Friday, May 15, 2009

සුද්දාගේ පැරණි ප්‍රයෝගය නැවතත්...

යුද මුක්ත කලාපයට යෑමට අවසර දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයෙන් ඉල්ලයි. එයට ඉඩ දීමට නොහැකි බව රජය කියයි. ශ්‍රී ලංකාවේ යුද මුක්ත කලාපය ඉන්දු පාකිස්තාන් දේශ සීමාවටත් වඩා භයානක තැනකි. සාමාන්‍ය පිළිගැනීම නම් ලෝකයේ භයානකම සහ වඩාත්ම අන්තරාදායක තැන ඉන්දු පාකිස්තාන දේශසීමාවේ කාශ්මීරය හරහා වැටී ඇති කොටස බව ය. මේ පෙදෙසට අඩිය තබන ඕනෑම කෙනකුට වෙඩි පහරක් කෑමට සිදු වීම ස්ථිර ය. එසේ වෙඩි කන තැනැත්තාගේ මෘත දේහයේ වගකීම භාර ගැනීමට පාකිස්තානය හෝ ඉන්දියාව සුදානම් නැත. පාකිස්තානය කියන්නේ ඉන්දියාව පැත්තෙන් වෙඩිල්ල ආ නිසා මළ සිරුරේ වගකීම ඉන්දියානුවන්ට බව ය. ඉන්දියාව කියන්නේ පාකිස්තානය පැත්තෙන් වෙඩිල්ල ආ නිසා පාකිස්තානය මළ සිරුරට වගකිව යුතු බව ය. මේ නිසා කවුරුවත් මළ සිරුරට අත නො ගසති. කාශ්මීර දේශසීමාව තනිකරම හිම කුටිටියක් නිසා අධි ශීතකරණයේ ලු කුකුළකු සේ මළ මිනිය ද ශත වර්ෂ ගණනක් නොදිරා පවතී. මෙවැනි මළ සිරුරු සිය දහස් ගණනක් කාශ්මීරයේ හිම තටිටු යට ඇත.

උතුරේ යුද මුක්ත කලාපයත් අද පවතින්නේ මෙසේ ගිනි ඇවිලෙන සුළු තත්ත්වයක ය. ඒ කලාපයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් යවා වෙඩි කෑමට සැළසු විට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට වහා මැදිහත් වී සාම හමුදාවක් මෙහි එවීමට බටහිර ලෝකයට හැකි ය. මෙවැනි කාරණා ලෝක ඉතිහාසය තුළ ද සිදු වී තිබේ. බ්‍රිතාන්‍යය විසින් අප්‍රිකානු රටවල් අල්ලා ගැනීමට අනුගමනය කළේ මේ හා සමාන ක්‍රමවේදයකි. එයින් එකක් මෙසේය: එක්දහස් අටසිය ගණන්වලදී බ්‍රිතාන්‍ය යුද නැවක් අප්‍රිකානු සාගරයේ නැංගුරම් දමයි. ඉන්පසු නැවෙන් මුහුදට දමන බෝටිටුවකට ගොඩවන ක්‍රිස්තියානි මිෂනාරි පුජකයෙක් වම් අතින් බයිබලයක් ගෙන දකුණතින් පපුවේ කුරුසයක් අඳිමින් ඒ වන විටත් වෙරළේ උද්ඝෝෂණය කරන ස්වදේශික පිරිස අතරට යයි. එවිට පුජකයා මරණ ස්වදේශිකයෝ ඔහුගේ සිරුර මුහුදට දමති. එකල්හි මහ රුජනගේ වැසියකු මරා දැමීමේ චෝදනාවට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා යුද නැවේ සිටින බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ අප්‍රිකානු රට ආක්‍රමණය කරති.

සුද්දා තම පරණ ප්‍රයෝගය ලංකාව විෂයයෙහි ක්‍රියාත්මක කිරීමට යන හැඩයි. මේ වේලාවේ යුද මුක්ත කලාපයට යන ඕනෑම කෙනකුට ප්‍රභාකරන්ගේ මිනිමරුවන් වෙඩි තබනවා ඇත. එහි වරද ඉතා පහසුවෙන් අපේ ඇඟේ ගැසීමට ද පුළුවන. එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගේ නීච ඕනෑ එපාකම් පිරිමැසීම සඳහා තම සාමාජිකයන් බිලි දීමට සුදානම් වීම බරපතල පහත්කමකි. කාගේ ජීවිතයත් ජීවිතයකි. ඒ ජීවිතය පෞද්ගලික අරමුණක් වෙනුවෙන් බිලි දීමට තැත් කිරීම මිනී මැරීමට තැත් කිරීමකි.

අවි බිම තබා සිවිල් වැසියන් මුදාහරින ලෙස ඇමරිකන් ජනාධිපති ඔබාමා ඉල්ලයි. ඒ අතර අප වෙනුවෙන් අනුමත වී ඇති ඩොලර් බිලියන 1.9 ක ණය මුදල නොදෙන ලෙස ඇමරිකන් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් බලපෑම් කරයි. අප යුද්ධයේ විජයග්‍රහණය අභියස සිටින්නේ ඒ කුහකකම් මැද්දේය. ප්‍රභාකරන් ක්‍රමයෙන් යුද්ධය අත්හැර දමමින් සිටින බව පෙනේ. කොටි සංවිධානයට අයත් සියලු දේපළ විනාශ කරන ලෙස ඔහු තම හමුදාවට නියෝග කර ඇත. එම දේපළවලට අයත් වැල්ලවත්තේ සුඛෝපභෝගී තටිටු නිවාස සංකීර්ණ, කොළඹ හරස් වීදිවල කඩ යනාදිය විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය. ඒ සියල්ල විකුණා යුද්ධයෙන් හානියට පත් ජනතාවට වන්දි ගෙවිය යුතුය.
(දිවයින_09/05/16)

පසුවදන-සුද්දා හැම විට ම අප දෙස බැලුවේ සතුරන් දෙස බලන අයුරිනි. මෑත ඉතිහාසයේ ලොව පුරා යමින් බොහෝ රටවල මිනිසුන් සංස්කෘතීන් සිය යුද බලයෙන් පරාජය කොට හිරු නොබසින අධිරාජ්‍යයක් තැනූ සුද්දාට එකල අපේ මුතුන් මිත්තෝ මුල්ලෙරියාවේ දී සැලකූ ආකාරය ඇතැම් විට ඊට හේතුභූත වන්නට ඇත. කෙසේ වුව ද සුද්දා සිය ඊනියා මානව හිමිකම්, සිවිල් අයිතිවාසිකම් ආදි ආයුධවලින් සන්නද්ධව සටන් කරන්නේ කා සමග ද යන්න ඔබට ඉතා පහසුවෙන් අව‍බෝධ කරගත හැකි මොහොතකි මේ.

පකිස්ථාන රජයේ හමුදා සහ තලීබාන් කැරලිකරුවන් අතර ගැටුම් ඇවිළි යත් ම මේ වන විට ලක්ෂ 8 1/2ක ජනතාවක් අවතැන් වී ඇත. තවමත් එහි කෙළවරක් නැත. එහෙත් කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දමන ලංකා රජයේ සටනට අකුල් හෙළන්නට අනේක බලපෑම් කරන එක්සත් ජාතීන්, බටහිර රටවල් පකිස්ථානයට නියෝජිතයින් යන්නේ නැත. වහා සටන් විරාමවලට යන්නැයි බලපෑම් කරන්නේ ද නැත. ණය නොදෙමියි තර්ජනාංගුලිය පාන්නේ ද නැත. ජාත්‍යන්තර මාධ්‍ය හරහා තලිබාන්ලාට ගැති ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙනි යන්නේ ද නැත.

මේ වෙනසට හේතුව කුමක් ද? ලංකාවේ මෙන් පකිස්ථානයේ ද ප්‍රජාතන්ත්‍රවාදී පාලයක් තිබේ. කොටි මෙන් ම තලීබාන්ලා ද ත්‍රස්තයෝ ය. 'ප්‍රජාතන්ත්‍රවාදී රජයකට ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගත හැකිය' යන මන්ත්‍රය බටහිර බලවත්තු නිතර මතුරති. ඒ අර්ථයෙන් මේ දෙරට ම කරන්නේ සමාන කාර්යයෙකි. එහෙත් බටහිර රටවල් මේ දෙස බලන්නේ දෙවිදිහකට ය. සුද්දාට තලීබාන්ලා ත්‍රස්තවාදීන් වුණාට කොටි ත්‍රස්තවාදීන් නොවේ. මන්ද කොටි ගැහුවේ සුද්දාට නොව අපට ය. අපට ගහන උන් සුද්දාට විමුක්ති කාමීහු වෙත්. අපට කොයි ත්‍රස්තවාදියාත් ත්‍රස්තයින් වෙත්.

1 comment:

sanzilla said...

>>එම දේපළවලට අයත් වැල්ලවත්තේ සුඛෝපභෝගී තටිටු නිවාස සංකීර්ණ, කොළඹ හරස් වීදිවල කඩ යනාදිය විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය. ඒ සියල්ල විකුණා යුද්ධයෙන් හානියට පත් ජනතාවට වන්දි ගෙවිය යුතුය.

yeah , I want to see how it happened !
one man show is over now !

 
සිය රට දේ සිරි සැප දේ !