Tuesday, February 17, 2009

මෙවර පළාත් සභාවලට ජනාධිපතිතුමාත් තරග කරන්නේද?

එක්දහස් නවසිය හැත්තෑ හතෙන් පසු මේ රටේ පවැති අදුෂිත හා පිරිසිදු ම මැතිවරණය ලෙස දැක්විය හැකි මධ්‍යම සහ වයඹ පළාත් සභා ඡන්දවල ගෑවුණු එකම තාර ගුලිය පුත්තලමේ නායක්කර්චේනෙයි ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ශුන්‍ය කිරීම පමණි. මේ සිද්ධියට වගකිවයුතු අයට දැඩි දඬුවම් පැමිණවීම බලධාරීන්ගේ යුතුකම වන අතර මේ රටේ ජනයා ඒ වගකීම ඉටුවන තුරු බලා සිටිති. මෙකී ඡන්ද පොළේ තිබු ඡන්ද පෙටිටි තුළින් දෙක බැගින් එකට තබා නමා බහාලන ලද ඡන්ද පත්‍රිකා කිහිපයක් හමු වී තිබේ. ඡන්ද පෙටිටිය තුළදී නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයන් වෙනස් වුවොත් මිස ඡන්ද පත්‍රිකා මෙසේ එකට ඇලී දෙකට නැමෙන්නේ නැත. එසේ නැමුණත් ඡන්ද පෙටිටිය තුළ තිබු සියලු ඡන්ද පත්‍රිකා එකට ඇලී දෙකට නැමිය යුතු ය. ඒ සඳහා කිසිදු භෞතික විද්‍යාත්මක නියමයකට සම්බන්ධ නැති ගුරුත්ව කෙෂ්ත්‍රයක් ඇති විය යුතු ය. මේ ලෝකයේ සිදු වීමට බැරි කිසිදු දෙයක් නැත්තා සේම, එවැනි ගුරුත්වයක් ඡන්ද පෙටිටිය තුළ හටගත්තාවත්ද?

මධ්‍යම සහ වයඹ දෙපළාතේ ඡන්දය නිමවීමෙන් පසු බස්නාහිර පළාත් සභාවේ ඡන්දය පිළිබඳ කලබලය පැතිර යමින් පවතී. සාමාන්‍යයෙන් මේ රටේ ඡන්ද අපේකෂකයෝ බලවත් මනාප පොරයක නිරතව සිටින බැවින් ඉන්දියාවේ ඡන්දයක් එන ආරංචියට පවා ලංකාවේ පෝස්ටර ගසති. ඡන්දය ඉන්දියාවේ පැවැත්වෙන බව හරියටම ඔලුවට යන විට පෝස්ටර ගැලවීමට බැරි තරමට පාප්ප වේලී ඇත. ඔන්න අපේ රටේ හැටි! ඉන්දියාවේ දේශපාලනයේත් මෙයට වැඩි වෙනසක් නැත!

අද අප වැඩි අවධානය යොමු කරන්නේ පෙර කී කිසිදු කාරණයක් ගැන නොව ඡන්ද පෝස්ටර සඳහා ජනාධිපතිතුමාගේ ඡායාරුප යොදා ගැනීම ගැන ය. වයඹ සහ මධ්‍යම දෙපළාතේ ඡන්ද කටයුතුවලට ජනාධිපතිතුමාගේ රුව සහිත පෝස්ටර ඇති පදම් ගැසීමෙන් පසු, ඡන්දයට දවසක් පමණ තියා ජනාධිපතිතුමාගේ රුපය ඡන්ද පෝස්ටරවලට යෙදීම තහනම් කරමින් නියෝගයක් නිකුත් විය. එහෙත් ඒ වන විට ජනාධිපතිතුමාගේ රුව අවශ්‍ය දේශපාලන වාසි ලබාගැනීම සඳහා යොදාගෙන හමාර ය. සෑම ඡන්ද පෝස්ටරයකම අපේකෂකයාගේ රුපයට අමතර ජනාධිපතිතුමාගේ රුපය ද යොදා තිබිණ. පිටරුටියකු මෙහි පැමිණියේ නම් නිසැකව ම කල්පනා කරනවා ඇත්තේ මේ රටේ ජනාධිපති ඉවක් බවක් නො බලා රටේ හැම පළාත් සභාවකට ම, හැම ආසනයකට ම ඡන්දය ඉල්ලන බව ය. කොහොමටත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවලදී පෝස්ටර ඇලවීම නීතියෙන් ම තහනම් ය. විශේෂයෙන් ම නාම යෝජනා භාරදෙන තුරු ඡන්ද අපේකෂකයාගේ පකෂ සලකුණ සහ අංකය ප්‍රචාරය කිරීම තහනම් ය. ඡන්ද අපේකෂකයාගේ රුපය, අංකය, පකෂය යනාදිය සහිත පෝස්ටර හා කටවුටි ප්‍රචාරය කළ හැක්කේ ඔහුගේ කාර්යාලය ඉදිරිපිටත් වාහනවලත් පමණි. එහෙත් සෑම වැසිකිළියක් ඉදිපිරිපිටම, එහි ඇතුළත එහි දොර හා පසුපස ද ඇතුළුව තාප්ප, ගස්, බෝඩ් ලෑලි, ලයිටි කණු යනාදියෙහි පෙර කී සියලු තහනම් බඩු යොදා මුද්‍රණය කළ පෝස්ටර අලවනු ලැබේ. සියලු හොරු ද, වංචාකාරයෝ ද, දාමරිකයෝ ද, කුඩුකාරයෝද, අයෝමය පුරුෂයෝ ද, නළුවෝ ද, ගායකයෝ ද, ක්‍රීඩකයෝ ද මේ දිනවල ඡන්දය ඉල්ලති. මෙයින් සමහරු තම පෝස්ටරවලට ජනාධිපතිතුමාගේ පින්තුරයට අමතරව ආරකෂක හමුදාවේ පින්තුර පාවිච්චි කරති. මෙය වහා තහනම් කර තහනම ක්‍රියාත්මක කළ යුතු ය. නැතහොත් පිරිසිදු මැතිවරණ පිළිබඳව පසුගියදා ඇති වු අපේකෂාව යළි සුන්ව යනවා ඇත.
(දිවයින_09/02/18)

පසු වදන_
රටේ නම ගිය කුඩුකාරයින් ස්ත්‍රී දූෂකයින් ඉදිරි මැතිවරණය සඳහා ඡන්දය යදිමින් වැසිකිලි බිත්තියේ සිට තාප්පය දක්වා එල්ලී සිටින්නේ ජනාධිපතිගේ රුව ද යොදා ගනිමිනි. 77 පසු අපේ රට ඇද වැටුණු ආගාධයෙන් තවම ගොඩ එන්න දඟලන අතර මේ මේ උන්ට අපේක්ෂකත්වය නොදෙන්නැයි කීමෙන් පලක් නැත. ඔවුන් ගැන ජනතාව තීන්දුව ගත යුතු ය.

එහෙත් ජනපතිට සිය රුව යොදා නොගන්නා ලෙස ගෝලබාලයින්ට කිව හැකි ය. එමෙන් ම රටේ විරෝදාර හමුදාවන්ගේ පින්තූර භාවිතය සම්පූර්ණයෙන් තහනම් කළ යුතු ය. එමෙන් ම පුත්තලමේ නායක්කර්චේනෙයි ඡන්ද මධ්‍යස්ථානයේ දූෂණයට සම්බන්ධ අයට වහා දඬුවම් පැමිණ විය යුතුම ය. කිරි කළයට ගොම රිටි ලෑමට තක්කඩින්ට ඉඩදිය යුතු නැත.

9 comments:

Anonymous said...

ඔය දුන්න එක චන්දයක්වත් ඉල්ලන එවුන්ට දිපුවා නොමෙයි ජනාධිපතිතුමා සහ හමුදාව නිසා ලැබුන එවා

නාමල් උඩලමත්ත said...

ඒක හරි. ඒ නිසානේ මේ අය තමන්ගේ තනියට ජනාධිපතිගේ රූප හමුදා රූප පෝස්ටර‍යට දාගන්නේ. අනුන්ගේ පානෙන් එළිය බැලීම සහ බැබලීම. පුථුවන් නම් පෝස්ටර් ගැහීම සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි. පරිසර විනාශය විතරයි වෙන්නේ.

කෙනෙක් ඇහුවා මගෙන් ඇයි විපක්ෂ නායක තුමාගේ ඡායාරූප ඒ පක්ෂයේ අය නොදමන්නේ කියලා. මං මුකුත් කීවේ නෑ. ඒකට හේතුව විපක්ෂයේ අය දේශපාලන සදාචාරය දන්න නිසානේ කියලා අපේ මුත්තා මට හිනා වුණා. හහ්...හහ්...

amal ishantha said...

"ඒකට හේතුව විපක්ෂයේ අය දේශපාලන සදාචාරය දන්න නිසානේ කියලා අපේ මුත්තා මට හිනා වුණා."
UNP එකට එහෙම දෙයක් තියෙනවද?

නාමල් උඩලමත්ත said...

අනේ මේ අපේ ආතා කියන ඒවට තරහ ගන්ට ඕන නෑ අමල් දරුවෝ. සදාචාරයක් තියා ඔය ගොයියලට චාරයක්වත් තියෙනව ද මන්දා?

හැබැයි අපේ ආතා ඊයේ රෑ හරි ම පුදුම හිතෙන හීනයක් දැකලා. උන්දෑ දැකලා රනිල් මහත්තයාත් මහේල ගිය මඟ යනවා. කොටින්ම කියනවා නම් 18 වෙනි පරාජයේ වඟකීම භාර අරන් රනිල් මහත්තයා ඉල්ලා අස්වෙනවා. ආතා දකින හීන බොරු වෙනවා බොරු ගොයියෝ ??? ආතා දැකපු හීන කිහිපයක් තමා සුනාමිය, සදාම්ගේ බිඳ වැටීම, 9/11 ප්‍රහාරය, තමිල් සෙල්වම්ගේ මරණය, ඔබාමා ජනපති වීම. ඕන් බලන්න. ඔක්කොම ටක්කෙට ම හරි ගියානේ. දැන් කියමු බලන්න රනිල් මහත්තයා ඉල්ලා අස්වෙයි ද? නැද්ද?

Anonymous said...

U.N.P එකේ චන්දය ඉල්ලන පිරිස තම අසහාය නායක රනිල් මැතිදාගේ මුනත් තහඩුව තම පොස්ටර් වලට යොදා නොගන්නේ දැම්මොත් අඩුම ගානේ ගෙදර හාමිනේගෙන් ලැ‍‍බෙන චංදයත් නොලබෙන නිසා

නාමල් උඩලමත්ත said...

එහෙම කියන්න එපා. 1994 විතර ගත්තු නායකත්වයේ යෂ්ටිය තාම අත හැරියේ නෑ. පුදුම දරාගැනීමේ ශක්තියක්නේ මේක. 2075 ජනාධිපතිවරණයටත් unpයෙන් ඡන්දේ ඉල්ලලා එතුමා විපක්ෂ නායක වෙනවා. අපේ ආතා මොන හීන දැක්කත් මට නම් ඒක සිකුරටම විශ්වාසයි. අමල් මොකද කියන්නේ?

නිලන්‍ත said...

බොහෝ පලාත්සභා අපේක්ෂකයෝ මම අහවල් එක කලා කියල ඡන්දෙ ඉල්ලන්නද? තමන්ගෙ පාලන කාලයේ පලාතෙ දියුනුවට කලේ මේවාය කියල මොනව පෙන්නන්නද? ඒ නිසා තමයි කාටවත් පේන්නෙ නැති අවංක, උදාර, නිර්භීත, කට ඇති, ජනහිතකාමී වගෙ මෙකී නොකී සියලුම ගුණාංග වලින් තමංව හඳුන්වා දෙන්න දඟලන්නෙ. තමංගෙ ජනහිතකාමීත්වයේ තරම ජනතාව දන්න නිසා තමයි ජනාධිපතිතුමාගෙ සහ යුධ හමුදාවෙ රූපයක් යොදාගෙන තමනුත් ජනාධිපතිගේ මිනිහෙක්, හමුදාවට සහයදීමට තමා මේ යන්න හදන්නෙ වගේ අදහසක් ඡන්දදායකයා තුල ජනිතකරල ජන්දෙ කඩාගන්න හදන්නෙ. ඇත්තටම මේ පක්ෂයට ඡන්දෙ ගන්න නෙමෙයි තනිකරම මනාපෙට තමා කෙල හලන්නෙ. පමාවී හෝ ජනාධිපතිතුමා තමන්ගේ මූනත්තහඩුව පලාත්ඡන්දෙට යොදාගැනීම තහනම් කිරම හොඳයි. නමුත් එළඹෙන බස්නාහිර පලාත් ඡන්දෙදි මේ නියෝගය කල්ඇතුවම කලොත් හොඳයි.

එජාප නායකතුමාගේ මූනත්තහඩුව ඡන්දෙදි යොදාගැනීම ගැන කියනවනං ...................කියල වැඩක් නෑ.

Ramachandra said...

හිතල බලන්න ඕන කරුන මේකයි.කුඩුකාරයාට නාම යෝජනා දෙන්නෙ ඔහු කුඩුකාරයෙක් බව නොදැනද?ස්ත්රී දූෂකයාට විශාල අවස්ථාවක් දීල තිබෙන්නෙ ඔහු ස්ත්රී දූෂකයෙක් බව නොදැනද?
දස පුද්ගල ඝාතනයකට චෝදනා ලද එක්තරා හිටපු ඇමති පුත්රයෙක් මෙවර නුවර වැඩිම මනාප ලද කීප දෙනා අතර සිටියා.එ් නිසා ජනතාවට තීරනේ ගන්න කියන එක හුදු අතසෝදා ගැනීමක් පමනයි.මේ ක්රමය ඇතුලෙ තැන ලැබෙන්නෙ සල්ලිකාරයන්ට.එම සල්ලිකාරයන්ගේ සහය නැත්නම් පක්ෂවලට පැවැත්මක් නැහැ.කුඩු මුදලාලිලාට ඉඩ හැදෙන්නෙ ඒ නිසා.77 සිට පැවති ආන්ඩු සහ මේ ආන්ඩුව අතරත් ඒ අර්ථයෙන් වෙනසක් නැහැ.තේරුම් ගත යුතු‍ දෙය නම් ජනාධිපතිතුමා මෙතැනදී "අහිංසකයෙක්" නොවන බව.එතුමාත් ඉචිඡානුගවම මේ ක්රියාවලිය පවත්වාගෙන යනවා.
නැතිනම් ලාල් පීරිස්,දුමින්ද සිල්වා අමතක කලත් පාතාල අපරාධකාරයින්ව රට යවන්න වීසා හදල දුන්නු සුමතිපාල මුදලාලිව ආදරයෙන් වේදිකාව මතදිම වැලද ගැනීම අපි වටහා ගන්න ඕන කොහොමද?

නාමල් උඩලමත්ත said...

නිලන්ත, මම ඔබ එක්ක එකඟයි. තමන්ට පෙන්නන්න මුකුත් නැකි නිසා තමා අනුන්ගෙන් බැබළෙන්න හදන්නේ. මේ සටන ආරම්භයේ ඒකට නායකත්වය දෙන්න හිටියේ ඉතා සුළු පිරිසක්. අපේ රටේ ඒ අයට අදටත් ගරු කරන්නේ ජාතිවාදියා, වර්ගවාදියා වගේ නාමයකින්. දැන් නම් ජයග්‍රහණයට පියවරු සීයයි. හැබැයි පරාද වුණා නම් 'ලෙව්කේ මැතිදු අද තනියම වෙළ මැද්දේ' කියලා අර මුල් ටික විතරයි ඉන්නේ. දැනට වුණත් සහය දෙන්නේ අවංකව ම නම් හොඳයි නේද නිලන්ත?

රාමචන්‍ද්‍ර, ඔබ හරියට ම හරි ය. ජේ. ආර්. මේ රටේ ධර්මිෂ්ට සමාජයක් ගොඩනැඟීමේ ප්‍රතිඵල තමා මේ. ස්ත්‍රි දූෂකයින් පෝරකයට යවනු වෙනුවට සාමදාන විනිශ්චයකාර පදවි දීලා, ස්ත්‍රි දූෂණය රාජ්‍ය අනුග්‍රහය සහිත ව්‍යාපාරයක් කළා. මිනී මැරීම, පතාළ සබඳතා රටේ ජනාධිපති මැදුර ගොස් රටේ නායකයින්ගේ සුරතලුන් වීමේ කෙටි මඟ වුණා.

ඉතින් ඒ වගේ ධර්මිෂ්ට සමාජයක මහින්ද කිසිසේත් අහිංසක විය යුතු නැහැ. මේ සමාජයට අවශ්‍ය නියම නායකත්වය මහින්ද ලබා දෙනවා. මුදල්, පතාළය රජ කරන සමාජයක ඒ අය හිමිකරගෙන ඇති සමාජ බලය නොතකා සිටීමට නොහැකියි. රටේ මූලික ප්‍රශ්නය ත්‍රස්තවාදය කෙළවර කිරීම. ඊට පස්සේ තමා සෙසු ප්‍රශ්නවලට විසඳුම් දිය යුත්තේ. මේ අවස්ථාවේ සියල්ලටව එරෙහිව යුද්ධ ප්‍රකාශ කර අනාගත යුතු නැහැ. දැන් කළ යුත්තේ යකා බැඳගෙන හෝ කොටි පරාජය කිරීම.

කෙනෙක් වරක් වැරදි කළ පමණින් ඔහු ජීවිත කාලයට ම දඬුවම් ලැබිය යුතු නැත. එය කරුණාට, පිල්ලෙයාන්ට, ජවිපෙට මෙන් ම තිලංගට ද සාධාරණ ය. ඔහු නිවැරදි වේද යන්න අනාගතයේ තීන්දු වනු ඇත.

 
සිය රට දේ සිරි සැප දේ !