Friday, April 24, 2009

මේ වෘකයන්ට තවදුරටත් ඉඩ නොදෙමු

හොස්ස මෙන්ම පස්ස ද බිම ඇනුණු කොටින්ට දැන් හරිහැටි හුස්ම ගන්නට ද නොහැකි ය. නමුත් තවමත් උන්ට වලිගය වනන්නට හැකියාව තිබේ. මේ ආකාරයට වනන වලිගය දෙපරැන්දේ ගසා ගත් කොටි නකුටන් රැලක් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවට ඔන්න මෙන්න කියා තිබිය දී නෝර්වේ රටේ ඔස්ලෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළහ.
තවමත් නෝර්වේ පොලිසියට එම ප්‍රහාරය එල්ල කළවුන් කිසිවෙක් අල්ලා ගන්නට හැකි වී නැත. ඒ අනුව බලන කල නෝර්වේ පොලිසිය ද අපේ පොලිසියට දෙවැනි නැත.

ජාත්‍යන්තර කොටි ජාලයේ හොරිකඩයන් නෝර්වේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පහර දී නිකම්ම ආපසු ගියේ නැත. උන් කළේ එම ප්‍රහාරය එල්ල කරන ආකාරය වීඩියෝ ගත කර අන්තර්ජාලය මගින් වහාම ලොව පුරා ප්‍රචාරය කරන්නට කටයුතු කිරීම ය. ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි එම වීඩියෝ දර්ශනවල මැනවින් සටහන්ව තිබේ. නමුත් ඒ කිසිවකුත් හඳුනා ගන්නට නෝර්වේ පොලිසියට හැකි වී නැත. නෝර්වේ පොලිසියේ කෙරුවාවේ තරම එයින්ම පැහැදිලි වෙයි.

එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා තිබෙන්නේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි ගොඩනැගිල්ලක පස්වැනි මහලේ ය. ඊට පහළින් තිබෙන දෙවැනි මහලේ එරට කසකස්තාන තානාපති කාර්යාලය ද පිහිටා තිබේ. එපමණක් නොවේ. තවත් කාර්යාල පරිශ්‍රයන් ගණනාවක් ද අදාළ ගොඩනැගිල්ල තුළ පිහිටා ඇත. මේ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වූයේ එවන් සංකීර්ණයක පිහිටි කාර්යාලයකට ය. කිසි විටෙකත් එය හුදෙකලා පර්‍හයූමක් නොවන්නේ ද එනිසා ය.

නෝර්වේ රාජ්‍යය පසුගිය වකවානුව මුළුල්ලේම කළේ ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර අර්බුදයට මැදි වූ දෙපාර්ශ්වය වෙනුවෙන් පහසුකම් සලසන්නාගේ භූමිකාව රඟ දැක්වීම ය. සැබැවින්ම ඊට මුවා වී ඔවුන් කළේ කොටි ත්‍රස්තවාදයට පමණක් පහසුකම් සැලසීම ය. තවත් ලෙසකින් කියන්නේ නම් වංචාකාරී අතරමැදියකුගේ භූමිකාවට පණ පෙවීම ය. ඒ අනුව ඔවුන් කළේ අමු අමුවේම කොටි ත්‍රස්තවාදීන්ට කඩේ යෑම ය.

නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිදැල්ලේ ගොස් පහර දෙන්නට තරම් ජවයක් කොටි නකුටන්ට ලැබුණේ නෝර්වේ රටේ මේ කොටි හිතවාදය නිසාය. මේ සිද්ධිය හරහා නෝර්වේ සාම නියෝජිතයන්ගේ කෙරුවාවේ තරම ඔවුන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙන්නට පටන්ගෙන තිබේ. මේ සියල්ල එකින් එක විමසා බලන විට අප හමුවේ ඊළඟට දිග හැරෙන්නේ කලකට පෙර රඟ දැක්වුණු නෝර්වේ සටන් විරාම නිරීක්ෂකයන්ගේ රූකඩ සංදර්ශනයන් ය. ඒ තරමටම ඔවුහු අපව අන්දවමින් ඇති පමණට කොටින්ට කඩේ ගියහ. තවමත් නිර්ලජ්ජිතව කරන්නේ ද ඒ ටිකම ය. ඉදින් අපි තවදුරටත් මුන්ට රැවටෙමුද?


තමන්ගේ රට තුළ පිහිටි විදේශ තානාපති කාර්යාලයන් සුරක්ෂිත කිරීමේ වගකීම නෝර්වේ රටට පමණක් නොව ලොව අන් සියලුම රටවලට ද එක හා සමානව පැවරී ඇත. එම වගකීම නොසලකා හැර විදේශ තානාපති කාර්යාලයකට අනතුරක් සිදු වූ විට ශෝක ප්‍රකාශ නිකුත් කිරීමෙන් පළක් ඇත්තේ නැත.
මේ ආකාරයටම නෝර්වේ කොටි නකුටන් එරට අග්‍රාමාත්‍ය කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළේ නම් නෝර්වේ රජයට මේ ආකාරයෙන් ශෝක ප්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් සෑහීමට පත් විය හැකි දැයි අසන්නට අපි කැමැත්තෙමු. ප්‍රහාරය එල්ල වීමෙන් පසුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නෝර්වේ පොලිසිය දැඩි රැකවරණය සපයා ඇති බව ද එරට රජය කියයි. නෝර්වේ ආණ්ඩුව ඒ කර ඇත්තේ අශ්වයාට පැන යන්නට ඉඩ දී ඉස්තාලය වසා දැමීම ය.

මෙම සිද්ධියට පෙරාතුව ඔස්ලෝ කොටි නකුටන් කළේ එහි වාහන ගමනාගමනයට පවා බාධා එල්ල කරමින් එරටේ අග්‍රාමාත්‍ය කාර්යාලය වටලා උද්ඝෝෂණය කිරීමය. ඊළඟට ඔවුහු එරට අගමැතිවරයාගේ නිල නිවාසය ද වටලා උද්ඝෝෂණයක නිරත වූහ. මේ ක්‍රියාදාමයන් සියල්ල නීති විරෝධී බව පැවසූ ඔස්ලෝ පොලිසිය ඊට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත. නෝර්වේ පොලිසියෙන් එබඳු සහායක් ලැබෙදදී කොටි හිතවාදීන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පමණක් නැවතුණා නම් එය පුදුමයෙනුත් පුදුමයකි.

මේ සියල්ල විශ්ලේෂණය කර බලන විට පෙනෙන්නේ ඔස්ලෝ නුවර කොටි හිතවාදීන්ට මේ ප්‍රහාරය සඳහා නෝර්වේ රාජ්‍යයේ ද අනියම් සහයෝගයක් මෙන් ම පූර්ණ අනුග්‍රහය ද ලැබී ඇති බව ය. ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය මරණාසන්නව පණ අදිදදී නෝර්වේ රාජ්‍යය කොටි හිතවාදීන්ට උඩගෙඩි දෙමින් උන්ට ජීව වායුව පිඹින්නට ගන්නා උත්සාහයට ත්‍රස්තවාදයට එරෙහි ලොව සියලු ම රටවල දැඩි විරෝධය එල්ල විය යුතු ම ය. ලෝක ත්‍රස්තවාදය මඬින්නට නම් ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වී කොටින්ට ආවඩන බැටළු හම් පොරවා ගත් වෘකයන්ට එරෙහිව ද නොපමාව ක්‍රියා කළ යුතු කාලය එළැඹ තිබේ.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ අහිංසක වැසියන්ගේ, වීරෝදාර රණවිරුවන්ගේ ජීවිත සිය දහස් ගණනක් බිලි ගනිමින් මේ රටෙන් කෑල්ලක් කඩා වෙන් කර ගන්නට අපරිමිත වෙහෙසක් ගත් ප්‍රභාකරන් නම් වූ ම්ලේච්ඡ මස් වැද්දා දණ ගැස්වීම ඉවසා වදාරන්නට නොහැකි තරමට නෝර්වේ රට සලිත වී ඇති බව ඔවුන්ගේ හැසිරීමෙන් ඇස් පනාපිටම ඔප්පු වී තිබේ.

මේ වගකීම් විරහිත හැසිරීමෙන් තවදුරටත් නෝර්වේ රාජ්‍යයට නිදහස් විය නොහැකි ය. තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඔවුන් අඟවන ව්‍යාජ කණස්සල්ල පිළිගන්නට අප සූදානම් විය යුතු නැත. ඒ අප කොණ්ඩය බැදි චීන්නුන් නොවන නිසා ය. මෙතුවක් කලකට කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් “පහසුකම් සැලසූ” නෝර්වේ රාජ්‍යයේ ව්‍යාජ මිත්‍රත්වය තවදුරටත් ශ්‍රී ලංකාවට අවැසි වේ යැයි අපි නො සිතමු. ඒ නොදන්නා සතුරාට වඩා දන්නා හතුරාගෙන් බේරීම පහසු නිසා ය. එබැවින් නෝර්වේ භූමිකාව පිළිබඳව ශ්‍රී ලංකා රජය මේ මොහොතේදීවත් පැහැදිලි සෘජු දැඩි තීන්දුවක් ගත යුතු ම බව අපි සියලු වගකිව යුත්තන් වෙත මෙසේ යළි යළිත් අවධාරණය කර සිටිමු.
(රිවිර_09/04/19)

පසුවදන_නෝර්වේ යනු අපේ රටේ සතුරු රාජ්‍යයක් බව අපි පුනපුනා කීවෙමු. එදා පටන් අද දක්වා සිදුවූ සියලු දේ ඒ කාරණය දහස් වතාවක් නිවැරදි බව සනාථ කර තිබේ. ලොව පුරා විවිධ අරගල සිය ආදායම් මාර්ගය කරගත් නෝර්වේ ලොව තෙවන විශාලතම ආයුධ නිෂ්පාදකයා ය. එම ආයුධ විකිණීමට නම් ලොව පුරා ගැටුම් නිර්මාණය කළ යුතු ය. පවතින ගැටුම් නිමාවීමේ ඉඩ ඇහිරිය යුතු ය. ඒ සඳහා නෝර්වේ නැමැති වෘකයා සාමයේ බැටළු සම් පොරවා ගෙන ලොව පුරා සැරිසරයි. මේ නරුම දෙබිඩි සත්වයා දැන්වත් හදුනාගනිමු. මෙරටින් පන්නා දමමු. එය රටේ අනාගත සුරක්ෂිතභාවය සඳහා තබන බුද්ධිමත් පියවරක් වනු ඇත.

2 comments:

Mandy said...

සම්පූර්න ඇත්ත ලියලා තියෙන්නෙ...
මේ ලිපිය පත්ත‍රේකට දැම්මොත් න‍රකද?

නාමල් උඩලමත්ත said...

මේ පළවන්නේ ගිය ඉරිදා රිවිර පුවත්ප‍තේ කතුවැකිය. එහි ඇති වටිනාකම නිසාත් එය බොහෝ අයට කියවීමට නොලැබෙන නිසාත් තමා මෙහි පළකරන්නේ. එහි එන පසු වදන පමණයි මගේ. මුල් ලිපියේ කතු හිමිකම අදාළ පුවත්පත සතුයි. ප්‍රතිචාරයට තුති.

 
සිය රට දේ සිරි සැප දේ !