Monday, May 4, 2009

ඊළාම් මිරිඟුව ලුහුබැඳ දිවයන බටහිර ජීවත්වන දෙමළ තරුණ තරුණියෝ !

කැනඩාවේ ඔන්ටේරියෝහි පැවැති කොටි හිතවාදී පෙළපාලියකට සම්බන්ධවීම සඳහා මගේ මුණුබුරු මිණිබිරියන් යනවා දකින විට මගේ දෙනෙතට කඳුළු ගලා ආවේය. ඔවුන්ට ඒසඳහා යන විට කොටින්ගේ ධජයක් දී තිබුණි. ඔවුන් ගියේ තනිවම නොවේ. තවත් මිතුරු මිතුරියන් රුසක් සමගිනි. මොවුන් මේ කරන්නේ හින්දු සමාජයට අහිතකර දෙයක් බවත් නැතහොත් සාමයේ කුමරා ලෙස හැඳින්වු කිතුදහමට එරෙහි දෙයක් බවත් ඔවුන්ට කිසිවිටෙක් මතක් වුයේ නැත. ඔවුන් බොහෝ දෙනෙක් සිතන්නේ ඔවුන් මේ කරන්නේ නිවැරුදි දෙය බවයි. සාධාරණ හේතුවක් සඳහා සටන් කරන බවයි. මේ ගැන ඔවුන්ගෙන් ප්‍රශ්න කළහොත් ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටින අපේ ජනතාවට බෝම්බ දමමින් සමුල ඝාතනය කරන බවයි. අප කැනේඩියානු රජයට මෙම උද්ඝෝෂණවලින් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ සටන් විරාමයක් සඳහා එරට රජයට බල කරන ලෙසටයි. මෙවැනි තරුණ පිරිස් ලන්ඩනයේ මෙන්ම ජිනීවා ඇතුළු නගර රුසක දැකිය හැකිය. සෑම ග්‍රොසරියකම දැකීමට ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සිදුවී ඇති අභාග්‍ය ඇතුළත් ඡායාරුපය. නැතහොත් ලිපිය. ඇත්ත වශයෙන්ම මොවුන් සිටින්නේ කොතරම් සිහිවිකල්පයකින්ද?

පෝස්ටර්, බැනර්, කටවුටි ආදී විවිධ වු දෑ රුගෙන සිය දහස් ගණනින් පෙළපාලි යන මෙම තරුණ පිරිස් දකින විට මාගේ සිත ඇදී ගියේ අතීතයටය. එක්දහස් නවසිය පනස් ගණන්වලදී ඉලංකෙයි තමිල් අරසුකච්චි යන පකෂය විසින් එක්තරා දේශපාලන පෙළපාලි ගණනාවක් සංවිධානය කළා මට මතකය. ඔවුන් ඒ අවස්ථාවේදී ඒ විරෝධය දැක්වුයේ සිංහල පමණක් යන්නට විරුද්ධවය. එමෙන්ම දෙමළ ජනතාවගේ උපන් ස්ථානවලින් ඔවුන් ඉවත් කිරීමට එරෙහිවය. ඒ අවස්ථාවේදී මට හැඟී ගියේද මේවා අනුමත කළ හැකි දේ නොවන බවය. ඊට පසු කාලයකදී මම හැටන්වල පදිංචියට ගොස් නැවත කොළඹ පදිංචියට පැමිණියෙමි. මෙම සමාජවල මම හැදී වැඩෙන විට තේරුම් ගියේ යාපනය හෝ මන්නාරමේ ගත කළාවු ජීවිතවලට වඩා කොතරම් සමාජයීය වශයෙන් වටිනාකමක් ඇති සමාජයක මා සිටින බවය. මෙම සිංහල පෙදෙස් මා ඉහත සඳහන් කළ පෙදෙස්වලට වඩා බෙහෙවින් යහපත්ය. කොළඹ වාසය කරන දෙමළ ජනතාවට සෑම අතින්ම තිබුණේ පහසුකමක්ය. වාණිජමය වශයෙන් ගත්තද ඔවුන් සිටියේ ඉතාමත් පහසුවෙන් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යමින්ය. ඒ හැරුණු විට විවිධ මටිටමේ තරාතිරම්වල දෙමළ ජනයා බොහෝ දෙනෙක් කටයුතු කළහ. මෙහිදී මට හැඟී ගියේ සිංහල ජනතාව සමග එකට ජීවත්වෙමින් අපට ද සමෘද්ධිමත ජීවිතයක් ගත කිරීමට එමට ඉඩකඩ ඇති බවය. සිංහල පමණක් යන පසුබිම මතද අපට එසේ ජීවත්විය හැකි බව මට මනාව වැටහුනි. එස්. ජේ. වී. චෙල්වනායගම්, ඊ. ඒ. වී. නාගනාදන් බොහෝ විට කටයුතු කළේ සිතේ ක්‍රෝධයක් නැතහොත් වෛරයක් තබාගෙනය. නාගනාදන් ආඩම්බරයෙන් සැම විටම කියා සිටියේ ඔහු චෝල පරපුරෙන් පැවතෙන්නෙක් බවය. මෙම දෙමළ නායකයන්ට ඇත්ත වශයෙන්ම කිරීමට තිබුණේ භාෂා දෙකක් එක රටක් යැයි පැවසු වාමාංශික කොටස් සමග එකතුවීමය. කොළඹ ජීවත්වෙමින් සෑම පහසුකමක්ම ලබමින් සිටි දෙමළ නායකයන් මෙහි සිටි කතා කළේ උතුරේ හා නැඟෙනහිර ඇති ඔවුන්ගේ සාම්ප්‍රදායික භුමි ගැනය. එහෙත් ඔවුන් ජීවත්වුයේ දකුණෙහිය. සිංහල පෙදෙස්වල සිටින දෙමළ ජනතාව උතුරට පන්නා දැමුවේ නම් තත්ත්වය කෙසේවීමට ඉඩ තිබුණේද? සිංහල ජනතාවගෙන් අපට කිසිදු හිරිහැරයක් සිදුවී නැත. අපට යම් හිරිහැරයක් සිදුවුවා නම් ඒ සිදුවුයේ දෙමළ ජනතාව අතින්මය. ඊට ප්‍රධානම හේතුවවුයේ මගේ බිරිඳ උඩරට වතුකරයේ කාන්තාවක් වීමය. දෙමළ සමාජය තුළ අපට බෙහෙවින් අකටයුතුකම් සිදුවී ඇත.

මම අධ්‍යාපනය ලබා උසස් තත්ත්වයක සිටි කෙනෙකි. එහෙත් කුලය අතින් මම පහත්ය. මා වැනි අයෙකුට උතුරු සමාජයේ කිසිම තැනක් හිමි නොවේ. මට දේශපාලනයට අවතීර්ණවීමට අවශ්‍යතාවක් තිබුණද මගේ කුලය නිසා එය කිරීමට හැකියාවක් තිබුණේ නැත. අපගේ දෙමළ දේශපාලනඥයන් කළේ මෙම ජාතීන් දෙක අතර ලොකු හිඩසක් ඇති කිරීමට කටයුතු කිරීමය. බණ්ඩරනායක චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමීම ගැන වඩාත්ම සතුටු වුයේ අරුසුකච්චු කණ්ඩායමය.

අද මේ පෙළපාලිවලට සහභාගිවන තරුණ තරුණියන් දකින විට මට පෙනී යන්නේ ඔවුන් චෙල්වනායගම් නාගනාදම් වැන්නවුන් බිහි කළ මිරිඟුව පසුපස යන පිරිසක් ලෙසය. ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන දෙමළ ජනතාව සත්‍ය පිළිගැනීමට කිසිදු උත්සාහයක් ගන්නේ නැත.

ප්‍රභාකරන් පරාජය කිරීමට ඉදිරියට නොපැමිණෙමින් ඔවුන් කරන්නේ ඔහුව ශක්තිමත් කිරීමය. මෙහිදී ඔවුන් කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකාවේ රජයට හැකි පමණින් උදව් උපකාර කිරීමය. නැතහොත් අද අනාථවී සිටින පිරිස්වලට යම් උපකාරයක් කිරීමට කටයුතු කිරීමය. එසේ නොකොට ඔවුන් දැන් කරන්නේ කොටි ධජය වනමින් ප්‍රභාකරන්ට ඔල්වරසන්දීමය. ජේන්ස් ඉටන්ටරනැෂනල්හි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන දෙමළ ජනතාවගෙන් වසර විස්සක කාලයක් පුරා යම් මුදලක් එකතු කිරීමට හැකියාව තිබුණේ නම් ශ්‍රී ලංකාවේ වාසය කරන සෑම දෙමළ වැසියකුට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉඩකඩ ඇති බවය. එහෙත් ඒ වෙනුවට අප ජනතාව කළේ කොටි ත්‍රස්තවාදීන්ට ක්ලේමෝ බෝම්බ, ආර්පීජී, ඒකේ 47 සහ වෙනත් ආයුධ ගැනීමට එම මුදල් කොටින්ට ලබාදීමය. සුනාමි ආධාර පවා ගියේ කොටින්ටය.

ඊළාම් වෛරසය අද ලෝකය පුරා පැතිරි ඇත. වවුනියාවේ ඇති අනාථ කඳවුරු ඉන්දියාවේ ඇති අනාථ කඳවුරුවලට වඩා බෙහෙවින් යහපත්ය. මෙම දෙමළ ජනතාව අද පළමුකොටම කළ යුත්තේ මෙම ඊළාම් වෛරසයෙන් ගැලවීමය. ඊට පසු දෙමළ ජනතාවට අවශ්‍ය උපකාර කිරීමට පියවරගත හැකිය.

කැනඩාවේ ටොරෙන්ටෝහි වාසය කරන සෙබස්තියන් රාසලිංගම් විසින් දි අයිලන්ඩ් පුවත්පතට සැපයු ලිපියකිනි.

සිංහලට සකස් කළේ අසෝක වන්නිආරච්චි
(දිවයින_09/05/05)

පසුවදන_මේ ලිපිය ලියුවේ ද්‍රවිඩයෙකි. ඔහු මෙරට මෙන් ම යුරෝපයේ ද ජීවත්වූයෙකි. අද වන විට ඊළම, බොල් සිහිනයක් බැව් පරිණත ද්‍රවිඩයෝ අවබෝධ කරගෙන සිටිති. ඒ අවබෝධය සතර අත පැතිර යාම යහපත් ය. ඒ අවබෝධය සියලු ශ්‍රී ලාංකිකයින්ට සතුටින් සමාදානයෙන් මෙරට ජීවත් වන්නට පාර කියනු ඇත.

1 comment:

sanzilla said...

>>මට දේශපාලනයට අවතීර්ණවීමට අවශ්‍යතාවක් තිබුණද මගේ කුලය නිසා එය කිරීමට හැකියාවක් තිබුණේ නැත.

hay man , what the hell you are talking about ? Sri lanka is a free country. Why did you can't try to the election ? No if you want and if you feels like a leader then you should try to the election. I think now the කරුණා අම්මාන is the person who represent the tamil ppl. But he is a war criminal , if he can go to the parliament ( I don't say it's wrong , but I continue telling him a war criminal ) , then what the hell you can't ????

 
සිය රට දේ සිරි සැප දේ !