Wednesday, April 8, 2009

සිංහල අවුරුද්ද ජාතික උත්සවයක් වන හැටි

පෙරවදන_වසර 30ට පස්සේ එක කොඩියක් යට මුළු රට ම අලුත් අවුරුද්ද සමරන මේ මොහොතේ හැමෝට ම සුබ අලුත් අවුරුද්දක් පතනවා. විවෙකයේ කියවන්න මේ ලිපිය. සම්ප්‍රදාය සංස්කෘතිය සිරිත් විරිත් ගැන අපේ රටේ ජීවත් වූ අදීන ප්‍රාඥයෙක් දැකපු විදිහ අපට අවබෝධ කරගන්න හොඳ ම අවස්ථාව මේක. අප අනාතගයේ යා යුතු මග හදුනා ගන්න මේ අදහස් සහන් එළියක් වෙනු නොඅනුමානයි.

මාර්ටින් වික්‍රමසිංහ (ක්‍රි.ව. 1890:1978) සුරීන් විසින් රචනා කරන ලද "සිංහල අවුරුද්ද ජාතික උත්සවයක් වු හැටි" නම්ඳෑවු මෙම ලිපිය 1970 වසරේ අප්‍රියෙල් මස රසවාහිනි සඟරාවේ පළ වුවකි. මෙම ලිපිය "බදාදා අතිරේකය" ට යොමු කරන ලද්දේ මහ දිසාවේ බණ්ඩාර ඇටිපොල විසිනි.

සියලු ශිෂ්ට මනුෂ්‍ය වර්ගයන්ගේ ආදිම මුතුන් මිත්තෝ වැද්දන් මෙන් ජීවත් වුහ. අනුවණකම, බොරු ඇදහිලි හා ළාමක අදහස් ද ඇසුරෙන් උපන් සිරිත් විරිත්, උත්සව වන්දනා මාන ක්‍රම ඔවුන් අතර උපන්නේය. ආදිකාලීන වැදි මිනිසුන්ගේ ළාමක හැඟීම් ඇසුරෙන් උපන් සිරිත් විරිත්, උත්සව හා වැඳුම් පිදුම් හැම ශිෂ්ට මනුෂ්‍ය වර්ගයන්ගේ සංස්කෘතීන්හිත්, ආගම්වලත් ඇත. වර්තමාන අපරදිග සංස්කෘතියෙහිත් සිංහල සංස්කෘතියෙහිත් කිතු සමයෙහිත්, බුදු සමයෙහිත් ආදි කාලීනයන්ගෙන් උරුම වු එවැනි සිරිත්, උත්සව හා වැඳුම් පිදුම්ද තවම පවතියි.

පැරුණි සිංහල ගැමි සිරිත අනුව බිම අතුරන ලද පැදුර වසාගත් සුදු රෙදි කඩ මතුයෙහි මනමාලිත් මනමාලයාත් නැගී සිටිති. විසුරුණු පොල් මල් දෙකක් ගත් පිත්තල කළ දෙකක් මතුයෙහි මැටි පහන් දෙකක් පත්තු වෙයි. පැදුරෙහි කෙළවරක කිතුල් මෝලක් ඇත. මනමාල යුවළගේ පා ඉදිරියෙහි පැදුරෙහි අතුළ සහල් සුදෙන් බැබළෙයි. ගැමියන් මනමාල යුවළ පෝරුවේ සිටුවුයේ මේ සිරිත් පැවැත්වීමෙනි. මේවා සුබ නිමිති පිළිබඳ කෙම් කිරීම් වෙයි. පැදුරෙහි සහල් වපුරනු ලැබීම මනමාල යුවළට අනාගතයෙහි සරුසාර ලෙස සහල් ලැබේවායි පැතෙන කෙමකි.

කෙම් කිරීම වනාහි කොඩිවින නමැති තිරශ්චීන විද්‍යාවෙහිම අංගයකි. මේ කොඩිවින විධි උපන්නේ ආදිකාලීන වනචාරි මනුෂ්‍යයන් අතරය. මෙකල තවමත් ම්ලේච්ඡයන් ලෙස ජීවත් වන මිනිසුන් අතර මේ කොඩිවින විධි බහුලව ඇත. මේ තිරශ්චීන විද්‍යා විධි අරබයා අවුරුදු ගණනාවක් පර්යේෂණයන් පැවැත්වු මානව විද්‍යාඥයෝ ඒ කෙම් විධි අනුකරණ මන්ත්‍ර (mimetic magic) සංක්‍රමණ මන්ත්‍ර (contagious magic) යනු විසින් දෙවර්ගයකට බෙදුහ. මේ මන්ත්‍ර විධිවල උපත නොතකා සමාජ ධර්ම විශේෂයක් ලෙස සලකන වර්තමාන මානව විද්‍යාඥයෝ ජනක මන්ත්‍ර (productive magic), ආරක්ෂක මන්ත්‍ර (protective magic), කොඩිවින (destructive magic) යනු විසින් තෙවර්ගයකට බෙදති.

මනමාල යුවළ නැගී සිටින පැදුරෙහි සහල් වැපිරීම සහල් සුලභ කෙරෙන අනුකාරක කෙමකි. සමාජ විද්‍යාව අනුව එය ජනක මන්ත්‍ර විශේෂයකි. මේ තිරශ්චීන විද්‍යා විධි අප අතර පමණක් නොව බටහිර උසස්ම ශිෂ්ට ජාතීන් අතරද ආසියාවේ ම්ලේච්ඡ ජාතීන් හා ශිෂ්ට ජාතීන් අතරද නොයෙක් වෙසින් තවම පවතියි. පැදුරෙහි සහල් වැපිරීම වැනි සිරිත් ඉන්දියාවේ ඇතැම් වනචර ජාතීන්ගේ සිරිත් විස්තර කරන ඩබ්ලියු. ක්රුක්, මනමාලියගේ උකුළෙහි පළා වර්ග හෝ ධාන්‍ය වර්ග හෝ පිරවීම ඔවුන් අතර පැවති විවාහ සිරිත්වලින් එකක් යැයි මීට අවුරුදු හතළිහකට පමණ උඩදී පළ කරනු ලැබු (customs of the world) නමැති පොතෙහි නිබන්ධයක ලා කීය.

ආදිකාලීන ම්ලේච්ඡයන් අතර උපන් මේ තිරශ්චීන විද්‍යා විධි මෑත කාලය වන තෙක් එංගලන්තයෙහි පැවැත්තේය. මිනිසුන් පල්ලියට ගොස් කසාද බඳින යුවළ වෙත "සරුවේවා" යි පතමින් හැසල් ඇට වීසි කිරීම එංගලන්තයෙහි පැවැති සිරිතක් විය. එය පසු කලක වෙනස් විය. හැසල් ඇට වෙනුවට සහල් වීසි කිරීම මංගල සිරිත විය. එය පෙර දිගින් ණයට ගන්නා ලද සිරිතක් යැයි ඇස්. බෙරිංගුල් දේවගැති a book of folk lore යන පොතෙහි පාට කඩදාසි කුඩුවලින් මනමාල යුවළට ගැසීම හාල්වලින් ගැසීමේ සිරිත ඇසුරෙන් ඇතිවු මංගල සිරිත යැයි ඔහු කියයි. නගරයේ සිංහලයන් පාට කඩදාසි කුඩුවලින් මනමාල යුවළට ගැසීම ඉංගිරිසින්ගෙන් ණයට ගත්තක් වුවද අප සහල් වැපිරීමෙන් පැවැත්වු කෙම් සිරිතෙහිම විපරිණාමයකි.

මා මේ කරුණු කීවේ ජාතිය පිළිබඳ සමහර පැරුණි සිරිත් අවිචාර ලෙස බැහැර කිරීම ස්වාධීන බුද්ධි ගෝචර ක්‍රියාවක් නොවන බව හඳුන්වනු පිණිසය. සිංහල අවුරුදු උත්සවය ද ඒ පිළිබඳ තිරශ්චීන විද්‍යාත්මක නැකැත්, කෙම් කිරීම් ආදිය ගැන සිතා එය බැහැර කරනු ලැබීම සදොස් ය. බෞද්ධ, හින්දු, කිතුනු, මුස්ලිම් ආදී ආගම් අදහන්නන්ද එක්ව සිංහල අවුරුදු උත්සවය පැවැත්විය යුතුය. එය ලංකාව මවුබිම කොට වෙසෙන සියලු ජනයා එකම වර්ගයක් ලෙස රට පිළිබඳ පොදු ප්‍රශ්නවලදී එක්ව නැගී ක්‍රියා කිරීමට හික්මවන උත්සවයකි.

කුමන මිථ්‍යා මතාන්තර ඇසුරෙන් උපන්නත් ජාතික ආගමික චාරිත්‍ර සහිත ඇතැම් ලෞකික උත්සව, බෞද්ධ, හින්දු, කිතුනු, මුස්ලිම් ආදී වෙනස් වෙනස් ආගම් අදහන්නන් විසින් පොදු ජාතිය පිළිබඳ උත්සවවලට හරවාගත හැකිය. එකම දේශයක් මවුබිම කොටගෙන වෙසෙන අපගේ ආගම හා ජාතීන්ද පිළිබඳ වෙනස්කම්වලට යටින් ඇති ඒකමිතිය ගැන හැඟීමක් ඒ නිසි මිනිසුන් තුළ වැඩෙයි.

1968 ජනවාරි මාසයෙහි මම මාසයක් පමණ කියුබාවේ හවානා නගරයෙහි ගත කළෙමි. එහි දෙසතියක් තිස්සේ පැවැත්වුණු සංස්කෘතික සම්මේලනයට එකතුවුණු මම කියුබාවේ ජනයාගේ සංස්කෘතියෙහි ඇතැම් කරුණු පිළිබඳ මඳ දැනුමක් ද ලැබීමි. එයින් එකක් දෙකක් මගේ සිත් ගත්තේය. එහි සුදු මිනිසුන් අතර ස්පාඤ්ඤ ජාතිකයන් පමණක් නොව ප්‍රන්ස, ඉතාලි ජාතිකයන්ගෙන් පැවැත එන්නෝද වෙති. කළු මිනිසුන් අතර නිග්රෝ, රතු ඉන්දියානු, චීන සහ තවත් ජාතිකයෝද වෙති. මේ සියලු දෙනාම වර්ණ භේදයෙන් තොරව එකම බසක් කතා කරන කියුබාව මවුබිම කොටගෙන වෙසෙන එකම ජාතියක් ලෙස දැන් ජීවත් වෙති. ඔවුන් ආගමික උත්සව පවා පවත්වන්නේ කළු සුදු ජාතීන්ගේ සිරිත් විරිත් ආදියේ සංකලනයෙන් උපන් පොදු සිරිත් වෙසෙස් ගුරු කොටගෙනය.

මම කියුබන් ජනයාගේ නව කලාගාරය බැලීමට ගියෙමි. එය තනා නිමකොට විවෘත කරන ලද්දේ ජනවාරි මාසයේමයි. කියුබන් ජාතීන්ගේ චිත්‍ර ප්‍රතිමා කලාවන්ගේ උපත හා ක්‍රම විකාශය දැක්වෙන චිත්‍ර ප්‍රතිමා රාශියක් එහි විය. කියුබන් චිත්‍ර කලාව උපන්නේ ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පය ගුරු කොටගෙනය. අනතුරුව එය පැරුණි ප්‍රන්ස චිත්‍ර කලාව අනුව වෙනස් විය. එය සිදු වුයේ ප්‍රන්ස කලා ඇකඩමියේ ඇදුරකු කියුබාවේ චිත්‍ර ප්‍රතිමා කලා විද්‍යාලයේ නායකයකු ලෙස පත්කරනු ලැබීමෙන් පසුය.

1897 දී වික්ටර් මැනුවෙල් ගාර්සියා නමැති කියුබා ජාතික කලාකාරයා ස්පාඤ්ඤ ප්‍රන්ස චිත්‍ර කලා සම්ප්‍රදායයන් බැහැර කොට ස්වාධීන චිත්‍ර කලා සම්ප්‍රදායක් නිපදවුයේය. ඔහු ඒ සඳහා ස්පාඤ්ඤ චිත්‍ර කලාවෙන් පමණක් නොව නීග්රෝ, මැක්සිකෝ, චීන ජාතිකයන්ගේ චිත්‍ර කලාවලින් ද ආවේශය ලැබුවේය. ඔහුගෙන් පසු කියුබා චිත්‍ර ප්‍රතිමා කලාකාරයන්ගේ චිත්‍ර ප්‍රතිමා නිග්රෝ, ලතින් ඇමරිකානු, මැක්සිකෝ ආදී ජාතීන්ගේ චිත්‍ර ප්‍රතිමා ලක්ෂණ හා ඉස්පාඥ්ඤ ප්‍රන්ස චිත්‍ර ප්‍රතිමා ලක්ෂණද සංකලනයෙන් උපන් ස්වාධීන වේශයක් ගත්තේය. කතෝලික සමයානුකුල චිත්‍රවල පවා මේ සුදු, කළු, රතු, කහ පාට ජාතීන්ගේ චිත්‍ර කලා සංයෝජනයෙන් උපන් ස්වාධීන ස්වරුප හා ලක්ෂණ දක්නා ලැබේ.

මා ද කියුබාවේ සිටියදී එහි ජනේරු උත්සවය පවත්වනු ලැබීය. ඇතැම් උත්සවයක් පවත්වන ලද්දේ එක්වු සුදු, කළු, රතු වර්ගවල ගෑනුන් හා පිරිමින් විසිනි. නිග්රෝ මනුෂ්‍යයන්ගේ බෙර වාදනය, නැටුම් හා පොදු කෙම් සිරිත් ද ඒ ජනේරු උත්සවයට පිවිසියේය. ස්පාඤ්ඤ බස මවුබස කොටගෙන මේ සුදු, කළු, රතු, කහ පාට වර්ගවල මිනිසුන් එක්වු එකම වර්ගයක් ලෙස තිරශ්චීන විද්‍යා විධිද සහිතව ජාතික ආගමික උත්සව පැවැත්වීම ජාතික ඒකමිතිය පළ කෙරෙන ලකුණකි.

අපේ උරුමය, සම්ප්‍රදාය යන නම්වලින් හැඳින්වෙන්නේ සාහිත්‍ය කලා පමණක් නොවේ. සිරිත් විරිත්, මිථ්‍යා විශ්වාස, කෙම් කිරීම්, ආදිය ද අපේ උරුමයෙහි අංග වෙයි. විද්‍යාව හා තර්කය ගුරු කොටගෙන විමසන විට මේ සියල්ල මනුෂ්‍ය වර්ගයාගේ ආදි මුතුන් මිත්තන් හෙළු වැද්දන් ලෙස ජීවත් වු කාලයෙහි පැවති අන්ධ විශ්වාස ඇසුරෙන් උපන්නයි සිතන්නට අනුබල දෙන සාක්ෂ්‍ය ලැබේ. එහෙත් එකම රටක්, බසක්, සංස්කෘතියක් උරුමය කොටගෙන ජීවත් වන අවිච්ඡින්න ජාතියක්, වර්ගයක් ලෙස ඒවා අපට ඉඳුරා බැහැර කළ නොහැකිය. පුද්ගලයන් වශයෙන් අප එකිනෙකාට ඒවා බැහැර කළ හැකිය. එහි වරදක් නැත. එහෙත් එකම වර්ගයක්, ජාතියක් වශයෙන් බැඳී ජීවත් වන්නටත්, දියුණු වන්නටත් කැමැති නම් අතීත උරුමය ලෙස හැඳින්වෙන සමහර දේ අපගේ ශික්ෂණය, යහපත, සමගිය හා ආරක්ෂාව ද සඳහා වහල් කොටගත හැකිය.

පැරුණි හැමදේම වෙනස්විය නොදී ඒ විධියෙන්ම රුකගත යුතු යැයි කියන ශ්‍රුතිවාදයක් අපට නැත. ශ්‍රුති:අනුශ්‍රුති වාදයක් හා අනික් සියලු මළප්‍රේත වාදයන්ද බුදුන් වහන්සේ බැහැර කළ හා බැහැර කරන්නට බෞද්ධයන්ට නිදහස දුන්හ. මළප්‍රේත වාදයන් බැහැර කරන්නට වුවද සාමුහිකව මළප්‍රේතයන් සිහි කිරීමෙන් ජාතියක අවයවයක් වශයෙන් ජාතිය හා මනුෂ්‍ය වර්ගයා පිළිබඳ සුහද හැඟීමක් ලැබිය හැකිය.

ආදි කාලීන වැදි මිනිහා යකුන්, දෙවියන්, පෙරේතයන් පිළිබඳ විශ්වාසයන් ගෙන් පිරුණු හිසක් ඇතිව ජීවත් වුයේ හිසින් ගත යුතු ප්‍රයෝජනයෙන් එකක් එය වු බැවිනියි ජී. කේ. චැස්ටර්මර්න් නමැති ඉංගිරිසි ලේඛකයාගේ නිබන්ධනයක එන කියුමකි. ආදිම වැදි ජනයා එකට එක්කොට එකම වර්ගයක් ලෙස බඳින ලද්දේ මේ මිථ්‍යා විශ්වාසයන් විසිනි. ඒ ඇදහීම විසින් හික්මවා ඔවුහු එකම වර්ගයක් වශයෙන් නොබඳිනු ලැබුවාහු නම් උන් එකිනෙකා ඇන කොටාගෙන මැරෙනු ඇත. නොඑසේ නම් එකිනෙකා මරා උන්ගේ මස් කා ජීවත්වන පෝරිසාදයන් වනු ඇත.

සිංහල අලුත් අවුරුද්ද හෝරා ශාස්ත්‍රය නමැති තිරශ්චීන විද්‍යාව ඇසුරෙන් උපන්නක් වැන්න. එහෙත් එය සිංහලයන් දෙමළුන් හා මරක්කලයන්ද එක්ව අවුරුද්දක් පාසා පැවැත්විය යුතු උත්සවයකි. එය පාසල් සිසුන්ගේ වාර්ෂික තරග පන්දු කෙලීමෙන් සියලු ජාතීන් එක්ව සුහද සිතින් පැවැත්විය යුත්තකියි මම සිතමි. එයින් ජාතියක් වශයෙන් ලක්දිව වෙසෙන අප හැමට හික්මීමක් හා සාමුහික සමගි හැඟීමක් ද ලැබිය හැක.

මීට අවුරුදු තිහ හතළිහකට පෙර අවුරුදු උත්සවය ගැමි පවුල්වල නෑයන් පමණක් නොව ගමේ උසස් පහත් සියලු දෙනාම එක්ව පවත්වන ලද සැණකෙළියක් විය. සුබ මොහොතින් ළිප ගිනි මොලවා උයන ලබන කිරිබත්, බත් මාළු පිනි ආදිය බිම අතුළ පැදුරු මතුයෙහි වු සුදු ඇතිරිල්ලෙහි තබනු ලැබේ. පිඟන් වෙනුවට ගින්නෙන් තවන ලද කෙසෙල් කොළ කෑලිවලට බෙදා ගන්නා කෑම වැඩකාරයන් වැඩකාරියන් ඇතුළු ගෙහිමියෝත්, දරුවෝත් දැරියෝත් එකට වාඩිවී කෑහ.

අවුරුදු බත කෑමෙන් පසු දරුවෝත් දැරියෝත් වැඩකාරියෝ හා වැඩ කාරයෝත් පිටතින් එන ඉහළ පන්තියේ හා ඉහළ පන්තියේ නෑයන් හා එක්ව බිම වාඩිවී පංච කෙළියෝය. තෑගි හුවමාරු කරගත්හ. පොල් කඩන බැලයාගේ දරුවාගේ පටන් ගමේ මුහන්දිරම්ගේ දරුවා දක්වා වන සියල්ලෝම දෙපිලට බෙදී පන්දු ගැසුහ. පැරදුණවුන් වාඩි කරවා දිනු පිලේ දරුවෝ ජල්ලි කවි කියමින් දරුණු ලෙස ඔවුන්ට සරදම් කළහ. ඒ කවි හා සරදම් ඉවසන්ට පුළුවන් ළමයි දැන් ගම්වලද නැත.

අලුත් අවුරුද්ද ගම්වල පවත්වන ලද්දේ සිංහල සම සමාජ උත්සවයක් ලෙසිනි. එය උපන්නේ ගම්වල පැවැති වැඩවසම් ක්‍රමය, අත්තමට වැඩකිරීම් හා පැරුණි සමුපකාර ක්‍රමයද නිසාය. කරෝලිස් අයියා නමින් කුලී වැඩ කරන්නා ද, කරත්තකාරයා අල්ලිස් අයියා නමින්ද, රෙදි සෝදන ගැහැනිය රිදි නැන්දා නමින්ද, ගමකතා කියා දරුවන් සන්තෝස කොට ගෙදරකින් බත් වේලක් කන්නා අන්දො අයියා නමින්ද හඳුන්වන ලද්දේ ගම්වල පැවැති පැරුණි සමාජ ක්‍රමය නිසාය. අවුරුදු උත්සවය පැරුණි සිංහල සමසමාජ ජීවන ක්‍රමය පිළිබිඹු කරන සැණකෙළියකි.

සිංහල අවුරුදු උත්සවය ජාතික උත්සවයක් ලෙස පළමුවරට කොළඹ නගරයේ පවත්වන ලද්දේ 1914 දී යැයි මම සිතමි. ඒ උත්සවයට බෞද්ධ ක්‍රිස්තියානි සිංහලයෝ එක්වුහ. ඒ උත්සවයට මඟ එළිකරන ලද්දේ නැසීගිය :ෙ. සයිමන් ද සිල්වා දේවගැතිතුමා හා සිංහල තරුණ සංගමය ද විසිනි. ඊ. ඒ. අබේසේකර මුදලිඳු ද සිංහල තරුණ සංගමයේ ලේකම් කෙනකු ලෙස ඉතා උනන්දුව වැඩ කළේය.

ඒ කාලයෙහි "රිවි කිරණ" පත්‍රයෙහි සංස්කාරකකම කළ :ෙ. සයිමන් ද සිල්වා දේවගැතිතුමා ජාතික පිබිදුම හා සිංහල අවුරුදු උත්සවය ද අරබයා මහත් උනන්දුවකින් තම පතෙහි කතුවැකි හා ලිපිද පළ කළේය. ඔහු සිහංල තරුණ සංගමයේ ආරාධනය අනුව 1913 ඔක්තෝබර් 2 වැනිදා ආනන්ද විද්‍යාලයෙහි කථාවක් කළේය. "ජාතික පිබිදුමෙහි ඇතැම් අංග" යන මැයෙන් කළ ඒ කතාව ඇසීමට රුස්වුවන්ගේ සභාවෙහි මුලසුන ගැනීමට පෝල් ඊ. පීරිස් මහතා ප්‍රතිඥා දී තිබිණි. ඔහු නොපැමිණියෙන් ඒ. මැන්දිස් ගුණසේකර මුදලිඳු මුලසුන ගත්තේය.

මේ පිබිදුම පැතිරෙන්නට වුයේ 1914 දී පළමුවර ජාතික උත්සවය කොළඹ නගරයේ පත්වනු පිණිස සිංහල තරුණ සංගමය හා දේවගැති :ෙ. සයිමන් ද සිල්වා ද උනන්දුවෙන් ක්‍රියා කළ බැවිනි. එහෙත් මිථ්‍යා විශ්වාසයන් ඇසුරෙන් උපන් සිංහල අවුරුදු සිරිත් පැවැත්වෙන දවසේ පොදු ජාතික උත්සවයක් පවත්වනු ලැබීමට සමහරු තරයේ විැරද්ධකම් පෑහ. ඔවුහු එය සරදමටත් උපහාසයටත් හසු කළහ. ඒ බාධා ජය ගනිමිනි. 1914 අප්‍රේල් 13 දා කොළඹ නගරයෙහි ජාතික උත්සවය පළමුවරට පවත්වන ලද්දේ උත්සවය පිළිබඳ විස්තරයක් :ෙ. සයිමන් ද සිල්වා දේවගැති තුමාගේ දින පොතෙහි ඇත. එයින් කොටසක් මෙහි බහාලමි.

1914 අප්‍රේල් 13 දා

"සිංහල අවුරුදු දවස, ලංකා ඉතිහාසයෙහි මේ දවස සිහි කටයුතු එකක් ලෙස සටහන් වෙතැයි මම සිතමි. සිංහල මිනිසුන් පළමුවරට ජාතික උත්සවය පවත්වනු සඳහා සමගිව නැගී සිටින බැවිනි. උත්සවය බලාපොරොත්තු ඉක්මවා සාර්ථක විය. උත්සවය පිළිබඳ කටයුතු සම්පාදනය කරන ලද්දේ සිංහල තරුණ සංගමය විසිනි. ඩී. බී. ජයතිලක, හෙන්රි ද මැල්, දොස්තර සොලමන් ප්‍රනාන්දු හා ඇල්. ඩබ්ලිව්. ඒ. ද සොයිසා වැනි ප්‍රභු දනෝද සිංහල තරුණ සංගමයට එක්ව ඔවුන්ට අනුබල දුන්හ.

අන් කිසිවකුට ආරාධනා නොකරන ලදින් එය සිංහලයන්ගේම උත්සවයක් විය. එදින පැවැත්වුණු නා නා විධ සෙල්ලම් සිංහල වර්ගයාගේය. කිරිබත් ඇතුළු කෑම බීමද සිංහලයන්ගේම ආහාරපාන වර්ග විය. රුස්වු පිරිස ඉතා විශාලය. දස දහසක පමණ ජනකායක් වුහයි මම සිතමි. දැඩි හිරු රුසක් ඉඩකඩ මදිකමත් බාධකයන් වුවද උත්සවය අවසාන වන තුරුම දැඩි උනන්දුවක් පැවැත්තේය. හැමෝම සැණකෙළි හැඟීමෙන් පිබිදුණෝය. ජාතික හැඟීම තරග මාලාවක් සේ සමුහයා අතර පැතිරිණයි මම සිතමි.

මහ සභා රුස්වීම පවත්වන ලද්දේ පෝල් ඊ. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙනි. සර් ක්‍රිස්ටෝපල් උබේසේකර මහ මුදළිඳු හා තවත් අය සභාපතිට එක්වුහ. කතා පවත්වන ලද්දේ සිංහලෙනි. ඩී. බී. ජයතිලක, ආර්. බටුවන්තුඩාවෙ, දොස්තර සොලමන් ප්‍රනාන්දු, හැන්රි ද මැල් හා :ෙ. ඇම්. සෙනෙවිරත්නද කථිකයන් අතර වුහ. මම ද සැණකෙළි සමයට අනුව කතාවක් පැවැත්වු වෙමි. ජාතියේ අනාගතය පිළිබඳ උදාර අදහස් හා සිතුම් පැතුම්ද කථිකයෝ ප්‍රකාශ කළහ. සභාවට පැමිණ කතා කිරීමට මුහමලේ මහතාට ඉඩ නොලැබිණි. ඒ. ඇස්. අමරසේකර දේවගැතිතුමා සහ තවත් බොහෝ දෙනෙක් සුබ පැතුම් පණිවවිඩ එවුහ.

එය සිහි කටයුතු උතුම් දිනයක් විය.

1921 අවුරුද්ද තෙක් ජාතික උත්සවය අවුරුද්දක් පාසා පවත්වන ලදී, ඒ පිළිබඳ සටහන් සයිමන් ද සිල්වා දේවගැති තුමාගේ දින පොතෙහි දක්නා ලැබේ. 1916 දී මහනුවර රුජින හෝටලයෙහි ජාතික උත්සවය නිමිත්තෙන් භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. ඒ උත්සවයට බර්ගර් ජාතිකයෝත්, ද්‍රවිඩයෝත් එක්වුහ. 1927 දී ජාතිකෝත්සවයත් ඒ පිළිබඳ උනන්දුවත් අභාවයට ගියේය. සයිමන් ද සිල්වාගේ දින පොතෙහි ඒ පිළිබඳ සටහන මේය.

1927 අප්‍රේල් 23 වෙනිදා,

සිංහල අවුරුදු දවස හෙටයි. අවුරුදු දොළහකට පමණ උඩදි අප මේ දවස නිමිති කොට පැවැත්වීමට ආරම්භ කළ ජාතිකෝත්සවය යළිත් නැගිය නොහැකි සේ යට ගියේය. එය පැරුණි විදියෙන් පොදු ජනකාය තවම පවත්වති. ප්‍රදර්ශනයක හා නාටකයක ස්වරුපයෙන් ජාතිකෝත්සවය පත්වන්නට පටන් ගනු ලැබීමත් අවුරුදු කීපයකදී එය කෙමෙන් මියයෑමත් පුදුම ධර්ම යෝගයකි..."

:ෙ. සයිමන් ද සිල්වා අවුරුදු ගණනාවක් "කාලීන ලිපි" මැයෙන් සතිපතා දේශපාලන විවේචන ලිපියක් දිනමිණට ලියුවේය. දේවගැතිවරයකු වු ඔහු ඇතැම් කරුණු තම සමය අනුව විවේචනය කළේය. මෙය නොඉවසු සමහරු කාලීන ලිපිය දිනමිණෙහි පළ නොකළ යුතු යැයි ඩී. ආර්. වි:ෙවර්ධන මහතාට කීය. වි:ෙවර්ධන මහතා දවසක, මේ යෝජනාව ගැන මා සිතන්නේ කුමක් දැයි ඇසුවේය. "ඒ ලිපිය වැදගත්. එය පළ නොකිරීමට කිසිම කාරණයක් නැහැ" යි මම අවංකව මගේ හැඟීම කීවෙමි.

සයිමන් ද සිල්වා කිතුනු සමය අදහන්නෙකි. ඇතැම් ප්‍රශ්නයකදී තම ආගමික හැඟීම බැහැරලා බෞද්ධ පාඨකයන්ගේ සිත්ගනු පිණිස විවේචන ලියන්නට අනුබලදීම ඔහු කුහකයකු කරන්නට වෑයම් කිරීමක් වෙයි. අවංකව සිතා තමන්ගේ අදහස් නිර්භයව කීමට කැමැතියන්ට අනුබල දීම ජනසම්මත වාදය සාර්ථක කරගත හැකි එක් උපායකි. අවංක නිර්භය ජනසම්මත වාදියකු වු වි:ෙවර්ධන මෙසේ සිතන්නට ඇත. එහෙයින් ඔහු සයිමන් ද සිල්වාගේ ලිපිය නොනැවත්වුයේය.

අවුරුදු විසි හතරකට පමණ පෙර මහනුවරට ගිය අවස්ථාවක මම සයිමන් ද සිල්වාගේ වැඩිමල් දුව වන අයිලින් ද සිල්වා බලන්නට ගියෙමි. බාල වියෙහි සිට මා අඳුනන ඈ තම පියාගේ දින සටහන් හා කාලීන ලිපිද මට පෙන්නුවාය. ඒ දින පොත්වලින් පිටු කිහිපයක් පිටපත් කොට එවන්න යැයි මම අයිලින් ද සිල්වාට කීවෙමි. ඈ එංගලන්තයට පිටත්ව යන්නට පෙර තම පියාගේ දින පොතෙන් උපුටාගත් සටහන් මට එවුවාය. ටයිප් ගසන ලද පිටු 15 ක පමණ ඒ සටහන් අතර ජාතික උත්සවය හා 1915 කැරුලි කෝලාහලය පිළිබඳ පුවත් හා විමර්ශන ද වෙයි.

මාර්ටින් වික්‍රමසිංහ
(දිවයින09/04/08)

5 comments:

-බිன்ku- said...

ඔබ මතු කරන කරුණු වලට මම එකඟ වෙනවා, නමුත් මෙය 'සිංහළ' අළුත් අවුරුද්දක්යැයි හදුන්වන එකට නම් මට එකඟ වෙන්න බැහැ, දෙමළ ජනයාත් මෙය සමරනවා, ඔවුන් තම ගවයාට කිරි වලින් නවන සිරිතකිත් තිබු බවක් මම අසා තිබෙනවා. සිංහල ජාතක අවුරුද්දක් ලෙස හදුවනවාට වඩා පොදුවේ ලංකේය ජනයාගේ අළුත් අවුරුද්ද ලෙස හදුන්වනවා නම් මැනැවි.

සුභ සිංහළ දෙමළ අළුත් අවුරුද්දක් වේවා!

Migara said...

Binku>> don't get on the wrong side of the argument. This is "Hindu" new year. Not "Tamil" new year. The new year is only celebrated by Sinhala-Buddhists and Tamil-Hindus (of course it's >85% of the population). No way on earth it is a "Secular" celebration as you try to define.

නාමල් උඩලමත්ත said...

mama game giya.me computer eke unicode naha.e nisa singlishwalin leewe. -බිன்ku- oya hama dema waradi thanin alla ganne. me utsawaye niyama nama sinhala hindu aluth aururdda kiya. oyata niyama uttaraya migara deela thiyenawa.ape dewal anunge kiyanna niwata wenna epa. ehema kalama tamage heena manaya penawa witaray. oya e gana tawa hitanna. kohoma unath oyage awanka adahas liyapu eka gana sathutuy.

-බිன்ku- said...

ස්තුතියි මිගාර අයියා, මෙහිදී මම දෙන්න හැදුවේ දෙමළ අයත් සමරන බවයි, සමාවෙන්න මගේ වැරදීමට. අපේ (සිංහළ දෙමළ අපි සියල්ලන්ගේම )අවුරුද්ද බෞද්ධ හින්දු අවුරුද්ද ලෙස නෙමේනේ සමරන්නේ, හින්දු කියන්නේ ආගමක් මිස ජන කොටසක් නෙමේ, වෙනත් ජාතින් කොටින්ම සිංහළයෝත් හින්දු ආගම අදහනවා නොවැ. එකයි මම මේකට සිංහළ දෙමළ අවුරුද්දක් ලෙස සමරන්නේ. මගේ වැරද්දක් වේ නම් සමාවෙත්වා. අනික අපෙර රටේ හින්දූ ආගම අදහන අය බහුතරක් දෙමළ නොවැ. මගේ අදහසත් සමහර විට වැරදියට අල්ලාගෙනද මන්දා, මම අදහස් කලේ මෙය ලාකේය අවුරුද්ද විය යුතු බවක් එක්කයි.

මෙවර අපේ පැත්තේ පලමුවරට සිංහළ අයත් දෙමළ අයත් එකතු වෙලා අවුරුද්ද සමරනවා, ඒ අතරින් කොටි හිතවාදීන් සිටියත් එදාට අපි යුද්ධයෙන් මියැදුණු සිංහළ දෙමළ මුස්ලිම් අයවත් හමුදා කොටි අයවත් මතක් කරනවා. ඔබ එකට අමනාප වෙන්න පුළුවන්. නමුත්, අපේ දැක්ම එහෙමයි.

නැවත්ත් සුභ සිංහළ දෙමළ අවුරුද්දක් අයියලා දෙන්නටම.

නාමල් උඩලමත්ත said...

පහුගිය උත්සවයට සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා තමා ඉස්සර ඉඳලා කීවේ. ඒ ඉස්සර සිංහලයෙක් නම් එයා බෞද්ධ නිසා වෙන්න ඕන. අනෙක හින්දු ආගම අදහන්නේ දෙමළ අය විතරක් නෙමේ. ඒ අය හැමෝම මේ අලුත් අවුරුද්ද සමරනවා. ඒ නිසා හින්දු කීව ම දෙමළ අය අයිති වෙනවා. මොකද දෙමළ බහුතරය හින්දු නිසා. බොහෝ දුරට අන්‍ය ආගමිකයින් මේ උත්සවය සමරනවා අඩුයි. සිංහල හින්දු අලුත් අවුරුද්දට සිංහල දෙමළ අලුත් අවුරුද්ද කීව ම එහි පුළුල් බව අඩු වෙනවා මිස අන් ඵලයක් නෑ කියලයි මම හිතන්නේ. ඒ නිසා මම විශ්වාස කරන විදිහට ඔබ දෙදෙ‍නාටත් කසාපබ්බත කියවන සැමටත් සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා!ර්‍ කියා පතනවා.

 
සිය රට දේ සිරි සැප දේ !