Sunday, April 26, 2009

විශිෂ්ට ජයග්‍රහණයක්

බස්නාහිර පළාත් සභා මැතිවරණය ද විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය දේශපාලන ජයග්‍රහණ පිළිබඳ වාර්තාව අලුත් කර තිබේ. නැගෙනහිර, උතුරුමැද, සබරගමුව, මධ්‍යම හා වයඹ යන සියලු පළාත් සභා මැතිවරණවලදී මෙන්ම බස්නාහිර පළාත් සභාව ද අති විශිෂ්ට ලෙස ජය ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්ව සිටියි.

බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ධුර 104 න් ධුර 68 ක්ම හිමිකරගත් සන්ධානය වාර්තාගත ජයග්‍රහණයක් ලබා තිබෙන බව දේශපාලන විචාරකයන්ගේ ද මතය වී තිබේ. සැබැවින්ම බස්නාහිර පළාතෙන් එ. ජා. ප. ය ලැබු මුළු ඡන්ද සංඛ්‍යාවටත් වඩා ප්‍රමාණයක් සිය වැඩි ඡන්ද ලෙස ලබා ගැනීමට ද සන්ධානය සමත්වු බව පෙනේ.

අද මේ රටේ පවතින විකෘති ඡන්ද ක්‍රමය හඳුන්වා දෙන ලද්දේ මහජන මතය මංකොල්ලකෑම සඳහා බව අපගේ විශ්වාසයයි. ආසන මටිටමෙන් පැරුදී මනාප උප්පරවැටිටියෙන් තේරී පත්වන මෙම විකෘති ක්‍රමය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම දේශපාලන සදාචාරයටද බරපතල හානි සිදු කර තිබේ. මුදල් යහමින් තිබෙන ශුර චෞරයෝද, චරිත ශුද්ධියක් නැති අමනයෝද මේ ක්‍රමයෙන් අප්‍රමාණ වාසි ලබති. එසේම මේ ඡන්ද ක්‍රමය අනුව බහුතර බලයක් කිසි පකෂයකට හිමි නොවන බවද කියති. එහෙත් බස්නාහිර ප්‍රතිඵලය ඒ මතය ද බිඳ දමා තිබේ. සන්ධානයට ඉතා පිරිසිදු බලයක් හිමිව තිබෙන අතර තුනෙන් දෙකේ බහුතරයකට අඩුවී ඇත්තේ එකම අසුනක් බවද කියති.

කෙසේ හෝ මෙම ඡන්ද ප්‍රතිඵලය නිසා එ. ජා. ප. ය මෙන්ම ජ. වි. පෙ. ද නන්නත්තාර වී ඇති බවද කිව යුතුය. මහින්ද රාජපකෂ රජයට විරුද්ධව නඟන ලද චෝදනා මෙන්ම විවේචනද ජනතාව එතරම් ගණනකට ගෙන නැති බව මේ ප්‍රතිඵලය තහවුරු කරයි. අප විසින් ද නිරන්තරයෙන්ම සඳහන් කරන ලද පරිදි ජනාධිපතිවරයා මේ රට එක්සේසත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ බස්නාහිර ජනතාව ද අනුමත කර තිබේ.

යුද ජයග්‍රහණ විකුණාගෙන කන බවට රජයට ඉදිරිපත් වු ප්‍රබල විවේචනය අමතක කර එම යුද ජයග්‍රහණය සඳහා රට මෙහෙයවු ජනාධිපතිවරයාට සිය ප්‍රසාදය පළ කිරීමට බස්නාහිර ජනතාව ද කෘතවේදී වු බව අපගේ විශ්වාසයයි. දේශපාලනය කිරීමටත්, වාදවිවාද කිරීමටත් රටක්, නොබෙදුණු රටක්, නිදහස් රටක් අවශ්‍ය බව අපගේද අවධාරණය විය. බස්නාහිරෙන්ද එය අනුමත කර තිබේ.

මේ ජයග්‍රහණය තවත් අතකින්ද වැදගත් වේ. එනම් පුදුමාතලන්හි බංකරයක හිරවී සිටින වේළුපිල්ලේ ප්‍රභාකරන් හා එහිම ඔලුගෙඩි හංගාගෙන වෙව්ලමින් සිටින ඉතිරි මෘගයන් බේරා ගැනීම සඳහා ජාත්‍යන්තරව සිදුවන දුෂ්ට කුමන්ත්‍රණ හා අශිෂ්ට මෙහෙයුම් පරාජය කිරීමටද මෙම ජයග්‍රහණයෙන් ලැබෙන ශක්තිය හේතු වේ. මොන කරුමයකට හෝ මෙම ජයග්‍රහණය වෙනස් වී නම් එය ප්‍රභාකරන් බේරා ගැනීමට ද හොඳ තුරුම්පුවක් වනු නිසැකය.

දැන් බටහිර නඩයද උන්ගේ සටිටඹියන් වී සිටින රාජ්‍ය නොවන සංවිධානවල වෘකයෝද අන්ද මන්දව සිටිති. මේ ප්‍රතිඵලය ඔවුන් දුර්මුඛ කරවන්නකි. මේ රටේ බහුතර ජනතාව ප්‍රභාකරන්ට යළි ජීවිතය දීමට සුදානම් නැති බව මේ ප්‍රතිඵලය යළිත් තහවුරු කරයි. මේ රට බෙදීම වෙනුවට රට එක්සේසත් කිරීම යන්න බහුතර ජනතාවගේ මතය වී තිබේ.

එල්. ටී. ටී. ඊ. සංවිධානයට පොදු සමාවක් දිය යුතුය යන ඉල්ලීමක්ද සම සභාපතිවරුන් වෙතින් මේ වන විට ඉදිරිපත්ව තිබේ. මේ සම සභාපතිවරුන් කියන්නේ ප්‍රභාකරන්ට සමාව දීම බව අපගේ තේරුම් ගැනීමයි. එහෙත් එබඳු ඉල්ලීමකට සාධාරණ පදනමක් නැත. ප්‍රභාකරන් තවමත් කරන්නේ ඝාතනය බව මේ කාරුණික මහත්වරුන්ට නොපෙනේද? එසේම පුදුමාතලන්හි ජනතාව කොටි කටින් ගලවාගෙන ඔවුන්ගේ නිදහස තහවුරු කිරීමේ රජයේ මානුෂික මෙහෙයුමද මෙම සම සභාපතිවරුන්ට පෙනී යා යුතුය.

අවසන් වශයෙන් සඳහන් කළ යුතු එක් කරුණක් ද ඇත. එනම් මේ ඡන්ද සටන් නිසා දෙදෙනකුගේම ජීවිත අහිමිවී යෑමේ කනගාටුදායක සිදුවීම්ය. විජයග්‍රහණයේ ජයපැන් බොමින් සිටින අය අතර ඊට වගකිවයුත්තෝද සිටිත්දැයි අපි නො දනිමු. කුමක් වුවත් ඒවා දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා බව අපි කියමු.

රජයේ, විශේෂයෙන් ජනාධිපතිවරයාගේ අවධානය ඒ සඳහා ද යොමු විය යුතුය. මැතිවරණය සාමකාමීව සිදුවු බව කීවත් මේ අවාසනාවන්ත සිදුවීම් මින් මතු කිසිම දිනක සිදු විය යුතු නැති බවද අපි අවධාරණය කරන්නෙමු. එසේම මෙම ජයග්‍රහණයේ සතුට කිසිවකුට පීඩාවක් හිරිහැරයක් නොවන පරිදි සාමකාමීව භුක්ති විඳීම ජයග්‍රාහකයන්ගේ වගකීම බවද අපි මතක් කරමු.

(දිවයින_09/04/27)

පසුවදන_මේ ජයග්‍රහනයේ නිහතමානීව සමරමු. කොළඹින් සන්ධානය පැරදුනු ආසන ඉතිහාසය පුරා දිනුවේ එජාපය බව සැබෑය. මෙවර ද එජාපය දිනුවේ අතීතය හා සසඳන කල අඩු වැඩි ඡන්ද ගණනකින් බව ද සැබෑය. එහෙත් එම පරාජයට හේතු වූ සාධක පිළිබඳ සොයා බැලීම වැදගත් ය.

මර ඇඳේ පණ අදින කොටියාට හුස්ම පොදක් දීමට සටන් විරාමවලට යන්නැයි ද ඌට තෙවන පාර්ශවයකට යටත් වන්නට ඉඩදෙන්නැයි ද කියන කුහක හාමුලාට බින් ලාඩන් සමග ඒ වර්ගයේ ගනුදෙනුවක් කර, අප දෙස බලන්නැයි ඉල්ලා සිටිමු.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !