Monday, May 11, 2009

යුරෝපයේ අමාරුවට හේතුව

ඉකුත් සති අන්තයේදී අල් ජසීරා රුපවාහිනි සේවය ඔස්සේ දිගින් දිගටම පෙන්වන ලද ප්‍රවෘත්තියක් වෙයි: ගුවන් හමුදාව උතුරේ රෝහලකට බෝම්බ දැමු බවත් එමගින් පුද්ගලයන් කිහිප දෙනකුට තුවාල සිදුවු බවත් ඒ ප්‍රවෘත්ති හා ඒ ආශ්‍රිත වීඩියෝ දර්ශන මගින් පෙන්වා දෙන ලදී. ගුවන් හමුදාව බෝම්බ දමන අතර සාමාන්‍ය වැසියන් යුද අගල්වල සැඟව සිටින ආකාරය ද විශාල ගොඩනැඟිල්ලක ඇති සිදුරු කිහිපයක් කිසියම් පිරිසක් විසින් පරිකෂා කරමින් සිටින ආකාරය ද මෙහිදී පෙන්වනු ලැබේ. මේ වීඩියෝ දර්ශන ඉතා පැරණි, අල් ජසීරා රුපවාහිනිය මගින් නිරන්තරයෙන් ප්‍රදර්ශනය කර මඳ කලකට ප්‍රදර්ශනය කිරීම නතර කෙරුණු දර්ශන බව අල් ජසීරා රුපවාහිනිය නිතර නරඹන ඕනෑම කෙනකුට තේරුම් යන්නේ ය. ශ්‍රී ලංකාවෙන් බටහිර රටවලට පලා ගොස් මුදල් උපයමින් ඊළම පිහිටුවීම සඳහා සිය සම්පුර්ණ කාලය කැප කරමින් සිටින දෙමළ ප්‍රජාව සහ තමිල්නාඩුව වෙනම දෙමළ රාජ්‍යයක් කර ගැනීමට නොහැකි නිසා එකී දෙමළ රාජ්‍යය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට වෑයම් කරන විදේශීය දෙමළ ප්‍රජාව පණ අදිමින් සිටින ප්‍රභාකරන්ට ලේ සහ ඔක්සිජන් සැපයීම පිණිස බටහිර මාධ්‍ය නතුකර ගැනීමට පටන්ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ යුද්ධයක් තිබෙන බව පැවැසීම ඔවුන්ට අත්‍යවශ්‍ය ය. මන්ද යත්, යුද්ධය නිමාවට පත් වී ඇති බැවින් පිටරටවල සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් සියලු දෙනාට ආපසු එන ලෙස ලක් රජය ආරාධනා කළහොත් යුරෝපයේ රටවලින් වැඩි හරියක් තම රටවල සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනයා ලංකාවට පන්නා හැරීම නොවැළැක්විය හැකි ය. එම දෙමළ ජනයාට යුරෝපය තුළ පැවැත්මට ඉඩ ඇත්තේ ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් තිබුණොත් පමණි. එය නැති දවසට යුරෝපයෙන් කැනඩාවෙන් හා ඇමරිකාවෙන් ඩොලර් කෝටි ගණන් උපයා ගැනීමේ අවස්ථාව ඔවුනට නැතිව යයි. මේ නිසා කිසියම් මුදලක් විසිකර ප්‍රතිපත්තියක් නැති රුපවාහිනිකාරයන් හා පත්තරකාරයන් කිහිප දෙනකු අල්ලාගෙන ලංකාවට එරෙහිව එම ප්‍රචාරයන් ගෙන යෑම මේ වෙලාවේදී කළ යුතුමය.

පසුගියදා ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට බෝම්බ දැමීය. මේ මගින් නිරායුධ සාමාන්‍ය වැසියන් 147 දෙනෙක් මිය ගියහ. මේ ප්‍රහාරය දැක දැකත් යුරෝපා සංගමය කට බලියාගෙන සිටියේය. එක්සත් ජාතීන්ගේ සංගමය මේ දිනවල නිවාඩු පිට සිටින්නාක් මෙන් නිහඬ විය. ඇමිනෙස්ටි ඉන්ටර් නැෂනල් සංවිධානය වචනයක්වත් කතා කළේ නැත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලවත් රටවල් අනුගමනය කරන නීච අධම ප්‍රතිපත්තිය මේ මගින් පැහැදිලි වෙයි. චීනය, ඉන්දියාව, රුසියාව, ලිබියාව ඇතුළු වාමාංශික සහ සමාජවාදී පිලේ රටවල් කිහිපයක් හැරුණ විට ධනවාදී ලෝකයේ රටවල් වැඩි හරියක් ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකාවේ විනාශයයි.

ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට බෝම්බ දමන්නේ කවර අයිතිවාසිකමකට දැයි ප්‍රශ්න කිරීමට මේ කිසිදු රටකට කොන්ද පණ නැත. තමන් කට ඇරියොත් ඇමරිකාව සිය පණ නැති කොන්ද දෙකටම කඩා දමනු ඇතැයි ඔවුහු බියපත් වෙති. බරක් ඔබාමා ජනාධිපති වීමෙන් පසු හෝ මේ තත්ත්වය වෙනස් වනු ඇතැයි අපි විශ්වාස කළෙමු. එහෙත් බෝතලය වෙන් වුවත් ඇතුලේ ඇත්තේ පරණ ගඳ ගසන හැලි අරක්කුම බව දැන් පෙනී ගොස් තිබේ. ඇමරිකාව අවුරුදු 8 ක් තිස්සේ අල්ඛයිඩාවට හා තලේබාන් සංවිධානයට විරුද්ධව යුද වදී. එහෙත් ඔවුන්ගේ මවිල ගසක් ගැලවීමට පවා ඇමරිකාව සමත් වී නැත. එහෙත් ශ්‍රී ලංකාවේ ජනාධිපති රටේ ආරකෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාව සමග එක්ව වසර දෙකක් තුළ ලෝකයේ දැවැන්තම ත්‍රස්ත සංවිධානය ධුලි බවට පත් කළේය. යුරෝපයට දරාගෙන සිටීමට බැරි කාරණය මෙයයි.

(දිවයින_09/05/11)

පසුවදන_යුරෝපයේ සිටින උන් කහින හේතුව මෙහි පහදා තිබේ. ලංකාවේ සිට කහින පිරිසක් ද සිටිති. උන් ද විවිධ වරදාන දොළ පිදේනි ඒ වෙනුවෙන් ලබති. සිය පෙරේත පිදේනි ළඟදී ම අහිමිව යතැයි සලිතව සිටින මේ ගෙවලයෝ දැන් මාරාවේශයෙන් පිස්සු කෙළිති. බොරු දොඩති. අවලාද වමාරති. ඉන් අපට කම් නැති.

4 comments:

Anonymous said...

රනිල් මහත්තයා හෙට අනිද්දා යුරෝපෙ යන්නෙත් ලංකාවෙ මානව හිමිකම් උල්ලංඝණය වෙනව කියල ලෝකෙට කියන්නලු. කොටියට වදිනකොට එතුමාටත් හුඟක් රිදෙනවා ඇති. යු‍රෝපයට ඇතිවෙන මේ අමාරුවම තමයි විපක්ෂනායකයටත් ඇතිවෙලා තියෙන්නෙ. ශ්‍රී ලංකාව දෙකඩ කරලා දුර්වල කළාම බටහිර ලාබයි කොල්ලකන්න පුළුවන් නිසා. රනිල්තුමාටත් ලාබයි බටහිරින් දෙන දොල පිදේනි නිසා.

Anonymous said...

ඔය යන ගමන් කොටින්ගෙන් සිද්දවෙන මානව හිමිකම් උල්ලංඝණය වීම් ගැනත් කථා කරන්න කොන්දක් තියනවා නම්. ශ්‍රී ලංකාවාසී ජනතාව විදියට අපි විපක්ෂනායකගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒකයි. ඒක තේරුම් නොගන්නතාක් කල් හැමදාම මැතිවරණ වලින් පරදීවි.

Ramachandra said...

බටහිර ර‍ටවල් ගැන අදහස එක්ක එකග වෙන්න පුලුවන් වුනත් al jazeera ගැන සදහන ගැටලුසහගතයි.මොකද අල් ජසීරා කියන්නෙ අපි දන්න විදිහට අමෙරිකන් එක්සත් ජනපදයේ බල කේන්ද්‍රයට විශාලම විවේචනයක් කරමින් ගොඩනැගිල තියන විකල්ප ස්වරූපයේ මාධ්‍යයක්.ඔවුන් පවසන දෙයක් හුදෙක් බැහැරකිරීම්වාදීව අයින් නොකර සිතා බැලිය යුතු බවයි මගේ අදහස.
නිදසුනක් කියන්නම්.රජය යුද මුක්ත කලාපයට බර අවි ප්‍රහාර එල්ල නොකරන බව මුල සිටම කීවා.නමුත් ගුවන් හමුදාව එසේ එල්ල කරන චන්ද්‍රිකා ඡායාරූප-එජා සංවිධානයට අනුබද්ද ආයතනයක් ගත්ත-අල් ජසීරා තුලින් විකාශය වුනා.මේ පිලිබද ප්‍රශ්න කල විට පාලිත කො‍හොන මහතා එම සේවයේ සාකච්ඡාවකදී නිරුත්තර වුනා.
රජය කල්පනාකාරී සහ නිවැරදි දත්ත මත වැඩකරනවා නම් මේ වගේ දේවල් වෙන්නෙ නැහැ.එසේ‍ නොකර හුදෙක් බැන අඩගැසීම පලක් නැහැ.අල් ජසීරා වැනි මාධ්‍යක් වෙනත් බටහිර බීබීසි පන්නයේ මාධ්‍ය සමග එක ගොඩට දාන්න බැහැ

නාමල් උඩලමත්ත said...

දොන් ජුවාන් වික්‍රමසිංහ වැඩ කරන්නේ ආණ්ඩුවේ විපක්ෂයේ නායකයා විදිහට නෙමේ, රටේ විපක්ෂයේ නායකයා විදිහට. ඒ නිසා එතුමා වැඩ කරන්නේ රටට එරෙහිව. අල්-ජසීරා ගැන රාමචන්ද්‍ර කියපු කතාව නිවැරදියි. එයාලා ඇමරිකාවට විරුද්ධ බව ඇත්ත. නමුත් එයාලා කොටින්ට විරුද්ධ බවත් ඉන් කියවෙන් නෑ.
එයාලා හිතන්නේ ඇමරිකානු රජය සහ ලංකා රජය කරන දේවල් එක සමාන ලෙස. ඔවුන් හිතනවා පලස්තීන ජනතාව සහ දෙමළ ජනතාව මුහුණ දී ඇත්තේ එක ප්‍රශ්නයකට කියලා. අනෙක මේ මාධ්‍ය ආයතනවල අය කොටි සල්ලිවලට යටවෙලා ඉන්නවා. පැරණි යුද දර්ශන සංස්කරණය කරලා අලුත් ඒවා වගේ පළ කරනවා. අපි ඒවායින් පරිස්සම් වෙන්න ඕන.

 
සිය රට දේ සිරි සැප දේ !