මැති ඇමැතිවරු
සීරුවෙන්
පෙන්වා දෙති වැසියනට
ලෙහෙසි නැති
පහසු නැති
කාරියක් බව පාලනය
රට පාලනය
බර්ටෝල් බ්‍රෙෂ්ට් කවියාගේ ඉහත සඳහන් සුප්‍රකට කවි පේළි කීපය අපට සිහිපත් කළේ ඊයේ "දිවයින" මුල් පුවත ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට නිවාස 150 ක්‌ද, නියෝජ්‍ය කථානායකට සහ කමිටු නියෝජ්‍ය සභාපතිවරුන්ට නිවාස 02 ක්‌ද, පාර්ලිමේන්තු මහා ලේකම්, නියෝජ්‍ය මහා ලේකම් සහ සහකාර ලේකම් යන තිදෙනාට නිවාස 03 ක්‌ද වශයෙන් මහා පරිමාණයේ සුපිරි නිවාස සංකීර්ණයක් ආරම්භ කිරීමට රජය සූදානම් වෙමින් සිටින්නේ යෑයි එහි සඳහන් ය.
තමන්ට කියා නිවාස කොහේ තිබුණත් පාර්ලිමේන්තුවට ඉක්‌මනින්ම පැමිණිය හැකි ඉසව්වක මේ සුපිරි මහජන සේවකයනට සුපිරි නිවාස සංකීර්ණයක් ආරම්භ කිරීම පිළිබඳ අපට ඇති රුදාවක් නැත.
මන්ත්‍රීවරු ද මනුෂ්‍යයෝ ය.
සුපිරි රථයක ඉගිල්ලී නොගොසින් ඔවුන් රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන්නේ කෙසේද?
මාර්ග තදබද, මාර්ග බාධක, මාර්ග නීති ආදිය සලකන්නට ගියහොත් මහජන ප්‍රශ්න විසඳීම කෙරෙහි වන ඔවුන්ගේ එකම අවධානයට බාධා නොවන්නේ යෑයි කිවහැක්‌කේ කාටද?
හොඳින් කා බී සැප නිවසක වාසය නොකරන මිනිසකුට සෙසු මිනිසුන්ගේ නිවාස අවශ්‍යතාව වැටහෙන්නේ කෙසේද?
එහෙයින් කිසිවකුට මැති ඇමැතිවරුන් සඳහා සුපිරි නිවාස ඉදිකිරීම පිළිබඳ විරුද්ධ විය නොහැකි ය.
හරිනම් මේ මිනිසුනට ස්‌වකීය නිවාසවල සිට පාර්ලිමේන්තුවට විනාඩි දහයෙන් පැමිණීමට මහරගම කලල්ගොඩන සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ දක්‌වා වන සුපිරි මාවතක් ද ඉදිකොට දිය යුතු ය.
ඒ මාර්ගයේ ගමන් කිරීමට වෙන කිසිවකුටත් (මන්ත්‍රීවරුන්ගේ හිතවතුන්ට සහ සමීපම හිතවතුන්ට හැර) ඉඩ නොදිය යුතු අතර එහි ගමන් කරන වෙන එවුන් අල්ලා අච්චු කළ යුතු ය.
මීට අමතරව මන්ත්‍රීවරුන් සඳහා සුපිරි ක්‍රීඩාපිටි, සුපිරි කඩසාප්පු සංකීර්ණ, සුපිරි පිහිනුම් තටාක, සුපිරි උද්‍යාන, සුපිරි සිනමාශාලා, සුපිරි මොන්ටිසෝරි (දරු මුණුබුරන් වෙනුවෙන්) ආදිය ද ඉදිකොට දිය යුතු ය.
එහෙත්, ප්‍රශ්නය නම් රට තවම ඒ තත්ත්වයට සංවර්ධනය වී නැතිකම ය.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය සමග කළ අතිබිහිසුණු සහ අධික වියදම් සහිත යුද්ධයේදී (යුද්ධය කරන සමයේ ඊට අබමල් රේණුවකටත් බාධාවක් නොකළ යුතු නිසා අපි ඒ කාලයේ "වියදම්" යන වචනයවත් භාවිත නොකළෙමු.) විනාශයට පත් දේපොළ යථා තත්ත්වයට පත් කිරීම රජය දැන් මුහුණදී සිටින විශාලම අභියෝගයයි.
ඒ සමගම, පොරොන්දු වූ සුඛිත මුදිත භාවය රට තුළ ඇති කිරීම කොහොමටත් රජය සතුව පවත්නා අභියෝගයයි.
උද්ධමනය අඩු කිරීම, දුප්පත්කම තුරන් කිරීම, අධ්‍යාපනය ඉහළ නැංවීම, රැකියා සුලභ කිරීම, ගමනාගමනය දියුණු කිරීම, කොටින්ම උතුර, නැගෙනහිර, දකුණ යා කෙරෙන සමෘද්ධිමත් මහා ආර්ථික පාලමක් තැනීම කොහොමටත් රජය සතුව පවත්නා අභියෝගයයි.
ඒවා පසෙක තිබියදී මේවා තැනීම කාගේ තදියමට සිදුවන්නක් දැයි අප නොදනිතත් එය ද 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට තදියම්වීම තරම්ම අනුවණ කමක් වෙයි.
රජය ත්‍රස්‌තවාදය තමනට රිසි අයුරින් විනාශ කරන තුරු, එහි විජයග්‍රහණය ලබන තුරු ජනතාව කන් කෙඳිරි නොගෑවේ ආඬපාලි නොකීවේ ඔවුනට ඉවසන්නට බැරි තරම් ආර්ථික අමාරුකම් නොතිබුණ නිසා නොවේ. මෙවැනි පිස්‌සු කෙළි වලින් ඒ ජනතාවගේ සිත් රිදවීම පවක් පමණක් නොව ඉල්ලාගෙනම අප්‍රසාදයට පත්වීමක් බව රජයට කිවයුතුව තිබේ.
(දිවයින_09/07/10)
පසුවදන_වර්තමානයේ මේ රටේ දේශපාලනය බඩ රස්සාවකි. සුරබි දෙනකි. කල්ප වෘක්ෂයකි. භද්‍ර ඝඨයකි. පරඩැල් මෙන් වැනි වැනි පාවි පාවි දේශපාලනයට එන මොවුන් දින සති ගණනින් බඩ නෙරා කඳ අරා චීන ඌරන් සේ පිම්බෙයි. පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කා බී ශක්‍රයාගේ පාණ්ඩුකම්බුල ශෛලාසනය වන් සැප පුටුවක ළැග සිටින විට මහජන දුක දැනෙයි. හොස් ගා හද උණුවෙයි. එහෙයින් මේ උතුමන් සහ උන්දැලාගේ ඥාතී හිතවතුන් ගැන මේ ආණ්ඩුව මුලින් සොයා බැලිය යුතුය. ඔවුන්ගේ දුක සැප විමසා සැප සදා අහවර වී තවත් කාලය තිබේ නම් පමණක් ජනතා ප්‍රශ්න දෙස බැලුවාට කමක් නැත. ජනතා ආණ්ඩු එහෙමය. කොටි පරදා රට එක්සේසත් කළ මේ උතුමන්ට එසේ සලකන කල සාධුකාර දීම ජනතා වගකීමය.
Thursday, July 9, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment