Tuesday, April 7, 2009

මෙය අවසන් මිනිස් බිල්ල විය යුතුය

ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව කළ වැරදි ප්‍රේමදාස ආණ්ඩුව කළ යුතුව තිබිණිද? ප්‍රේමදාස ආණ්ඩුව කළ වැරදි චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව කළ යුතුව තිබිණිද? ඒ සියලු වැරදි මේ ආණ්ඩුව යටතේත් සිදුවිය යුතුද?

බස්නාහිර පළාත් සභාව සඳහා වු පළමුවැනි මිනිස් බිල්ල පෙරේදා (06 දා) වාර්තා විය. මියගිය තැනැත්තා ජ.වි.පෙ. සාමාජිකයකු වන අතර වෙඩි තැබීම සිදු කළෝ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකුට අයත් රියකින් පැමිණි පිරිසක් බවට චෝදනා නැගී තිබේ. සියලු දෙනා දන්නා පරිදි ජාතික නිදහස් පෙරමුණ යනු ජ.වි.පෙ. දෙකඩ වීමෙන් උපන් පකෂයයි. මේ මොහොතේදී ජ.වි.පෙ.ට ඇති ප්‍රධානතම සතුරා එ.ජා.ප.ය හෝ ශ්‍රී.ල.නි.ප.ය නොව ජාතික නිදහස් පෙරමුණයි. ජ.වි.පෙ. පොදු සතුරා හැටියට සලකන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බව අපගේ වැටහීමයි. ඒ අනුව සන්ධානයේ කොටස්කරුවකු වන ජාතික නිදහස් පෙරමුණ ද නිතැතින්ම ජනතා විමුක්ති පෙරමුණේ සතුරා බවට පත්ව සිටී. වාමාංශික මුලයකින් ඉපිද, තමන්ට අභිමත සමාජය නිර්මාණය කිරීම උදෙසා උත්තුංග මෙහෙවරක් කරමින්, රුධිරය ජීවිතය යනාදී සියලු වැදගත් දේ පුජා කළ ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වී මහ පාරේ මිනී මරා ගැනීම ඉතා කනගාටුදායක ය. මෙයට පෙර ද ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වු අවස්ථා තිබිණ. ආසන්නත ම උදාහරණය නම් 1977 න් පසු ජ.වි.පෙ. ක්‍රියාකාරිකයන් පිරිසක් ජනතා සංගමය නමැති සංවිධානයක් ඇති කොට 1971 දී ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවය පරාජයට පත්වීම ගැන ස්වයං විවේචන කළ අවස්ථාව ය. ඒ අවස්ථාවේදී ජනතා සංගමයේ කිසිවකුටත් ජ.වි.පෙ. වෙඩි තැබුවේ නැත. ස්වල්ප කාලයකින් ජනතා සංගමයට ස්වභාවික මරණයක් අත්විය. එහි සිටි සාමාජිකත්වයෙන් කොටසක් යළි ජ.වි.පෙ.ට එකතු වු අතර සෙස්ස තම තමන්ට සුදුසු වු වෘත්තීන් තෝරාගෙන දේශපාලන නොවන මං මාවත්වලට අවතීර්ණ වුහ. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේ දේශපාලන මතවාද අතර වෙනස්කම් නිසා කිසියම් තැනෙක, කිසියම් ගුටි කෙළියක් වී නම් ඒ වු කලී එච්. එන්. ප්‍රනාන්දු මහතා සහ විජේවීර මහතා අතර ඇති වු මත ගැටුම පමණි. එච්. එන්. ප්‍රනාන්දු යනු විජේවීර මහතාගේ බිරිඳගේ සහෝදරයා ය. මේ දෙදෙනා අතර දේශපාලන මතවාදයක් හටගත් විට කිසියම් පිරිසක් එච්. එන්. ප්‍රනාන්දු මහතා පැහැරගෙන ගොස් අතපය කුඩු කරන ලදී. එය විජේවීර මහතාගේ අනුදැනුම ඇතිව වු බවක් අපි නො කියමු. එහෙත් දේශපාලන ප්‍රතිපත්තියේදී මව - පියා - මස්සිනා යනාදී ඥාතීන්ට හෝ මිතුරන්ට හෝ සතුරන්ට හෝ කිසිදු වෙනසක් දැක්වීමට විජේවීර කැමැති නොවී ය.

වේයන්ගොඩ බදුලුගහලන්දේ සිදුවීමේදී වෙඩිල්ල ජා.නි.පෙ.ට අයත් අයගෙන් නිකුත් වු බව කියතත් එය තීරණය කළ යුත්තේ අධිකරණය මගිනි. නාලන්ද එල්ලාවල ඝාතනයේදී සුසන්ත පුංචිනිලමේ සහ මහින්ද රත්නතිලකගේ පැත්තෙන් වෙඩිල්ල ආ බව කීවද අවසානයේදී ඔප්පු වුයේ නාලන්ද එල්ලාවලගේ ම ආරකෂකයකු අතින් පත්තු වු තුවක්කුව එම විපත සිදු කළ බව ය. එබැවින් මෙවැනි සංවේදී සිදුවීම්වලදී පුර්ව විනිශ්චයයන් මත ලිවීම භයානක ය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු ඔවුන්ගේ ම අය විසින් තබන ලද වෙඩි පහරකින් මියයෑමට කිසිදු හේතුවක් නැත. තවත් විදියකින් කිවහොත් තමන්ගේ ම පැත්තේ අයට වෙඩි තැබීමේ උන්මාදයක් මේ මොහොතේදී ජ.වි.පෙ. ට නැති බව අපි විශ්වාස කරමු.

ඉහත කී සිද්ධියට තමන් සම්බන්ධ බව ඔප්පු කළ හැකි නම් තමා දේශපාලනයෙන් ඉවත් වන බව ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී පියසිරි විජේනායක මහතා පවසා තිබේ. එතුමා දේශපාලනයෙන් ඉවත් වුවහොත් සිදුවිය හැකි පාඩුව ඉතා විශාල බැවින් මේ නඩුව අත්හැර දමන ලෙස පාර්ශ්වකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලමු. එහෙත් මෙය මිනීමැරුමක් වන නිසා පැමිණිලිකාරයා වන්නේ ආණ්ඩුව ය. එබැවින් හිතන තරම් ලෙහෙසියෙන් මෙය අත්හැර දැමිය නො හැක.

ප්‍රචණ්ඩත්වය සහ වංචාව පෙරදැරි කරගෙන 1977 දී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුව හඳුන්වා දුන් වැරදි සහගත දේශපාලන සංස්කෘතිය එසේම පවත්වා ගෙන යෑමට ඉන් පසුව බලයට පත් වු සියලු ආණ්ඩු ඉඩ දුන්හ. එහෙත් මේ ආණ්ඩුව මේ නීච තත්ත්වයට ඉඩ දිය යුතු නැත්තේ මහින්ද රාජපකෂ යනු හොර ඡන්දවලින් හෝ බහුජාතික බලවේගවලින් නොව තනිකර ම ජනතා ඡන්දවලින් පමණක් බලයට පත් වු නායකයෙක් නිසා ය. ඔහුට බලයට පත්වීමට ඔහුගේ ම පකෂයේ නායකත්වය පවා උපකාර කළේ නැත. එබැවින් කිසිදු පාර්ශ්වයක් ආරකෂා නොකර මේ ප්‍රචණ්ඩ සංස්කෘතිය මැඬපැවැත්වීමට අයිතිය ඔහුට ඇත. යුද්ධය දිනු නායකයකුට කළ නො හැකි දෙයකුත් වෙත්ද?
(දිවයින_09/04/08)

පසු වදන_ජවිපෙ සමාජිකයාගේ ඝාතනය අප තරයේ හෙළා දකිමු. ඊට වගකිව යුත්තන් අධිකරණය හමුවට ගෙන ඒම පොලිසියේ වගකීමයි. එහෙත් මේ ඝාතනය ගැන සොයා බැලීමට වහා ම කොමිසමක් පත් කර ලිස්සා නොයා සැබෑ ඝාතකයින් අනාවරණය කරගැනීමට උදව්කිරීම රජයේ වගකීමයි. තමන් ආණ්ඩු කරන සමයේ දස රාජ ධර්මයෙන් රට පාලනය කළ, කිසිදා දෑතේ ලේ බිඳක් නොතැවරුණු, එජාපයට මේ සඳහා රජයට බල කළපෑම් කිරීමට ඔනෑවටත් වඩා සුදුසුකම් ඇත.

2 comments:

Sasika Nanayakkara said...

මම මේම ලිපියේ කොටසක් සදහා අදහස් දැක්විමට කැමැත්තේමු.එම උපුටාගත් කොටස නම්...
"එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු ඔවුන්ගේ ම අය විසින් තබන ලද වෙඩි පහරකින් මියයෑමට කිසිදු හේතුවක් නැත. තවත් විදියකින් කිවහොත් තමන්ගේ ම පැත්තේ අයට වෙඩි තැබීමේ උන්මාදයක් මේ මොහොතේදී ජ.වි.පෙ. ට නැති බව අපි විශ්වාස කරමු"

මෙවැනි දෙයක් නොකිරිමට තරම් හොද මානසික වාතාවරනයක් වර්තමාන ජේවිපිය තුල තිබේද යන්න මා තුල ඇති සැකයයි.මන්ද මෙම බෙදි වෙන්ව යාමත් මැතකදි පැවති මැතිවරණයන්හි ප්‍රතිඵල තුලිනුත් අපහට ජෙවිපියේ සෝදාපාලුව හොදින් අවබෝධ විය.කලක් පර්ලිමෙන්තුවේ හඩක් නැගිය හැකි තෙවන පර්ශවය බවට පත්වසිටි ජෙවිපිය මේ තත්වය තුල මෙයට වඩාදෙයක් සිදුකලත් පවතින අසුචි දේශපාලනය තුල එය අපට පුදුම විමට තරම් විශාල කරනයක් නොවන්නේය.

Ramachandra said...

මේ ගැන ලියුව එක හොදයි.නමුත් මේ ඝාතනයත් හුදෙක් නාදුනන කෙනෙක් විසින් කල එකක් ලෙස ඉතිහාසයට එකතු වෙන්න තියන ඉඩ වැඩියි.
ලසන්ත වික්‍රමතුංග මැරුවේ කවුද කියල තමන් "දන්න"බව ආරක්ෂක ලේකම් ප්‍රසිද්ධියේ පැවසුවා.හැබැයි ඒ "දන්න"මිනීවරුවන් තවම අත්අඩංගුවට පත්වෙලා නැහැ.
කීත් නොයාර් සිද්දිය,සිරස සිද්දිය,රිවිර කතෘගේ සිද්දිය,මේ වගේ තව කෙතරම් සිද්ධි සිදුවුනාද?මර්වින් සිල්වාගේ මැරයන් රූපවාහිනි සංස්ථා සේවකයන්ගේ බෙලි කැපීම ගැන ගත්ත පියවර මොනවාද?
වර්ෂා දැරියගේ ඝාතනයට සම්බන්ද අය සිවුදෙනාම මියයාම ඉතාම සැක සහිතයි.මේ එකක් ගැනවත් පරීක්ෂන සිදුවුනාද?"නොකල හැකි දෙයක් නොමැති ජනාධිපති"මේ ඉදිරියේ කලේ කුමක්ද?
ඝාතනය සිදුකල වාහනය පියසිරි විජේනායකගේ බව හදුනාගෙනත් තිබුනා.වාහනයේ උන් අය ගැන පොලිසියට නම් ගම් සහිතව දැනුම් දී තිබෙන බව අපි ප්‍රවෘත්ති වලින් දුටුවා.වෙනත් සිදුවීමකදි වහාම ක්‍රියාත්මක වෙන පොලිසිය මේ කාරනයේදී ගොත ගැසීම තේරුම් ගත යුත්තෙ කොහොමද?දරුවෙක් පැහැර ගෙන ගිය සරන ගුනවර්ධන ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා ගැන අරන් තියන පියවර කුමක්ද?
-නඩුව ඉල්ලා අස්කර ගත යුතු බව-ට වන කතු වැකියේ යෝජනාවේ තේරුම කුමක්ද?කිසිම වරදක් නොකල දේශපාලන ක්‍රියාකාරිකයෙක් මහ මග අමු අමුවේ මරා දැමූ විට එම අපරාදය කල පාහරයන්ට දඩුවම් කරනු මිස එම නඩුව "අස්කරගන්නා"ලෙස යෝජනා කරන තත්වයට අපේ කතෘවරුන් නිවට වී තිබෙන්නේ කෙසේද?මේ දයාසේන ගුනසිංහ වැනි අභීත මිනිසුන් කතෘධූරය හෙබවූ දිවයින පුවත් පතද?
මේ ඝාතනය ජවිපෙ විසින්ම කරගන්නා ලද්දක් ලෙස යමෙක් අර්තකතනය කරනවා නම් එය ඉතාම සාවද්‍ය දෙයක්.වෙන ඕනෑම අපරාදයක් "තමන් විසින්ම"කරගත්තා කියල ලිස්සලා අත පිහිදාගන්න එක අද විලාසිතාවක් වෙලා.වික්‍රමතුංග ඝාතනයේ සිට අපි ඒක ‍හොදින්ම දුටුවා.
ඒකාධිපතිවාදය ව්‍යාජ දේශහිතෛෂී සලුවකින් එතුවම එය සිය දහස් ගුනයකින් භයානකයි.

 
සිය රට දේ සිරි සැප දේ !