Thursday, May 28, 2009

පාරාවළල්ල ආපසු එයි

ජේ. ආර්. ජයවර්ධනට, ආර්. ප්‍රේමදාසට, ඩී. බී. විජයතුංගට සහ චන්ද්‍රිකා කුමාරතුංගට යුද කිරීමට තිබුණේ කොටි සංවිධානය සමඟ පමණි. එහෙත් ජනාධිපති රාජපකෂට කණ්ඩායම් ගණනාවක් සමඟ යුද කිරීමට සිදුවිය.

එනම්,

1. කොටි සංවිධානය

2. ජාත්‍යන්තර ප්‍රජාව

3. රාජ්‍ය නොවන සංවිධාන

4. විපකෂය

එකවර මේ පාර්ශ්ව හතර සමඟ යුද කළ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ විට අන්තිම වෙඩි මුරයත් පත්තු කර දෙකෙන් එකක් වන හැටි බලමු යැයි කල්පනා කළ ජාත්‍යන්තර ප්‍රජාව මානව හිමිකම් නමැති පාරාවළල්ල අප වෙත දමා ගැසීය. පාරාවළල්ල යනු එය දමා ගැසු තැනටම ආපසු එන ආයුධයකි. පාරාවළල්ල එන විට ඉලක්කය වහා ස්ථාන මාරුවක් සිදු කළ යුතු අතර නැතහොත් පාරාවළල්ල ඉලක්කයේ ගැටී ඉලක්කය විනාශ වෙයි. එසේම පාරාවළල්ල ආපසු එන අතර ප්‍රහාරකයා ස්ථාන මාරුවක් සිදු නොකළොත් එය ප්‍රහාරකයා සමඟ ගැටී ඔහු නසී. ශ්‍රී ලංකාවට විරුද්ධව එල්ල කළ මානව හිමිකම් පාරාවළල්ල ඉලක්කයේ නො වැදුණු අතර ආපසු ගොස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා විරෝධීන් අතරට කඩා වැටුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එම කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ යෝජනාව පරාජයට පත්විය. තුන් සිංහලය තවත් යුද්ධයක් ජයග්‍රහණය කළේය.

මේ රටේ තවදුරටත් සුළු ජාතීන් නැති බවත් ඇත්තේ රටට ආදරය කරන පිරිස සහ රටට ආදරය නොකරන පිරිස පමණක් බවත් ජනාධිපතිතුමා පසුගියදා පැවැසීය. මේ අනුව ලෝකයේ පවත්නා රටවල් ද වර්ගීකරණය කළ හැකි ය. එනම් ත්‍රස්තවාදයට විරුද්ධ රටවල් සහ ත්‍රස්තවාදයට පකෂ රටවල් ලෙස ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අපට පකෂව ඡන්දය පාවිච්චි කළ රටවල් සියල්ල ත්‍රස්තවාදයට විරුද්ධ බව අපගේ පිළිගැනීම ය. අපට විරුද්ධව ඡන්දය දුන් කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, චිලිය, බොස්නියාව, මෙක්සිකෝව, ස්ලොවැකියාව, ස්ලොවැනියාව, ස්විටිසර්ලන්තය සහ බ්‍රිතාන්‍යය ත්‍රස්තවාදයට කැමැති, එයට ගැතිකම් කරන රටවල් බව අපගේ පිළිගැනීම ය.

මෙහිදී ත්‍රස්තවාදයේ හිතවතුන් ගැන වෙන වෙනම සාකච්ඡා කිරීම වැදගත් ය. කැනඩාව යනු ලෝකයේ ඉතාම දුර්වල ෆෙඩරල් ව්‍යුහය ඇති කොටි ත්‍රස්තවාදීන් වැඩිපුරම ජීවත් වන රට ය. මෙහි මධ්‍යම රජයට රටේ ප්‍රාන්ත ආණ්ඩුවලට කළ හැකි බලපෑම ඉතා අල්ප ය. ඇත්තටම කැනඩාව යනු එක නමක් යටතේ පවතින වෙනම රාජ්‍ය සමුහයකි. ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය වැනි රටවල් ඇමරිකාවේ බෝම්බ සහකරුවෝ ය. ඇමරිකාව සහරා කාන්තාරයට බෝම්බ දැමීමට ගියත් පස්සෙන් යෑමට මේ රටවල් කැමැති වෙයි. එහි රහස ඇමරිකාව ලෝකයේ බලවත් රටක් වීමත් දැනට බලය ගිලිහී තිබෙන ප්‍රංශය හා ජර්මනිය බල්ලාගේ ඇඟේ එල්ලී ජීවිතය ගැටගසා ගන්නා මැක්කා මෙන් ඇමරිකාව පසුපස යමින් එරට විසි කරන මස් කටු ලෙවකා ජීවත්වීමයි. ඉතාලිය යනු ලෝකයේ භයානකම ත්‍රස්තවාදියකු වු බොනිටෝ මුසෝලිනි විසින් පාලනය කෙරුණු රටකි. ඒ නිසා ත්‍රස්තවාදය යනු ඔවුනට රසවත් මාතෘකාවකි. චිලී රට පාලනය කළ අගුස්තෝ පිනෝජේ දශක ගණනාවක් පුරාම ත්‍රස්තවාදයේ තිත්ත රසය එරටට පුරුදු කළේය. ඒ නිසා ඒ රටට තිත්තත් පැණි රසකි. නෙදර්ලන්තය යනු මේ රට කලක් තිස්සේ යටත් කරගෙන සිටි යටත් විජිතවාදියෙකි. බ්‍රිතාන්‍යය මෙන්ම නෙදර්ලන්තය ද අපෙන් පලිගැනීමට බලා සිටී. ස්ලොවැකියාව සහ ස්ලොවැනියාව යනු ජාතිවාදයේ ලෙයින් පෙඟී ගිය රටවල් ය. තවත් රටක ත්‍රස්තවාදී ප්‍රශ්නය විසඳෙනු දැකීමට ඔවුනට නො හැකිය. ස්විටිසර්ලන්තය ත්‍රස්තවාදය ගැන කිසිත් නොදනී. ඒ නිසා ඔවුහු යන රුල්ල පස්සේ යති.

ශ්‍රී ලංකාව ඉතා වටිනා බිම් කඩකි. මේ රට සරුසාර වනු දැක්ම ඉවසා සිටීමට සමහර රටවල් කැමැති නැත. ඒ නිසා ඔවුහු ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ජය ගනු දැකීමට මහත් සේ ඇලුම් කළහ. ජිනීවා ජයග්‍රහණය පිටුපස ඇති කතාව එයයි.

(දිවයින_09/05/29)

පසුවදන_ජාත්‍යන්තර ප්‍රජාව යනු තව දුරටත් බටහිර අත්තනෝමතික හස්තය නොවන බව ඊයේ පැහැදිළි විය. එය ඇතැමුන්ට මුසුප්පුවට කරුණක් වුව ද නිවහල් මිනිසුන්ට සතුටට කරුණකි. මේ රටේ කුහක විපක්ෂය පිළිබඳ අපට ඇත්තේ බලවත් කනගාටුවෙකි. අද යූඇන්පීය මී හරක් කෙළින මඩ ගොහොරුවකි. අවසනාවට සජිත් ප්‍රේමදාස වැනි හොඳ මිනිසුන් කීපදෙනෙකුට ද ඒ මඩේ ළැග සිටින්නට සිදු වී ඇත. යුද්ධයට ගැරහූ එම පක්ෂයේ අම්බරුවෝ අද යුද ජයග්‍රහනයේ පොල්මඃකාරයින් වී සිටිති. අලියා සමග දිව්‍ය ලෝකේ ගිය ගමරාලගේ ඉරණම අද ජවිපෙ ඉරණමට දෙවෙනි නැත. මේ සියලු දෙනාට සිය අතීතය දෙස බලා සිනාසීමටත් අනාගතය දෙස බලා සුසුම්ලෑමටත් පමණි අද ඇත්තේ.

1 comment:

sanzilla said...

you are saying that all the UMP guys did the evil things !

and the ranil did the evil things ! may be I don't know the ppl well cos I'm still 24. anyhow the opposite leadership is also a good place in our country. Even the president. Mininda also respect that position.

And there are ppl like the Marvin de silva in both sides.

what we can do ! the politics are always dirty.

 
සිය රට දේ සිරි සැප දේ !