Monday, July 20, 2009

ජාත්‍යන්තර ණය සහ සැබෑ මිතුරන් හඳුනා ගැනීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ලැබිය යුතු ණය මුදල ජුලි 20 වනදායින් පසු ලැබෙනවා යෑයි ඉකුත් සතියේ පුවත්පත් වල පළ වුවද තවම ඒ ගැන හරි හැටි නිච්චියක්‌ නැත. ශ්‍රී ලංකාව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්‌ඩලයේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී නැත. නමුත් පසුගිය බ්‍රහස්‌පතින්දා මූල්‍ය අරමුදලේ මූස්‌ථානයේදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී ලංකාව සමග "හොඳ සාකච්ඡා" කෙරී ඇති බව සඳහන් විය. "හොඳ" යන වචනය පාවිච්චි වී ඇති නිසා ණය මුදල ලැබෙනවා යෑයි බොහෝ දෙනා බලාපොරොත්තු දල්වාගෙන සිටී. මේ ණය මුදල හරි නම් ලැබිය යුතුව තිබුණේ අප්‍රේල් මස අවසානයේදීය. නමුත් එය ඉතා අභිරහස්‌ ආකාරයෙන් ප්‍රමාද විය. මා කලින් ලිපියක සඳහන් කළ පරිදි මේ ප්‍රමාදයට හේතුව කිසිවකුවත් හරියට දැන සිටියේ නැත.

ඇත්ත තත්ත්වය නම් මේ ණය මුදල ප්‍රමාද වීමට හේතුව බටහිර බලවතුන් විසින් මෙය ලංකාව පාලනය කිරීමට මෙවලමක්‌ හැටියට පාවිච්චි කිරීම නිසාය. ලංකාවට යුද්ධය නතර කරන්නැයි කොතරම් කීවද ලංකාව ඒ කිසිවක්‌ තුට්‌ටුවකටවත් තැකුවේ නැති නිසා ලංකාව ආර්ථික වශයෙන් හිරකර යුද්ධය ඉබේම නතර වන තැනට ගත් පියවරක්‌ හැටියට මෙය දැකිය හැකිය. ලංකාවේ වත්මන් පාලකයන්ටත් ලක්‌ වැසි ජනතාවටත් ඇත්තේ පුදුමාකාර වාසනාවකි. 2008 ජුලි මස වන විට කෙතරම් දරුණු යුද්ධයක්‌ තිබුණත් ලංකාවට වෙන කවදාවකවත් නොතිබුණ තරමේ විදේශීය මුදල් සංචිතයක්‌ තිබිණි. එය ඩොලර් බිලියන 3.6 ක්‌ පමණ විය. නමුත් පසුගිය වසරේ ලෝක ආර්ථික අවපාතය උත්සන්න වීමත් සමග මේ සංචිත ඉතා සීග්‍රයෙන් පිරිහුනේය. තත්ත්වය දරුණු අතට හැරෙත්ම ලංකාව මූල්‍ය අරමුදලෙන් මේ ණය ඉල්ලා සිටියේය. නමුත් ප්‍රභාකරන් බේරා ගැනීම සඳහා බටහිර බලවතුන් ණය මුදල දුන්නේ නැත. නමුත් කලින් තිබුණු සංචිත පිරිමසාගෙන ප්‍රභාකරන් මැරෙන තුරු යුද්ධ කිරීමට ආණ්‌ඩුවට හැකි විය. තමන්ගේ වචනයට පිටින් යැම ගැන වෛරයත් කෝපයත් නිසාත් බටහිර රටවල පදිංචි කොටි හිතවාදීන්ගෙන් ආ බලපෑම් නිසාත් ප්‍රභාකරන් මැරුණු පසුත් ණය මුදල ප්‍රමාද කරන ලදී. හරිනම් අප මේ වන විට ඉන්ධන නැතුව, කන්න අඳින්නත් නැතුව සිටිනවා විය යුතුය. නමුත් ණය මුදල නොලැබුණත් ප්‍රභාකරන් මැරුණු නිසාත් ලෝක ආර්ථිකය තරමක්‌ හොඳ අතට හැරී තිබෙන නිසාත් විදේශ සංචිත ඉබේම යළිත් වැඩිවීමට පටන් ගත්තේය. දැන් එය ඩොලර් මිලියන 1700 ක්‌ පමණ වෙයි.

මේ ක්‍රියාදාමයන් නිසා ලංකාවේ මිනිසුන්ට වැඩි බරක්‌ දැනෙන්නේ නැතුව දිනපතාම චිත්‍රපටියක්‌ බලන ලීලාවෙන් කොටි විරෝධී යුද්ධයේ ප්‍රගතිය රූපවාහිනියෙන් නරඹා එය ජයගත් පසු කිරිබත් කෑමටත් හැකි විය. මෙය ප්‍රාතිහාර්යයකි. ලංකාව කෙරෙහි දේව බැල්මක්‌ තිබෙනවාය කියන කතාව ආර්ථික විශේෂඥයන්ද මේ වන විට විශ්වාස කිරීමට පටන්ගෙන ඇතුවාට සැකයක්‌ නැත.

බටහිර රටවලින් මේ එල්ල වන තාඩන පීඩන හමුවේ ලංකාව බේරා ගැනීමට ඉදිරිපත් වූ මිතුරන් දෙදෙනා වූයේ ඉන්දියාවත් චීනයත්ය. මේ අවස්‌ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්‌ඩලය තුළ ලංකාව ඇතුළු රටවල් සමූහය නියෝජනය කරන්නේ ඉන්දියාවේ නියෝජිතයායි. ලංකාවට ලැබිය යුතු ණය මුදල ලබා දීමට මේ ඉන්දියානු අධ්‍යක්‍ෂවරයා මහත් ප්‍රයත්නයක්‌ දරන බව ලංකාවේ නිලධාරීන් පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම පවසන ආකාරයට එහි කාර්ය භාරය වන්නේ දුප්පත් පොහොසත් රටවල භේදය නොතකා ඕනෑම සාමාජික රටකට තම ගෙවුම් ශේෂය පියවා ගැනීමට මූල්‍ය අරමුදලෙන් ණය ලබාගත හැකි බවයි. සාමාජික රටවල් ඔවුන්ගෙන් මෙසේ ණය ලබා ගන්නේ සාධාරණ පොලියකට වෙළෙඳ පොළෙන් ණය ලබාගැනීමට නොහැකි අවස්‌ථාවන්වල යෑයි ඔවුන්ම කියයි. තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාමාජික රටවල් වලට ගෙවුම් ශේෂ ප්‍රශ්න බේරා ගැනීමටත් ආර්ථිකය ස්‌ථාවර කිරීමටත් ආර්ථික වර්ධනය යළිත් ඇති කිරීමටත් උදව් දෙන බව ඔවුන් කියා සිටී. නමුත් කිසිම හේතු දැක්‌වීමකින් තොරව ලංකාව සම්බන්ධයෙන් සිදුවිය යුතු දෙය සිදුවී නැත. මේ අවස්‌ථාවේදී වන්නිය යළිත් පුනරුත්ථාපනය කිරීමට විශාල මුදල් ප්‍රමාණයක්‌ අවශ්‍ය වුවත් බටහිර රටවල් එය දැන දැනම මේ ණය මුදල ප්‍රමාද කරයි. මෙයින් ඔවුන් පෙන්නුම් කර තිබෙන්නේ උතුරේ සිටින දෙමළ අවතැන් වූවන් කුසගින්නේ සිටියත් බිම් බෝම්බ ඉවත් කිරීමට කලින් යළිත් ඔවුන් ගම් බිම් වලට යවා මැරුම් කෑවත් බටහිර රටවල ජීවත් වන කොටි හිතවාදී දෙමළ ප්‍රජාව "ණය මුදල ප්‍රමාද කළා" යෑයි කාලකන්නි සන්තෝසයක්‌ ලබාදීමට හැකි නම් එයින් ඒ බටහිර රටවල් සෑහීමට පත් වන බවයි.

බටහිර රටවල් මේ ආකාරයට ඔවුන් අතර ජීවත් වන දෙමළ කොටි හිතවාදීන් සතුටු කිරීම සඳහා ලංකාවත් ලංකාවේ දෙමළ ප්‍රජාවත් අතහැර දමා තිබෙන අවස්‌ථාවක ලංකාවට උදවු කිරීමට ඉදිරිපත් වූයේ චීනයයි. ඉකුත් සතියේ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් ලංකාව තුළ ඕනෑම තැනක (උතුර නැගෙනහිරත් ඇතුළුව) නිවාස හා නගර ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.2 ක ණය මුදලක්‌ චීනයේ ණය දෙන ආයතනයක්‌ විසින් ලබාදී ඇත. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිකිරීම සිදු කරන කාලය ඇතුළත කිසිදු පොළියක්‌ අය කරනු ලබන්නේ නැත. ණය මුදලේ පොලිය ද 2% ක ඉතා අඩු අනුපාතයකි. ඉදිකිරීම නිම වූ පසු අවුරුදු 5 ක්‌ යන තුරු ගෙවිය යුත්තේද පොලිය පමණි. ඒ අවුරුදු 5 අවසන් වූ පසු ණය මුදල ගෙවා නිම කිරීමට තවත් අවුරුදු 20 ක්‌ ඇත. පුනරුත්ථාපනය ආණ්‌ඩුවේ ප්‍රධානම ප්‍රශ්නය බවට පත් වී තිබෙන මේ අවස්‌ථාවේ නිවාස ඉදිකිරීම සඳහා මෙවන් ණය මුදලක්‌ ලැබීම ආණ්‌ඩුවට විශාල සහනයකි.

මීට වසර 2 කට පමණ පෙර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් කබ්රාල් මහතා බී. බී. සී රූපවාහිනියේ Hard talk (හාඩ් ටෝක්‌) නමැති වැඩසටහනට පෙනී සිටි අවස්‌ථාවේදී ඔහුගෙන් අසන ලද එක්‌ ප්‍රශ්නයක්‌ වූයේ ලංකාව බටහිර රටවල් වලින් ඈත් වීමත් චීනය, රුසියාව, ඉරානය වැනි රටවල් වලට සමීප වීමත් ඔහුට අනුමත කළ හැකි ද යන්නයි. කබ්රාල් මහතා මෙයට දුන් පිළිතුරු මට මතක නැත. නමුත් ප්‍රශ්නය නම් හොඳට මතකය. චීනය, රුසියාව, ඉරානය වැනි රටවලට සමීප වීම අනුමත කළ නොහැකි දෙයක්‌ යෑයි බොහෝ බටහිර රටවල ජනමාධ්‍යවේදීන් අතර මතයක්‌ ඇත. ඇසුරු කිරීමට සුදුසු හිතවතුන් හැටියට ඔවුන් දකින්නේ බටහිර රටවල් පමණි. ලෝකයේ තියෙන සියලු හොඳ නියෝජනය කරන්නේ බටහිර රටවල් බවත්, ලෝකයේ තියෙන සියලු නරක නියෝජනය කරන්නේ චීනය, රුසියාව, ඉරානය වැනි බටහිරට ගැති නැති රටවල් බවත් ඔවුන් විශ්වාස කරති. නමුත් ලංකාව සම්බන්ධයෙන් ගත් කල වඩාත් සදාචාර සම්පන්න ස්‌ථාවරය ගෙන තිබෙන්නේ රුසියාව, ඉරානය, චීනය වැනි රටවල් මිස බටහිර රටවල් නොවේ. සියලු බටහිර රටවල් ත්‍රස්‌තවාදයට එරෙහිව යුධ ප්‍රකාශ කොට තිබුණ ද ඔවුන් ලංකාවේ පමණක්‌ ත්‍රස්‌තවාදයට උඩගෙඩි දුන්නේය. මේ අවස්‌ථාවේ ලංකාවට ත්‍රස්‌තවාදය අවසන් කිරීමට උදවු දුන් රටවල් වූයේ ඉන්දියාව, රුසියාව, චීනය හා ඉරානය වැනි රටවල්ය.

බොහෝ බටහිර රටවලට ලංකාව සම්බන්ධයෙන් තිබුණේ මෙහි සිටින ත්‍රස්‌තවාදීන් ආරක්‍ෂා කිරීමට වඩා යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ විශාල ගණනින් පදිංචි වී සිටින ලංකාවේ දෙමළ ජාතිකයනුත් සතුටු කිරීමේ උවමනාවයි. එම රටවල ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය ඉතා අඩු නිසා ඡන්ද 40000 ක්‌ හෝ 50000 ක්‌ වැනි ප්‍රමාණයක්‌ ගෙඩිය පිටින් ඒ පැත්තට හෝ මේ පැත්තට හසුරුවා ගැනීමට හැකිවීම යම් දේශපාලන පක්‍ෂයක ජය පරාජය තීරණය කරන්නක්‌ විය හැක. මෙවැනි ඡන්දයක්‌ ඒ රටවල සිටින කොටි හිතවාදී දෙමළ ප්‍රජාවගෙන් ලබාගැනීමට ඔවුන්ට සත පහක වියදමක්‌ යන්නේ ද නැත. ඔවුන්ට කිරීමට ඇත්තේ ලංකාවට එරෙහි ප්‍රකාශ නිකුත් කිරීමත් ලංකාවට ලැබිය යුතු ණය ප්‍රමාද කිරීමත් ලංකාවට දී තිබෙන GSP + වැනි බදු සහන අහෝසි කිරීමට තැත් කිරීමත් වැනි වියදම් නොවන දේවල් කීපයක්‌ පමණි. ලංකාවට අඩම්තේට්‌ටම් කිරීම බටහිර ලෝකය පුරාම ප්‍රචලිත දෙයක්‌ වී ඇත්තේ එය ලාභයට ඡන්ද ගත හැකි ක්‍රමයක්‌ වී තිබෙන නිසාය.

බලය රැකගැනීම හෝ ලබාගැනීම නමැති සදාචාර විරෝධී අරමුණ පෙරදැරි කරගෙන බටහිර රටවල දේශපාලකයන් කටයුතු කරද්දී ලංකාවේ ජීවත් වන මිනිසුන්ගේ තත්ත්වය ගැන සදාචාර සම්පන්නව බලා ඇත්තේ ඉන්දියාව, චීනය, රුසියාව, ඉරානය වැනි රටවල්ය. ලංකාවේ යුද්ධයෙන් පසු පුනරුත්ථාපන කටයුතු වලට අවශ්‍ය මුදල් බටහිර රටවල් විසින් කිසිදු හේතුවක්‌ නොදක්‌වා දේශපාලන කරුණු කාරණා මත ප්‍රමාද කර තිබෙන වාතාවරණයක ලංකාව එම උගුලෙන් බේරා ගත්තේ චීනයයි. ලෝක බලවතුන් අතර සිදුවන ගැටුම්වලදී ලංකාව වැනි කුඩා රටක පැත්තක්‌ ගැනීම නුවනට හුරු දෙයක්‌ නොවේ යෑයි අයෙක්‌ කියනු ඇත. නමුත් මෙහිදී සිදුවී ඇත්තේ සිතා මතාම පැත්තක්‌ ගැනීමට වඩා අර්බුදයකදී තමන්ට පයින් ගැසුවේ කවුද? උදවු කළේ කවුද? යන්න මත සැබෑ මිතුරන් හඳුනා ගැනීමට ලංකාවට සිදුවීමයි.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

(දිවයින_09/07/20)

පසුවදන_අපේ මිතුරන් සහ සතුරන් නිවැරදිව හදුනා ගැනීමේ වැදගත්කම පෙර ලිපියේ ද සාකාච්ඡා කළෙමු. මෙහි ඒ කරුණු වඩා හොදින් සාකච්ඡා කෙරී ඇත. එජාපයේ යාවජීව නායක රනිල් වික්‍රමසිංහ ශූරීන් අපේ මිතුරන් යැයි කියන්නේ තිස් වසරක ශාපලත් යුද්ධය කෙළවර කරනට එරෙහිව අති භයංකර ලෙස සටන් කළ බටහිර රටවල් රොත්ත බව දැන් ඔබට සක්සුදක් සේ පැහැදිළිව ඇතැයි සිතමු.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !