Thursday, July 9, 2009

බලය බෙදීම හා සංවර්ධනය

ඉන්දියාවේ ද හින්දු පත්‍රයේ කර්තෘ එන්. රාම් මහතා පසුගියදා ලංකාවට පැමිණ සිටියේය. ඔහු සිය ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද හමුව තිබිණි. එහිදී හින්දු පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ උතුර - නැගෙනහිරට ලබාදෙන දේශපාලන විසඳුමකට ජනතාවගෙන් වරමක්‌ ලබා ගත යුතු බැවින් ඒ පිළිබඳව තීරණයක්‌ ගන්නේ තමා නැවත ජනාධිපති තනතුරට තේරී පත්වූවාට පසුව බවයි. මේ රටේ ෆෙඩරල්වාදයකට ඉඩක්‌ නැති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. උතුර - නැගෙනහිරට ලබාදෙන්නේ යෑයි කියන දේශපාලන විසඳුමට ජනතාවගෙන් වරමක්‌ ලබාගත යුතු බවට ජනාධිපතිවරයා කර ඇති සඳහන ද ඉතා වැදගත්ය. අද දිනයේ රට තුළ බලය බෙදීම, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා වේ 13 වන සංශෝධනය සහ උතුර - නැගෙනහිරට ලබාදෙන දේශපාලන විසඳුම පිළිබඳව සුවිශාල කතිකාවක්‌ නිර්මාණය වී තිබේ. මේ පසුබිම තුළ බලය බෙදීම, පළාත් සභා ක්‍රමය සහ සංවර්ධනය පිළිබඳව මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වෙයි.

1987 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට කරන ලද 13 වැනි සංශෝධනය තුළින් මෙරට පළාත් සභා ක්‍රමයක්‌ බිහි විය. පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන අවස්‌ථාවේදී ඒ සඳහා පැවැති විරෝධතා පිළිබඳව ඕනෑතරම් සාකච්ඡාවට බඳුන් වී ඇති බැවින් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසු රටට යම් ප්‍රගතියක්‌ අත් වී තිබේද යන්න පිළිබඳව මේ මොහොතේ සාකච්ඡා කිරීම වඩා වැදගත් බව අපගේ අදහසයි. දශක දෙකකට අධික කාලයක්‌ මේ පළාත් සභා ක්‍රමය රට තුළ ක්‍රියාත්මක වී ඇත. උතුර - නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක්‌ වශයෙන් බලය බෙදීම සඳහා පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවත්, අවසානයේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වූයේ රටේ සෙසු පළාත්වලය. උතුර - නැගෙනහිර පළාත්වල එය ක්‍රියාත්මක වූයේ නැත. නැගෙනහිර පළාත් සභාව හෝ පසුගියදා පිහිටුවන්නට හැකිවූයේ කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව රජය දියත් කළ මානුෂික මෙහෙයුම තුළින් එම පළාත ත්‍රස්‌ත ග්‍රහණයෙන් මුදාගත් නිසාය. දැන් රටම ත්‍රස්‌ත ග්‍රහණයෙන් මිදී අවසන්ය. එහෙත් බලය බෙදීම්, පළාත් සභා හෝ ඊනියා සාම වැඩපිළිවෙළ (විවිධ රජයන් යටතේ දියත්වූ) තුළින් රටට උදාවූ සාමයක්‌ නැත. උතුර - නැගෙනහිර ප්‍රශ්නය විසඳන්නට යෑයි කියා ගෙනා පළාත් සභා ක්‍රමය අවසානයේ රටේ සෙසු පළාත්වල පමණක්‌ ක්‍රියාත්මක වී රටට බරක්‌ විය.

මේ පළාත් සභා සුදු අලියාව ජනතාව විසින් තවදුරටත් පෝෂණය කළ යුතුද? නැගෙනහිරට මෙන් උතුරටත් පළාත් සභාවක්‌ පිහිටුවා පළාත් සභා සුදු අලියාගේ බර ජනතාව පිට තව තවත් පටවනවාද? ඊනියා බලය බෙදීමක්‌ සඳහා ගෙනා පළාත් සභා ක්‍රමය අහෝසිකොට පළාත් සභා සුදු අලියාගේ බරින් මේ රටේ ජනතාව නිදහස්‌ කරනවාද? දශක දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ මේ රටේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් රටට ආර්ථිකමය වශයෙන් කිසියම් ප්‍රගතියක්‌ අත්වී තිබේද? මේ ප්‍රශ්න අද දිනයේ අප හමුවේ තිබේ.

බලය බෙදීමට අමතරව මෙරට පළාත් සභා ක්‍රමය දියත් කිරීමෙන් අපේක්‌ෂා කළ තවත් අරමුණක්‌ වූයේ පළාත් සංවර්ධනයයි. එනම් පළාත් සංවර්ධනය කිරීම තුළින් රට තුළ තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක්‌ ඇතිකර ගැනීමයි. මේ තුලිත ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳව සහ පළාත් සභා ක්‍රමය තුළින් ඒ සඳහා වැඩක්‌ වී තිබේද යන්න පිළිබඳව කදිම සඳහනක්‌ 2007 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් ය.
ඒ මෙසේයි.

"ප්‍රාදේශීය සංවර්ධනය ඉලක්‌ක කර ගත් දැනට ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ගයන්ට පළාත් සභා ක්‍රමය මගින්ද ඵලදායී දායකත්වයක්‌ ලබාදිය හැකිය. 1987 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට කරන ලද 13 වන සංශෝධනයත් සමඟ පළාත් සභා ක්‍රමය ආරම්භ වූ අතර දැනට දශක දෙකක පමණ කාලයක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ. මේවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සමීපව සලකා බලන විට හෙළිවන කරුණක්‌ වන්නේ මෙතරම් දිගු කලක්‌ තිස්‌සේ පළාත් සභා ක්‍රියාත්මක වුවද එහි එක්‌ අරමුණක්‌ වන "තුලිත ප්‍රාදේශීය සංවර්ධනය" ළඟා කර ගැනීම ඉටුකරගෙන නොමැති බවයි. ඉහතින් සඳහන් කර ඇති පරිදි, සමාජමය දර්ශක මගින් සැළකියයුතු මට්‌ටමේ පරතරයක්‌ පිළිබිඹු නොවුවද ප්‍රාදේශීය ආර්ථික අසමානතාවන් තවමත් පවතින අතර, ඒවා වැඩිවෙමින් ද පවතී. ඇතැම් විට පළාත් සභා විසින් යම් ප්‍රයත්නයක්‌ දරා ඇති නමුත් එමගින් මේ දක්‌වා පළාත්වල සැළකිය යුතු මට්‌ටමේ වෙනසක්‌ ඇතිවී නොමැත.
(ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව - 2007 ,පි. 58)

රටේ නිල ආර්ථික වාර්තාව කියන්නේ මේ කතාවයි. එනම් පළාත් සභා ක්‍රමයේ එක්‌ අරමුණක්‌ වූ තුලිත ප්‍රදේශීය සංවර්ධනය ඇතිකිරීමට එම ක්‍රමය දායක වී නැති බවයි. පළාත් සභා ක්‍රමයේ ප්‍රධාන අරමුණ වූ උතුර - නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම කිසි දිනක එම ක්‍රමය මගින් ලැබුණේද නැත. දශක දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ සිදු නොවුණු දෙයක්‌ ඉදිරියට සිදු වනු ඇතැයි ද බලාපොරොත්තු විය නොහැකිය. මේ අනුව පළාත් සභා ක්‍රමයේ ප්‍රධාන අරමුණු මෙන්ම ආර්ථික අරමුණුද ඉටුනොවී, සිදුවූ එකම දෙය නම් තවත් දේශපාලන පැලැන්තියක්‌ නඩත්තු කරන දැවැන්ත වියදමක්‌ මේ රටේ ජනතාව පිට පැටවීමයි. දැන්වත් මේ බර ජනතාවගෙන් ඉවත් කිරීමට කාලය එළඹ ඇති බව අපගේ අදහසයි. ජනමත විචාරණයත් තුළින් ජනමතය විමසා මේ ගැන සුදුසු තීන්දුවක්‌ ගැනීමට රජයට පුළුවන.

යුද්ධය වනාහී දේශපාලන වැඩපිළිවෙළක කොටසක්‌ නොවන්නේ යෑයි කියන්නට පුළුවන් කාටද? මේ රජය ඇතුලේම සිටින සාම නඩයේ ඇත්තන්ට මෙය කියන්නට පුළුවන්ද? ඇමැති තිස්‌ස විතාරණට හෝ ඩිලාන් පෙරේරාට මෙය කියන්නට පුළුවන්ද? යුද්ධයට කිසිවෙක්‌ කැමැති නැත. යුද්ධය රටකට ආර්ථිකමය වශයෙන් ද අහිතකරය. එහෙත් යුදවාදය පෝෂණය කරන්නේ මේ ඊනියා සාම නඩයේ ඇත්තන්මය. ඒ නිසා ඊනියා සාමවාදීන් කළේ දිගින් දිගටම යුද්ධය පෝෂණය කිරීමයි. ඊනියා සාම ක්‍රියාමාර්ග තුළින් කොටියා දිගින් දිගටම ශක්‌තිමත් කරමින් රටට මහත් ආර්ථික විපතක්‌ ඇතිකිරීමයි.

යුද්ධය තුළ දේශපාලනයක්‌ තිබෙන අතර යුද්ධය යනු දේශපාලන විසඳුම් ක්‍රියාවලියකම කොටසක්‌ බව ද අප මතක තබා ගත යුතුය. කොටි ත්‍රස්‌තවාදය ගැන කතා කිරීමේදී යුද්ධයත්, දේශපාලන විසඳුම් ක්‍රියාවලියත් එකිනෙකට වෙන් කරන්නට පුළුවන්කමක්‌ නැත. අපගේ අදහස නම් උතුර - නැගෙනහිර ප්‍රශ්නයට (කොටි ත්‍රස්‌තවාදයට) ප්‍රධානතම දේශපාලන විසඳුම දැන් ලබාදී අවසන් බවයි. එම දේශපාලන විසඳුම නම් ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්‌තවාදය අවසන් කිරීමයි. කොටි ත්‍රස්‌තවාදය ගැන කතා කිරීමේදී මීට වඩා දේශපාලන විසඳුමක්‌ තිබේද යන්න අප ප්‍රශ්න කළ යුතුව ඇත. සාමයේ අගය කියූ, සාමය සඳහා පෙනී සිටි බොහෝ දෙනාගේ සිත යට තුළ තිබූ එකම පැතුම වූයේ "යුද්ධය දිගුකල් පවතීවා" යන්නයි. සාමයේ අගය වැඩි වැඩියෙන් කීමට ඔවුන්ට පුළුවන් වන්නේ යුද්ධය පවතින විටය. ඒ නිසා සාමය විකුණන් කමින් ජීවත් වන්නට යුද්ධය අවශ්‍යය. සාමය වඩාත් හොඳින් අලෙවි කරමින් බඩවියත රැකගත හැක්‌කේ යුද්ධය දිගුකල් පැවතීමෙනි. ඒ නිසා ඊනියා සාමවාදීන් සියල්ලම පාහේ යුද්ධය පැතූ, යුද්ධය දිගින් දිගටම පෝෂණය කළ යුදවාදීන් පිරිසකි. ඒ තුළින් රටට මහත් ආර්ථික විපතක්‌ ඇතිකිරීමටද දායක වූ පිරිසකි. ඒ නිසා බලය බෙදීම, 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම යනාදියට රජය ඇතුලේම සිට බලපෑම් කරන සාමවාදී නඩයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වඩාත් ප්‍රවේශම් විය යුතුය.

ජනාධිපතිවරයාගේ අභීත දේශපාලන නායකත්වය තුළින් සහ රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් රණවිරු විජයග්‍රහණය පාවා නොදිය යුතුය. රණවිරු ජයග්‍රහණය පාවා දෙන රජයේ ඇතුලේම සිටින ඊනියා සාමවාදීන් අද එළිපිටම කරළියට පැමිණ ඇත. ඔවුන් ප්‍රභාකරන් ඝාතනය වීම ගැන සිතින් දුක්‌වන පිරිසකි. ඒ දුක නිවා ගැනීමට ඔවුන් දැන් කරන්නට යන්නේ රණවිරු විජයග්‍රහණය පාවාදීමට කටයුතු කිරීමයි. කොටි ත්‍රස්‌තවාදය යුදමය ක්‍රියාමාර්ග තුළින් පරාජය කරමින් උතුර - නැගෙනහිර ප්‍රශ්නයට සුවිශාලතම දේශපාලන විසඳුම ලබාදීමෙන් පසු එම දේශපාලන විසඳුම් ක්‍රියාවලියේ තවත් කරන්නට බොහෝ දේ තිබේ. ඒ බලය බෙදීම හෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වන සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම නොව උතුර - නැගෙනහිර පළාත්වලටත් එම ජනතාවටත් ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදීමයි. ඒ නිසා දැන් කළ යුත්තේ උතුර - නැගෙනහිර පළාත්වලට සංවර්ධනය කැන්දාගෙන යැමයි. මංමාවත්, රෝහල්, පාසල්, ජල පහසුකම්, සහ විදුලිබලය ඇතුළු යටිතල පහසුකම් දියුණු කරදීමයි. ඒ අයට බියෙන් සැකෙන් තොරව නිදහසේ තම ජීවනෝපාය කර ගනිමින්, දරු පැටවුන්ට නිසි අධ්‍යාපනයක්‌ ලබා දෙමින් හොඳ ජීවන තත්ත්වයක්‌ ඇතිව වාසය කරන්නට අවශ්‍ය පරිසරයක්‌ උදාකර දීමයි.

ප්‍රභාකරන් ඝාතනය කොට උතුර - නැගෙනහිර ප්‍රශ්නයට රජය දැනටමත් ලබාදී ඇති දේශපාලන විසඳුම තවත් සම්පූර්ණ කළ හැක්‌කේද එය වඩාත් අර්ථවත් කළ හැක්‌කේද මෙලෙස උතුර - නැගෙනහිර පළාත්වලට සංවර්ධනයේ අරුණලු උදාකරදී ඒ ජනයාට හොඳ ජීවන තත්ත්වයක්‌ උදාකර දීමෙනි. ජනාධිපතිවරයා කියන පරිදි ජනාධිපතිවරණයෙන් පසුව හෝ දියත් කළ හැකි මෙරට ආර්ථිකයට වඩාත් හිතකර දේශපාලන විසඳුම වන්නේ උතුර - නැගෙනහිරට ආර්ථික සමෘද්ධිය ළඟා කරදී ඒ තුළින් මුළු රටේම ආර්ථිකය වේගයෙන් ඉදිරියට ගෙන යැමට පියවර ගැනීමයි. මේ දේශපාලන විසඳුම ලබාදීමේදී ප්‍රභාකරන්ගේ මරණයෙන් දුක්‌ වී සිටින රජයේ ඇතුලේම සිටින සාමවාදීන්ගෙන් එල්ල වන අභියෝග ජයගැනීමද අවශ්‍යය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


පළාත් අනුව දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය (2006)
පළාත ද. දේ. නියට දායකත්වය ප්‍රතිශතයක්‌ (%) වශයෙන්
බස්‌නාහිර 50.1
දකුණ 9.3
සබරගමුව 6.2
මධ්‍යම 8.8
ඌව 4.6
නැගෙනහිර 4.7
වයඹ 9.3
උතුරු මැද 4.1
උතුර 2.9

මූලය - ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්ෂික වාර්තාව (2007)

(දිවයින_09/07/09)

පසුවදන_පලාත් සභාවලින් බලාපොරොත්තු වූ කිසිවක් ඉටුවී නැත. එහෙත් මේ සුදු අලියා දේශපාලුවන්ට නම් කප්රුකකි. ඔවුන්ගේ හතර වරිගය ජාතික දේශපාලනයට දක්කා ගෙන ඒමට පලාත් සභාව කදිම පාරකි. මෙලෝ හසරක් නොදත් දේශපාලන ඥාතීන්ට රැකියා වෙළඳපළකි.මහ මැතිවරණයෙන් පැරදෙන අයට ආණ්ඩුකාර ධූර තිබේ. මහ ඇමතිධුර 8කි. ඇමතිධූර 30ට වැඩිය. එහි කාර්ය මණ්ඩලවල සිය ගණනකි. මේ හොර ගුහාව නඩත්තු කරන්නේ අගුවක නිදා පාන් කෑල්ලකින් වේල පිරිමහින හිඟන්නාගෙන් පවා ගන්නා බදු මුදලිනි. එහෙයින් කළ යුත්තේ වහාම පලාත් සභා අහෝසි කර ඒ මුදල් රටේ සංවර්ධනයට යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි. මේ ආණ්ඩුවේ සිටින මන්ද මානසික ෆෙඩරල් බෙදුම්වාදී රෝගීන් සැනසීමට ඉහත යෝජනාව ක්‍රියාත්මක කරනට ජනමත විචාරණයක් පැවැත්වීම ද නරක නැත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !