Monday, April 20, 2009

ඇමෙරිකාවට වුවමනා ප්‍රභාකරන් බේරා ගැනීමද? දෙමළ ජනතාව බේරා ගැනීමද?

කොටි හිතවාදීන් පළමුව ප්‍රකාශ කර සිටියේ මෙරට ආරකෂක හමුදාවන්ට වන්නියෙන් බිම් අඟලක් හෝ අල්ලා ගත නොහැකි බවය. නමුත් මෙරට ආරකෂක හමුදාවන් කොටි බල බිඳිමින් ඉදිරියට ඇදෙන විට කොටි හිතවාදීන් දෙවනුව ප්‍රකාශ කර සිටියේ ඔක්තෝබර් මස ඇදහැලෙන ඊසාන දිග මෝසම් වැසි සමයේදී මෙරට ආරකෂක හමුදාවන් වන්නියේදී විනාශ වන බවයි. නමුත් ආරකෂක හමුදාවන් ඊසානදිග මෝසම් වැසි සමයේදී කරවටක් වතුරේ ගිලී වුවද කොටි ත්‍රස්තවාදය ජයගන්නා විට, ඊළඟට කොටි හිතවාදීන් ප්‍රකාශ කර සිටියේ ප්‍රභාකරන් බලන් ඉන්නේ, කල් ගන්නේ ඔබාමා බලයට එනතෙක් බවයි. ඔබාමා බලයට පත්වී මාස කිහිපයක් ගතවී ගියත් කොටි ත්‍රස්තයන් රැකීම සඳහා එළිපිට කිසිදු පියවරක් නොගත් ඔබාමා දැන් සටන් විරාමයක් ඇති කරගන්නා ලෙසත් නැතිනම් බිලියන 1.9 ක ණය මුදල ලබාගැනීමට බාධාවන ලෙස බලපෑම් කරන බවත් ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුව විසින් පැය 48 ක කාලයක් සඳහා මෙහෙයුම් නවතාලුයේ යුද මුක්ත කලාපය තුළ කොටි සංවිධානය විසින් සිරකරගෙන සිටින දෙමළ ජනතාවට ඉන් පිටවීමට අවස්ථාව ලබාදීම සඳහාය. නමුත් එම කාලය තුළදී දෙමළ ජනතාවට යුද මුක්ත කලාපයෙන් පිටවී යෑමට කොටි සංවිධානය විසින් අවස්ථාව ලබා දුන්නේ නැත. තත්ත්වය එසේ තිබියදී විවිධ රාජ්‍යයන් සහ ජාතික සහ ජාත්‍යන්තර සංවිධාන තවදුරටත් ආණ්ඩුව වෙත බලපෑම් කරමින් සිටින්නේ යුද මුක්ත කලාපය තුළ තවදුරටත් සිරවී සිටින ජනතාවට ඉන් පිටවීම සඳහා මෙහෙයුම් නවත්වා කාලය ලබාදිය යුතු බවයි. මෙම බලපෑම් සහ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පසුගිය 18 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති ජනහමුවකදී ප්‍රකාශ කොට ඇත්තේ තමාට බලපෑම් කිරීම නවතා හැකි නම් ජනතාවට පිටවී යෑම සඳහා පැයක කාලයක් ලබාදෙන ලෙස ප්‍රභාකරන්ට හා කොටි සංවිධානයට බලපෑම් කරන ලෙසයි.

ඉහතින් සඳහන් කර ඇති ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ඊට පසුබිම් වී ඇති හේතු සාධකත් ගෙන බැලු කල මේ මොහොත වන විට යුද මුක්ත කලාපය තුළ කොටු වී සිටින දෙමළ ජනතාව පදනම් කරගනිමින් උද්ගත වී ඇති තත්ත්වය මනාව පැහැදිලි වේ. මෙහිදී අප පළමුවෙන්ම සලකා බැලිය යුත්තේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ඒ සඳහා පැය 48 ක කාලසීමාවක් ලබාදී තිබුණු බවය. එහෙත් ඒ කාලය සැබැවින්ම සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජන ගත නොහැකි වී තිබේ. එසේ වුයේ ප්‍රභාකරන්ගෙන් එයට එල්ල වු බාධාවය. ඔහුගේ කුරිරු හමුදා එම ප්‍රදේශයෙන් එන ජනතාවට වෙඩි තැබීම් ඇතුළු විවිධ බියවැද්දීම් කරද්දී එබඳු කාලසීමා ලබා දීමේ අර්ථයක් තිබේද යන්න පළමුව සොයා බැලිය යුතුය.

යුද මුක්ත කලාපයේ සිට පලාවිත් 58 වැනි සේනාංකයට බාර වු දෙමළ වැසියන්ට අනුව ද එම බාධා කිරීම් සනාථ වී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව නොව දෙමළ වැසියාගේ ප්‍රකාශය අනුවම ප්‍රකාශ කළ හැක්කේ යුද මුක්ත කලාපය තුළ ප්‍රභාකරන් විසින් සිර කරගෙන සිටින ජනතාවට පිට වී යෑමට ඔහු ඉඩ නොදෙන බවය. එනිසා කාලයක් ලබාදුන්නත් දෙමළ ජනතාවට ඉන් පිටවී යෑමට අවස්ථාව නොලැබෙනු ස්ථිරය.

යුද මුක්ත කලාපය තුළ සිරවී සිටින ජනතාව සම්බන්ධ යථාර්ථය එය නම් ආණ්ඩුව විසින් සිය මානුෂික මෙහෙයුම් තවදුරටත් නවතාලීමෙන් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද?

මේ මොහොත වන විටත් හමුදාව නියමුවන් රහිත ගුවන් යානා මගින් ලබාගන්නා ඡායාරුප සහ තොරතුරු මගින් යුද මුක්ත කලාපය තුළ සිදුවන්නේ කුමක්ද යන්න නිරීකෂණය කරමින් සිටී. එම නිරීකෂණයන් මගින් කොටි ත්‍රස්තවාදීන් යුද මුක්ත කලාපය තුළ සමහර ප්‍රදේශ ආවරණය වන ලෙස පස් බැමිවලින් වේලි බඳින බවත් සිවිල් ජනතාව ඔවුන්ගේ ස්ථිර පදිංචි ස්ථානවලින් ඉවත් කර උපක්‍රමික වශයෙන් වැදගත් වෙනත් ස්ථානවල රඳවා සිටින බවත් තහවුරු වී තිබේ.

කොටි සංවිධානය මෙලෙස කටයුතු කරන්නේ දෙමළ ජනතාවට එම ප්‍රදේශයෙන් පිටවී යෑමට ඉඩ දීමට නොව තවදුරටත් සිරකර තබාගෙන ඔවුන් පලිහක් ලෙස යොදාගෙන රජයේ හමුදාවන්ට මුහුණදීම සඳහාය. ගතවන සෑම මොහොතකම සිදුවන්නේ කොටි ත්‍රස්තවාදීන් තවදුරටත් තම ආරකෂක විධිවිධාන තරකර ගැනීම පමණි. ආණ්ඩුව ඒ බව ප්‍රකාශ කළත් ඒ පිළිබඳ විශ්වාසය නොතබන විදේශයන් මෙන්ම දේශීය හා විදේශීය සංවිධාන තවදුරටත් ආණ්ඩුව වෙත එල්ල කරන බලපෑම වැඩි කර ඇත. ඇමෙරිකාවට හෝ බටහිර රටවලට අවශ්‍ය නම් යුද මුක්ත කලාපය තුළ සිදුවන්නේ කුමක්ද යන්න ඔවුනගේ ඔත්තු බලන චන්ද්‍රිකා යොදාගෙන නිවැරදිව දැනගත හැක. (එම කටයුත්ත මේ මොහොත වන විටත් සිදුවනවා ඇත.) නමුත් එලෙස කටයුතු නොකර ලංකාවට බලපෑම් කරන රටවල සහ සංවිධානවල අරමුණ අප තේරුම් ගත යුත්තේ කෙසේද?

ආණ්ඩුවට බලපෑම් කරන පාර්ශ්වයන් දෙමළ ජනතාවට පිටවී යෑමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙස ප්‍රකාශ කළත් කොටි සංවිධානයේ ස්ථාවරය වී ඇත්තේ මෙම අවස්ථාවේ ස්ථිර සටන් විරාමයක් ඇති කරගත යුතු බවයි. දෙමළ ජනතාවට කිසිසේත්ම යුදමුක්ත කලාපයෙන් පිටවී යෑමට නොහැකි වන සේ ඔවුන් රඳවා ගැනීම අද කොටින්ට වුවමනා වී තිබේ. ඒ අනුව හමුදා මෙහෙයුම් නතර කිරීම යනු යළිත් කොටින්ට හුස්ම ගැනීමට ඉඩ දීමකි. මෙම ප්‍රශ්නය තේරුම් නොයෑමට ජගත් සංවිධාන උනන්දු නොවන්නේ ඇයි?

තත්ත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකා රජය වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට නොඑළඹෙන්නේ නම් රජය අපේකෂා කරන ඩොලර් මිලියන 1.9 ක ණය මුදල නිකුත් කිරීම වළක්වන බව ඇමරිකාව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව ඉකුත් 20 වැනිදා "දිවයින" පුවත්පත වාර්තා කර තිබුණි. ඇමෙරිකාවේ අපේකෂාව දෙමළ ජනතාව මුදාගැනීම නම් ඒ සඳහා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති ආකාරයට කොටි සංවිධානයට බලපෑම් නොකර, ස්ථිර සටන් විරාමයක් සඳහා ආණ්ඩුවට බලපෑම් කරන්නේ කුමක් සඳහාද?

කොටි හිතවාදීන් පළමුව ප්‍රකාශ කර සිටියේ මෙරට ආරකෂක හමුදාවන්ට වන්නියෙන් බිම් අඟලක් හෝ අල්ලා ගත නොහැකි බවය. නමුත් මෙරට ආරකෂක හමුදාවන් කොටි බල බිඳිමින් ඉදිරියට ඇදෙන විට කොටි හිතවාදීන් දෙවනුව ප්‍රකාශ කර සිටියේ ඔක්තෝබර් මස ඇදහැලෙන ඊසාන දිග මෝසම් වැසි සමයේදී මෙරට ආරකෂක හමුදාවන් වන්නියේදී විනාශ වන බවයි. නමුත් ආරකෂක හමුදාවන් ඊසානදිග මෝසම් වැසි සමයේදී කරවටක් වතුරේ ගිලී වුවද කොටි ත්‍රස්තවාදය ජයගන්නා විට, ඊළඟට කොටි හිතවාදීන් ප්‍රකාශ කොට සිටියේ ප්‍රභාකරන් බලන් ඉන්නේ, කල් ගන්නේ ඔබාමා බලයට එනතෙක් බවයි. ඔබාමා බලයට පත්වී මාස කිහිපයක් ගතවී ගියත් කොටි ත්‍රස්තයන් රුකීම සඳහා එළිපිට කිසිදු පියවරක් නොගත් ඔබාමා දැන් සටන් විරාමයක් ඇති කරගන්නා ලෙසත් නැතිනම් බිලියන 1.9 ක ණය මුදල ලබාගැනීමට බාධාවන ලෙස බලපෑම් කරන බවත් ප්‍රකාශ කොට ඇත. අතීතයේදීත් විනාශයේ මුඛයට ගිය කොටියා දිවි රුකගත්තේ සටන් විරාමයේ පිහිටෙනි. මේ අවස්ථාවේදීත් කොටියාට සටන් විරාමයක් අවශ්‍ය වී ඇත්තේ විනාශයෙන් ගැලවීම සඳහා මිස සිවිල් ජනතාව මුදාහැරීම සඳහා නොවේ. මෙම තත්ත්වය තුළ ඇමරිකාව ප්‍රමුඛ සියලු බලවේග ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිද්දෙන් සිවිල් ජනතාවට පිටවී යෑම සඳහා පැයක කාලයක් ලබාදෙන ලෙස කොටි සංවිධානයට බලපෑම් නොකර සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා බලපෑම් කිරීම අප තේරුම් ගන්නේ කෙසේද? එය ප්‍රභාකරන් සඳහන් කළ පරිදිම ප්‍රභාකරන් බලා සිටියේ ඔබාමා බලයට එනතෙක් යන්න තහවුරු කිරීමක්ද?

කෙසේ වුවත් ඊයේ වන්නි මෙහෙයුමේ නිරත සේනාංක විසින් දියත් කරන ලද ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුම අතිශයින්ම සාර්ථක වී ඇත. ප්‍රභාකරන්ගේ හිරයෙන් මිදුණු ජනතාව නිදහසේ හමුදා ප්‍රදේශයට ආ අයුරු රුපවාහිනියෙන් රටටම දැකගත හැකි විය. ඇසට පේන සත්‍යයට වඩා ප්‍රභාකරන් වෙනුවෙන්ම පෙනී සිටින අය මේවා බලා සිටියේදැයි අපි නොදනිමු.

මෙසේ යුද මුක්ත කලාපයේ සිට පැමිණ 58 වැනි සේනාංකයට භාර වු දෙමළ වැසියා කළ ප්‍රකාශ මේ සටන් විරාම අයැදින අය විසින් සලකා බැලීම වටී. වන්නියේ සිදුවන දේ හරිහැටි නොදැන ප්‍රභාකරන් වෙනුවෙන් කහින සියල්ලෝම දෙමළ ජනතාවගේ ද්‍රෝහීහු නොවෙත්ද? අපට හැඟී යන පරිදි ප්‍රභාකරන් මෙන්ම ඇමෙරිකාවද ලැජ්ජා නැති ලෙස මේ සිවිල් ජනතාවට මුවාවීමට වෑයම් කරයි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ත්‍රස්තවාදියාට එරෙහිව ඝෝෂා කරමින් ත්‍රස්තවාදය සුරකින පිළිවෙතක් අනුගමනය කිරීම ගැන අපි සංවේගයට පත්වෙමු. එසේම ලංකාවේ වන්නියේ සිවිල් ජනතාව වෙනුවෙන් හඬන ඇමෙරිකාව, ගාසා තීරයේ සිදුවන ප්‍රහාර හා ඉරාකයේ ඇමෙරිකන් හමුදා ප්‍රහාර නිසා විඳවන ජනතාව ගැන කියන්නේ කුමක්ද? මහත්වරුනි, මානව හිතවාදයටත් මුහුණු දෙකක් තිබේද? ප්‍රමිතීන් දෙකක් තිබේද?
එරික් ගාමිණී ජිනප්‍රිය
(දිවයින_09/04/21)

පසුවදන_බුෂ්ගේ තකතීරු පාලනය තිත්ත වී සිටි ලෝක ජනතාව ඔබාමාගේ ජයග්‍රහණය සමග උදම්වූයේ වඩා යහපත් දිශාවක් වෙත ඔහු ලෝකය රැගෙන යතැයි අපේක්ෂාවෙනි. එහෙත් අද ඒ පැතුම් සුන් වී යමින් පවති. ඔබාමා ද ලෝකයට බරක් වෙමින් පවති. ඔහු ද කළු සමැති සුදු අධිරාජ්‍යවාදියෙකු පමණි. ඉරාකය ඇෆ්ගනිස්ථානය විනාශ කළ ඊශ්‍රායලයට පලස්තීන ජනතාව අපායට ඇදගෙන යාමට උදව්දෙන ඇමරිකාව ත්‍රස්තවාදීන් ලෙස සලකන්නේ තලීබාන් අල්කයිඩා වැනි ඔවුන්ගේ සතුරන් පමණි. අපේ සතුරන් ඔවුන්ට ත්‍රස්තවාදීන් නොවේ. ඔවුහු විමුක්තිකාමීහු ය. ඇමරිකාවේ මේ තුච්ඡ නින්දිත දෙබිඩි පිළිවෙත හෙළාදැකිය යුතු ය. අවසාන ත්‍රස්තවාදීයාත් මව්බිමෙන් අතුගා දමන තුරු ඒ සටන ආරක්ෂා කළ යුතු ය. ඒ වෙනුවෙන් සියලු දේශප්‍රෙමී ශ්‍රී ලාංකිකයින් ඒකරාශි විය යුතු ය.

2 comments:

නිලන්‍ත said...

"ඇමෙරිකාවට වුවමනා ප්‍රභාකරන් බේරා ගැනීමද? දෙමළ ජනතාව බේරා ගැනීමද?"

පේන හැටියට නං තනිකරම ප්‍රභාකරන්ව බේරගන්න.

නාමල් උඩලමත්ත said...

ඔව් නැත්නම් ඉතින් කොටියට එපායැ බලපෑම් කරන්න. ලෝක ත්‍රස්තවාදය කවදාවත් මේ අයට අවසන් කරන්න බැහැ. මොකද මේ දෙබිඩි පිළිවෙත නිසා. උන්ගේ ත්‍රස්තවාදීන් ලෝකයට ම ත්‍රස්තවාදීන්. නමුත් උන්ට තර්ජනයක් නැත්නම් ඒ ත්‍රස්තවාදීන් විමුක්තිකාමීන්. ඇයි මුන්ට නොපෙනෙන්නේ ජනතාව ඉඩ ලැබුණු වහාම කොටි වදකාගාරයෙන් මිදී රජයේ හමුදා වෙත පළා එන බව? ඒ එන අයට තිරිසන් කොටි වෙඩි තබා මෝටර් ගසා මිනිස් බෝම්බ පුපුරවා හිංසා කරන බව?

 
සිය රට දේ සිරි සැප දේ !