බොරුවට සමානාර්ථ සේ ගැනෙන වදන් සමූහයක් සිංහලයේ ඇත. ඒ ඒ බොරුවේ ප්‍රමාණය අනුව මේ වදන් යෙදෙයි. පච, බින්න, නයි, බේගල්, අමූලික බොරු, පට්ටපල් බොරු, ගල් පැලෙන බොරු, ගජබින්න, ටොම් පච ඉන් කිහිපයකි. බොරුවේ ප්‍රමාණය කෙතරම් වුවත් බෞද්ධයා බොරුකීම වරදකි. ගිහි බෞද්ධයා ආරක්ෂා කළ යුතු පංච ශීලයේ සිව් වන සිල් පදයෙන් එය කියවේ. එහෙත් අද මෙරට බෞද්ධයෝ මෝඩයාගේ දිනය සමරමින් බොරු කියති. පුංචි බොරුවේ සිට ටොම් පචය දක්වා විවිධ ප්‍රමාණයේ බොරු කියමින් විශාල වින්දයක් ලබති. වෙනත් වචනවලින් කියතොත් විනෝදයට පන්සිල් බිඳිති. ඒ අතර ප්‍රසිද්ධ ජනමාධ්‍ය ද ඇත.
පිරිත් සජ්ඣායනයේ දී දේශනා කරන ආටානාටිය සූත්‍රයේ පළමු කොටස සතර වරම් දෙවියන් විසින් දේශනා කරන ලද්දකි. එහි පැවසෙන්නේ ඇතැම් නීච දෙවිවරු බුදුන්ට අකමැති බව ය. ඒ බුදුන් බොරු නොකියන්නැයි දේශනා කරන නිසා ය. ඒ යකුන් නිතර බොරු කියන නිසා ය. අපාය ද දිව්‍ය ලෝකය ද අප අවට ඇත. එහෙයින් දෙවිවරු ද යකුන් ද කුම්බාණ්ඩයින් ද ගෙවළයින් ද අත අතර ම සිටිති. ඒ ඒ අය තම තමන්ට ගැළපෙන දින තෝරාගෙන සමරති.
සුද්දා තව ටික දොහකින් ‘දෙමාපියන්ට පහරදීමේ දිනයක්’ ප්‍රකාශට පත් කළහොත් එය සමරන්න ද මේ රටේ අම්බරුවන් එකත්පස්ව පෙළ ගැසී සිටින බව පැහැදිළි ය. අප මේ දින සමරන්නේ කුමට ද? එහි ඵලය කුමක් ද? ඒ දින සැමරුම් අපට ගැළපේ ද යන්න පිළිබඳ හාංකවිස්සියක් ඔවුන්ට නැත. අනුන් කරන කරන දේ කරන මේ දීන වඳුරු මානසිකත්වය, පන්සිය වසරක යටත්විජිතවාදයේ උරුමයයි.
බුදු රජුන් ගස් ගල් වැදීම තහනම් කළැයි ද එහෙයින් බෝධි වන්දනාව බෞද්ධ දර්ශනයට පටහැනි යයි ද කියමින් කෑ ගසන මහා බෞද්ධ උපාසකවරු ඊට එරෙහිව කිසිවක් ලීවේ ද නැත. ඒ අන්කිසිවක් නිසා නොව තමන්ට ම කියා දිනයක් වෙන්කර තැබීමේ ගර්වයෙන් හා අභිමාණයෙන් විය යුතු ය.
සැබවින් ම අප්‍රෙල් 1 වන දා සැමරිය යුත්තේ ජාතික ශෝක දිනයයි. ඒ රටක මෝඩයින් වැඩිවීම මහා කරුමයක් වන හෙයිනි.
Thursday, April 2, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment