Monday, May 18, 2009

මාගේ දේශය අවදි කළ විරුවනි!

තිස් වසරක ත්‍රස්තවාදයේ ශාපයෙන් අපගේ මාතෘ භුමිය මුදා ගනිමින් දෙවැනි ජාතික නිදහස් අරගලය විජයග්‍රහණය කිරීමට දායක වු අභිමානවත් ලංකා පුත්‍රයන්ට අපගේ උත්තමාචාරය පුද කරමින් ම අද අපි මෙම තීරුව ආරම්භ කරන්නෙමු. ඒ ඓතිහාසික විජයග්‍රහණය දෑසින් දකින්නට පෙර සිය ප්‍රාණ වායුව මේ මිහි තලයටම මුසු කළ ඒ විරු දරුවන් ද අපි මෙවේලෙහි සිහිපත් කරන්නෙමු. ඒ ජාතික නිදහස වෙනුවෙන් අඛණ්ඩව, අභීතව එයට දිරි දෙමින් ද, ඒ උත්තරීතර කැපවීම අගයමින් ද ඉනද්‍රඛීලයක් සේ දිවයින ද සිටි බව මේ ඓතිහාසික නිමේෂයෙහි සඳහන් කිරීමට අපට ද අයිතියක් තිබෙන බව නිහතමානීව ලියා තබමු.

ලෝකයම සිය ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් කම්පනයට පත් කළ ෆැසිස්ටිවාදී ම්ලේච්ඡ ඝාතක සංවිධානයක නායක වු වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ ඔහුගේ දෙටු සගයන් සියල්ලම දැන් මරුමුවට පත්ව සිටිති. මරණය යනු කිසිවකුට සතුටු විය හැකි, උදම් විය හැකි අවස්ථාවක් නො වන බව ඇත්ත ය. එහෙත් මේ ශාපකාරී මිනිසාත්, ඔහුගේ ඝාතක ෆැසිස්ටිවාදී නඩයක් මියයෑමේ පුවත එකී ත්‍රස්තවාදයෙන් බැට කෑ රටට මෙන්ම ජනතාවට ද සුබ ආරංචියක් වනු නො වැළැක්විය හැකි ය.

පිස්සු බල්ලකු මියගියත් "අනේ අනිච්චං" යැයි කීමට පුරුදුව සිටින අහිංසක මනසක් සහිත ජනතාවක් වුවද ඔවුන්ට මේ මරණය කිසිඳු කම්පාවට හේතු නොවේ. මක්නිසාද යත්, ප්‍රභාකරන්ගේ කුරිරු ත්‍රස්තවාදයෙන් මුළු රටම ඒ තරමටම හෙම්බත් වී තිබිණි. මුළු මහත් ජනතාවම ඒ තරමට ම පීඩනයට ද, භීතියට ද පත්ව සිටියහ. ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ ෆැසිස්ටිවාදී මෘගයන් විසින් මේ රට ඇද දමන ලද්දේ බිහිසුණු අඳුරකට ය.

ප්‍රභාකරන්ගේ දුෂ්ට ඊළාම් අරමුණ වෙනුවෙන් පෙරදිග මුතු ඇටය ලෙයින් නැහැවු සාහසිකයන් රුළක් එබඳු මරණයකට ලක්වීම කිසිවකුගේ කම්පනයකට හේතුවක් විය හැකි ද? සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය ගිනි තබමින්, ඇවිල ගිය ත්‍රස්තවාදයේ ලැව්ගින්නේ ඓතිහාසික වගඋත්තරකරුවන්ට හිමිවන මරණය නො මැනවැයි කිව හැක්කේ කාට ද?

ප්‍රභාකරන් වෙනුවෙන් ඇප කැප වු ත්‍රස්තවාදයෙන්ම යස ඉසුරු සාදාගත් ජාති භ්‍රෂ්ටයන්ට ද බටහිර අධිරාජ්‍යවාදී රූකඩ විසින් නඩත්තු කරන ලද සිංහල බෞද්ධ වෙසින් සිටි ඇතැම් සටිටඹියන්ට ද මාගේ දේශය "අහෝ අපගේ බත් ටැඹ වැනසිණ" යි දුකක් සෝකයක්, සංකාවක් ඇති වී ඇත්නම් අපි පුදුම නො වෙමු. ඒ හැර මේ මව්බිමට ආදරය කළ කිසිවකුට අබැටක තරම් සංවේගයක් නැති බව ද අපි දනිමු.

වේළුපිල්ලේ ප්‍රභාකරන් යනු ඝාතන සංස්කෘතියක දුෂ්ට මැවුමකි. සයනයිඩ් සංස්කෘතියක විකෘති නිමැවුමකි. ප්‍රභාකරන් විසින් මේ රටේ මිනිස් පවුල් කඩා බිඳ වෙන් කරමින් රටම මළගෙයක් බවට පත් කරන ලද බව අමුතුවෙන් කිව යුතු නැත. ප්‍රභාකරන්ගේ ඝාතනයට, පීඩනයට ලක් නොවු ගමක්, නගරයක්, පවුලක් මේ රටේ නො වී ය.

අද අවසන් වී තිබෙන්නේ ඒ ශාපයයි. මගතොටේ, වැඩබිමේ, කෝවිලේ, පන්සලේ, දෙව් මැඳුරේ සැඟව සිටි ජනඝාතක සමාගම දැන් නිහඬව තිබේ. අක්‍රිය වී තිබේ. ඉතින් එය අපට, රටට සතුටක් නො වන්නේ ද? උතුරේ අහිංසක දෙමළ දරුවන්ගේ ගෙලට සයනයිඩ් කරල් එල්ලු සිත් පිත් නැති මෘගයා මළවුන් අතරේ ය. එය අස්වැසිල්ලක් නො වේද?

ප්‍රභාකරන්ගේ හා ඔහුගේ දෙටු නායකයන්ගේ පවුල්වලට හිමි වු වරප්‍රසාද ජීවිත හා සුඛ විහරණවල අඩුවක් නොවු බව ද දැන් ප්‍රසිද්ධ රහසකි. ජනතාවට විමුක්තිය ලබා දීමට ඒ ජනතාවගේ ඇස්, ඉස්, මස්, ලේ ගබඩා කළ තුච්ඡ නායකයකුගේ හා ඔහුගේ මෘග සගයන්ගේ අවසානය රටකට ශාන්තියක් නො වන්නේ ද?

ලෝක ඉතිහාසය කියවන කවරෙකු වුවද, අදත් හිටිලර් හා මුසොලිනීගේ නම්වලට කෙළ ගසති. ප්‍රභාකරන්ට හා ඔහුගේ ඝාතකයන්ට ඉතිහාසය තුළ ඊට වඩා වෙනස් ස්ථානයක් හිමි නොවන බව ද අපි දනිමු. මේ මව්බිම හරහා ගලා ගිය රුධිර ගංගාවන් ද මේ මව්බිමේ ගොඩගසන ලද මිනී කඳුවලින් ද ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ තරම අපි දැන මැන ගත්තෙමු. එහෙත් ප්‍රභාකරන්ට ඒ කිසිවකින් සැලෙන මනසක් නොවීම ඔහුට මේ ඉරණම අත්වීමට හේතු වු බව ද අපි දනිමු. එබඳු අපරාධකාරයකුගේ අවසානය රටකට අස්වැසිල්ලක් බව අපගේ ද විශ්වාසයයි.

ඝාතනය විසින්ම ඝාතකයකු ඝාතනය කරනු ලැබ තිබේ. ඝාතකයාගේ ඝාතන සමාගම ද ඝාතනය කරනු ලැබ තිබේ. ඒ වෙනුවෙන් කිරිබත් කන්නන්ට අපට දොස් කිව නො හැකි ය. ඒ වෙනුවෙන් රබන් ගසන්නන්ට ප්‍රීති උත්සව පවත්වන්නන්ට ද අපට දොස් කිව නො හැකි ය.

අපි අවසන් වශයෙන් එක් දෙයක් කියමු. ප්‍රේමය, දයාව, මනුෂ්‍යත්වය නො තකා ක්‍රියා කරන කවරකුට වුවද ස්වභාව ධර්මයේ රැකවරණය හෝ ආශිර්වාදය හෝ නො ලැබෙන බව ය. මේ සියල්ල පිළිබඳ දාර්ශනික සත්‍යය එයයි.

කෙසේ හෝ ගම් දනව් වනසමින් වපුරන ලද ප්‍රචණ්ඩත්වයේ මැවුම්කරු නිහඬ කිරීමේ ඓතිහාසික වගකීම උර දරා ගත් මහින්ද රාජපකෂ ජනාධිපතිවරයාට ද අපි අපගේ කෘතවේදීත්වය පළ කරමු. මේ ඓතිහාසික ජාතික මෙහෙවරට කැප වු ගෝඨාභය රාජපකෂ නම් ආශ්චර්යවත් නායකයාට ද, අපගේ අභීත ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිසියට ද අපගේ ප්‍රශංසාව පළකරමු.

තිස් වසරක අඳුරු සෙවණැලි පහව ගොස් තිබේ. අප ගොදුරු කර ගන්නට සැලසුම් කළ බටහිර නඩය ද නිරුත්තරව සිටිති. යකෂයාගේ හෝරාව නිම වෙතැයි සිහිනෙනුදු නො සිතු සියල්ලන්ම හඬද්දී අපට සිනා සීමට හැකි වී තිබේ. ඒ සිනහව රටට, දැයට ලබා දුන් හැමට ජාතියේ කෘතවේදීත්වය ද උත්තමාචාරය ද හිමි වනු නිසැක ය.

හෙට ඉරක් පායයි. ඒ හිරු එළියෙන් පිබිදී අපි එකම දැයක්, එකම රටක් ලෙස යළි නැගී සිටිමු. ඒ නිදහසේ උදානය අපට ජීවය ද, ශක්තිය ද, ලබා දෙනු ඇත. මාගේ දේශය අවදි කළ විරුවනි, අපි ඔබට සදා ණයගැති වන්නෙමු.
(දිවයින_09/05/19)

පසුවදන_රටක් මළ ගෙයක් කළ ඝාතකයාගේ මළගම මුළු රට ම සමරති. ඒ උදාර ජයග්‍රහණය නිහතමානීව සැමරිය යුතු ය. මේ ජයග්‍රහනය සිංහල ජනතාවට වඩා දෙමළ ජනයාගේ ජයග්‍රහනයෙකි. අප මෙන් දෙතුන් ගුණයක් දුක් ගැහැට පිරිපත ඔවුහු ලැබූහ. එහෙයින් මේ ජයග්‍රහනය සැමරීමට දෙමළ මුස්ලිම් සියලු ජනතාව සම්බන්ධ කරගත යුතුය. සිංහල අප කැවුම් කිරි බත්වලින් ඒ ජනතාවට ද සංග්‍රහ කළ යුතු ය. මේ කුඩා රටේ සැම දෙනා ම සමග සහජීවනයෙන් සාමකාමීව ජීවත්වීමට කැමති සැම ශ්‍රී ලාංකිකයෙකුගේ හදවත් සතුටින් ඔකඳව ඇති බව අපි අවබෝධ කරගත යුතු ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !