකට මුහුණ දුන් බෞද්ධ රටකි. ප්‍රංශ යටත් විජිත සමයේ මිෂනාරීවරු වියට්‌නාමයේ ශාස්‌ත්‍රීය ග්‍රන්ථවල භාවිත චීන අක්‌ෂර වෙනුවට ප්‍රංශ හෝඩිය ඇසුරෙන් සැකසූ අක්‌ෂර මාලාවක් හඳුන්වා දුන්හ. පාසල් පොත සැකසුනේ එම අකුරුවලිනි. එයින් පසු බිහිවුණු පරම්පරාව පැරණි අකුරුවලින් ලියවුන පොත් කියවීමට නොදත් නිසා ජාතිය සතු ඥාන සම්භාරය ඔවුන්ට අහිමි වුණි. පැරණි සාහිත්‍ය කෘති, සාරධර්ම හා බෞද්ධ චින්තන සම්ප්‍රදාය වියට්‌නාමයෙන් මකා දැම්මේ භාෂාව මගිනි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ අපේ රටේ ද සිදුවුණේ එවැනි දෙයකි. ඉංග්‍රීසියෙන් උගත් අයගේ සිතුම් පැතුම් සකස් වුණේ බ්‍රිතාන්‍ය පාලනයට වුවමනා අයුරිනි. අධ්‍යාපන මාධ්‍ය ලෙස ඉංග්‍රීසි බස යොදා ගැනීම නිසා සිංහල භාෂාව කොන් වුණි. එය රාජ්‍ය භාෂාව කළයුතු යෑයි ඡේ. ආර්. ජයවර්ධන මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ යෝජනාව 1944 මැයි 25 වන දා විවාදයට ගත් විට ඇතැමුන් කියා සිටියේ ජයවර්ධන මහත්තයා කුස්‌සියේ භාෂාවට තැනක් දෙන්නට වෙහෙසනවා යනුවෙනි. සිංහල භාෂාවට එකල තිබූ සැලකිල්ල එයින් සිතා ගත හැක.
"සිංහල භාෂාව පමණක් දන්න කෙනෙකුට මන්ත්‍රීවරයකු හැටියට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුල්වීමට පුලුවන්කමක් තිබුණේ නැහැ. ස්‌ථාවර අණපනත්වලින් නියම කර තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් වැඩ කටයුතු කරන්න යි. ඒ කාලේ සිංහල ලඝූ ලේඛනයක් තිබුණේ නැහැ. සිංහල ටයිප් රයිටරය තිබුණේ නැහැ. සිංහල මොනෝ ටයිප් තිබුණේ නැහැ. ඒ නිසා කිසිම වැඩක් සිංහලෙන් කෙරුණේ නැහැ" (ඡේ. ආර්. ජයවර්ධන මහතා හැන්සාඩ් වාර්තාව - 1968 ජනවාරි 08)
රාජ්‍ය භාෂාව වශයෙන් සිංහල භාෂාව යොදා ගන්නට බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදෙන්නට පෙර යෝජනා කරන්නට හේතුව ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍යයෙන් මිදීම බව එම ප්‍රකාශනයෙන් පැහැදිලිව පෙනේ.
සිංහල හා දෙමළ ළමුන්ට තමන්ගේ මවුබසින් ඉගෙනීමේ අවස්‌ථාව ලබාදීමේ අරමුණ ඇතිව 1955 ජනවාරි 13 දින අධ්‍යාපන ඇමැති එම්. ඩී. බණ්‌ඩා මහතා ස්‌වභාෂා අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එයට විරුද්ධ වූ පිරිස පැවසුවේ ඉංග්‍රීසි භාෂාව පාසල්වල පළමු බස වශයෙනුත්, ස්‌වභාෂාව දෙවන බස වශයෙනුත් යොදාගත යුතු බවයි. ස්‌වභාෂා අධ්‍යාපන පනත සිංහල හා දෙමළ දරුවන්ගේ යහපත සඳහා ඉදිරිපත් කරන ලද්දකි. එහි අරමුණ වුණේ ඉංග්‍රීසි උගත් සුළු පිරිසකට සීමා වූ උසස් රැකියා සහ වරප්‍රසාද දුර බැහැර පෙදෙස්‌වල සාමාන්‍ය පවුල්වල දරුවන්ටත් ලබාදීමයි. එයට ජාති භේදයක් නොතිබුණි. ගම්බද දුප්පත් සිංහල හා දෙමළ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා වරම් ලැබුවේ ස්‌වභාෂා පනත නිසාය. ඒ අතර ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමත් ක්‍රමානුකූලව සිදු නොකිරීම අධ්‍යාපන ප්‍රතිපත්තිවල දුර්වලකමකි. ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා වරප්‍රසාද හිමිකරගත් දෙමළ ප්‍රභූවරුන් එම පනතට කැමැති වුණේ නැත. ස්‌වභාෂා පනත නිසා ඉගෙනීමට හා උසස් රැකියාවකට ලැබෙන අවස්‌ථාව පෙන්වා දෙමින් එහි යහපත් පැත්ත ඔවුන් දෙමළ ජනයාට මතුකර දැක්‌වූයේ නැත. සිංහල දරුවන් පමණක් නොව දෙමළ දරුවන් ද උගතුන් බවට පත්වනු දකින්නට ඔවුහු අකැමැති වූහ. එහෙත් ඔවුන් ප්‍රසිද්ධියේ කීවේ වෙනත් දෙයකි. සිංහලයන් දෙමළ ජනයා යටත් කර ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව දෙමළ නායකයෝ පැවසූහ. ඉංග්‍රීසියට මුල්තැන දීමෙන් ගම්බද සිංහල හා දෙමළ ජනතාව පොදුවේ මුහුණපාන අසාධාරණය ගැන දෙමළ නායකයන් අවධානය යොමු කළේ නැත.
1956 අංක 33 දරන සිංහල රාජ්‍ය භාෂා පනත මගින් රාජ්‍ය භාෂාව වශයෙන් සිංහල භාෂාව යොදා ගැනීමට කටයුතු කළේ බණ්‌ඩාරනායක අගමැතිවරයා යි. ඇතැමුන් නිර්වචනය කරන අන්දමට එය දෙමළ ජනයාට එරෙහිව සිදු කළ දෙයක් නොව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කටයුතු සිංහලෙන් සිදුකිරීම සඳහා ගෙනෙන ලද යෝජනාවකි. සිංහල මෙන්ම දෙමළ බස ද රාජ්‍ය භාෂාව විය යුතු බවට මතුවුණු අදහස භාෂා කොමිසම මගින් බැහැර කළේ එසේ කිරීමෙන් රාජ්‍ය පාලනයේදී අපහසුකම් සිදුවිය හැකි බව සඳහන් කරමිනි. භාෂා පනත සම්මත කෙරුණේ 1961 ජනවාරි 01 වන විට ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් එතෙක් භාවිත කළ ඉංග්‍රීසි භාෂාව නැවතත් භාවිතයට ගැනීමේ පදනම යටතේ ය. ඒ සඳහා අවුරුදු හතර හමාරක කාලයක් තිබිණි. එම පනත ඉදිරිපත් කළ අවස්‌ථාවේ බණ්‌ඩාරනායක මහතා පැවසූ ආකාරයට 1958 වසරේ දී දෙමළ භාෂා විශේෂ විධි විධාන පනත නමින් පනතක්‌ද පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණි. පළාත් පාලන කටයුතු, අධ්‍යාපනය, මහජන සේවය රජයේ ලිපි ගනුදෙනු ආදියේ දී දෙමළ බසට ඉඩ සැලසීමයි. රාජ්‍ය භාෂා දෙකක් යන ප්‍රතිපත්තිය 1955 දී එක්‌සත් ජාතික පක්‌ෂය ද ප්‍රතික්‌ෂේප කළේය.
සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව කිරීමට අප අදහස් කරන්නේ පහත දැක්‌වෙන කරුණු නිසාය. පළමුවන කාරණය නම්, රටේ ජනතාවගෙන් සියයට දහයකටත් අඩු පිරිසක් පාවිච්චි කරන විදේශීය භාෂාවක් වූ ඉංග්‍රීසි භාෂාව අත්හැරීමට ඇති කැමැත්තයි. භාෂා කිහිපයක් කතා කරන විවිධ ජාතික ජන කොට්‌ඨාශයන් පොදු පුරවැසියන් වශයෙන් එක්‌කිරීමට එකම භාෂාවක් යොදා ගැනීම ප්‍රයෝජනවත් වීම දෙවැනි කාරණයයි. ස්‌ථිර රටවැසි ජනතාවගෙන් ඉතා වැඩි පිරිස සිංහල භාෂාව කථා කරන හෙයින් ජාතීන් එක්‌කරන භාෂාව වශයෙන් සිංහලය යොදා ගැනීම යුක්‌ති යුක්‌ත යෑ" යි ඡේ. ආර්. ජයවර්ධන මහතා පවසා ඇත.
දෙමළ ජාතිවාදය බිහිවීමට හේතු වුණේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා නොවේ. දෙමළ දේශපාලකයන් නිතරම වෙහෙසුණේ දෙමළ ජනයාගේ සිත් සතන් තුළ සිංහලයන් කෙරෙහි වෛරයක් වැපිරීමයි. එසේ කළේ පෙඩරල් පාලනයක් සඳහා ජනතාව ඒකරාශී කර ගැනීමේ දේශපාලන අරමුණ වෙනුවෙනි. එය දිගුකලෙක සිට ඔවුන් තුළ පැවැති ජාතිවාදී වුවමනාවකි. දෙමළ භාෂාව කතා කරන ජනයාගේ අයිතිවාසිකම් වන දේශපාලන ස්‌වායත්ත භාවය හා ස්‌වයං නිර්ණය ඉල්ලා සිටින අතර, මූලික අභියෝගාත්මක මූලධර්ම අනුව භාෂාව පදනම් කළ රාජ්‍යවල දේශ සීමා නිර්ණය කිරීමට ජනමත විමසුමක් පවත්වන ලෙස ද ඉල්ලා සිටිමු යනුවෙන් එස්. ඡේ. චෙල්වනායගම් මහතා ප්‍රකාශ කළේ 1951 වසරේ පැවැත්වූ පෙඩරල් පක්‍ෂ සම්මේලනයේදීය. බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේද උතුර හා නැගෙනහිර පළාත් දෙකේ රාජ්‍ය භාෂාව වශයෙන් දෙමළ යොදා ගැනීමේ සැලැස්‌මක් තිබිණි. බණ්‌ඩාරනායක මහතාගේ කථාවකින්ද ඒ බව තවදුරටත් පැහැදිලි වෙයි.
"දෙමළ අන්තවාදීන් මේ ගැන කල්පනා කරන්නේ කෙසේද? පෙඩරල් පක්‌ෂයේ සිටින මඩකලපුවේ සී. රාජදුරේ මන්ත්‍රීවරයා වැනි අය කියන්නේ අපට රටේ හැම තැනම සම තත්ත්වයක් ඕනෑය කියායි. නමුත් හිත යට තිබෙන නියම අදහස නම් දෙමළ රාජ්‍යයක් හෙවත් ටැමිල්නාඩ් එකක් ඇති කරගන්නට තිබෙන වුවමනාව බව ඉන්දියාවේ සමහර පක්‌ෂ මගින් එළිදරව් වී තිබෙනවා. මේ දෙමළ රාජ්‍යයට දකුණු ඉන්දියාවත්, මලයාවත් ඇතුළත් කරගත යුතු යෑයි ඔවුන් අදහස් කරගෙන සිටිනවා. මේ විශාල රාජ්‍යයෙහි දෙමළ ධජය නැංවීමට ඔවුන්ට වුවමනා වී තිබෙනවා. ඔන්න එක්‌තරා අන්තවාදී පිරිසකගේ බලාපොරොත්තුව...." (1958 අගෝස්‌තු 5 හැන්සාඩ් වාර්තාව)
ජාතිවාදී දෙමළ දේශපාලකයන්ට උඩගෙඩි දෙනු ලැබුවේ මාක්‌ස්‌වාදී සිංහල දේශපාලකයන් විසිනි. සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා දෙමළ බසද රාජ්‍ය භාෂාවක් කළ යුතු බව 1960 ලංකා සමසමාජ පක්‌ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් විය. කොමියුනිස්‌ට් පක්‌ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වුණේ උතුර හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ නිජබිම නිසා එහි පරිපාලන කටයුතු දෙමළ බසින් කරගැනීමට ඔවුන්ට ඉඩදිය යුතු බවයි. දෙමළ රාජ්‍ය භාෂාව කිරීමට පමණක් නොව දෙමළ ජාතිවාදීන්ගේ නිජබිම් අයිතිය ගැනද වාමාංශිකයෝ කථා කරති. සර්වපාක්‌ෂික කමිටුවේ සහ ජනවාර්ගික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වගකීම් පැවරී තිබෙන්නේ මේ මතවාද දැරූ පක්‌ෂවල අනුප්‍රාප්තිකයන්ට ය. එක බසක් රටවල් දෙකක්, භාෂා දෙකක් එක රටක් යනු ඔවුන්ගේ ප්‍රියජනක පාඨයකි. නිරතුරුව මැතිරීමෙන් සමාජගත කෙරුණ මුසාවකි. එක භාෂාවක් කතා කරන මිනිසුන් කිසියම් රටක සිටින විට අදහස් හුවමාරුවෙන් එකමුතුකමක් ඇති කර ගැනීම පහසුවකි. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි බසයි. එක බසක් යනු එක රටකි. ජනගහන ප්‍රතිශතය අනුව බහුතරය සිංහල වන නිසා කළ යුතුව තිබුණේ සුළු පිරිසක් වන දෙමළ ජනයාට ඔවුන්ගේ භාෂාවට අමතරව සිංහල ඉගෙන ගැනීමට පහසුකම් සැලැස්‌වීමයි. දෙමළ හා මාක්‌ස්‌වාදී දේශපාලකයන් කළේ භාෂාව ඔස්‌සේ ජාති භේද ඇවිස්‌සීමයි. ජාතිවාදීන්ගේ භාෂා විරෝධය නොතිබුණා නම් වසර කීපයක් තුළදී දෙමළ ජනතාවට සිංහල භාෂාව ඉගෙනීමට හැකියාව ලැබෙනු නිසැකය. බණ්‌ඩාරනායක අගමැතිවරයාගේ කථාවකින්ද එය පැහැදිලි වෙයි.
"මේ කරුණ අමතක කරන්න එපා. දැන් යාපනේ සෑම පාඨශාලාවකම වාගේ සිංහල භාෂාව උගන්වනවා. මා ඒ ගැන සන්තෝෂ වෙනවා. දැනට ටික කලකට පෙර ඇමැතිවරයකු හැටියට මා යාපනයට ගිය අවස්‌ථාවකදී යාපනයේ පාඨශාලාවක ළමයින් මා පිළිගත්තේ ඉතාම රම්‍ය කවි පන්තියක් කීමෙනුයි. ඒ දිනවල පවා යාපනේ ශිෂ්‍යයන්ට සිංහල කවිත් කියන්නට පුළුවනි. නිකම් සාමාන්‍ය වශයෙන් සිංහල කියවන්නට ලියන්නට පමණක් නොව කවි පවා කියන්නට පුළුවන්කම තිබුණා. දැන් ඊටත් වඩා යාපනේ ශිෂ්‍යයන්ට සිංහල පුළුවන්කම ඇති. සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීම ලොකු ප්‍රශ්නයක් නොවන්නේ ඒ නිසයි."
(1955 ඔක්‌තෝබර් 19 දින හැන්සාඩ් වාර්තාව)
බණ්‌ඩාරනායක මහතා බලාපොරොත්තු වූ පරිදි ජනතාවගෙන් සියයට 75 ක් පමණ පිරිසක් කථා කරන සිංහල භාෂාව රටේ ඉතිරි පිරිසටත් ඉගෙනීමට ඉඩ සැලසුවා නම් මේ වන විට පොදු භාෂාව වශයෙන් සිංහල භාවිත කරන්නට තිබිණි. භාෂා ප්‍රශ්නයක් මතු වන්නේද නැත. ජාතිවාදීන් හා මාක්‌ස්‌වාදීන් එයට ඉඩ දුන්නේ නැත. සිංහලයන් සමග සමගියෙන් ජීවත් වන්නට කැමැති දෙමළ ජනයා විරුද්ධව දේශපාලකයන් කටයුතු කළ හැටි දැක්‌වෙන සිද්ධියක් 1969 මැයි 26 දින ලංකාදීප පුවත්පතේ පළවී තිබිණි. අපේ දරුවන්ට සිංහල ඉගෙන ගන්නට පහසුකම් සලසනන යෑයි ද්‍රවිඩ හරිජන මවුපියෝ පන්සියයකට අධික පිරිසක් යාපනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. යාපනයේ අච්චුවේලි, කරවෙඩ්ඩි සහ අල්වායි පිහිටි ද්‍රවිඩ බෞද්ධ පාසල් රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය විධි විධාන යෙදීමට එහි ගිය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩී. ජී. කුලතුංග මහතා වෙත ඉල්ලීම ඉදිරිපත් කළ හරිජන මවුපියෝ මේ පාසල්වල අධ්‍යාපන මාධ්‍ය වශයෙන් ද්‍රවිඩ භාෂාව නියම නොකළ යුතු බව කියා සිටියහ. අධ්‍යාපන අධ්‍යක්‍ෂ තනිකාසලම් සහ සමස්‌ත ලංකා ද්‍රවිඩ බෞද්ධ සංගමයේ සභාපති එම්. වයිරමුත්තු යන මහත්වරුද කුලතුංග මහතා සමග එහි ගියහ.
"ඒ ඒ පාසල වෙත රැස්‌වී හරිජන දෙමවුපියෝ තම දරුවන්ගේ අධ්‍යාපන මාධ්‍ය සිංහල හැර වෙනත් භාෂාවක් නොවිය යුතු බවට කරුණු ඉදිරිපත් කළහ. තම දරුවන්ගේ අධ්‍යාපන මාධ්‍ය සිංහල විය යුතු බව තමන් 1965 සිට අධ්‍යාපන ඇමැතිවරයාට කියා සිටිය බවත් ඇමැතිවරයා මෙම පාසල්වල සිංහල උගැන්වීමට කලින් ගත් තීරණය කිසිම අයුරකින් වෙනස් නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔවුහු කීහ." ඒ. අමිර්තලිංගම් මහතා ඇතුළු පෙඩරල් පක්‌ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු දෙමළ ජනතාවගේ ඉහත සඳහන් ඉල්ලීම වැළැක්‌වීමට අගමැතිවරයාට විදුලි පණිවුඩ යෑවූ බවද එම වාර්තාවේ සඳහන් වෙයි.
පිරිවෙන් අධ්‍යාපනයට දෙමළ අනිවාර්ය කිරීම දැන්වත් කළ යුතු දෙයකි. දෙමළ බසට නිසි තැන ලබාදෙන අන පනත් රැසක් දැනට සම්මත වී තිබේ. 1958 අංක 31 දරන ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්‌ඩල පනතින් සිංහල හා දෙමළ භාෂා සම මට්‌ටමෙන් සැලකෙයි. 1959 උසාවි භාෂා පනත මගින් උසාවිවල කටයුතු දෙමළ බසින් කිරීමට පහසුකම් සලසා ඇත. 1966 ජනවාරි 08 දින දෙමළ භාෂාවේ භාවිතයට අවකාශ සැලසීමේ රෙගුලාසි සම්මත කර ඇත. 1978 වසරේ පටන් දෙමළ භාෂාවද ජාතික භාෂාවක් වූ අතර 1987 දී එය සම්මත රාජ්‍ය භාෂාවක් බවට නම් කෙරිණි. දෙමළ භාෂාව පිළිබඳ සියලු අයිතිවාසිකම් දෙමළ ජනතාවට ලැබී ඇත. දෙමළෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ හිඟකම නිසා පරිපාලන කටයුතුවලදී දෙමළ ජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව සත්‍යයකි. එය සිදු වුණේ මෙතෙක් බලයට පත් රාජ්‍ය පාලකයන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකළ බැවිනි. එයට විසඳුම භාෂාව පදනම් කරගෙන රට බෙදීම යෑයි සිතීම මෝඩකමකි. ත්‍රස්‌තවාදය මැඬලීමෙන් පසු අපගේ ඉලක්‌කය විය යුත්තේ රටවැසියන් අතර එකමුතුකමයි. සිංහල රාජ්‍ය භාෂාව වීමෙන් ප්‍රශ්න මතුවුණා නම් එය නිමා විය යුතුය. එය එසේ නොවන්නේ කුමක් හෝ සුළු ප්‍රශ්නයක් ඔස්‌සේ ජාතිවාදය ඇවිලීම දෙමළ ජාතිවාදීන්ගේ ස්‌වරූපය යි. වාහනවල ශ්‍රී අකුරු යෙදීම නිසා සිදුකළ විනාශය එයට නිදසුනකි. අද ලක්‌ෂ ගණනක් දෙමළ ජනයා දුක් විඳින්නේ අවස්‌ථාවාදී දෙමළ දේශපාලකයන්ගේ බලලෝභී හැසිරීම හේතුවෙනි. දි. මු. ජයරත්න මහතාගේ ප්‍රකාශය සත්‍ය බවට අප අනුමත කරන්නේ එබැවිනි.
මැදගම ධම්මානන්ද හිමි
(දිවයින_09/07/03)
පසුවදන_සිංහල රාජ්‍ය භාෂාව කිරීම පිළිබඳ එක්තරා ඇමතිවරයෙක් සිය නොසතුට ළඟදී ප්‍රකාශ කර තිබිණි. අවස්ථාවදී ද්‍රවිඩ ජාතිවාදය විසින් පෝෂණය කළ මතවාදවල හොල්මන් තවමත් බලගතු තැන්වල සැරිසරණ බව පෙනේ. එහෙත් ඒ මතවාද කෙතරම් ව්‍යාජ ඒවාදැයි මෙම ලිපියෙන් පැහැදිළිය. ඒ ඇමතිවරයා නැවත මෙරටට ආනයනය කරන්නට පෙර විසූ ඇමරිකාවේ සුදු මිනිසුන් 69%කි. ස්පාඤ්ඤ බස කතා කරන මෙක්සිකානුවන් 12.5%කි. එහෙත් එරට ස්පාඤ්ඤ බසින් සරසවි නැත. ස්පාඤ්ඤ බසින් පුරවැසි ප්‍රශ්න පත්‍ර නැත. ඒ විභාගයට මුහුණ නොදී පුරවැසියන් විය නොහැකිය. එහෙත් අපේ රටේ දෙමළ බසට ඊට වඩා වැදගත් තැනක් ලබා දී ඇත. ඉදිරියේ එය තවත් පුළුල් වනු ඇත.
Thursday, July 2, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment