Sunday, April 19, 2009

නෝර්වේ රටේ භුමිකාව

අවුරුදු සමයේ ජාත්‍යන්තරව සිදුවු එක් ප්‍රධාන සිද්ධියක් වුයේ නෝර්වේ, ඔස්ලෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කොටි හිතවාදීන් පිරිසක් කඩාවැදී මුළු කාර්යාලයම කුඩුපටිටම් කර දැමීමය. මේ ප්‍රහාරයත් සමගම ශ්‍රී ලංකා රජයද ජනවාර්ගික ගැටුමේ මැදිහත්කරුවකු ලෙස නෝර්වේ රාජ්‍ය ගෙනගිය කාර්යභාරය අවසන් කරන ලදී. මේ සිද්ධීන් නිසා නෝර්වේ රටත් ලංකාවත් අතර සම්බන්ධතාව ඉතා පහත් අඩියකට වැටී ඇත. නෝර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලාංකීය ගැටුමේ මැදිහත්කරුවකු ලෙස පැමිණි මුල් අවස්ථාවේ සිටම කරන ලද ප්‍රධානම වරද වුයේ ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයටම අපකෂපාතී මැදිහත්කරුවකු ලෙස පෙනී සිටීමට නොහැකි වීමයි. සිංහල ප්‍රජාවට නෝර්වේ රට මුල සිටම දිස්වුයේ කොටි හිතවාදී, ඊළාම් ව්‍යාපෘතියේ ප්‍රධාන විදේශීය ආධාරකරුවා ලෙසය. ඔස්ලෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එල්ලවු කොටි ප්‍රහාරය සමග ඇති වී තිබෙන නව තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපති තෝර් හැටිරම් සමග පිළිසඳරක යෙදීමට අවස්ථාව උදාවිය. එහිදී සාකච්ඡා වු දෑ සැකවින් මෙසේය.

ප්‍රශ්නය - ඔස්ලෝ නුවර ප්‍රහාරයත් සමගම ලංකාවත් නෝර්වේ රාජ්‍යයත් අතර ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතාව අන්තිම අඩියට වැටී තිබෙනවා.

පිළිතුර - නෝර්වේ හා ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතා ඇති වුයේ ලංකාවට නිදහස ලැබීමත් සමගයි. 1960 ගණන්වල අවසානයේදී සිට නෝර්වේ රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර ලැබිණි. දෙරටේ සම්බන්ධතාවන්වල උච්ඡාවචනයන් තිබිලා තියෙනවා. නමුත් මේ සිද්ධිය නිසා දෙරටේ සම්බන්ධතාව පහත්ම අඩියට වැටී තිබෙනවා යැයි මම පිළිගන්නේ නැහැ. මිතුරන් අතර ඇතැම්විට ප්‍රශ්න හටගන්නවා. නමුත් ඒවා විසඳන්න පුළුවන් ප්‍රශ්න. මේ සිද්ධියත් එවන් අවස්ථාවක්.

ප්‍රශ්නය - තානාපති කාර්යාලයට එල්ලවු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔස්ලෝ නුවර බලධාරීන් මෙතෙක් ගෙන තිබෙන පියවර මොනවාද?

පිළිතුර - අප ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර ගැන කතා කිරීමට පෙර මා ප්‍රථමයෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙනුත් අප කොතරම් දුක්වනවාද, කොතරම් කනගාටු වනවාද කියා පවසන්න ඕනෑ. මේ සිද්ධිය සිදුවු විගස මට ඔස්ලෝ නුවරින් දැනුම්දීමක් කරනු ලැබුවා. මම එවෙලේම ලංකාවේ විදේශීය ලේකම්වරයාට කතා කොට සිද්ධිය පිළිබඳ මගේ කනගාටුවත් එය හෙළා දකිමින් නෝර්වීජියානු රජය කළ ප්‍රකාශය ද දැනුම් දුන්නා. නෝර්වේ විදේශ ඇමැති මේ සිද්ධිය හෙළා දැකලා තියෙනවා. අපේ ඇමැතිවරයා විසින් ඒ බව ඔස්ලෝ නුවර ශ්‍රී ලංකා තානාපතිවරයාටත් දැනුම්දී තිබෙනවා. මේ ප්‍රහාරය වැළැක්වීමට නෝර්වීජියානු පොලිසියට නොහැකි වීම ගැන අපි කනගාටු වෙනවා. වියනා සම්මුතියට අනුව විදේශීය තානාපති කාර්යාල ආරකෂා කිරීම අපගේ වගකීමයි. මේ අවස්ථාවේදී ඒ වගකීම, ඉටුකිරීමට අපට නොහැකිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසියත් කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා. මෙතන සිදුවී තිබෙන්නේ කාර්යාලය ඉදිරිපිට දින ගණනක් උද්ඝෝෂණ කෙරිලා තියෙනවා. ඒවා බොහෝ දුරට සාමකාමීව කෙරිලා තියෙන්නෙ. නමුත් අවසානයේදී උද්ඝෝෂණකරුවන් ප්‍රචණ්ඩ වී තිබෙනවා. ආපස්සට හැරී බලන විට මෙවන් දෙයක් සිදුවීම වැළැක්වීම සඳහා ගොඩනැඟිල්ල අභියස ආරකෂාව තර කළ යුතුව තිබුණා. නෝර්වීජියානු ජාතික ආරකෂක පොලිසිය දැන් ඒ සිද්ධිය ගැන පරීකෂණ කරමින් යනවා. තානාපති කාර්යාලයට කඩාවැදුණු අය හඳුනා ගැනීමට ඔවුන් කටයුතු කරගෙන යනවා. වැඩි කාලයක් යන්න කලින් අදාළ උදවිය අත්අඩංගුවට ගැනෙනවා. ඒ අතරතුර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිදුවු අලාභය නෝර්වීජියානු රජය විසින් ගෙවනු ඇති.

ප්‍රශ්නය - මෙය පළමුවම නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්නයක්. තවමත් මේ ගැන පරීකෂණය අවසන් වී නැති නිසා එය කළේ කවුදැයි කියා ඔබ නම් කරාවි යැයි මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත් මෙය සිදුකරන ලද්දේ සුදු නෝර්වීජියානු ජාතිකයන් නොව, විදේශිකයන් පිරිසක් බව පැහැදිලියි. මේක මුළු බටහිර ලෝකය පුරාම තිබෙන වසංගතයක්, ලෝකය හැම තැනින්ම විදේශිකයන් බටහිර රටවලට ඇවිත් ඔවුනොවුන්ගේ යුද්ධ බටහිර රටවල වීදි වල සටන් කරනවා.

පිළිතුර - මේ සිද්ධිය පසුපස සිටින උද්ඝෝෂණකරුවන් සියලු දෙනාම පාහේ ශ්‍රී ලංකාවෙන් ආපු කටිටිය බව පෙනෙනවා. ඔවුන් හිර භාරයට ගැනීමට පෙර ඔවුන් කවුදැයි මට නම් කිරීමට නොහැකියි. ශ්‍රී ලංකාවෙන් නෝර්වේ රටට පැමිණ ඇති අය දැන් නෝර්වීජියානු පුරවැසියන්. ඔවුන්ට උද්ඝෝෂණය කරන්න අයිතිය තිබෙනවා. නමුත් කිසිම නෝර්වීජියානු ජාතිකයකුට ප්‍රචණ්ඩ උද්ඝෝෂණවල යෙදෙන්න අවසර දීල නෑ. නීතිය කැඩුවොත් ඔවුන්ට එරෙහිව නිසි පියවර ගැනෙනවා.

ප්‍රශ්නය - නෝර්වේ රාජ්‍යය කොටි සංවිධානය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරල තියෙනවා. යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය තහනම් කිරීම ගැන සාකච්ඡා ආරම්භ කර තිබුණු අවස්ථාවේ නෝර්වීජියානු රජය මෙයට විරුද්ධව කරුණු දැක්වුවා. දැන් මේ ලැබෙන්නේ ඒවායේ ප්‍රතිඵල නොවේද?

පිළිතුර - නෝර්වේ කියන්නෙ බොහොම නීතිගරුක රටක්. ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතියෙන් අප බැඳී සිටිනවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරකෂක මණ්ඩලය විවිධ රෙගුලාසි පනවා තිබෙනවා. මේවා අපි ක්‍රියාත්මක කරනවා. පොලිසියට හසුවන්නේ නැති යම් යම් ක්‍රියාකාරකම් තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය අධිෂ්ඨානය අපට තිබෙනවා.

ප්‍රශ්නය - මෙවන් සිද්ධීන් අනාගතයේ සිදු නොවීමට එල්. ටී. ටී. ඊ. සංවිධානය නෝර්වේ රට තුළත් තහනම් වේද?

පිළිතුර - දැනට නෝර්වේ රජයෙන් කරන්නේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරකෂක මණ්ඩලයේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමයි. දැනට නෝර්වේ රාජ්‍ය තුළ කොටි සංවිධානය සම්බන්ධයෙන් තහනමක් නෑ. ඒ ප්‍රශ්නය අනාගතයට භාරයි. නමුත් අපරාධ හා නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් අපේ රට අනෙක් යුරෝපීය රටවලට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවාය යන්න මම පිළිගන්නේ නෑ.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ රජය විසින් මැදිහත්කරුවකුගේ අවශ්‍යතාව පිටුදැක ඇති නිසා ශ්‍රී ලංකාව තුළ නෝර්වේ රාජ්‍යයේ කාර්ය භාරය කුමක් වේවිද?

පිළිතුර - 2006 ඉඳලම සාම ක්‍රියාදාමයක් කොහොමටත් තිබිල නෑ. මේ නිසා අපේ අවධානය දැන් උතුරෙ\ සිවිල් වැසියන් කෙරෙහි යොමුවෙලයි තියෙන්නෙ.

ප්‍රශ්නය - නෝර්වේ රාජ්‍යය විසින් ලෝකයේ විවිධ ප්‍රදේශවල ගැටුම්වල මැදිහත්කරුවකු ලෙස කටයුතු කර තිබෙනවා. මැදපෙරදිගත්, ලංකාවේත් සාම ක්‍රියාදාමය සාර්ථක කරන්න උත්සාහ කළත් ඒ සියල්ල වැරුදුනා. ඔබ දකින හැටියට නෝර්වේ රජයට වැරුදුනේ කොතනද?

පිළිතුර - යම් ගැටුමක් සාමකාමීව නිරාකරණය කරගැනීමට උත්සාහ දැරීමේදී ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම ඇත්තේ ගැටුමට යොමුවී සිටින පාර්ශ්වකරුවන්ටයි. මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් ගත් කල පලස්තීනුවන් එක් පැත්තකින් වන අතර ඊශ්‍රායල් ජාතිකයන් අනෙක් පැත්තෙන් සිටී. පලස්තීන පාර්ශ්වය තුළ ෆතා සහ හමාස් යන පාර්ශ්ව වනවා. මෙවන් ප්‍රශ්නවලදී සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන්ට බලපෑම් කිරීමට පිටස්තර උදවියට ඇති හැකියාව අතිශයෝක්තියෙන් දැක්වීම කළ යුතු නැහැ. මා දකින විදියට පිටස්තර අයට අදාළ පාර්ශ්වකරුවන්ට බලපෑම් කළ හැක්කේ සීමිත ප්‍රමාණයකට පමණයි. මෙවන් ගැටුම් නිරාකරණය කිරීමේදී පිටස්තර මැදිහත්කරුවන් මත වගකීම පැටවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. නමුත් අවසාන වශයෙන් ගත් කල තීරණාත්මක සාධකය වන්නේ අදාළ පාර්ශ්වකරුවන්ය.

ප්‍රශ්නය - ගැටුමක් සාමකාමීව නිරාකරණය කිරීමේදී අදාළ පාර්ශ්වකරුවන්ට වගකීමක් තිබෙන බව ඇත්තක් වුවත් මැදිහත්කරුගේ හැකියාවන් මෙතෙන්ට අදාළ වෙනවා. ශ්‍රී ලාංකීය ගැටුම සම්බන්ධයෙන් නෝර්වේ රාජ්‍ය මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ ද තමන්ගේ අපකෂපාතී බව තහවුරු කිරීමට ඔවුන්ට මුල සිටම නොහැකි වුණා.

පිළිතුර - සියලුම මනුෂ්‍යයන්ට වැරුදි සිදුවනවා. අවසාන වශයෙන් මේ ගැටුම නිරාකරණය කිරීමට අපත් එල්ටීටීඊ සංවිධානයත් ආණ්ඩුවත් කටයුතු කළ ආකාරය ගැන අවසන් තීන්දුව දෙන්නේ පිටස්තර අය විසින්. අපකෂපාතී වීමටත් සාමයේ උන්නතිය වෙනුවෙන් වැඩ කිරීමටත් අවශ්‍ය යැයි අප සිතු දේවල් අප කළා. නමුත් මේ ගැටුමේදී පකෂපාතී පාර්ශ්වයක් ලෙස අප දෙස බැලු පිරිසක් සිටින බව අප දන්නවා. මෙය ප්‍රශ්නයක් බවත් අපි පිළිගන්නවා. නමුත් මෙහිදී මට සහතික වශයෙන්ම කිව හැක්කේ අපේ ක්‍රියාකාරකම් සියල්ල සාමය ඇති කිරීමටත් ශ්‍රී ලාංකීය ජනතාවගේ උන්නතියත් පෙරදැරි කරගෙන සිදු කළ ඒවා බවයි.

මා මෙම සාකච්ඡාව සඳහා කොළඹ පිහිටි නෝර්වීජියානු තානාපති කාර්යාලයට ගිය විට එහි සිටි කිසිවෙක් ඔස්ලෝ නුවර සිදුවු දෙයට ප්‍රති ප්‍රහාරයක් හැටියට කොළඹ නෝර්වීජියානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් පසුවන බවක් පෙනෙන්නට නොතිබිණි. සියලු දෙනාම සිටියේ සැහැල්ලුවෙනි. මෙය ලංකාවේ පුරවැසියන්ගේ මුහුකුරා ගිය බව ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. ලංකාවේ වෙසෙන සිංහල ජාතිවාදී පිරිස් පවා අද හැසිරෙන්නේ සංවරයක් සහිතව බව මින් පෙනේ. දියුණු බටහිර රටක් වන නෝර්වේහි ඔස්ලෝ නුවර වෙසෙන අපගේ තානාපති නිලධාරීන් ප්‍රචණ්ඩත්වයට බියෙන් ජීවත් වන අතර නොදියුණු තුන්වැනි ලෝකයේ රටක් වන ලංකාවේ ජීවත් වන නෝර්වීජියානු තානාපති නිලධාරීන්ට කිසිදු බයක් සැකයක් නොමැතිව සාමකාමීව ජීවත්වීමට හැකිවීම නව ලංකාවේ පෙරනිමිත්තක් හැටියට ද ගණන් ගත හැක.

සී. ඒ. චනද්‍රප්‍රේම
(දිවයින_09/04/20)

පසුවදන_මේ ලිපියේ වැදගත් ම කොටස අවසන් කොටස ය. එනම් විවිධ මතදාරීන්ට සිය රටවල නොමැති නිදහසක් අද අප රටේ භුක්තිවිඳීය හැකි ය. අපේ තානාපති කාර්යාලයට පහර දුන්නැයි කියා මෙරට ජනතාව ප්‍රතිප්‍රහාර සඳහා නෝර්වේ තනාපති කාර්යාල වටලන්ට ගියේ නැත. එනම් බල්ලා අපේ පය හැපුවාට අප ඌ හපන්ට නොයාම ශිෂ්ට ගතියෙකි.

එය වඩ වඩාත් වගා කළ යුතු යහගුණයකි. එහෙත් ඒ ගුණය අපේ නිවට කමක් ලෙස සැලකිය යුතු නැත. එමෙන් ම ඒ ගුණය ආයුධයක් ලෙස සලකා ක්‍රියාකිරීමට සතුරාට ඉඩදිය යුතු ද නැත. කොටින් ම අප සිරි සඟබෝ රජතුමාට ගරු බුහුමන් කළාට දුටුගැමුණු රජතුමාට සිරිසඟබෝ කෙනෙකු වන්නැයි බල කළ යුතු නැත. ඒ ඒ චරිතයට සමාජය විසින් පැවරු වගකීමක් ඇත. ඒ වගකීම ඔහු භාරගන්නා ආකාරය අනුව ඔහුගේ චරිතය ගොඩනැගේ. ඒ ඒ සමාජ ඓතිහාසික තත්ත්වයන් තුළ අදාළ චරිත අගයනු ලැබේ. ඒ නිසා එක් සමාජ ‍ඓතිහාසික මොහොතක සිරිසඟබෝ අගයන අප තවත් සමාජ ‍ඓතිහාසික මොහොතක දුටුගැමුණු රජතුමා අගයමු.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !