Tuesday, July 21, 2009

"රතු බිල"

තමන් සතු ගිනි අවි ද සමඟ ළඟම ඇති පොලිසියට භාර වන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පාතාල සාමාජිකයන්ගෙන් ඉල්ලයි.

මෙය ඉතා භයානක රතු නිවේදනයක්‌ ලෙස පාතාලය වටහා ගත යුතු ය. ආණ්‌ඩුව කොටි සංවිධානය සමූලඝාතනය කිරීමට පෙර ද මෙවැනි ම ඉල්ලීමක්‌ තුන් හතර වතාවක්‌ ම කළේය. එහෙත් ප්‍රභාකරන් ඒ බව ගණන් ගත්තේ නැත. ඔහු කල්පනා කරන්නට ඇත්තේ අර තරම් මිනී මැරූ කරුණාටත් ඇමැතිකමක්‌ සහ ශ්‍රීලනිපයේ උප සභාපතිකමක්‌ දෙන්නට තරම් ත්‍යාගශීලී වූ ජනාධිපතිතුමා තමන්ට නොවරදවාම අගමැතිකම දීමට ඉඩ ඇති බව ය. කරුණා සිටින ඇමැති මණ්‌ඩලයේ ප්‍රධානියා ලෙස සිට ඔහුගේ මුහුණ දෙස බලාගෙන කැබිනට්‌ රැස්‌වීම් පවත්වන්නේ කෙසේදෘ යන්නත් ප්‍රභාකරන් කල්පනා කරන්නට ඇති. යුද හමුදාවේ 53 වැනි රෙජිමේන්තුවේ 8 වැනි කාර්ය සාධක බළකාය තැබූ වෙඩිල්ලක්‌ ප්‍රභාකරන්ගේ ඔලුව හිල්කර ගෙන යන්නට ඇත්තේත් මෙවැනි සිතුවිලිවල ගිලී සිටින විටි වන්නටත් ඇති. අවසානයේදී ප්‍රභාකරන්ට, නඩේසන්ට, පුලිදේවන්ට, සුසෙයිට, චාල්ස්‌ ඇන්තනීට එක ගොඩේ මිය යැමට සිදුවිය. අවි බිම තබා යටත් වන ලෙස රජය නියෝග කළ මුල් අවස්‌ථා කිහිපයේදී ඊට අවනත වී නම් මේ පිරිස අදටත් ජීවතුන් අතරය. එසේ ම තවදුරටත් ජීවතුන් අතර සිටීමට අවශ්‍ය නම් පාතාල සංවිධාන විසින් කරනු ලැබිය යුත්තේ හැකි ඉක්‌මනින් අවි බාර දී සිය කැමැත්තෙන් පොලිස්‌ කූඩුවට යැම ය. පසුව පාතාල සාමාජිකයන්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කළ යුතු බැවින් ඔවුන් සමඟ අවි සැඟවූ තැන් බලන්නට (පාතාල සාමාජිකයන් කොතරම් ඇවිටිලි කළත්) නොයන ලෙස පොලිසියෙන් ඉල්ලමු. මන්ද පාතාලකාරයන් ඒ තැන්වලට ගොස්‌ පොලිසියට බෝම්බ ගැසීමට තැත් කළහොත් පණ ගලවා ගැනීම සඳහා ඉස්‌සර වීමට පොලිසියට යුතුකමක්‌ ඇති හෙයිනි. අප පොලිසියට අවවාද දීමට සූදානම් වන බවක්‌ පොලිස්‌පතිතුමා නොසිතිය යුතු ය. එක්‌දහස්‌ නවසිය අසූ නවයේදී සැඟවූ අවි තිබූ තැන් පෙන්වීමට පොලිසිය සමඟ ගොස්‌ හටගත් ගැටුමකදී විඡේවීර මියගිය ආකාරයට (ක්‍රමය, තාක්‍ෂණය, යාන්ත්‍රණය) එතැන් සිට අද දක්‌වාත් පුනරුච්චාරණය වෙමින් පවතී. පාතාල නායකයන්ට වහා මිය යන්නට සැලැස්‌වීම පාඩුවකි. ඔවුන්ගෙන් දැන ගත යුතු රහස්‌ එක වෙඩි පහරින් වැළලී යයි.

පාතාල සාමාජිකයන් සම්බන්ධයෙන් සියලු කටයුතු වහා කෙළවර වනු දැක්‌මට පොලිසිය කැමැතිය. ඒ පහත සඳහන් කාරණා නිසාය. එනම්,

1. අත්අඩංගුවට පත්වූ පාතාල සාමාජිකයන් නිදහස්‌ කරන ලෙසට දේශපාලනඥයන්ගෙන් සහ ධනවතුන්ගෙන් බලපෑම් ඇතිවීම.

2. මෙබඳු නඩු වැඩ බහුල, අවුරුදු ගණන් ඇදෙන, අලුතින් සතුරන් සෑදෙන කටයුතු වීම.

3. පොලිසිය සහ පාතාලය අතර ඇති සම්බන්ධකම් හෙළි වීමට ඉඩ තිබීම.

4. පාතාල සාමාජිකයන්ට විරුද්ධව ඇති චෝදනා ඔප්පුකර ගැනීමට නොහැකි වුවහොත් අධිකරණයෙනුත් බැණුම් අසා පාතාලයෙන් වෙඩි කෑමට සිදුවීම.

සැබැවි, මේ සියල්ලම සිදුවිය හැකි ය. එහෙත් පොලිසිය සතු වගකීම සියලු ආකාරයේ ඉහඳ තබන්නන්ගෙන් සමාජය නිදහස්‌ කර ගැනීම ය. සිංගප්පූරුව ගොඩනැංවීමේදී ජනාධිපති ලී ක්‌වාන් යූ මුලින්ම කළේ පාතාලය විනාශ කිරීම ය. මෙයට වසර 50 කට පමණ පෙර සිංගප්පූරුව ගොඩනංවන කාලයේදී එරට මුහුදු කොල්ලකාරයන්ගෙන් සහ අබිං ජාවාරම්කාරයන්ගෙන් පිරී ඉතිරී ගොස්‌ තිබිණි. රටේ ආණ්‌ඩුව කළේ මේ කොටස්‌ දෙක ය. ලී ක්‌වාන් යූ මේ දෙගොල්ල එකට අල්ලා එකටම විනාශ කළේ ය. මේ රට හැදීමේදී ජනාධිපතිතුමා ප්‍රමුඛත්වය දුන්නේ ත්‍රස්‌තවාදය විනාශ කිරීමට ය. දැන් ඔහු පාතාලයට අත තබා ඇත. එහි නායකයන් ද එක්‌කෝ භාර විය යුතු ය. නැතහොත් ප්‍රභාකරන් ගිය මඟ යැමට සූදානම් විය යුතු ය.

(දිවයින_09/07/21)

ටිප්පණිය_1950 දශකයේ මෙරටට පැමිණි ලී ක්වාන් යූ සිංගප්පූරුව ලංකාවක් කරමියි සපථ කළේය. ඔහු ඒ සඳහා පාතාළය විනාශ කළේය. ලංකාව සිංගප්පූරුවක් කරමියි සපථ කොට මෙරට රජ පැමිණි ජේ. ආර්. ජයවර්ධන උතුමා පාතාළය සහා පරිමාණ කර්මාන්තයක් දක්වා ව දියුණුවීමට දිය පොහොර සපයන සියලු සාධක මෙරටට බෝ කළේය. දැන් නැවත සිංගප්පූරුවක් කරන්නට ගොස් අනාථ කළ ලංකාව සනාථවෙමින් තිබේ. ඒ සඳහා පාතාළයට තිත තැබිය යුතුය. බටහිරින් පෝෂණය කළ කොටි ත්‍රස්තවාදය පරසක්වල ගැසූ ලංකා ආරක්ෂක අංශවලට මෙය කජු කනවාට වඩා පහසු වැඩකි. ඊට එරෙහිව යටි උගුල් අටවන බලපෑම් කරන දේශපාලන පිංගුත්තරයින් වහාම පිරපාහරන් යැව් මග යැවිය යුතුය. ඒ සඳහා "සඟවා ඇති ආයුධ පෙන්වීමට ගොස් වෙඩි තබන්න උත්සාහ කළ විට ජීවිතාරක්ෂාවට වෙඩි තැබුවා" වැනි වාක්‍යයක් ම හදා ගත්තාට කමක් නැත.

4 comments:

කැලුම් නිරංජන. said...

ඔව්.මෙය පාතාලය තම පැවැත්ම තහවුරු කර ගැනීමට යොදා ගන්නා සියලු දේශපාලන ඇම්බැට්ටයන් (ආචාර්‍ය් හා ආචාර්‍යා නොවන)තමන්ට ලැබුනු අවසන් අවස්ථාව බව තේරුම් ගැනීම වැදගත්.එසේ නොවුවහොත් අත්වන ඉරණම පිරභාහරන්ට අත් වූ ඉරණමෙන් වෙනස් වූවක් වෙන්නෙ නෑ.

තරිඳු said...

හැබැයි ඒකත් මරු වැඩේ. හැබැයි දැන්නං කැත වැඩේ වෙන්නේ පාතාලෙ අහින්සකයින්‍ට. ලොක්කගෙ මල්‍ලිගෙ ඕඩර් වලට අත දාන්ඩ මෙච්චර කල් දරදිය ඇද්ද ඇමතිල මන්තිරීල එන්නෙත් නෑනෙ.
පව් අප්පා...
හොඳම සහ බුද්ධිමත්ම වැඩේ තමා බාරවෙද්දි තමා සතු සියළුම චංචල නිෂ්චල පුපුරණ අවි සමඟ බාරවීම. නැත්තං පොලිසියෙ මහත්තුරුත් එක්ක හංගපුව බලන්ඩ ගියාම ආපහු එන්ඩ අමාරුයි.

Kanishka said...

හික් හික් :D :D ඔව් ඔව්.. ආයෙ බලන්න ගියොත් එනව බොරු :D :D

නාමල් උඩලමත්ත said...

අනේ මේ ආචාර්යතුමාට නම් බනින්න එපා. එතුමා කියලා තිබුණා තමන් හම්බ වෙන්න එන අය දිව්‍ය ලෝකෙන් ද පාතාළෙන් ද කියලා හිතාගන්නේ කොහොමද කියලා. මොකද උප්පැන්නේ තියෙන්නේ ඉමිතියාස් කියලා මිසක් ආනමාලු ඉමිතියාස් කියලා නෙමේනේ. නවුෆර් කියලා මිසක් පොට්ට නවුෆර් කියලා නෙමේනේ. එතුමලා අහිංසකයි. එතමලා ජනතාවට දෙවිදිහකට සලකන්නත් බෑනේ.

ඔක්කොම ආයුධ දීලා භාර වුණත් අවුලක් නෑ. මොකද ආයුධ පෙන්නන්න ගිය එකා "අනේ ඕක බොරුවක්. මම ඔක්කොම ආයුධ දීලා භාර වුණේ"කියන්න ඉතිරිවෙන එකක්යැ.

 
සිය රට දේ සිරි සැප දේ !