මේ සැබැවින්ම ශ්‍රී ලංකාව සිය ඓතිහාසික නිදහස් සටනේ විජයග්‍රහණයෙන් ප්‍රමුදිතව සිටින සාඩම්බර නිමේෂයයි. එය නිසැකයෙන්ම 1948 දී අප ලද නිදහසට වඩා අතිශයින්ම තීරණාත්මක ද අභියෝගාත්මක ද වුවකි. ඒ නිදහස් සටන වෙනුවෙන් දිවි පිදු අපගේ රණවිරුවන්ට හිස නමා ආචාර කරන අතරම ඒ උදෙසා ජීවිතවලින් වන්දි ගෙවු මේ රටෙි විවිධ ජන කොටස් පිළිබඳව ද අපි මෙවේලෙහි සිහිපත් කරන්නෙමු.
මේ විජයග්‍රහණය හුදු ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානයක් හා එහි ෆැසිස්ටිවාදී නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් හා ඔහුගේ දුෂ්ට ඊළාම් අරමුණ පරාජය කිරීමක් පමණක් ම නොවේ. එකී දෘෂ්‍යමානයට යටින් විජාතික බලවේග, සංස්කෘතික ආක්‍රමණ මෙන්ම බෙදුම්වාදය වටා කේන්ද්‍රගත වු අධිරාජ්‍යවාදය ද අපි පරාජය කර ඇත්තෙමු.
වසර දෙදහස් ගණනක සංස්කෘතික උරුමය සමග ජාතික නිදහස වළ දමා අප යටත් කර ගැනීමට කොටි ත්‍රස්තවාදය සමග එක්වු ජාත්‍යන්තර බලවේග පසුබැස්වීමට ද අපට හැකි වී තිබේ. ඊළාම් තුඹස තුළ සැඟව සිටි ඊනියා අධිරාජ්‍යවාදී විෂ ඝෝර සර්පයන් විසින් එකී ඓතිහාසික සටනේදී අප නසන්නට මුදාහරින ලද විෂ ප්‍රමාණය ද මෙතෙකැයි කිව නොහැක.
දසක තුනක් ඉක්ම වු ඒ සටනෙහි තීරණාත්මක හෝරාව උදා වන්නේ මහින්ද රාජපකෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමගය. බටහිර අධිරාජ්‍යවාදයේ මළකඩවලින් පිරුණු දේශපාලන විකට රූප අධිරාජ්‍යවාදය සමග තිබුණු වහල් මානසික බැමි සිඳලමින් මහින්ද රාජපකෂ යුගය නිදහස් අරගල මාවතට යොමු වු අයුරු විග්‍රහ කිරීමට අපි නොවෙහෙසෙමු.
එදා මාවිල්ආරු සොරොව්ව වසා ප්‍රභාකරන් කළ සංග්‍රාම ඇරඹුම සමඟ දියත් වු මානුෂික මෙහෙයුම මේ සා විජයග්‍රාහී ලෙස පෙරට ඇදෙන්නක් බව බටහිරයන් තබා උන්ගේ හුරතලය බවට පත්ව සිටි ප්‍රභාකරන් පවා නොසිතුවේය. විධායක ජනාධිපතිවරයා පුටුවට තබා බැඳ තිබුණු සටන් විරාම ගිවිසුම ඉරා දැමු මහින්ද රාජපකෂ රජය ඒ ඊනියා පක්ෂග්‍රාහී ලියැවිල්ලෙන් මුවා කළ ජාතික නිදහස උදෙසා අභීතව නැඟී සිටිද්දී බටහිර නග්න වෘකයෝ ද තැති ගත්හ.
ප්‍රභාකරන්ගේ ඕනෑම ෆැසිස්ටිවාදී ක්‍රියාවක් සාධාරණීකරණය කළ බටහිර නඩය සමග බඩ බැඳගත් රාජ්‍ය නොවන සංවිධානවල ද්‍රෝහියෝ ද සටන් මග නිදා ගැනීම හැර අන් හැම දෙයක්ම කරන්නට වුහ. යළි සටන් විරාමයකට යා යුතු බවටත් දේශපාලන විසඳුමක් අප්‍රමාදව ඉදිරිපත් කළ යුතු බවටත් ගද්‍රභ ඝෝෂාවක් ද නැඟුණි. ගාසා තීරයේ මෙන්ම ඇෆ්ඝනිස්තානයේ හා ඉරාකයේ මිනීකඳු මතින් පැමිණි බටහිර ගැති පරයෝ උතුරු නැඟෙනහිර මළ කඳන් ගණන් කරන්නට ද වුහ.
මුලික මිනිස් අයිතිවාසිකම් හා මානව හිමිකම් යනු එල්. ටී. ටී. ඊ.යට පමණක් හිමි වු වරප්‍රසාදයක් බව ඔවුන්ගේ අශිෂ්ට මැදිහත්වීම්වලින් කෙතරම් තහවුරු වුවද ලෝක ජනමතය හා බලමතය ලංකාවට එරෙහි විය. ලෝක බෞද්ධයන්ගේම මුදුන් මල්කඩ සේ වන්දනාවට පාත්‍ර වු ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට හා ශ්‍රී දළදා වහන්සේට එල්ල වු ප්‍රහාර ද අරන්තලාවේ භිකෂු ඝාතනය ද සාමාන්‍ය සරල සිදුවීම් ලෙස අමතක කළ අමනයෝ උන්ගේ අමන සංවිධානවල මහ උන්ද සමග ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡයන් ඝාතනය වු විට මළ ගෙවල්වල යෑමට තරම් අලජ්ජී වුහ. එක්සත් ජාතීන්ගේ මහලේකම්ට ද වරක් කොටි ම්ලේච්ඡයකු වෙනුවෙන් හැඬුම් ආ අයුරු ද අපට මතකය.
මාවිල්ආරුවලින් ඇරඹී පුදුමාතලන් දක්වා විහිදී ගිය මෙහෙයුම් ගලන ගඟක් සේ ඇදෙද්දී ඇතැම් බටහිර බලවතුන්ගේ ඉවසීම ද බිඳිණි. සටන් විරාමය හා සාම සාකච්ඡා නමැති වහන්තරාවලින් වසා තිබුණු උතුර නැගෙනහිර දවසින් දවස නිරාවරණය වෙද්දී නිරුවත් වී ගිය ඊනියා ජගත් සංවිධානවල බලවතුන්ට සිදු වුයේ දෑතින් විලි වසා ගන්නටය. පෝෂ්‍යදායී ආහාර, බෙහෙත්, වෙනත් අඩුම කුඩුම ද නවීන යුද අවි මෙන්ම උතුරේ අහිංසක ජනතාවට ලබා දුන් සහනාධාර හා සියලු සංවර්ධන ආධාරද වන්නියේ ගොඩනැඟිලිවලින් පමණක් නොව පොළොව යටින් ද මතු විය. බෝම්බ කම්හල්, වෙඩි බෙහෙත් කන්ටේනර් මෙන්ම සන්නිවේදන තාකෂණයේ නවීන පහසුකම් ද කොටින්ට ගලා ආ අයුරු ද රටටම ආවරණය විය.
ප්‍රභාකරන් ඇතුළු ඉහළම කොටි නායකයන්ගේ කාමභෝගී ජීවිත රිද්මය මෙන්ම ඔවුන්ගේ සුපිරි මහල් පෙළින් වට වු වන උයන්, පලතුරු උයන්, විවේකාගාර ආදිය පිළිබඳ විස්මිත තොරතුරු ද හෙළි විය. වන්නියේ අහිංසක දෙමළ ජනතාවගේ දරුවන්ගේ කරට සයනයිඩ් කරල් පළඳනා ලෙස එක් වෙද්දී ඊනියා දෙමළ නායක ප්‍රභාකරන්ගේ ද්වාරකා දියණියගේ ගෙලට මුතු පබළු ද රන් හා මැණික් ද වැටී තිබිණි. ඒ දෙමළ දරුවන්ගේ පාසල යුද සරඹ සඳහා වෙන් කර දුන් ප්‍රභාකරන් සිය දියණියට බටහිර සුපිරි සරසවියක සිප් සතර ලබාදී තිබිණි. සිංහල දෙමළ මුස්ලිම් දරුවන් පමණක් නොව මවු කුස තුළ නොවැඩුණු දරුවන්ද කුස ඉරා ඝාතනය කළ ප්‍රභාකරන් සිය දරුවන් සමග උපන් දින සාද මැද සිනාසුණු අයුරු ද සාකෂි සහිතවම අනාවරණය විය.
ඊළාම් ඉනා ගුලිය ගිල්වා මොළ සෝදා අහිංසක තරුණියන් මිනිස් බෝම්බ බවට පත් කිරීමට තරම් ප්‍රභාකරන් සූකෂ්ම විය. එක්සත් ජාතීන්ගේ ළමයින් පිළිබඳ සංවිධානයට හැකි වුයේ ප්‍රභාකරන්ගේ ළමා හමුදාවල අසම්පුර්ණ සංඛ්‍යා ලේඛන එකතු කිරීමට පමණි. එහෙත් බටහිර හෝ මෙරටේ කිසිම බලධාරියකුගේ කටක් ඒ කිසිවකට එරෙහිව නො ඇරීම කෙබඳු විස්මයක්ද?
ප්‍රභාකරන් දවසින් දවස ඔහුගේම මිනීවළ දෙසට තල්ලු වෙද්දී බටහිර පමණක් නොව තමිල්නාඩුව ද රත් විය. පස්ස දා පිළිස්සී ගිය සුනඛයන් සේ දෙමළ සන්ධානයේ මහත්වරුද ඉන්දියාවට දිව ගියහ. තමිල්නාඩුව ද කුලප්පු වු ගොන් තඩියකු සේ හැසිරුණි. ඇතැම් තානාපතිවරු ද උම්බෑ කීහ. අහිංසක දෙමළ සාමාන්‍ය ජනතාව ගැන හිසේ අත් ගසා ගෙන වැළපෙන්නට ද වුහ. ප්‍රභාකරන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඔහුගේ ආරකෂ පළිහ බවට පත් වු ඒ ජනතාව ගැන බොහෝ දෙනෙක් කතා කරන්නට ද වුහ. ඔවුන්ට නිදහසේ යුද මුක්ත කලාපයට එන්නට ඉඩ හරින්නැයි කරන ලද කිසිදු ඉල්ලීමකට ප්‍රභාකරන් අවනත වුයේ ද නැත. එහෙත් ආරකෂක හමුදා සියුම්ව සැලසුම් කර ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මානුෂික මෙහෙයුමක් දියත් කළේය.
මාවිල්ආරු සොරොව්වෙන් ගලා ගිය ජල කඳ සේම පුදුමාතලන්හි සිට මහා ජන ගඟක් ගලා එන්නට ද විය. මේ සියල්ලෝම පාහේ තිස් වසරක ශාපලත් යුද්ධයට අසාධාරණ ලෙස වන්දි ගෙවු අය බවට සැක නැත. අවසන් මොහොතේ සිය ඊනියා ගැලවුම්කාරයා වෙනුවෙන් දිවි පුදන්නට නියම වුවෝය. එහෙත් ඒ දෛවෝපගත ඉරණම වෙනස් කර නිදහසේ අරුණලු දකින්නට තරම් වාසනාවක් ඔවුන්ට ඉතිරි වී තිබිණි.
මෙසේ නිදහසේ පැමිණි අයට රජය සත්කාර කළ අයුරු ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. ප්‍රභාකරන්ගේ දඩ බල්ලන්ගෙන් වෙඩි ප්‍රහාර විඳ ගත් අයට බෙහෙත් ගල්වා සුවපත් කළ අතර ඔවුන්ට ආහාර, වස්ත්‍ර ඇතුළු දේවල් ද ලබා දීමට රජය පියවර ගෙන තිබිණි. හමුදාවල මනුෂ්‍යත්වය පිළිබඳ අපුර්ව සාකෂි ද මෙහිදී අපට ලැබිණි. සිය ආහාර වේල ඔවුන්ට පිදු අය කොතරම් ද? ගැබිනි මවුවරුන්ගේ වැදුම් ගෙවල් බවට ද හමුදා කඳවුරු පත්විය. එහෙත් මානව හිමිකම් පිළිබඳ උජාරු කතා ඇද බාන්නෝ මේ කිසිවක් නොදුටුහ.
ඊළාම්වාදයේ පරමල් පෙති ප්‍රභාකරන්ගේ මිනීවළ මත අතුරන තෙක් දෙමළ ජනතාවට පමණක් නොව පෙර දිග ලෝකයේ මුතු ඇටය ද කඳුළු විලක් බව අභීතව රටට කීමට තරම් "දිවයින"ට ශක්තියක් තිබුණු වග ද මෙවේලේ අප නිහතමානීව සඳහන් කළ යුතු වන්නෙමු. සිංහලකම, බෞද්ධකම නොමැනවැයි වැපුරුණු ව්‍යාජ මතවාදයක ගල්වී සිටි කුහකයන්ට පහර දෙමින් මතු නොව ඔවුන් නිරුවත් කරමින් ද මේ ජාතික සටනේ ගිනි පුපුරු දැල්වු අපට ලැබුණු අවමන් ගැරහුම් මහමෙර තරම් විය. ජාතිවාදී හංවඩුව ගසා අපට පරිභව කළ ඊනියා පඬිවරු ද කුහක සරසවි ඇදුරෝ ද ද්‍රෝහී දේශපාලන රූකඩයෝ ද වුහ. අපගේ ඇතැම් මාධ්‍ය සගයෝ ද අපට විවිධ අවලාද නැඟුහ. අප ආයුධ වෙළෙන්දන් යැයි ද චෝදනා කළහ. යුද්ධය අපේ ජීවන මාර්ගය යැයි ද බිණුහ. එහෙත් අප කිසිදිනක ත්‍රස්තවාදයට මිස දෙමළ ජනතාවට විරුද්ධ නොවීමු. සිංහල දෙමළ මුස්ලිම් සමගිය අපි හදවතින්ම අපේකෂා කළෙමු.
එදා "සුදු නෙළුම්" ව්‍යාපාර දියත් වෙද්දීත් තවලම් ඇදෙද්දීත් "දිවයින" හා අප සහෝදර "අයිලන්ඩ්" පත්‍රය ද කීවේ ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්තවාදය විනාශ කළ යුතු බවය. ඔහුගේ භාෂාව ඝාතනය බවත් ඔහුගේ ආගම විනාශය බවත් අපි සෘජුවම කීවෙමු. සකල විධ මාධ්‍ය ඔස්සේ ප්‍රභාකරන් මහත්මයකු විය. මිස්ට ප්‍රභාකරන් දුෂ්ට ම්ලේච්ඡයකු වුයේ අපට පමණි. ප්‍රභාකරන්ගේ ජන ඝාතක නායකයන්ට මචං කීමට තරම් නිවට රාජ්‍ය නිලධාරීහු ද එකල වුහ.
ජේ. ආර්. ගේ සිට ප්‍රේමදාස ජනාධිපතිවරයා ද චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ද ප්‍රභාකරන් පිනවුවා මිස වැනසීමට ගත් පියවරක් ද නැත. ත්‍රස්තවාදයට ඉඩ නොදිය යුතුය යන හඬ නැඟු රාජ්‍ය නායකයකු ලෙස ඩී. බී. විජේතුංග ගැන සඳහන් කළ යුතුය. රනිල් වික්‍රමසිංහ සටන් විරාම ගිවිසුම පිළිබඳ උදන් අනනු ඇසෙයි. ප්‍රභාකරන්ගේ දෑත් ශක්තිමත් කළ දේශපාලනඥයන් පිළිබඳ කෙරෙන චෝදනා ද බොහෝ ය. ඒවා අනාගතයේදී තහවුරු කිරීමට හෝ නිෂ්ප්‍රභ කිරීමට හෝ අවකාශ ලැබෙනු ඇත. එහෙත් ත්‍රස්තවාදයට එරෙහිව අභීතව, අදීනව, හඬනැඟු රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපකෂ මහතාට ලැබෙන කීර්තිය ඉතිහාසයෙන් මකා දමන්නට කිසිවකුට නොහැකි වන බව ද අප මතක් කළ යුතුය.
ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ අධිෂ්ඨානය මල්පල ගන්වමින් ශ්‍රී ලංකා හමුදා මෙහෙයවමින් ලොවම මවිතයට පත් කළ ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතාට ද ජාතියේ ගෞරවය හිමි වනු ඇත. බටහිර බලවතුන්ගේ සෘජු හා වක්‍ර බලපෑම්, තර්ජන, ගර්ජන මැද සිය ජාතික වගකීම ඉටු කිරීමේ අධිෂ්ඨානශීලී ශක්තිය මහින්ද රාජපකෂ නමැති රාජ්‍ය නායකයා නොවන්නට ඊළාම් සටනේ වීරයා කිසි දිනක නොමියන බව ද අපි දනිමු. මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ප්‍රංශය සමග බටහිර පෝළිම වාගේ ලංකාවට එරෙහිව ගොරවද්දීත් ඔරවද්දීත් ඒ කිසිවක් තඹයකට මායිම් නොකළ මහින්ද රාජපකෂ ජනාධිපතිවරයාට ශක්තිය හා බලය වුයේ වරප්‍රසාද සහිත බටහිර ගැති පැලැන්තිය නොව මේ රටේ පොදු ජනතාව බව ද අප සඳහන් කළ යුතුමය.
ජාතිය ජයමගට යොමු කිරීමට "දිවයින" නිවසින් ලද අනුග්‍රහය, අනුබලය දුබල නො වුයේ ද ඒ මග සුමග සේ පිළිගත් හිමිවරුන්, විද්වතුන්, ප්‍රභුවරුන් හා වෙනත් විවිධ ජන කොටස් නිසා බව ද කීමට අපි කෘතවේදී වන්නෙමු. අප ලියු හැම වැකියකම ඉඳහිට ලියු කවියකම ජාතික අභිමානය ද ජාතික හා සංස්කෘතික උරුමයේ විශිෂ්ටත්වය ද ඔසවා තබන්නට දිරි දුන් සියලු ජනතාවට ද අපි හිස නමා ආචාර කරන්නෙමු.
මේ දෙස මේ රුස අන් කිසි දෙසකට අන් කිසි රුසකට යට වනු දකින්නට ද අපි රිසි නොවීමු. මතුවට ද රිසි නොවන්නෙමු එසේම මේ රට සිය රට සේ සිතන මේ ලක් මව සිය මව සේ හදවතින්ම පිළිගන්නා සියලු මිනිස් වර්ගයාටම ඔවුන්ගේ ජාතික සංස්කෘතික අනන්‍යතාව නොනසා අප සමග හිස කෙළින් තබා සිටිය හැකි බව ද අපි නිර්භයව කියන්නෙමු. එවන් නිවහල් දේශයක එකම දැයක් ලෙස බැඳී, සැදී, පැහැදී අප වසනා මෙ රත්නදීප ජන්ම භුමිය පෙරදිග මුතු ඇටය බවට පත් කර ගැනීම අපගේ පරම පැතුම බව ද ලියා තබන්නෙමු.
(දිවයින_09/04/26)
පසුවදන_ත්‍රස්තවාදයට ජනමාධ්‍ය විමුක්ති සළු පළඳවන විට සත්‍ය වෙනුවෙන් දශක ගණනාවක් හුදෙකලාව සටන් කළ දිවයිනට අපි අපේ ශීර්ෂ ප්‍රණාමය පුද කරමු. මේ සටනට අප ද වචනයකින් වුව සහය වූයේ නම් එහි ගෞරවය ද දිවයිනට හිමි ය. අප තුළ යටපත් ව පැවැති දෑ අබිමන් හැඟුම් පුබුදු කළේ දිවයින ය.
මේ ත්‍රස්තවාදය කෙළවර වනවාට නැතිනම් සිය ආදායම් මාර්ගයක් වැසී යනවාට සුද්දා කැමැති නැත. නොබෝදා තලීබාන් කැරලිකරුවන්ට එරෙහිව දැඩි පියවර නොගන්නේ යයි පකිස්ථාන රජයට දොස් පවරන ඇමරිකාව නොබෝ වේලාවකින් ලංකාව දෙසට හැරී කොටි සමග සටන් විරාමයකට යන්නැයි කියන්නේ එහෙයිනි. ඇෆ්ගනිස්ථානයේ ඉරාකයේ මිනී කඳු ගැසූ ගහලයින් මෙරට සිවිල් ජනතාව ගැන කිඹුල් කඳලු හෙලන්නේ එහෙයිනි. ඉඩ ලද සැනින් රජයේ පාලනය වෙත පළා එන ද්‍රවිඩ ජනතාවට වෙඩි තබන කොටි හපුවන් උන්ට නොපෙනෙන්නේ එහෙයිනි. මේ යථාර්ථය තේරුම් නොගත් උන් තවමත් මේ රටේ ම සිටින කල එහි ඇති අරුමය කිමදැයි ඔබ ඇසුවොත් මා කුමක් කියම් ද?
Sunday, April 26, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment