Tuesday, July 21, 2009

ජනාධිපතිතුමාට කියෑවීම පිණිස...

තම දියණියගේ උපන්දිනය වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවරදී සාදයක්‌ පවත්වා ඒ සඳහා වියදම් වශයෙන් රුපියල් ලක්‍ෂ 45 ක්‌ ලංකාණ්‌ඩුවෙන් අයකර ගැනීමට තැත් කළ ඇමැතිවරයකු ගැන මේ දිනවල කතා බහ පැතිර යයි. මේ කතාව ඇත්ත නම් මේ ඇමැතියාට ...... තැබිය යුතුය. (සුදුසු දඬුවම හිස්‌තැනට යොදාගෙන කියවන්න.) මේ කතාව බොරු නම් ඒ බොරුව පැතිරවූ එවුන්ට කස පහර දී උල තැබිය යුතු ය. රුපියල් ලක්‍ෂ 45 ක්‌ යනු මේ රටේ මධ්‍යම පාන්තිකයකු වසර 40 ක්‌ තිස්‌සේ වැඩ කර උපයන මුළු වැටුප හා සමාන මුදලකි. එය එක උපන්දින සාදයක්‌ සඳහා වැය කිරීමට ඇමැතිවරයකුට හැකිනම් නිසැකව ම ඒකා ආණ්‌ඩුවට එකතු වී ඇත්තේ එක්‌කෝ රට කෑම පිණිස යá නැතහොත් උපන්දින කේක්‌ කෑම පිණිස ය. කෙසේ වුවද මේ ඇමැතිතුමා ඉතා හොඳ පියෙකි. වරද, තම යහපත් පීතෘත්වයේ ගාස්‌තුව බදු ගෙවන ජනයාගේ මුදලින් ගෙවීමට තැත් කිරීම ය. මේ මුදල ආණ්‌ඩුව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇති අතර එයින් පැහැදිලි වන්නේ ආණ්‌ඩුවේ කොන්දට ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගය වැළඳී නැති බව ය. (ඔස්‌ටියෝපොරෝසිස්‌ වැළඳුණු විට අස්‌ථි දිරා යැම සිදු වෙයි.) මෙයට කලකට පෙර පැවැති සාම කතා වටයකදී මේ ඇමැතිගේ පුතකු ද සාකච්ඡා මේසයට ඉඳගත් බව දැන ගැනීමට තිබේ. ඒ ගැන ප්‍රශ්න කළ විට ඇමැතිතුමා සඳහන් කර ඇත්තේ තම පුත්‍රයා දේශපාලනයට ගෙන ඒමේ අදහසක්‌ තමන් තුළ ඇති බැවින් පෙරහුරුවක්‌ කළ බව ය. එහෙත් තමාගේ පුත්‍රයා යුද පෙරහුරුවකට යවා යුද්ධය සඳහා සූදානම් කරන ලෙස ඒ දිනවල ඒ ඇමැතිතුමාට කීවේ නම් එතුමා එයට අවනත වනු ඇද්ද?

ශ්‍රී ලංකාව යනු ඇමැති දියණියකගේ උපන්දින සාද වෙනුවෙන් වියදම් කිරීමට තබා පාන් භාගයක්‌වත් මිලට ගැනීමට වත්කමක්‌ නැති ජනයා සිටින රටකි. උදේට කෑවොත් දවල්ට කන්නේ කෙසේදැයි නොදන්නා මේ මිනිස්‌සු පවුලේ ගැහැනු දරුවකු වැඩිවිය පත් කල්හි රුපියල් ලක්‍ෂයක්‌ පමණ පොලියට ගෙන මඟුල් කති. පෙර කී ඇමැතිවරයා පාන් ගැනීමට මුදල් නැති පරම්පරාවේ කෙනකු නොවුවද ණයට ගෙන මඟුල් කන පරම්පරාවේ කෙනෙකි. ඔහුගේ විදේශ ගමන් සඳහා වැය වූ මුදල් ගැන පාර්ලිමේන්තුවේදී ඔහුගෙන් ප්‍රශ්න කළ විට සැපයූ තොරතුරු ව්‍යාජ බව ද දැනගන්නට තිබේ. මෙයින් ඇමැතිවරු තව දෙදෙනෙක්‌ මෙරටට සිටියොත් සෙසු සියලු ඇමැතිවරුන්ට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ද ඉස්‌සර කරගෙන හිඟමනේ යැමට සිදුවනවා ඇත.

ඉතා අමාරුවෙන් නිදහස්‌ කරගත් රට අනුභව කිරීමට දේශපාලනඥයන් දෙතුන් දෙනකුට ඉඩ දිය යුතු නැත. ඇතැම් ඇමැතිවරුන්ට නිල රථ කිහිපයක්‌ ඇති අතර ඇමැති බිරිඳ වන මැඩම්ට ද වෙනම නිල රථයක්‌ ඇත. ගෙදර පාවිච්චියට ද වෙනම රථ ඇත. ගෙදර තීන්ත ගෑමට අමාත්‍යාංශවල කාර්යාල කාර්ය සහායකයන් පාවිච්චි කෙරේ. හොරකමට ම උපන් එයින් සමහරු සති ගණන් අතිකාල ගාස්‌තු අය කරමින් ඇමැති නිවස පාට කරති. මෙය හැම ආණ්‌ඩුවක්‌ යටතේ ම තිබුණු දූෂණයකි. ජනාධිපති ප්‍රේමදාසගේ ජනසවිය කඩා වැටුණේ මෙබඳු දූෂණ නිසා ය. ඒ සංකල්පය කොතරම් යහපත් වුවද පටන් ගන්නා තැන සිට අගට ම දූෂණ සිදු වූ හෙයින් ජනසවිය ලාභියා ශරීර හොරකු බවට පත්විය. මේ දිනවල ඇති උතුරු වසන්තය ගනිමු. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් කෙනකුට කිලිනොච්චියටත් තවකකුට වවුනියාවටත්, අනෙකාට යාපනයටත් යැමට ඇතැයි සිතමු. තනි ගමනකින් මේ සියලු ස්‌ථාන ආවරණය කළ හැකි වුවද වාහන තුනක්‌ මේ වෙනුවෙන් යන අවස්‌ථා අමාත්‍යාංශවල ඇත. එවිට ඉන්ධන, අතිකාල දීමනා යනාදිය රිසි සේ ලබාගත හැකි ය. මේ සියල්ල විසඳිය යුතු කාරණා ය. එබැවින් ජනාධිපතිතුමනි, අද මේ තීරුව ඔබතුමාට කියවීම පිණිස ය.
(දිවයින_09/07/22)

ටිප්පණිය_පාතාළය විනාශය කිරීම ගැන අපි ඊයේ කතා කරමු. එහෙත් ඊට වඩා ඉක්මන් කළ යුතු වැඩ කිහිපයක් ඇත. ඉන් ප්‍රමඛ වන්නේ මෙවන් මහජන දේපළ සිය සුඛ විහරණයට යොදා ගන්නා ආත්මාර්ථකාමී දේශපාලුවන් වහාම ආණ්ඩුවෙන් පන්නා දැමීම ය. නැතහොත් වර්තමානයේ ආණ්ඩුව දිනාගෙන ඇති ජනප්‍රියත්වය පාරාවළල්ලක් වීමට බොහෝ කල් ගත නොවනු ඇත. කිරි කළයක් වනසන්නට එක් ගොම ඇබින්ඳක් ප්‍රමාණවත් ය. එහෙයින් මෙවන් වසුරු ඇමතිවරු පන්නා දැමීමට ජනපතිතුමා පියවර ගත යුතුය. ඒ සඳහා එතුමාට කොන්දක් ඇතැයි අපි විශ්වාස කරමු.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !