Friday, July 10, 2009

ශ්‍රී ලංකාවේ අපේ ප්‍රශ්නවලට අපේම වූ විසඳුම් දෙමු

කෝට්‌ටේ ශ්‍රී පැරකුම්බා සමයෙන් පසු ශ්‍රී ලංකාව යළි එක්‌සේසත් කළ හැකි වූයේ, බුදු දහමින් උරුම වූ ආත්මහරණයේ මග ගෙන ලොවම විශ්මයට පත් කරමින් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ රණවිරුවන් විසින් කරන ලද උදාර කැප කිරීම් නිසාය. රට එක්‌සේසත් කිරීමේ වීරෝධාර සටනට ලෝක බලවතුන්ගේ බලපෑම් හමුවේ නොසැලෙන අදීන නායකත්වයක්‌ දුන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට අධ්‍යාත්ම ශක්‌තිය ලැබුණේ ආත්ම හරණයේ මග ගෙන ජාතික, ආගමික සංස්‌කෘතික සේවයට කැපවුණු මහා සංඝරත්නයෙන් බව රහසක්‌ නොවේ. ජනාධිපතිතුමන්ගේ සේනාධිනායකත්වයෙන් දියත් කරනු ලැබූ රට එක්‌සේසත් කිරීමේ ක්‍රියාදාමයට යුදමය මාර්ගෝපදේශක නායකත්වය දුන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අධ්‍යාත්ම ශක්‌තිය ලැබුණේද මහා සංඝරත්නයෙන් බව ලොවම අවබෝධ කරගනු ඇත. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් සැකසුණු රට එක්‌සේසත් කිරීමේ යුද ක්‍රියාමාර්ගයට අභීත සැලසුම් සහගත නායකත්වය ලබාදුන් සරත් ෆොන්සේකා ප්‍රමුඛ අනෙකුත් හමුදාපතිවරුන්ටත් සියලුම රණවිරුවන්ටත් ආශිර්වාදාත්මක අධ්‍යාත්ම ශක්‌තිය ලබාදුන් ජාතික අධ්‍යාත්ම ශක්‌ති උල්පත මහා සංඝරත්නය වූ බවට සැකයක්‌ නැත. එහෙයින් රණවිරුවන්ට උපහාර දක්‌වන අතරම ජාතියේ මුරදේවතාවුන් වහන්සේලාටද ජනතා ප්‍රණාමය පුද කළ යුතුව තිබේ.

ලොවම විශ්මයට පත් කළ සිරිලක එක්‌සේසත් කිරීමේ විජයග්‍රාහී යුද ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයමින් අවසාන ජයග්‍රහණය ලබාගත හැකිවූයේ කිසිම විදේශ බලවතෙකුගේ උපදෙස්‌ හෝ මාර්ගෝපදේශ සැලසුම්වල ආධාරයක්‌ නැතිවය. බටහිර රටවලින් ලැබුණේ සටන අතරමග නැවැත්විය යුතු බවට දුන් උපදෙස්‌ හා අයුතු බලපෑම් පමණි. චීන, රුසියාව, පකිස්‌තාන හා ඉන්දියා වැනි මිතුරු රටවලින් අවි ආයුධ ආදිය ලබාගත හැකි වුවත් විජයග්‍රාහී යුද ක්‍රියාමාර්ගය නිසැකවම හෙළ බොදු ඉතිහාස උරුමය වූ විදේශ ආක්‍රමණ දහසයකට මුහුණදී රට දැය සමය රැක ගැනීමට මග පෑදූ ආත්මහරණයේ විශිෂ්ට ප්‍රතිඵලයකි. එහෙයින් අධිරාජ්‍ය ගැති නව යටත් විජිතවාදී වහල් මානසිකත්වය සහිත දේශපාලනය තුළින් ලැබූ යුදමය පරාජයන් උපයෝගී කරගෙන විදේශීය බලවේගයන් විසින් අප මත පටවන ලද වර්ග භේදවාදී බෙදුම්වාදී විසඳුම් ඇතුළත් දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය වැනි බේදකාරී ආණ්‌ඩුක්‍රම සංශෝධන ඉවත දමා අපේ රටේ ප්‍රශ්නයට අපේම වූ දේශපාලන, ආර්ථික, සංස්‌කෘතික විසඳුම් ලබාදිය යුතුය.

ජනතාවන් බේද කර පාලනය කිරීමේ අධිරාජ්‍යවාදී ක්‍රියාමාර්ග තුළින් බිහි වූ ජාතිවාදී පනහට පනහේ ද්‍රවිඩ සංගම් දේශපාලනය හා දෙමළ රාජ්‍යයක්‌ අරමුණු කරගත් පෙඩරල්වාදී දේශපාලනය දෙමළ ඊළාම් ත්‍රස්‌තවාදය දක්‌වා වර්ධනය වූයේ, ඡේ. ආර්. ජයවර්ධනගේ අමෙරිකානු ගැති නායකත්වයෙන් දියත් කරන ලද දේශීය කෘෂි නිෂ්පාදනවලට තර්ජනයක්‌ වූ (විශේෂයෙන් උතුරේ ලුණු, මිරිස්‌, අල හා මිදි ගොවීන්ට බෙහෙවින් හානි කර වූ) නව යටත් විජිතවාදී විවෘත ආර්ථික පිළිවෙත නිසාය. උතුරේ කෘෂි නිෂ්පාදනවලට තර්ජනයක්‌ වූ විවෘත ආර්ථික පිළිවෙතත් සමග උතුරේ රැකියා විරහිත උගත් තරුණයන් සඳහා විවෘතව තිබූ මග වැසූ රැකියා බැංකු ක්‍රමය දෙමළ තරුණයන් ප්‍රචණ්‌ඩ සටන් මගට මෙන්ම දේශෙද්‍රdaහී රාජ්‍ය නොවන සංවිධාන වෙත යොමු කරන ක්‍රියාමාර්ගයක්‌ බවට පත් විය. උතුරේ ලුණු, මිරිස්‌, අර්තාපල් හා මිදි අස්‌වැන්න ලැබෙන කාලයට එම ආහාර වර්ග පිටරටින් ආනයනය කිරීමත් රැකියා බැංකුව එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් මගින් ක්‍රියාත්මක වීමත් නිසා එජාප මන්ත්‍රීන් කිසිවකු නොසිටි උතුරු පළාත දෙමළ ඊළාම් ත්‍රස්‌තවාදයට හා ශ්‍රී ලංකාව දෙකඩ කිරීම අරමුණු කරගත් රාජ්‍ය නොවන සංවිධානවලට සරු කෙතක්‌ විය. සමගි පෙරමුණ ආණ්‌ඩුවේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය තම වාසියට හරවාගත් උතුරේ හොරබඩු ජාවාරම්කරුවන්ගේ ආදායම් මාර්ගය විවෘත ආර්ථිකය නිසා එතරම් සරු ක්‍රියාමාර්ගයක්‌ නොවන තත්ත්වයට පත්වීම නිසා හොර බඩු ජාවාරම හා සම්බන්ධව සිටි පිරිස්‌ ද ත්‍රස්‌තවාදයට යොමුවන්නට විය. මෙසේ හොර බඩු ජාවාරම් සහිත උතුරේ වෙරළ තීරය හා යාපන අර්ධද්වීපය තුළින් බිහිවූ දෙමළ ඊළාම් ත්‍රස්‌තවාදයට වනගහන සහිත උතුරු වන්නිකරය රජ දහනක්‌ වූයේ, අතීතයේ වැව් නියාවක්‌ව පැවැති සුවිශාල මාන්කුලම් තැන්නේ වවුනියා, කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම් දිසාවල වැව් ඇලවේලි ආදී වාරිමාර්ග කටයුතු නොතකා හැරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙනි.

එ.ජා.ප., ශ්‍රී ල.නි.ප. හා සමගි පෙරමුණු ආණ්‌ඩු මගින් අමතක කරන ලද යෝධ වැව මුල් කරගත් මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ වැව් පද්ධතිය ඇතුළු සරු බිම එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සහල් නැලිය බවට පත් වූ අතර මුලදී ඉන්දියාවත් පසුව බටහිර යුරෝපය, උතුරු ඇමරිකාව හා ඕස්‌ටේ්‍රලියාවත් දෙමළ ඊළාම් ත්‍රස්‌තවාදය පෝෂණය කරන බෙදුම්වාදී ආධාරක මූලස්‌ථාන බවට පත් විය. මෙසේ එජාපයේ අධිරාජ්‍ය ගැති නව යටත් විජිතවාදී වහල් දේශපාලන, ආර්ථික, සංස්‌කෘතික පිළිවෙත් උපයෝගී කරගෙන විදේශීය බලවේග මගින් පෝෂණය කරන ලද දෙමළ බෙදුම්වාදයට ඒ විදේශීය බලවේගයන් විසින්ම දෙන ලද දේශපාලන විසඳුම් ප්‍රතික්‍ෂේප කර, ත්‍රස්‌තවාදී යුද්ධයට අපේම වූ විසඳුමක්‌ දුන්නාක්‌ මෙන් ත්‍රස්‌තවාදයට මුල් වූ උතුරේ දේශපාලන, ආර්ථික, සංස්‌කෘතික ප්‍රශ්නවලටද අපේ ම වූ විසඳුම් ලබාදිය යුතුය. උතුරේ ජාතිබේදවාදයට යට වූ නැගෙනහිර ද දෙමළ ඊළාම් ත්‍රස්‌තවාදයට ගොදුරු වෙද්දී උතුරු, වයඹ, උතුරු මැද හා ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කය පුරා වකුගඩු රෝග පැතිරෙන තත්ත්වයක්‌ උදාවී ඇතිහෙයින් ත්‍රස්‌තවාදය අවසන් කිරීමත් සමග රජරට වියලි කලාපයේ දැවෙන ප්‍රශ්නය වූ පානීය ජල අවශ්‍යතා හා කෘෂිකාර්මික වාරි ජල අවශ්‍යතා සපුරාලන සංවර්ධන වැඩපිළිවෙළක්‌ දියත් කිරීම හදිසි ජාතික අවශ්‍යතාවක්‌ වී ඇත. අතීතයේ වසභ, මහාසේන, ධාතුසේන, අග්‍රබෝධි හා මහපැරකුම් ආදී රජවරුන් මුළු මහත් ශ්‍රී ලංකා ධරණි තලය වැව් ඇලවේලි මගින් ඈ¹ රුහුණට අයත් නැගෙනහිරත් රජරටට අයත් උතුරත් ඇතුළු ශ්‍රී ලංකාවම වගාබිමක්‌ බවට හැරවූවා සේ අපේ යුගයේ ජනනායකයන්ද, ජල කඳින් ගිනි නිවීමේ ක්‍රියාමාර්ගය ඔස්‌සේ යමින් රණවිරුවන් ජීවිත පුදා ඇස්‌, අත්, පා පරිත්‍යාග කර, උණුසුම් රුධිරයෙන් එක්‌සේසත් කළ මාතෘ භූමියේ ඒකීයභාවය කළු, කැලණි, මහවැලි ආදී ගංගා දිගේ ගලා යන සිසිල් ජලය මගින් තහවුරු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ වත්මන් නායකත්වය ඇතුළු දේශප්‍රේමී ජනතා බලවේග විසින් පළමුවෙන්ම කළ යුත්තේ, උතුරු වයඹ, උතුරු මැද හා උතුරු පළාත්වල ජනතාවටත් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ ජනතාවටත් රසායනික වසවිසවලින් දූෂණය නොවූ ප්ලෝරයිඩ් සහිත ජලය නිසා පිරිහෙන රජරට ජනතාවගේ සෞඛ්‍ය රැකෙන මහා පිංකමක්‌ වනු නිසැකය. දෙවනුව නිරිත දිග මෝසම් වැසි සමයේ බස්‌නාහිර පළාතත් දකුණේ විශාල ප්‍රදේශයකුත් ගංවතුරෙන් යට කරමින් පිටාර ගලන කළු, කැලණි ගංගාවලින් නිකරුණේ මුහුදට ඇදී යන ජල කඳත් අත්තනගලු ඔයේ හා මහඔයේ පිටාර ජලයත් උතුරේ මාන්කුලම් තැන්න දක්‌වා ගෙනයන වාරිකර්මාන්ත වැඩපිළිවෙළක්‌ දියත් කළ යුතුය. නිරිතදිග මෝසම් වැසි සමයේ නිකරුණේ මුහුදට ගලා යමින් බස්‌නාහිර පළාත ගංවතුරින් යට කරන මහා ජල කඳ මුළු රජරටම සරු කරන අන්දමින් මාන්කුලම් තැන්නේ උතුරු කෙළවර දක්‌වා වූ කෘෂි සංවර්ධන වැඩපිළිවෙළකට යොදා ගැනීමේ ඒකාන්ත ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර දක්‌වා වූ මුළු රටේ ම ජනතාව ලක්‌වැසි සැමට හිමිවිය යුතු පොදු වස්‌තුව වූ ජලය මගින් එකහදින් එක්‌වීමයි. එය සැබෑ ජාතික සමගිය ගොඩනැඟිමේ මග වනු ඒකාන්තය. පිරිසිදු පානීය නල ජලය හා කෘෂිකර්මය සඳහා වූ වාරි ජලය ලබන උතුරේ දෙමළ ජනතාව හා දකුණේ ජනතාව මව්බිමේ පොදු ජාතික වස්‌තුව වූ ජලය මගින් එක්‌සේසත් කරනු ලැබූ කල්හි ඒ ජාතික සමගිය කිසිදු වර්ග බේදවාදයකින් බිඳහෙලිය නොහැකිවනු නිසැකය. මේ පිළිබඳ පුළුල් විස්‌තරාත්මක විග්‍රහයක්‌ මීට දොළොස්‌ වසකට පෙර මවිසින් ලියා පළ කරන ලද "ජල කඳින් ගිනි නිවමු" නමැති කෘතිය මගින් ඉදිරිපත් කර ඇති හෙයින් මෙහිදී විස්‌තර නොකෙරේ.

විදේශීය ආක්‍රමණ දාසයකට මුහුණදී රටත්, ජාතියත්, බුද්ධ ශාසනය ප්‍රමුඛ ජාතික උරුමයත් රැක ගන්නට ඈපා, මාපා, පරුමක, මපුරුමක, ගාමිණි, ගමික, රැටික, ගමරාල, රටේරාල හා මහරජු ප්‍රමුඛ දේශප්‍රේමී ලක්‌වැසිsයන්ට හැකිවූයේ ආත්ම හරණය මුල් කරගෙන මැදුම් පිළිවෙතෙහි පිහිටා සේවයට කැපවුණු මහ සඟරුවනින් ලැබුණු මාර්ගෝපදේශක නායකත්වය නිසාය. පරසතුරන්ට එරෙහිව කළ දිග්ගැසුණු දුෂ්කර යුද්ධ සමයන්හිදී ජනතාවත් සමඟ එක්‌ව වනමුල් පලාපල බුදිමින් එකම පවුලක සහෝදර කැලක්‌ මෙන් කටයුතු කළ නායකයන්ට බෝධිචිත්ත සංකල්පය ශක්‌තිමත් ආධ්‍යාත්මික පදනමක්‌ විය. කාමසුඛල්ලිකානු යෝගය මෙන්ම අත්තකිලමතානුයෝගයද අත්හැර එකම (සංඝ) සමූහයක්‌ ලෙස සේවයට කැපවී කටයුතු කළ ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා මහරජුගේ පටන් ගමරාල දක්‌වා සැමගේ ආදර්ශය විය. ඒ අනුව යමින් නව යටත් විජිතවාදී විදේශීය සැලසුම්වලට හා අධිපතිවාදී බලවතුන්ගේ උපායමාර්ගවලට යට නොවී ජාතික වූ සමගි සංවර්ධන වැඩපිsළිවෙළක්‌ ක්‍රියාවට නැඟීම සඳහා රටේ නායකයන් මෙන්ම ජනතාව ද පොදු ජාතික චින්තනයකින් බැඳී එක හදින් එක්‌ව ක්‍රියා කළ යුතුය.

නව යටත් විජිතවාදී ගෝලීයකරණ ක්‍රියාමාර්ග හමුවේ නිවහල් ආදීන ජනතාවක්‌ ලෙස නැඟී සිටීම සඳහා විශ්ව සාධාරණ දාර්ශනික පදනමක්‌ මත ශක්‌තිමත් ජාතික චින්තනයක්‌ ගොඩනඟාගත යුතුය. පටු ජාතික චින්තනයක්‌ සාර්ථක නොවන හෙයින් විශ්ව සාධාරණ දාර්ශනික පදනමක්‌ මත ජාතික චින්තනය ගොඩනගා ගැනීම මූලික අවශ්‍යතාවක්‌ වේ. ශ්‍රී ලංකාවේ හෙළ බොදු චින්තනය සියලු සතුරන්ට මුහුණ දෙමින් ඉදිරියට යන්නට සමත් අපරාජිත බලවේගයක්‌ බවට පත් වයේ හෙළ ජාතික චින්තනය විශ්ව සාධාරණය දාර්ශනික පදනමක්‌ මත ගොඩනැගුණු නිසාය. ලක්‌වැසි ජනතාවටත් ලෝක මානව ප්‍රජාවටත් සීපා පක්‍ෂින් ඇතුළු මිනිසාට හිතකර සියලු සත්වයන්ටත්. ගස්‌, වැල්, පැළෑටි ඇතුළු පෙනෙන නොපෙනෙන දෙවි දේවතාදීන්ටත් පොදු විශ්වන්තරවාදී දාර්ශනික පදනම වූයේ සොබා සම්පත් සුරැකෙන දිවිපෙවෙතකට මුල් වූ මැදුම් පිළිවෙතයි. රටේ බහුතර දේශපාලන නායකයන් කාමසුඛල්ලිකානුයෝගී වුවහොත් ඔවුන් අනුව යන ප්‍රාදේශීය නායක කාරකාදීන් ද සොබා සම්පත් නාස්‌ති කරන කාමභෝගී ජීවිතවලටම හැඩගැසෙනු ඇත. එසේ ප්‍රාදේශීය මට්‌ටම දක්‌වා නායක කාරකාදී බහුතරය කාමසුඛල්ලිකානු යෝගී වනවිට බහුතර ජනතාවට සිදුවන්නේ අනන්ත වූ දුක්‌පීඩා විඳ දරා ගන්නටය. බහුතර දේශපාලන බලවතුන් කාමසුඛල්ලිකානුයෝගී ජීවිතයක්‌ ගත කරද්දී අත්තකිලමතානුයෝගී ජීවිත ගත කරන්නට සිදුවන ජනතාව කෙමෙන් කෝපාවිෂ්ඨවෙමින් සැඩපරුෂව ප්‍රචණ්‌ඩත්වයට යොමුවේ. එසේ වුවහොත් ජනවාර්ගික සමගිය කෙසේ වෙතත් ඒ ඒ ජන කොටස්‌ තුළ ද සමගිය බිඳ වැටෙනු ඇත. බුදුන් වහන්සේ "චක්‌කවත්ති සීහනාද", "කූට දන්ත" හා "මහානිදාන" සූත්‍රදේශන මගින් පහදා දී ඇති ආකාරයට දිළිඳුකමින් පීඩිත ජනතාව හොර මැරකම්වලට පෙළැඹේ. හොරමැරකම් හා මිනීමැරුම් ආදී අපරාධ වැඩිවී රාජ්‍ය මර්දනය උග්‍ර වී බන්ධනාගාර පිරෙන විට සමාජ සාමය අතුරුදහන් වී රටම යුද පිටියක්‌ බවට පත්වේ. හොරමැරකම්, මංකොල්ලකෑම් අතරට සුළු ජනකොටස්‌වල දේපල කොල්ලය ද එක්‌වූ විට ජාතික සමගියේ පදනම් දෙදරා මුළු සමාජයම අවුල් ජාලයක්‌ බවට පත්වේ.

රටේ සියලු ජනවාර්ගික කොටස්‌ අතර සමගිය තහවුරු කරන්නටත් ඒ ඒ ජන කොටස්‌තුළම ගම් මට්‌ටමින් හා නගර මට්‌ටමින් සමගිය ගොඩනගන්නටත් ආදර්ශවත් සේවයට කැපවුණු නායකත්වයක්‌ ගම් මට්‌ටමෙන් මෙන්ම නගර මට්‌ටමෙන් ද ගොඩනැඟිය යුතුය. ගම් මට්‌ටමින් ආදර්ශවත් නායකත්වයක්‌ ගොඩනැගීමෙන් තොරව කෝරළ හෝ දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ආදර්ශවත් නායකත්වයක්‌ ගොඩනැඟිය නොහැක. එහෙයින් ඊනියා ජනවර්ග ප්‍රශ්න ද ඇතුළු සමාජ, ආර්ථික සංස්‌කාතික ප්‍රශ්න විසඳීමේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ ගම් මට්‌ටමින් හා නගර මට්‌ටමින් යහපත් ආදර්ශවත් නායකත්වයක්‌ ගොඩනැඟීමට මිස පළාත් මට්‌ටමින් ජනවර්ග බේදවාදී නායකත්වයක්‌ බිහි කිරීමට නොවේ. අද අප හැකිතාක්‌ ඉක්‌මනින් කළ යුත්තේ, ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමේ විදේශීය සැලසුම් පසෙක තබා අතීතයේ පටන් අපට හුරු පුරුදු ආකාරයට ගම් මට්‌ටමෙන් හා නගර මට්‌ටමෙන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශවත් ජනතා නායකත්වයක්‌ ගොඩනගා ගැනීමයි.

ගම් මට්‌ටමින් හා නගර මට්‌ටමින් සේවයට කැපවුණු ආදර්ශවත් ජනතා නායකත්වයක්‌ බිහි කිරීමේ වැඩපිළිවෙළකින් තොරව පාර්ලිමේන්තු හා පළාත් සභා මැති, ඇමැතිවරුන් හයසිය ගණනක්‌ අතරට උතුරු පළාතෙන් තවත් මැති ඇමැතිවරුන් පිරිසක්‌ එක්‌ කිරීමෙන් පලක්‌ නොවේ. කාමසුඛල්ලිකානු යෝගයේ ගැලී සිටින අසාර්ථක අකාර්යක්‍ෂම දූෂිත බහුතර දේශපාලනඥයන්ගේ හා දූෂිත අකාර්යක්‍ෂම බහුතර නිලධාරීන්ගේ රටට අහිතකර බලය වෙනුවට මැදුම් පිළිවෙතට අනුව දිවිගෙවන සේවයට කැපවුණු ජනහිතකාමී දේශප්‍රේමී ජනතා බලයක්‌ ගම් හා නගර මට්‌ටමින් ගොඩනැගීම අපේ යුගයේ ජාතික අවශ්‍යතාවයි. ගම් හා නගර මට්‌ටමින් ගොඩනැඟිය යුතු එම ජනතා දේශපාලන බලය අපේම ඉතිහාසයේ අත්දැකීම් ඇසුරින් නවයුගයට ගැලපෙන සේ නිර්මාණාත්මකව සකසා ගත හැක. අපේ ඓතිහාසික අත්දැකීම් ඇසුරින් නව යුගයකට ගැලපෙන සේ ගම් මට්‌ටමෙන් හා නගර මට්‌ටමෙන් සැබෑ ජනතා නායකත්වයක්‌ ගොඩනඟා ගැනීම පිළිබඳ නිර්මාණාත්මක අදහස්‌ මාලාවක්‌ මවිසින් ලියා පළ කරන ලද "අපි ඔක්‌කොම රජවෙමු" නමැති කෘතියේ විස්‌තර කර ඇති හෙයින් මේ කෙටි ලිපියට ඒ විස්‌තර ඇතුළු නොකෙරේ.

අනගාරික ධර්මසේකරතුමා
(දිවයින_09/07/11)

පසුවදන_මෙරට ත්‍රස්තවාදවයට විසඳුම ලබාදුන් සේම දේශීය විසඳුමක් ජනවාර්ගික ප්‍රශ්නයට දෙන බව ජනපතිතුමා කියයි. මෙරට සැබවින් ම ජන වාර්ගික ප්‍රශ්නයක් නැත. ඇත්තේ සම්පත් නිසි ලෙස බෙදී නොයාම පිළිබඳ ගැටළුවකි. එහෙත් ජනවාර්ගික ප්‍රශ්නයක් තිබේය යන බොරුව 100 වරක් කීම නිසා දැන් එය ඇත්තක් බවට පිළිගැනීමක් ඇත. කෙසේ වුව ද ෆෙඩරල් ඊට බෙහෙතක් නොවේ යයි ජනපති කියයි. අපි එය පිළිගනිමු. එයට ‍දේශීය විසඳුමක් දෙතැයි යන එතුමාගේ කීමට ද ගරු කරමු. ඒ දේශීය විසඳුම නම් සංවර්ධනයේ ප්‍රතිලාභ ඈත ගම්දනව්වලට බෙදාහැර පරිපාලනය විමධ්‍යගත කිරීම බව අපි නැවතත් කියමු.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !