Wednesday, April 1, 2009

ගල්අඟුරු බලාගාර හෙවත් නැව ගිලුනත් බෑන්චුන්

පෙරවදන_අපේ රටේ දේශපාලකයින් ජනහිතකාමී වන්නේ ද පරිසර හිතකාමී වන්නේ ද විපක්ෂයේ සිටින විට ය. බලය නැති විට ය. බලය ඇති තුරා ඔවුහු මාරයින් ලෙස හැසිරෙති. ඔවුන් විපක්ෂයට ගිය වහා යළි රටේ අනාගතය පෙනෙන්නේ පටන් ගනියි. ඒ වෙනුවෙන් දිවිහිමියෙන් සටනට සුදානම් වෙති. 1993 රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙනා යූඇන්පිය, අද රාජ්‍ය සේවක කඩඉම් විභාගයට 6වරක් පමණ පෙනී සිට අසමත් වන්නන්ගේ සේවය අවසන් කිරීමට එරෙහිව කිඹුල් කඳුලු හෙළීම පසක් කරන්නේ ඒ සත්‍යයයි.

එම විභාගයෙන් 6 වරක් අසමත් වන්නෙක් යම්කිසි සේවාවක් නිවැරදිව කරන්නේ කෙසේ ද? රාජ්‍ය සේවය පිරිහෙන්නේ ඔවුන් නිසා නොවෙ ද?එවැනි පිංගුත්තරයින් රාජ්‍ය සේවයට රිංගවන්නේ ඉන්තේරුවෙන්ම දේශපාලකයින් ය. දේශපාලන පන්දම්කාරයින් ලෙස රාජ්‍ය සේවයට පිවිස ඇති මෝඩයින් මේ පනතට එකඟ නොවනු ඇත. ඒ තමන්ට කිසිදා විභාගයක් සමත් කළ නොහැකි බව ඔවුන් දන්නා හෙයිනි. මෑත අතීතයේ යම් දේශපාලන පරිනත බවක් ප්‍රකට කළ ජවිපෙ ද අද හුදු මෝඩ ජනප්‍රියතාව පසුපස දුවමින් 'මේ රටේ මෝඩයින්' සමග අත්වැල් බැඳගැනීම කෙතරම් උත්ප්‍රාසජනක ද?

එහෙත් අද මෙහි ලියැවෙන්නේ බලයේ සිටියදී ම රට ගැන හිතා දේශපාලකයෙක් ගත් තීන්දුවක් ගැන ය. ඔහුගේ ඇතැම් දේශපාලන අදහස් සමග අපේ එකඟතාවක් නැත ද ඔහු කළ හොඳ දේ හොඳ යයි කියන්නට අප පැකිළෙන්නේ නැත. මේ ඒ ගැන ලියවුණකි.

නොරොච්චෝලේ සහ සාම්පුර්වල ඉදිවන ගල්අඟුරු බලාගාර දෙකට අමතරව ත්‍රිකුණාමලයේ ඉදිකිරීමට නියමිත මීළඟ ගල්අඟුරු බලාගාරයට විරුද්ධව පාරිසරික සහ ස්වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ක්‍රියා කිරීම හේතුවෙන් එය අත්හිටුවීමට සිදුවීම ගැන වැදගත් ප්‍රවෘත්තියක් අසන්නට ලැබිණි. ජනමාධ්‍ය තුළින් එතරම් ප්‍රචාරයක් මේ සඳහා ලැබී නොතිබුණද, පාරිසරික ඇමැතිවරයාගේ මෙම විරෝධය තදින් විමසා බැලිය යුතු කාරණයකි. එසේම ඔහුගේ මෙම තීරණය පරිසරවේදීන්ගේ ප්‍රශංසාවට බඳුන් විය යුතු සහ ජගත් අවධානයට ලක්විය යුතු කාරණයක් ද වෙයි.

පාරිසරික ඇමැතිවරයා තම රජය මගින්ම සැලසුම් කළ මෙවන් වැදගත් ව්‍යාපෘතියකට විරෝධය පළකොට එය අත්හිටුවීම දක්වා ක්‍රියා කළේ ඇයිද යන්න බොහෝ දෙනකු විමසීමට බඳුන් කරනු නොඅනුමානය. සැබැවින්ම අපට කියන්නට ඇත්තේ ද ඔහුගේ මෙම තීරණය අනාගතය දෙස බලා අනාගත පරම්පරාව දෙස බලා ගහේ - කොළේ, මේ මහ පොළොවේ හෙට දිනය ගැන සිතා ගත් දුරදර්ශී තීරණයක් බවයි.

මේ පිළිබඳව අප පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගෙන් විමසීමේදී ඔහු එය වඩාත් විග්‍රහ කළේ මේ අයුරිනි.

"රටේ දැන් විදුලිබල අර්බුදයක් පවතින බව සැබෑව. ඒ නිසා තමයි අපි අනිකුත් බලාගාරවලට අමතරව නොරොච්චෝලේ සහ සාම්පුර්වල ගල්අඟුරු බලාගාර දෙකක් හදන්න එකඟතාව පළ කළේ. එහෙත් අප පිළිගත යුතුයි ගල්අඟුරු දහනයේදී අතිවිශාල ප්‍රමාණයක් හරිතාගාර වායුන්, දුෂකකාරක මේ වායු ගෝලයට මුදාහැරෙනවා. මේ මගින් අම්ල වැසි ඇතිවෙන්න ඉඩකඩ වැඩියි. ගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න අපි උදව් කරනවා. ඒකේ ප්‍රතිඵල සමස්ත ලෝක ජනතාවට වගේම අපිටත් නැවත කැරකිලා බලපානවා. අයිස් කඳු දියවෙලා. මුහුදු මටිටම වැඩි වෙනකොට අපේ වගේ දුපත් රටවල් මුහුදු වතුරට බිලි වෙනවා. පානීය ජලයට කරදිය මුසු වෙනවා. කලපු, කෙත්වතු කරදියට හසු වී ආහාර නිෂ්පාදනය අඩාල වෙනවා. ජෛව විවිධත්වය හානියට ලක්වෙනවා. ලෝකයම විනාශයට ඇදගෙන යනවා. කොටින්ම පරිසරයට මුදාහරින ඒකපුද්ගල කාබන් ප්‍රමාණය තවත් විශාල ලෙස අපි වැඩි කරනවා.

මිහිතල උෂ්ණත්වය පාලනය කරන, වායුගෝලයට හරිතාගාර වායු දුෂක වළක්වන්න තීරණය කරපු "කියොතෝ" සම්මුතියට අපිත් අත්සන් කර තියෙනවා. එක් පැත්තකින් ඒවාට සහාය දෙමින් තවත් පැත්තකින් වායු ගෝලය දුෂණය කරන්න අපට බැහැ. අපි වචන දෙකක් කියන, එකක් කියල තව එකක් කරන ජාතියක් නෙමේ. ඒ නිසා තවත් ගල්අඟුරු බලාගාරයකට යන්නට අපට උවමනා නැහැ.

අනිත් කරුණ තමයි 2015 පමණ වන විට අපේ රටේ විදුලිබල අතිරික්තයක් ඇතිවෙනවා. ඒක කාටවත් නැහැ කියන්න බැහැ. ඉහළ කොත්මලේ වැනි බලාගාර හැදෙනවා. එවන් තත්ත්වයක් තුළ විදුලිබල කෙෂ්ත්‍රයේ පණ්ඩිතයින් තමයි මේ වගේ අනවශ්‍ය ගල්අඟුරු බලාගාරවලට උපදෙස් දෙන්නේ, විදුලිබල අතිරික්තයක් ඇති නොවේ කියනව නම් ඒ ඕනම කෙනෙක් සමඟ මා විවාදයකට එන්න සුදානම්.

ඉතින් ඇයි තවත් පරිසරය විනාශ කරන බලාගාර හදන්නේ. ඇයි අපට පුනර්ජනනීය බලශක්තිය පැත්තට යන්න බැරි. ලෝකයම පරිසරය රුකගන්න, මහපොළොව රුකගන්න කතා කරනවා. ජල විදුලිය, හිරු රශ්මිය, සුළං බලශක්තිය, ජෛව ඉන්ධන ගැන කතා කරනවා. ඒ විතරක් නෙමේ අපිත් කතා කරනවා. කතා කර කර අපි රිවස් එකට යනවා. ලෝකයෙන් ඉවත්වෙලා යන පොසිල ඉන්ධන ගැන කතා කරනවා. එක්දහස් අටසිය ගණන්වල තිබුණු ගල්අඟුරුවලට අපි ආයිමත් යනවා. "මොකක්ද මේකෙ තේරුම" ඇමැතිවරයා පැවැසීය.

ඒකපුද්ගල කාබන් විමෝචනය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා පහළ මටිටමකය. අපේ රටේ පුද්ගලයකු වාර්ෂිකව පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය කිලෝග්‍රුම් 600 කි. එහෙත්, ඔබ දන්නවාද? එක් ඇමරිකානුවකු වාර්ෂිකව කාබන් කිලෝග්‍රුම් 24000 ක් පරිසරයට මුදාහරී. ලෝක ගෝලය උණුසුම් වී අද අප වැනි රටවල් මුහුදේ අණසකට යටවෙද්දී තවමත් කියොනෝ සම්මුතියට පයින් ගසා සිටින්නේ ද මේ මහා දුෂකයාමය.

එහෙත්, හෙළයින් ලෙස අනාදිමත් කලක පටන් පරිසරය සමඟ දිවි ගෙවු අපට පරිසරයට එරෙහි විය නොහැකිය. කොටින්ම වෙනත් විකල්පයක් තිබුණා නම්, නොරොච්චෝලේ සහ සාම්පුර් ගල්අඟුරු බලාගාර දෙකටත් අප ඉඩ නොදිය යුතුව තිබිණි. පාරිසරික ඇමැතිවරයා කියන පරිදි ඒ බලාගාර දෙකට ඉඩ දුන්නා හොඳටෝමත් ඇතිය. තවත් පව් නම් අප නොකළ යුතුය. තවත් පරිසර විනාශයක් නම් අප නොකළ යුතුය. විනාශයේ හවුල්කරුවන් නොවිය යුතුය.

අපේ අනාගත බලශක්තිය පුනර්ජනනීය බලශක්තිය විය යුතුය. එනම් නැවත නැවත ජනනය කළ හැකි, එහෙත් පරිසර හිතකාමී ක්‍රමවේද වෙත යොමු වීමය. පරිසර අමාත්‍යාංශය හරහා දැනටමත් ජීව ජවය නමින් වැට එඬරු වැනි ජෛව ඉන්ධන ශාක වගා කිරීම අරඹා ඇත. අප තාමත් සිටින්නේ සුර්ය විදුලි නිෂ්පාදනයේ අගු පිලේය. සුළං විදුලි නිෂ්පාදනයෙහි ඇත්තේ දශම ගණනක සාර්ථකත්වයකි. මුහුදු රළ බලය ගැන හිතාවත් නැත. එහෙත් "හක්කේ බුදු රුස් බොක්කේ දඩමස්" කියන්නාක් මෙන් පරිසරය ගැන හිත හිතා පරිසරය ගැන කිය කියා අප කරන්නේ වෙනත් දෙයකි. රටට ලෝකයට ගැලපෙන දෑ තිබියදී තවත් කොටසක් විශ්වාසය තබන්නේ බලශක්තියේ දෙවියා ගල්අඟුරු හෝ වෙනත් තාප බලාගාරයක් බවය. බොහෝ විට ඒ දෙවියන්ටත් වඩා දෙවියන්ගේ මලනුවන් ගැන සිතා විය හැකිය. රටේ බලශක්තිය පිළිබඳව අවශ්‍ය වන්නේ නම් විවාදයකට වුව සුදානම් බව පරිසර ඇමැතිවරයා පවසන බැවින් මේ පුවතේ පසුබිම අපට දැන් පැහැදිලිය.
ජගත් කණහැරආරච්චි
(දිවයින_09/04/02)

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !