Friday, April 3, 2009

ජවිපෙ යා යුතු මග

මෙම අප්‍රේල් 5 වන දිනට ජවිපෙ දේශපාලන ව්‍යාපාරය 38 වන වසරට පා තබයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි

පසුගිය සති කිහිපය ඇතුළත දී පැවැති උතුරු මැද සබරගමුව, වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල දෙස බලන විට වඩාත් කැපී පෙනෙන පරාජයක් අත්කර ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවට විවාදයක් තිබිය නොහැකිය.

මෙරට ප්‍රගතිශීලී දේශපාලන කඳවුර නියෝජනය කරන අය වශයෙන් එම දරුණු පරාජය පිළිබඳව විශ්ලේෂණයක යෙදීම වැදගත් වනුයේ එහි අනාගතය දෙස බලන විටදීය.

1965 දී අතේ ඇඟිලි සංඛ්‍යාවටත් වඩා අඩු සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ගොඩනැඟුණු ජනතා විමුක්ති පෙරමුණ 1971 සමගි පෙරමුණු පාලන සමයේදී ලෙයින් යකඩින් ප්‍රථම මර්දනයට ලක් වෙමින්, දස දහසකට ආසන්න ජීවිත හානියක් මෙන්ම 26000 ක් පුනරුත්ථාපන කඳවුරු තුළට ගාල් වෙද්දී, නායකයින් බන්ධනාගාරගත කෙරිණි.

මේ අතර 1977 දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධනයන්ගේ එක්සත් ජාතික පක්ෂ අරමුදලට විශාල වශයෙන් දායක වු එවක ප්‍රකට තුරඟ තරග ව්‍යාපාරිකයන් දෙදෙනකු වු තහාර් හා මුක්තාර් ද බන්ධනාගාරගත කර සිටියේ රෝහණ විජේවීර ඇතුළු කැරලිකරුවන් ද සිරගත කළ "ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකයන් හඳුන්වා දුන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත" නමැති සුවිශේෂ නීතිය යටතේය. සිය හිතවතුන් දෙදෙනා නිදහස් කර ගැනීමේ අවශ්‍යතාව ජයවර්ධනයන්ට මතු වුවත්, විජේවීරලා නිදහස් කරන මුවාවෙන් තහාර්ලා මුදා ගත්තේ ඉහත කී මනුෂ්‍යත්වයට පවා නොගැලපෙන නීතිය අහෝසි කරමිනි.

ඒ අනුව 1978 දී නැවතත් දේශපාලනයට පිවිසි විජේවීර, බෝපගේ ඇතුළු පිරිස පක්ෂයේ කටයුතු අරඹනුයේ සභාපති හා ලේකම් වශයෙනි. උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස 1979 දී ජේ. ආර්. පාලනය මගින් හඳුන්වා දුන් සංවර්ධන සභා සඳහා පැවැති මැතිවරණයට, හා හා පුරා කියා ජනතා විමුක්ති පෙරමුණ තරග කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම මැතිවරණය වර්ජනය කරද්දීය. එම මැතිවරණයෙන් ශාන්ත බණ්ඩාර, මහින්ද විදාන පතිරණ, ගමනායක කොළඹ දිස්ත්‍රික්කයෙන්ද වාස් තිලකරත්න ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද අනුරාධපුරයෙන් සිසිර රන්දෙණියද ඇතුළු පිරිසක් සංවර්ධන සභා මන්ත්‍රීවරු වශයෙන් තේරී පත්වුහ. 1982 දී ජේ. ආර්. ජයවර්ධනයන් ප්‍රථම විධායක ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරනුයේ සිය ප්‍රධාන විරුද්ධවාදිනිය වු බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතියත් අහිමි කරමිනි. එම ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීර තරග කරමින් ඡන්ද දෙලකෂ හැත්තෑපන් දහසක් ලබාගැනීමට සමත්වීම ජයවර්ධනයන්ගේ තිගැස්මක් ඇති කිරීමට හේතු විය.

ජනපතිවරණ ප්‍රතිඵල අනුව මහ මැතිවරණයකට ඒ මොහොතේ ගිය හොත් හැත්තෑ හතේ මැතිවරණයෙන් ලත් පාර්ලිමේන්තුවේ 5.6 බලය රුක ගැනීමට නොහැකි බව අවබෝධ කරගත් ජයවර්ධනයන් 82 දී ජනමත විචාරණයක් ලෙසට ඡන්ද මංකොල්ලයක යෙදුණි.

ඊට එරෙහිව අධිකරණයට ගියේද රෝහණ විජේවීරය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වුයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකයන්ය. ජයවර්ධනයන් වඩාත් කලබලයට පත් වුයේ එම පසුබිම තුළය. ජනමත විචාරණය දුෂිත බවට අධිකරණය හමුවේ තහවුරු වීම මහමැතිවරණයකට මග පෑදීමකි. එය පාර්ලිමේන්තුවේ 5.6 ක බලය අහිමි කිරීමකට මං පෙත් විවර කිරීමකි. එය එසේ වුවහොත් විධායක බලය ද අභියෝගයට ලක්වන තත්ත්වයක් මතුවනුයේ එක්සත් ජාතික පක්ෂය තුළ පවා පැවැති අර්බුද කල්ලිවාදයන් කරණකොට ගෙනය.

මේ ආකාරයට උද්ගත වු උභතෝකෝටික තත්ත්වයෙන් මිදීම උදෙසා ජයවර්ධනයන්ගේ ආශීර්වාදයෙන් කළු ජුලිය නිර්මාණය විණි. එහි වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පටවා එම පක්ෂය තහනම් කිරීමට පියවර ගැනුණි. ඒ හා සමගම රෝහණ විජේවීර රහසිගත දේශපාලනයට ගියෙන්, ජනමත විචාරණ නඩුවට පෙනී සිටීමක් සිදු නොවීම මත එම නඩුව ප්‍රතිකෙෂ්ප කිරීමට අධිකරණය පෙළඹුණි. එමගින් ජයවර්ධනයන්ගේ 5.6 ක බලය රුකිණි. එය උතුරට අමතරව දකුණ ද ගිනි තැබීමට ඉවහල් විණි.

ඉන් අනතුරුව ඉන්දීය රජයේ බලපෑම මත 1987 දී ඉන්දු : ලංකා ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් කරද්දී මවුබිම සුරුකීමේ ව්‍යාපාරය නිර්මාණය කරමින් ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇරඹු අරගලය රට සිවිල් යුද්ධයකට පරිවර්තනය විය. ජනාධිපති ජයවර්ධන වෙනුවට, ප්‍රේමදාස පාලනය ගොඩනැඟී ඉතිහාසයේ සිංහල පාලනයක් යටතේ වැඩිම සිංහල ඝාතනයක් සිදු කිරීමේ ඓතිහාසික වාර්තාවට උරුමකම් කී ප්‍රේමදාසයන්ගේ පාලනය දෙවන වරට ජනතා විමුක්ති පෙරමුණු මර්දනය නිමා කළේ විජේවීරයන් ඇතුළු නායකයින් සියලු දෙනාම ඝාතනය කරමින් අනතුරුව ඔහුගේ ඝාතනයද සිදු විය.

ඉන් පසුව 1994 වන තෙක්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසීමට අවස්ථාව නොලද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රථමයෙන් පාර්ලිමේන්තු ආසන එකක්ද, 2000 ඔක්තෝබර් මහ මැතිවරණයේදී ආසන 10 ක්ද, 2001 දෙසැම්බර් මැතිවරණයේදී ආසන 16 ක්ද, 2004 අප්‍රේල් මහා මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 41 ක් ද ජයග්‍රහණය කිරීමට සමත් විය. 2001 දෙසැම්බර් 05 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 16 ක් දිනා ගැනීමට සමත් වුවත්, පාර්ලිමේන්තුවේ බලය එක්සත් ජාතික පක්ෂයට අත් විය. එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විධායක බලය අක්‍රීය ව තබා ගනිමින් ඉතිහාසයේ පළමු වරට ආරක්ෂක අමාත්‍ය ධුරයත්, රාජ්‍ය නායකයාගෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ පාලනයටම භාර දීමත් සුවිශේෂ කාරණයකි.

2002 පෙබරවාරි 22 දා රටේ විධායක රාජ්‍ය නායිකාවටත් රහසින් කොටි ත්‍රස්තවාදීන්ට රාජ්‍ය තාන්ත්‍රිකභාවයක්, කොටි ත්‍රස්ත කල්ලියට ශ්‍රී ලංකා රජයේ හමුදා හා සමාන තත්ත්වයක්, ජාත්‍යන්තර පිළිගැනුමක් ලබාදීම පමණක් නොව මතෘභුමියෙන් කොටසක් ද මායිම් සලකුණු කොට භාරදීමේ ගිවිසුමකට අත්සන් කිරීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය.

ජනාධිපතිනිය සිය විධායක බලය යොදවා මාතෘභුමියේත්, ජාතියේත් සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමෙන් වැළකී සිටියදී රට, දැය සමයට ආදරය කරන ප්‍රගතිශීලීන් ජාතික බලවේගයන් කුළුගන්වා ඔවුන්ට නායකත්වය දීමට ක්‍රියාකාරීව ප්‍රමුඛත්වය ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවට විවාදයක් නැත. එදා ඒ ඉටු කළ දැවැන්ත ජාතික කාර්යභාරයට මෙරට ප්‍රගතිශීලී ජනතාව දැක්වු ප්‍රතිචාරය කෙබඳුදැයි දැක ගැනීමට හැකි වනුයේ 2004 අප්‍රේල් මහා මැතිවරණ ප්‍රතිඵලයෙනි. එහි දී මන්ත්‍රී ධුර 41 ක් ජනතා විමුක්ති පෙරමුණට ලබාදීමට දේශප්‍රේමී ජනතාව කටයුතු කර තිබිණි.

බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට මාතෘභුමිය පාවාදීමට පිඹුරුපත් සකසමින්, ක්‍රියාකාරීව සිටි දේශීය හා විදේශීය දුෂ්ට බලවේග පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ දැක් වු කැපවීමට ජනතාවගේ උත්තමාචාරය එය විය. කොහොම නමුත් 1994 සිට 2004 දක්වා වසර 10 ක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ තෙවැනි බලවේගය දක්වා ගෙන ඒමට මෙරට ජාතික බලවේග කටයුතු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි එම පාක්ෂිකයන් තුළ පවා පැවැති කලකිරීම, සැකය, අවිශ්වාසය වැනි හැඟීම් ආකල්ප ද කරණ කොට ගෙනය. දුෂණයෙන් තොර, කාර්යකෂම පාලනයක් සන්ධාන පාලනය මගින් ඉටු කරවා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත්ව තැබිය යුතුය යන ආකල්පයක්, හැඟීමක්, විශ්වාසයක් ප්‍රගතිශීලි ජාතික බලවේග තුළ තහවුරු වී තිබිණි. කෙටි කාල පරාසයක් තුළදී ජනතා විමුක්ති පෙරමුණට ඒ නිසා විශාල බලයක් ලබාදීමට ඒ වාගේම සෑම දිස්ත්‍රික්කයකම සන්ධාන ලැයිස්තුවේ ඉහළම මනාප සංඛ්‍යාව ලබාදීමට ප්‍රගතිශීලී ජාතික බලවේග මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පවා පියවර ගත්තේ ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු පිළිබඳ විශ්වාසය පළුදුවී ඇති බවට වන පණිවුඩය දීමේ අවශ්‍යතාවන් තිබු හෙයිනි.

එසේම එම සන්ධාන රජයේ අමාත්‍ය ධුර 04 ක් භාරදෙන ඉතාමත් සිත් ගන්නා සුළු ආකර්ෂණීය මෙහෙවරක් ඉටුකරමින්, ප්‍රගතිශීලී හා ජාතික බලවේගයන්ගේ අපේක්ෂා ඉටු කරමින්, දිගු ගමනකට මුල පිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සමත් විය. නමුත් 2004 දෙසැම්බර් 26 වැනිදා රට තුළට කඩා වැදුනු සුනාමිය 43,000 කට අධික ජීවිත සංඛ්‍යාවක් හා බිලියන ගණනක ආර්ථික අලාභයක් මාතෘභුමියට ගෙන දුන්නත්, දේශපාලන සුනාමියක් නිර්මාණය කිරීමට දායක වේ යැයි එදා කිසිවෙක් නොසිතුවාට කිසිදු සැකයක් නැත.

සුනාමිය කොටි සංවිධානයට සිදු කළ සමාජ ආර්ථික පාරිසරික හා දේශපාලනික හානිය අතිශය බියකරු විය. බෙදුම්වාදයෙන් කොටි සංවිධානය ඉවත් වන පසුබිමක් නිර්මාණය කිරීමට හෝ එය විනාශ කිරීමට උපායශීලී විය යුතුව තිබු රජය, කොටි සංවිධානය වඩ වඩාත් ශක්තිමත් කරමින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බලතලත් ඉක්මවා යමින් බෙදුම්වාදය කරා තවත් පියවරක් ඉදිරියට තැබීමේ පසුබිමක් නිර්මාණය කරදීමේ ක්‍රියාදාමයකට රටේ දේශපාලන නායකත්වය යොමු වුයේ ජාතික බලවේග විමතියට මෙන්ම බියට පත් කරමිනි.

සුනාමි සහන මණ්ඩලය එම ක්‍රියාදාමයයි. එහි අනතුර යථාර්ථවාදීව අවබෝධ කරගෙන ඊට එරෙහිව සටන් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රගතිශීලී හා ජාතික බලවේගයන්ට නායකත්වය දීමට රජයෙන් එළියට බැස්සේ අමාත්‍ය ධුර ද අත්හරිමිනි. එම සුනාමි සහන මණ්ඩල විරෝධීව ඇරඹුණු ප්‍රගතිශීලී ජාතික බලවේගයන්ගේ අරගලය විධිමත් ලෙසත්, බුද්ධිමය ලෙසත්, උපායශීලීවත් මෙහෙය වීමේ අග්‍ර ඵලය වුයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති පාලනයද නිමා කරමින්, ජාතික බලවේගයන්ට වඩාත් විශ්වාසය තැබිය හැකි, අපේක්ෂා තැබිය හැකි, නායකත්වයක් රටටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් තෝරා ගැනීමය.

එහිදී ප්‍රගතිශීලි, ජාතික බලවේගයන්ට විශාල ශක්තියක් ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ මුළු වැර යොදවමින් කටයුතු කළේ මේ රටේ ප්‍රගතිශීලීන්ගේ ප්‍රසාදයටත්, විශ්වාසයටත් දැඩිව පාත්‍ර වෙමිනි. එය සිදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පවා කකුලෙන් අදිද්දී වීමත් සුවිශේෂ කාරණයකි.

මේ ආකාරයට 2005 නොවැම්බර් මාසයේදීද මෙරට විධායක ජනාධිපති ධුරයට තරගය පවතිද්දී, එම මැතිවරණ සටන බෙදුම්වාදී විරෝධී කඳවුර වශයෙන් කඳවුරු දෙකකට මුළුමහත් රටම බෙදී ගිය ආකාරය මෙහිලා සිහිපත් කිරීම වටී. බෙදුම්වාදයට එරෙහි පිළට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂයන්ගෙන් මේ රටේ ප්‍රගතිශීලී හා ජාතික බලවේග අපේක්ෂා කළ එකම හා ප්‍රමුඛතම කර්තව්‍යය වුයේ බෙදුම්වාදයේ පෙරමුණු දෙක වු ත්‍රස්තවාදී පෙරමුණ හා දේශපාලන පෙරමුණ තීරණාත්මකවම විනාශ කර, රටට තිරසාර සාමය සහජීවනය පෙරදැරි කරගත් සංවර්ධනයක් ඇති කිරීමය.

එම කර්තව්‍යය ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීම උදෙසා ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ව වෙස් මුහුණු පැළඳ ගත් බෙදුම්වාදීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් ආරක්ෂාකර ගැනීමත් අත්‍යවශ්‍ය සාධකයක්ව තිබිණි. ඒ වාගේම එම ක්‍රියාදාමයේ දී දේශීය හා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගයන්ට මුහුණදීම උදෙසා ශක්තිමත්, විශ්වාසවන්ත රජයක් තිබීමත් අත්‍යවශ්‍ය කොන්දේසියක්ව තිබිණි. එහිදී මෙරට ප්‍රගතිශීලී හා ජාතික බලවේග ජනතා විමුක්ති පෙරමුණෙන් සුවිශාල වගකීමක්, කාර්යභාරයක් අපේකෂා කළ බවත් රහසක් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණ පොට පටලවා ගනුයේ එතැන් සිටය. මාක්ස්වාදී චින්තනයෙන් පෝෂණය වු විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක් ලෙසින් ගොඩනැඟුණු ජනතා විමුක්ති පෙරමුණ, මේ රටේ දුර දැක්මකින් යුත්, උපායශීලී දේශපාලන ව්‍යාපාරයක් විය යුතුමය. ඒ වාගේම කාර්යකෂමතාව සේම, නම්‍යශීලීත්වයත්, නිහතමානීත්වයත් නිර්මාණශීලීත්වයත් සාම්ප්‍රදායික පක්ෂවලට වඩා තිබිය යුතුමය. සෙසු සාම්ප්‍රදායික පක්ෂ වලින් ජනතා විමුක්ති පෙරමුණ වෙනස් විය යුත්තේ එවැනි සුවිශේෂ ගුණාංග වලින් විනා, ඇඳුමින්, කොණ්ඩෙන්, රුවුලෙන් හෝ වචන වලින් නොවිය යුතුව තිබිණි.

මුලික වශයෙන් මහින්ද රාජපක්ෂයන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මාක්ස්වාදී රජයක් පිහිටුවිය නොහැකි බවත්, ශක්තිමත් ප්‍රගතිශීලී රජයක් පිහිටුවා ගැනීමට හොඳටම ප්‍රමාණවත් බවත් අවබෝධ කරගත යුතුව තිබිණි. පවත්නා විවෘත අර්ථ ක්‍රමයේ සාධනීය ලක්ෂණ පෝෂණය කරන, සෘණාත්මක ලක්ෂණ පිටු දකින, ජාතිකවාදී රජයක් නිර්මාණය කර ගැනීම යුගයේ කාර්යභාරය බව අවබෝධ කරගත යුතුව තිබිණි.

ඒ වාගේම 2000 ඔක්තෝබරයේ ලැබුණු මන්ත්‍රී සංඛ්‍යාව වු 10, 2004 අප්‍රේල් 02 දා වන විට 41 දක්වා වර්ධනය වුයේ ප්‍රගතිශීලී ජාතික බලවේග අගය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගෙන් විනා, ජනතා විමුක්ති පෙරමුණේ "පංති දේශපාලනය" ප්‍රිය කළ ගරු කළ, වැළඳ ගත් සාමාජිකයන්ගෙන් නොවන බව යථාර්ථවාදීවත්, නිවරුදිවත් අවබෝධ කරගත යුතුව තිබිණි. නමුත් 2005 ජනාධිපතිවරණයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ පිළිවෙත්, ගත් ක්‍රියාමාර්ග තුළින් රට හමුවේත්, විශේෂයෙන්ම ප්‍රගතිශීලී ජාතික බලවේග හමුවේත් ගෙනහැර පෑවේ කෙබඳු තත්ත්වයක්ද?

දේශපාලන කෙෂ්ත්‍රයේදී මතුවන ඕනෑම කටුක, දුෂ්කර, කායික, මානසික තත්ත්වයකට ඔරොත්තු දීමේ ගුණය විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයකට තිබිය යුතුය. මාක්ස් ලෙනින්වාදී විප්ලවීය පක්ෂයක් විය හැක්කේද එවැන්නකටය.

මෙරට ප්‍රගතිශීලී හා ජාතික බලවේග මහින්ද රාජපක්ෂයන් ගෙන් ඉටු කර ගැනීමට අපේකෂා කළ කටයුතු කරවා දීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණටද පැවරී තිබිණි. එම වගකීම ඉටු කිරීමේදී ජනතාව තැබු විශ්වාසය ආරක්ෂා කරමින්, නම්‍යශීලීවත්, උපායශීලීවත් ක්‍රියාකිරීමේ හැකියාවක්, ශක්තියක් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට තිබිය යුතුව තිබිණි. එහිදී ප්‍රගතිශීලී ජාතික බලවේගයන්ගේ අපේක්ෂා පිළිබඳ තක්සේරුවක් සේම, තම පක්ෂය පිළිබඳ නිවැරුදි තක්සේරුවක් ද එම නායකත්වයට තිබිය යුතුව තිබිණි.

නමුත් ගෙවී ගිය කාලය තුළ ඔවුන් ගත් තීරණ, නිගමන, ක්‍රියාමාර්ග තුළින් රට හමුවේ ඔප්පු කළේ එවැනි නිවැරුදි තක්සේරුවක් ඔවුන් සතුව නොතිබු බවය. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සටන මානුෂීය මෙහෙයුමක මුහුණුවරින් හෝ ඇරඹීමෙන් පසුව, ඔහුට සටන් කිරීමට සිදු වුයේ පෙරමුණු දෙකකය. එක් පෙරමුණක් සටන්බිමේ තිබු අතර, අනෙක් පෙරමුණ වුයේ දේශීය හා විදේශීය බෙදුම්වාදී දේශපාලන පෙරමුණුය. එය අතිශයින්ම සංකීර්ණ වු අතර රජයේ සර්වපාක්ෂික සමුළුවට පවා එම බලවේග රිංගා ගෙන ඇති අයුරු ප්‍රකටය.

යුදමය වශයෙන් කොටි සංවිධානය පරාජය වුවත්, ඔවුන්ගේ දේශපාලන පෙරමුණේ ශක්තිමත් භාවය සුළුවෙන් තැකිය යුතු නැති බව මේ දිනවල ශ්‍රී ලංකා රජයට එල්ල වන ජාත්‍යන්තර බලපෑම් තුළින් වුව සනාථ වේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සරණාගත කොමිසම, මානව හිමිකම් කොමිසම පවා ලංකාවේ ප්‍රශ්නයට මැදිහත් කිරීමට සුවිශේෂ බලපෑම් සිදු වෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ ව්‍යවස්ථාවට අනුව රටක අභ්‍යන්තරයේ පවතින අර්බුදයකට පවා මැදිහත් වීමේ නීතිමය බලයක් පවතී. එය ඉතා අනතුරුදායක තත්ත්වයකි. එම රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල දී හැසිරීම දේශපාලන වේදිකාවක හැසිරෙන තරම් ලෙහෙසි පහසු නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජගත් මටිටමේ සංවිධාන මෙන්ම බලවත් ජාතීන් වෛර කර ගනිමින් මෙම අර්බුදය අප අපේක්ෂා කරන ආකාරය ජය ගැනීම පහසු නැත. අතිශයින්ම උපායශීලී විය යුත්තේද එහෙයිනි.

මෙවැනි තීරණාත්මක අවස්ථාවක දී ප්‍රගතිශීලි හා ජාතික බලවේගයන්ගෙන් ජනතාව අපේකෂා කරනුයේ සෙසු සියලු දේ දෙවැනි තැනට තබා, බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් මෙන්ම, බෙදුම්වාදී දේශපාලන පෙරමුණෙන් මාතෘ භුමිය තිරසාර ව මුදා ගැනීමටය. ඒ සඳහා ජනාධිපතිතුමාට ශක්තියක් ලබාදීමටය. දෙවැනි ලෝක සංග්‍රාම සමයේදී ස්ටාලින් චර්චිල් හා රුස්වෙල්ටි එක්ව කටයුතු කළේද එම සත්‍යයට ගරු කරමිනි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රගතිශීලීන් හා ජාතික බලවේග අපේකෂා කළේ එම කාර්යභාරයය.

රාජ්‍ය බලයට මුවා වී ඇතැම් අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් දුෂණ අක්‍රමිකතාවන්හි යෙදෙන බව රහසක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම ප්‍රගතිශීලි කඳවුරෙ\ පිරිස් එදා ජනතා විමුක්ති පෙරමුණට මනාප ලබාදී පෙරමුණට ගත්තේද එහෙයිනි.

මේ අවස්ථාවේ දී රටටත්, ජනතාවටත් මුලිකවම අවශ්‍ය වී ඇත්තේ බෙදුම්වාදයෙන් පරිපුර්ණ ලෙස මාතෘභුමිය මුදා ගැනීම බව මෑතකදී පැවැත්වු පළාත් සභා 04 ක මැතිවරණවලදී දැක්වු ප්‍රතිචාර තුළින් මනාව පැහැදිලිවේ.

ජනහද ගැස්ම අවබෝධ කර ගැනීම විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් අසමත් වන්නේ නම්, එය හරිම ඛෙදවාචකයකි. යුගයේ ජනහද ගැස්ම අවබෝධකර ගැනීමට අසමත් වන දේශපාලන ව්‍යාපාරයකට අත්විය හැක්කේද ඩාර්වින්ගේ සිද්ධාන්තයම විනා යමක් නොවන බව ශ්‍රී ලංකාවේ පැරණි වමේ ව්‍යාපාරයට අත්වු ඛෙදජනක ඉරණම පවා සාකෂි දරයි.

ජනතා විමුක්ති පෙරමුණ තවමත් ප්‍රමාදවී නැත්තේ එය ලාංකීය දේශපාලනය තුළ පැවතිය යුතුය යන්න මේ රටේ ප්‍රගතිශීලි හා ජාතික බලවේගයන්ගේ අපේකෂාවක් ලෙසින් තවමත් පවතින හෙයිනි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ වඩාත් වැදගත් වනුයේ ජන පදනමය. ජන පදනම තුළින් බලය නිර්මාණය වේ. එම බලය පාදක කරගෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මග සැලසේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය එය පටලවා ගෙන ඇති බව මෙම මැතිවරණ ප්‍රතිඵල තුළින් සනාථ වේ. එම ප්‍රතිඵල පිළිබඳ අර්ථකථන ද ඊට සාකෂි දරයි.

දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යුහය තුළ ලෙයින් යකඩින් මර්දනයට ලක්ව, ලෙයින් දහදියෙන් නැවත නැවතත් ගොඩ නැගුණු මේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ අනාගත පැවැත්ම තීරණය කරනුයේ මෙම ප්‍රායෝගික සත්‍ය අවබෝධ කර ගන්නා ප්‍රමාණය මතය.

ජනතාව ගොඩනගා දුන් සංධානයෙන් ඉවත්ව, එය විවේචනය කරමින්, පහර දෙමින් වැරදි නිවරදි කර ගත හැකිය යන මතයේ පිහිටා කටයුතු කළද, එමගින් සිදුවනුයේ ප්‍රගතිශීලීන්ගේ වෛරයට පාත්‍රවීම පමණි. මාතෘ භුමියේත්, ජනතාවගේත් පොදු හතුරා වන බෙදුම්වාදයට එරෙහිව පෙළ ගැසී, ආණ්ඩුව තුළ ආදර්ශමත් කාර්යභාරයක් ඉටු කිරීම, ප්‍රගතිශීලී ජනයා අපේකෂා කළේ එහෙයිනි. චීනයේ ජපන් ආක්‍රමණයට එරෙහි මාවෝ හා චියැං කායිෂේක් එක්ව ලබාදුන් ආදර්ශය, කාම්බෝජයේ පොල් පොටි පාලනයට එරෙහිව නොරදම් සිහිනුක්, හොන්සන් එකතුව ලබාදුන් ආදර්ශයද සිහියට ගැනීම වැදගත් වනුයේ මෙම පසුබිම තුළය.

ඌවතැන්නේ සුමන ස්ථවිර
සභාපති : දේශමාමක ජාතික බලවේගය
(දිවයින_09/04/04)
පසුවදන_අද මෙරටින් ත්‍රස්තවාදය අතුගාදැමීමට ඉතා ම ආසන්න ය. මේ ජය මාවතට රට ගෙන ඒමට වැඩියෙන් ම දර දිය ඇද්දේ ජවිපෙ බව අප අමතක කළ යුතු නැත. එහෙත් ඔවුන් සටන අතරමග වල්මත් විය. අද ඔවුන් සිටින ස්ථාවරයට මම එකඟ නොවන අතර ඔවුන් වැටී ඇති ආගාධය ගැන මම කනගාටු වෙමි. මේ පීලි පැනීම ඔවුන් නිවැරදි කරගත යුතු ය. නැතිනම් වඳවී යාම වළක්වන්නට කිසිවෙකුට නොහැකි වනු ඇත. ජවිපෙ ගමන් මග ගැන ලියැවුණු මේ ලිපිය මෙහි පළ කරන්නේ ඔවුන් නැවත නිසි මගට පිවිසෙනු දකින්නට ඇති කැමැත්ත නිසා ම ය.

6 comments:

-බිன்ku- said...

කොටින් කල දේට අපි සමාව නොදෙන මුත් උන් වගේම මිනිස්සුව කාපු යක්කු අද දේශපාලු භූමියේ නටද්දි ඇයි සුද්ධ කරන්නේ නැත්තේ? කොහොම වුණත් JVP තුල ඒ මිනිමැරුවෝ ඕන තරම් ඉන්නවා අනිත් තුනේ වගේම.

නාමල් උඩලමත්ත said...

ඔයා බෞද්ධ ද? අපි බෞද්ධයෝ. බුදු දහම අනුව ඕනෑම වැරදිකරුවෙකුට නිවැරදිවෙන්න අවස්ථාව තියෙනවා. අහලා ඇතිනේ අංගුලිමාල කියන මිනී මරුවා අංගුලිමාල මහ රහතන්වහන්සේ වුණ විදිහ. ඒක තමා අපේ ආදර්ශය.

අද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ඉන්න විනයාගමූර්ති මුරලිදරන් සහ ශිවනේෂතුරෙයි චන්‍ද්‍රකාන්තන් එතන ඉන්නේ අන්න ඒ ආදර්ශයට පිං සිද්ධවෙන්න. ඒ අයට රට ලබා දුන් දේ කිසිම අඩුවක් නැතිව ජවිපෙටත් දෙන්න ඕන. අපි අද විනයාගමූර්ති මරලිදරන්ට හෝ ශිවනේෂතුරෙයි චන්‍ද්‍රකාන්තන්ට මිනිමරුවා කියන්නේ නැහැ. ඒ අයට ප්‍රභාකරන් තියපු නම් ඒ අයට කියන එකත් වැරදියි. ඒ නිසා ජවිපෙට මිනිමරුවෝ කියන එක අන්තිම වැරදියි. එයාලා කරපු හොඳ කරපු නරක නිසා බැහැර කිරීම ශිෂ්ට සම්පන්න නැහැ.

ප්‍රභාකරන්ටත් අවුරුදු 30ක් තිස්සේ ආණ්ඩු ගණනාවක් ඒ අවස්ථාව දුන්නා. නමුත් ඒකට පයින් ගැහුවා. දැන් එයා ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳිනවා.

Ramachandra said...

ජවිපෙ ගැන මගේ කියවීම වෙනස් එකක්.මේක අහන්නෙ වැඩි පැහැදිලි කරගැනීමකට.
ජවිපෙ "නිසි"මගට යොමුවීම යන්නෙන් ඔබ අදහස් කරන්නේ නිශ්චිතවම කුමක්ද?එය ආන්ඩුවේ කොටස්කාරයෙක් විය යුතු බවද?
ආන්ඩුව
1.13වන සංශෝධනය ඉක්මවා බලය බෙදීමට-රාජ්‍යය ෆෙඩරල්කරනයට-ඇති සූදානම හා
2.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ගන්නා නයත් සමග තීරනාත්මක ලෙස නැවත රිගේනින් ශ්‍රී ලංකා‍ වර්ගයේ ආර්ථික වැඩපිලිවෙලක් ඉදිරියට ගැනිම පිලිබද ඔබේ අදහස කුමක්ද?

ප.ලි-මෙහි 2 ගැන වැඩි විස්තර ප්‍රමානයක් ඔබතුමාගේ නම සමගින් මා කලිනුත් පල කරනු ලැබුවා.
http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2009/04/imf.html

නාමල් උඩලමත්ත said...

රාමචන්ද්‍ර මම මේ ගැන සංහිඳේ ලීවා. එතැන තියෙනවා මම ජවිපෙ නිසි මග යෑම යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා.(http://sanhindha.blogspot.com/2009/01/blog-post_20.html)
රාජ්‍ය ෆෙඩරල්කරණයක හෝ රීගෙනීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළක් ගැන හෝ ඔබ තුළ ඇති හුඹස් බියක් මට නැහැ. මේ වෙලාවේ ජවිපෙ වගේ පැන් තලියේ කිඹුල්ලු දකින්නත් මට අවශ්‍ය නැහැ. නමුත් ජවිපෙ රට වෙනුවෙන් යහපත් තීරණයක් ගන්නවා නම් අපි ඒ සමග ඉන්නවා. එහෙම නොකර වැරදි තීරණ ගන්නා විට අපි ඒවා විවේචනය කරනවා.

ඔබ හැම දෙයක් ගැන ම මාක්ස්වාදී දෘෂ්ටියෙන් බලන කෙනෙක්. මම හිතන්නේ ඒක කිසිදා යථාර්ථවාදී නොවූ දුගී සංකල්පයක්. මම කලින් මාක්ස්වාදයට නැඹුරු කෙනෙක්. ඒත් දැන් එතැන නැහැ. ඒ ගැන කිසි ම විශ්වාසයකුත් නැහැ. ඒත් ඔබට ඒ මතවාදය දැරීමට ඇති අයිතියට මම හිස නමනවා.

Ramachandra said...

13+ හෝ පුද්ගලිකකරන ක්‍රියාදාමය කියන්නෙ නාමල් "හුඹස්" බියක් නෙමෙයි.ඒව මහ පොලොවේ තියෙන ඇත්ත "කරුනු".තව මාස කිහිපයකින් ඔය කාරනා මග හැරිය නොහැකි විදිහට අපිට මුනගැසෙනවා.
මට අවශ්‍ය වුනේ ඒ කාරනා දෙසත් ඔබේ අවධානය මදක් යොමුකිරීම.ඉදිරියටත් කතා කරමු.
ඒකට මගේ ඇතැයි ඔබ උපකල්පනය කරන "මාක්ස්වාදී"දෘෂ්ටිය බාදාවක් කරගතයුතු නැහැ.කරුනු පිලිබද අපි අවධානය යොමුකරමු.

නාමල් උඩලමත්ත said...

අන්න හරි. තව මාස කීපයකින් එහෙම දෙයක් ආවොත් අපි කතා කරමු. එහෙම දෙයක් ඔබට දැනෙනවා නම් කලින් කතාකිරීම හොඳයි. ඒත් මම එහෙම හිතන්නේ නැහැ.

මට හිතෙන්නේ ඇත්තට ම මූහුද හත් ගව්වක් තියා අමුඩෙ ගහනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දැලි පිහියේ වරදක් නැහැ. පිහිය කැපෙනවා තමා. අපි දැනගන්න ඕන දැලි පිහිය හරියට පාවිච්චි කරන්න. ඒක වඳුරට අහුවණා ම විනාශයක්.

ඒත මම තව දුරටත් සුබවාදී විදිහට හිතනවා. එහෙම අනතුරුදායක තත්ත්වයක් මට තව ම දැනෙන්නේ නැහැ. අපි බලා ඉමුකෝ.

 
සිය රට දේ සිරි සැප දේ !