Thursday, April 23, 2009

බස්නාහිර සහ පුදුමාතලන්

බස්නාහිර පළාත් සභා ඡන්දයේදී දූෂිතයන්ට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමසාරිස්තුමා ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙය තනිකර ම ඡන්දය කඩාකප්පල් වන ඉල්ලීමකි. මන්ද දූෂිතයන් පැත්තකට දමා යහපත් මිනිසුන්ට පමණක් ඡන්දය දීමට ඡන්දදායකයන් උත්සාහ කළොත් බස්නාහිර පළාත් සභාවට අවශ්‍ය සාමාජිකයන්ගෙන් අඩක්වත් සපයා ගැනීමට හැකි වන්නේ නැත. මෙවර පළාත් සභා මැතිවරණයේදී ඉතා ම නරක පූර්වාදර්ශයන් සැපයුවේ බස්නාහිර පළාත් සභාවයි. ලේ වැගිරීම් ඇතුළු නොයෙකුත් නරක ක්‍රියා මෙහිදී සිදු විය. එහෙයින් ඡන්දය හෙට (25 දා) වැනි දිනයකට යෙදී තිබියදී මැතිවරණ කොමසාරිස්තුමා දුන් උපදෙස් ඡන්දදායකයා අතරමං කරවන සුළු ය.

රජයේ නිලධාරීන් මෙසේ නිර්භීත ලෙස කතා කරන්නට පටන් ගෙන තිබීමෙන් පෙනීයන්නේ කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ තහවුරු වෙමින් පවත්නා බවයි. රටේ ඒ ඒ අංශවල ප්‍රධානීන් කොඳු කෙළින් තබාගෙන කටයුතු කිරීමට පටන් ගෙන ඇත. ජනාධිපති මහින්ද රාජපකෂ කිසිදු විදේශික බලවේගයකට නො නැවී නියම සේනාධිනායකයකු ලෙස යුද්ධයට නායකත්වය දෙයි. ත්‍රිවිධ හමුදාපතිවරු ඒ ආදර්ශය අනුව යමින් ජ්‍යෙෂ්ඨත්වයට නොව හැකියාවට තැන දෙමින් තරුණ යුද ප්‍රධානීන් ලවා යුද්ධය කරවයි. ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉතා වැඩි එහෙත් වැඩක් කර ගැනීමට නොහැකි අය කොළඹ සීත කාමරවලට ගාල් කර පරිපාලන කටයුතුවල යොදවා තිබේ.

මෙයින් කාරණා දෙකක් සිදුවේ. පළමු කොට යුද්ධය හරියට ක්‍රියාත්මක වෙයි. දෙවනුව, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ආත්ම ගෞරවය බේරෙයි. මෙවැනි යුද්ධයක් කිරීමට කොන්ද පණ ඇති ජන නායකයකු අත්‍යාවශ්‍ය ය. ණය නොදී සිටීමේ තර්ජන, සහනාධාර කපාහැරීමේ තර්ජන, සාම හමුදා එවා නිල නොවන මටිටමින් රට ආක්‍රමණය කිරීමේ තර්ජන යනාදිය කනකට නො ගෙන එන ඕනෑම දෙයක් භාර ගැනීමට සුදානමක් ඒ නායකයා තුළ තිබිය යුතු ය. ජනාධිපති මහින්ද රාජපකෂට ඒ සියලු ගුණාංග තිබිණ. ඊළඟට රටේ අගවිනිසුරුතුමා ඉතා නිර්භීත ලෙස යුක්තිය පසිඳලන්නට පටන් ගත්තේ ය. ඒ බව දුටු සෙසු විනිසුරුවන් ධනයට හෝ බලයට යට නොවී කුඩුවට දැමිය යුතු එකා කුඩුවට දැම්මේ ය. නිදහස් කළ යුතු අහිංසකයන් නිදහස් කළේ ය. මේ සියල්ල ම යහපාලනයේ පරමාදර්ශ වෙති. මුල යහපත් නම් අග දක්වා වු සියලු දේ ක්‍රමයෙන් යහපත් වීමට පටන් ගන්නේ ය. අතරමඟ ඇති නරක දේ ඉබේට ම හැලී පොළවට පස් වන්නේ ය.

බස්නාහිර පළාත ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින පළාතයි. හොඳ මිනිසුන් මෙන් ම හොරු ද, මංකොල්ලකාරයෝ ද, කුඩු වෙළෙන්දෝ ද, සටන්කරුවෝ ද මේ ඡන්දයට ඉදිරිපත් වුහ. එකම පකෂයේ අය මනාප වෙනුවෙන් මිනී මරා ගත්හ. මෙය "මගේ ප්‍රදේශය" ලෙස වෙන් කරගත් එකිනෙකා තමාගේ ම පකෂයේ කෙනකු එම ප්‍රදේශයෙන් මනාපයක් ලබාගැනීමට තැත් කළ විට කඩු පොලු ගෙන ඉදිරියට ආහ. සමහර අපේකෂකයන්ගේ පකෂ කාර්යාල සුරකෂිතව තිබුණේ දවසක් හෝ දෙකක් පමණි. තුන්වැනි දවසේදී කාර්යාලය එසේම තිබියදී අපේකෂකයාගේ බෝඩ් ලෑල්ල ගලවා විසි කළ වෙනත් අපේකෂකයෙක් එතැන පදිංචියට පැමිණි අවස්ථා තිබේ. මෙකී පුර්වාදර්ශවලට අනුව හෙට ඡන්දය පැවැත්වෙන විට බස්නාහිර පළාත සහ පුදුමාතලන් අතර වෙනසක් ඇති නො වනවා ඇත. එහෙත් එසේ නොවේවා! දකුණු පළාත සහ ඌව පළාත යන දෙකේ ද පළාත් සභා මැතිවරණ දෙකක් පැවැත්වීමට ඉතිරිව තිබේ. ඒවා යහපත් වනු ඇත්තේ මේවා යහපත් වන විට ය.

(දිවයින_09/04/24)

පසුවදන_මැතිවරණ කොමසාරිස්තුමාගේ ප්‍රකාශය සත්‍යයෙකි. එහෙත් ඡන්දදායකයාට හොඳ මිනිසුන් තෝරා ඡන්දය දීමට අවස්ථාවක් නැත. මන්ද අපේක්ෂකයින් තෝරන්නේ පක්ෂ විසිනි. මෙයින් බොහෝ දෙනා ඊට අවැසි අවම චර්යාවන් වත් ප්‍රකට නොකරති. ඒ නිසා ජනතාවට මේ අයහපත් අය අතරින් අඩු ම අයහපත් අය තෝරාගත හැකි ය. එහිදී ඔවුන් මේ රටට ආදරය කරන මිනිසුන් වීම අනීවාර්ය විය යුතු ය.

තම පක්ෂය හොඳ මිනිසුන් සිටින පක්ෂය නිසා මැතිවරණ කොමසාරිස්තුමාගේ කීම පිළිගෙන තමන්ට ඡන්දය දිය යුතු යයි සෝමවංශ අමරසිංහ මහතා පවසා තිබේ. මේ රටේ ජනතාව තරුණියගේ පිරිසුදුකම පමණක් පතා අවාහා විවාහ කරන යුගය අවසන් වී ඇති බව එතුමාට 26 වැනිදා අවබෝධ වනු ඇත. ඉස්සර කතාවට කීවේ කොළඹ කොල පාට බව ය. එහෙත් දොන් ජුවාන් වික්‍රමසිංහලාට සහ මැදවච්චි කිලිනොච්චි කරුණානායකටලාට පිං සිදුවන්නට මෙවරත් කොලඹ නිල් පැහැ වනු ඇත.

වසර තිහකට පසු ඒකීය රටක පැවැත්වෙන මේ මැතිවරණයේදී රජය මෙතෙක් ගෙන ගිය ක්‍රියාමාර්ග පිළිබඳ නාගරික ජනතාව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත. ඒ දෙස බලා රජයට සිය අඩුපාඩු සකසා ගත හැකි ය. බස්නාහිර මැතිවරණයට පෙර හෝ ඒ අතරතුර අපේ වීරෝදාර හමුදාවෝ ත්‍රස්ත ග්‍රහනයේ ඇති රටේ ඉතිරි බිම් කඩ ද ජනසතු කරනු ඇත. ඒ සඳහා සිංහ හමුදාවට සිංහ නායකත්වයක් සැපයූ දේශපාලන නායකත්වය වෙනුවෙන් බස්නාහිර ජනතාව හෙට සිය යුතුකම ඉටු කරනු ඇත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !