ධනවාදී රටවල්වල බොහෝ බාධක මත දණින් නොවැටී සිටින රාජ්‍යයන් ඇත්තේ කීපයක් පමණි. එම රටවල් කිහිපයක්‌නම් රුසියාව, චීනය, ලිබියාව, ඉරානය සහ කියුබාවය. එයිනුත් මුලටම කියෑවෙන රට කියුබාවයි.
ධනවාදී රටවල් කියුබාවට එරෙහිව රොද බැද ගනිද්දී කියුබාව එම රටවල්වලට වඳින්නට ගියේ නැත. ඔවුන්ටම ආවේණික වූ ක්‍රමෝපායන් සකසා ගත්තේ එක් රටක් එක් මතයක් ලෙස එකට එකතු වීමෙනි. මෙම මතයට රටේ සියලුම ජනතාව පෙළගැස්‌වීමට කියුබන් දේශපාලන අධිකාරිය පියවර ගත්තේය. එලෙස පියවර ගැනීමේ ප්‍රතිඵලය වූයේ ඇමරිකාව ඇතුළු ධනවාදී රටවල අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි වීමය. ඇමරිකන් භාෂාවෙන් කියනවානම් ධනවාදී රටවලට කියුබාව හිතුවක්‌කාරයෙක් විය.
බැප්ටිස්‌ටාගේ කෲර පාලනයෙන් කියුබාව මුදා ගත්තේ 1954 දීය. එම විප්ලපය කළ අසහාය නායකයන් වූයේ වූයේ පිදෙල් කස්‌ත්‍රොත්‍රෝ සහ චේගුවේරාය. ඉන් පසු පිදෙල් කස්‌ත්‍රෝ තම රටත් රටේ පුරවැසියනුත් වෙනත් රටවල ගොදුරක් කර ගැනීමට කිසිවිටෙක ඉඩදුන්නේ නැත. ඒ වෙනුවට ඔහු තම රටට නායකයෙක්‌ගේ අවශ්‍යතාව මෙන්ම හොඳ නායකත්වයක් හෙවත් වැඩපිළිවෙළක් යොදා ගත්තේය. මේ වැඩපිලිවෙළ අද වන විට සාර්ථක එකක් වී ඇති බව අපට දැකගත හැකි වන්නේ ලෝක බලවතුන් ඇතුළු ඔහුගේ හිතවත්තු නොයෙක් වර නොයෙක් සම්බාධක පනවා කියුබාව මට්‌ටු කිරීමට ගත් සියලු උත්සාහයන් වැරැදී ඇති හෙයිනි.
කියුබන් වැසියන් බැප්ටිස්‌ටාගේ පාලනයෙන් මුදවාගත් වහාම පිදෙස් කස්‌ත්‍රෝ දුන් එකම අවවාදය වූයේ ඉගෙනගත් එක වැසියෙක් තවත් හතර දෙනකුටවත් අඩුම තරමින් අකුරු ඉගැන්විය යුතු බවය. එදා එලෙස පටන් ගත් කියුබාව අද ලෝකයේ බොහෝ රටවල් අභිබවා යමින් සිටී.
ලෝකයේ ප්‍රධානම සමාජවාදී කඳවුර වූ සෝවියට් දේශය කඩා වැටෙද්දී කියුබාව සුසුම් ලෑවේ නැත. ඒ වෙනුවට ඔවුන්ට තව තවත් ශක්‌තිමත් වීමේ අවශ්‍යතාව තදින්ම දැනිණි. ඒ අවශ්‍යතාව මත ඔවුන් තම රට මෙහෙය වීය. එහි ප්‍රතිඵලයක් ලෙස කියුබන් ජනතාව අද ලෝකයේ දණින් නොවැටී කෙලින් සිටින ජනතාවක් වී ඇත.
එම රටේ අද වනවිට ඩෙංගු නැත. මැලේරියාව හා බරවා රෝග සහමුලින්ම තුරන් කර ඇත. ඒ, ඒ රටේ පාලකයන් මෙන්ම පාලිතයන්ගේ දැඩි කැපවීම මතය. එක කලකදී ලෝක බලවතුන් කියුබාවට යවන පැරසිටිමෝල් පෙත්ත පවා යෑවීම නතර කර දැමීය. නමුත් කියුබන් විශේෂඥයන් ඒ වෙනුවට තම රටේ වැඩිපුර වැවෙන උක්‌වලින් පැරසිටිමෝල් නිර්මාණය කළේ ලෝක බලවතුන්ද විශ්මයට පත් කරමිනි.
එපමණක් නොවේ කියුබාව සෞඛ්‍ය අතින්ද පෙරමුණ ගෙන ඇත. එහි ජනගහනය අනුව බලන විට මිනිසුන් 100 කට දොස්‌තරවරු 3 දෙනෙක් පමණ සිටී. එහි ප්‍රතිඵලය වූයේ උපතේ දී සිදුවන මරණ සංඛ්‍යාව ඉතාමත් අඩුවීමය. ළමයි යනු රටක ජීවනාලියයි. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ මනුෂ්‍යයකුගේ ආයු කාලයයි. එහිදී කියුබන් වැසියකු අවුරුදු 76-80 ක පමණ ජීවත්වීමේ වාසනාව ලැබී ඇත.
සාක්‌ෂරතාව අතින්ද කියුබන් ජනතාව ලෝකයේ ඉහළින්ම සිටී. එහි සාක්‌ෂරතාවේ ප්‍රතිශතය 97 කි. මිනිසුන් සියයක් ගතහොත් මිනිසුන් 97 ක් පමණම ඉගෙන ගත් අය වීමත් එම ඉගෙන ගත් දෙය රට වෙනුවෙන් ක්‍රියාවේ යෙදවීමත් නිසා මෙලෙස ධනවාදී රටවල් වල නොයෙක් කෙනෙහිළිකම් අතරේ සෘජුව සිටීමට ඔවුන්ට හැකි වී ඇත.
ඒ කියුබාව ගැනය. දැන් අප රට දෙස යොමු වෙමු. ඉන්දියන් සාගරයේ මුතු ඇටයෑයි එදා විරුදාවලිය ලත් අප රට මේ වන විට ඉන්දියන් සාගරයේ කැඳ හැලියෑයි කීවොත් වරදක් නොවන තැනට පත්වී හමාරය. එසේ වී ඇත්තේ ඇයි? මේ රටේ එක පැත්තකින් පාලකයන් එක් පිස්‌සුවක් කරන විට ජනතාව ඩබල් පිස්‌සු කිරීමට පුරුදු වී ඇති බැවිනි.
ලංකාවේ පෞඪත්වය පිළිබඳව මුළු ලෝකයාම කතා කරද්දී ඒ පිළිබඳ අපේ පාලකයන්ට කිසිම වටිනාකමක් තිබුණේ නැත. ඔවුන් වහාම කළේ දැයේ දරුවන්ට ඉගැන්විය යුතු ඉතිහාසයට නැවතීමේ ලකුණ තැබීමයි. ඉන් නොනැවතුනු පාලකයන් රටේ අනාගතයට අත්වැලක් වූ සාහිත්‍යයට දොරගුළු දැමීය. ඒවායේ ප්‍රතිඵලය මේ වන විට ඇස් පනාපිටම අප රටට දැකගත හැකි වී ඇත. එපමණක් නොවේ අපේ රටේ අපට තිබූ හොඳ පුරුදු අපේ යෑයි කට හැර බියකින් සැකයකින් ප්‍රකාශ කිරීමට තිබූ අපේකමද මුදලටම වෙන්දේසි කිරීමට මේ පාලකයන් කටයුතු කළහ. එය වඩාත්ම තීව්‍රර වූයේ 1977 මේ රටට විවෘත ආර්ථිකය නමැති මහා භයානක යක්‌ෂයා හඳුන්වාදීමත් සමගිනි. විවෘත ආර්ථිකයත් සමග අප රටේ අපේ මිනිසුන් අතර තිබූ අපේකම මුදලට යටවී ගියේය. ක්‍රිස්‌ත්‍රියානි ලබ්දිකයන්ගේ සියල්ල තීරණය කරන්නා වූ දෙවියන් වහන්සේ මෙන් සර්වබලධාරී තත්ත්වය මුදලට ලබාදීම සිදුවිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගේ ඉදිරිපිට කාණුවට කුණු ටික දමන්නටත් කාණුව ගොඩවූ පසු එය වැසි කාලයට ජලය බැස යන ආකාරයෙන් සකස් කිරීමට ප්‍රාදේශිය සභාවෙන් එනතුරුත් බලා සිටීමටත් රට වැසියා පුරුදු පුහුණු විය. එම පුරුදු කිරීම අවසන් වූයේ රටට හෙණ ගැහුවත් තමන්ගේ වැඩය කර ගන්නා තැනට රටවැසියා පුරුදු පුහුණු වීමය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ සුන්දර දිවයිනට හෙණ ගැහුවා යෑයි අලුතින් කියන්නට අවශ්‍ය වන්නේ නැත.
මේ මුදලට සියල්ල බාරදීමේ ප්‍රතිඵලය වූය් ලෝකයේ ඇවිලෙන ගින්නට විරුදාවලිය ලබා සිටි දුම්වැටි අභිබවා ලංකාවේ එක එක කාලයට එන උණ වර්ගවලින් අඩුවක් නොවීමය. අප රටේ මිනිසුන්ට උණ නැති දවසක් නැත. එක කලකදී ඩෙංගු, තවත් කලෙකදී මීඋණ, සූකර උණ, ජැපනීස් එන්සපලයිටිස් ප්‍රධානය. මේ උණට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ පරිසරයේ අපවිත්‍රතාවයි.
පරිසරය අපවිත්‍ර කිරීමට අප රට වැසියෝ ඉතාමත් දක්‌ෂය. තැඹිලි ගෙඩිය බී එහි කෝම්බය අල්ලපු වත්තට විසි කිරීමටත්, යෝගට් කෝප්පය කාණුවට දැමීමටත්, ගෙදර කුණු මල්ල වාහනයේ යන ගමන්ම පාරට විසිකිරීමටත්, ගෙදර සුරතලා (බල්ලා, බළලා) මැරුණු විට මහමග දමා යැමටත් ඔවුහු කිසිවිට පසුබට නොවන්නේය. මෙවැනි අසමඡ්ජාති ක්‍රම අප රට වැසියන්ට පුරුදු වූයේ මුදල පසුපසම වේගයෙන් හඹා යැමට පටන් ගත් නිසාත් රට වැසියකු වශයෙන් තිබිය යුතු විනය පිරිහී යැම නිසාත්ය.. මුදලට සමාජයේ සියල්ල තීරණය කිරීමේ සර්ව බලධාරී අයිතිය ලබාදීමේ කරුමය වූයේ මෙරට රට වැසියාත් අප මවුබිමත් විනාශ මුඛයට යැමය.
ඩෙංගු පිළිබඳව වගකිවයුත්තන් බොහෝ දේ කතා කරමින් සිටිද්දී ඩෙංගු මාරයා මුළු ලංකාවම ටිකෙන් ටික වෙලා ගත්තේ රටවැසියාගේ ද ආශිර්වාදය නොඅඩුව ලබමිනි. නමුත් ඩෙංගු විනාශ කිරීමට පරපෝෂී බැක්‌ටීරියාවකු කියුබාවෙන් ගෙන ආවත් එය සාර්ථක කිරීමට නම් පාලකයන්ගේ පමණක් නොව රට වැසියන්ගේ යුතුකම සහ වගකීම මැනවින් ඉටු කළ යුතු බව කියුබන් විශේෂඥයන් මෙරටට ප්‍රකාශ කළහ. එම අවවාදය පිළිබඳව පාලකයන් මෙන්ම මේ රටේ පුරවැසියන්ද එකවරක් නොව දෙවරක්‌ම සිතා බලා තෙවරක්‌ම ක්‍රියාවට නැංවීමට කාලය උදාවී ඇත.
රුවන් කළුආරච්චි
(දිවයින_09/07/28)
ටිප්පණිය_සතර අතින් එන සුළඟට ඇතුළු වන්නට ඔබේ නිවසේ දොරගුලු හැර තබන්න. එහෙත් ගෙයි ඇති දේ සුළඟට ගසාගෙන යාමට ඉඩ නොදෙන්නැයි නේරුතුමා කීවේ ය. අපේ ඇත්තෝ එහි මුල් කොටස කදිමට ක්‍රියාවට නැගූහ. එහෙත් එහි දෙවන කොටස නොතකා හළහ. ඉන් සිදුවූයේ අපේ මනුස්කම් කොළොම්තොටින් නැව් නැගීමයි. අමනකම් රටට ගොඩබැසීමයි. දැන් ඒ අඳුරු යුගය නිමා කිරීමට කාලයයි. අඳුරට ශාප නොකර එක් පහනක් දල්වමු. රට වෙනුවෙන් ඔබේ යුතුකම නිවසින් අරඹන්න. නිවස වටපිටාව පිරිසිදුව තබා ගනිමු. පොදු ස්ථාන අපිරිසුදු කිරීමෙන් වළකිමු. අනෙකා කරනු තුරු බලා සිට ආඬි හත්දෙනා අතරට නොවැටෙමු. එවිට මේ සුන්දර දිවයිනේ සෞන්දර්ය දෙගුණ තෙගුණ වනු ඇත.
Monday, July 27, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment