Tuesday, May 26, 2009

මම ප්‍රභාකරන් දැකීමට ගියෙමි. එහෙත් එවිට ඔහු මියගොසින්ය!

කොටි සංවිධානයේ නායකයන්ගේ සහ හිතවතුන්ගේ පවා විශ්වාසය වුයේ එම සංවිධානයේ නායකයා වු ප්‍රභාකරන් දැක ගැනීම ඉතා දුර්ලභ සිදුවීමක් බවයි. දැක ගැනීමට ඉතාම අපහසු වු ලෝකය දැන සිටියත් ලෝකයටම වසන් වී ජීවත් වු කොටි නායකයා දැක ගැනීමේ අවස්ථාව පසුගිය අඟහරුවාදා (19 වැනිදා) උදෑසන අපට උදා විය. නමුත් අප ඔහු දකින විට ඔහු සිටියේ ජීවතුන් අතර නොව මළවුන් අතරය. තමාට අත් වු ඉරණම පිළිබඳව විශ්මයට පත් වු ආකාරයෙන් කොටි නායකයාගේ දෑසත්, මුවත් එම අවස්ථාවේදී විවරව තිබිණි.


එලෙස අපට කොටි නායකයාගේ මළ සිරුර දැක ගැනීමේ අවස්ථාව උදා වුයේ පුදුකුඩිඉරිප්පු, නන්දිකන්ඩාල් කලපුව උතුරු ප්‍රදේශයේදීය. කොටි නායකයාගේ දකුණු ඇසට ඉහළින් වු ප්‍රදේශයට ටී. 56 වර්ගයේ ගිනි අවියකින් එල්ල වු ප්‍රහාර 2 ක් හේතුවෙන් ඔහු මරණයට පත් වී ඇති අතර එම ප්‍රහාරය එල්ල වු ප්‍රදේශයට ඉහළින් වු හිස්කබල විනාශයට පත් වී තිබිණි. එමෙන්ම හිසේ මොළය පිහිටි ප්‍රදේශය සම්පුර්ණයෙන් ම කුහරයක් බවට පත් වී තිබිණි.


කොටි නායකයා කිසිදු වෙස්මාරු කිරීමකට උත්සාහ දරා නොතිබු අතර, මරණයට පත් වු අවස්ථාවේදී සුපුරුදු උඩු

රැවුලින් සැරසී සිටියහ. නමුත් මුහුණේ අනෙකුත් ප්‍රදේශවල රැවුල මරණයට පත් වීමට දිනකට පමණ පෙර කාලය තුළ කපා ඇති බව දකින්නට තිබිණි. එමෙන්ම දෑතේ සහ දෙපයේ ඇඟිලිවල නියපොතු ද මනා සේ කපා තිබුණ අතර, කලපුවේ කඩොලාන ප්‍රදේශයේ රුඳී සිටීම හේතුවෙන් පාදවල යට කොටස සුදුමැලි වී රුළි වැටී තිබිණි. එමෙන්ම කොටි නායකයාට වෙඩිවැදී මරණයට පත්වී තිබු ප්‍රදේශයේ තිබී තවත් කොටි සාමාජිකයන් 45 දෙනකුගේ පමණ සිරුරු හමු වී ඇත. මුහුදු කොටි නායකයා ලෙස හැඳින්වු සුසෙයිගේ සිරුර හමුවී ඇත්තේ ද එම මළ සිරුරු අතර තිබියදී ය.

කොටි නායකයා ඇතුළු පිරිස නන්දිකන්ඩාල් කලපුවේ උතුරු ප්‍රදේශයට ඇතුළු වී ඇත්තේ 18 වැනි සඳුදා පෙ. ව. 2.30 ට පමණ 53 සහ 58 යන බළකායන්ගේ ඉදිරි ආරකෂක වළල්ලට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව විය යුතුය. ඊට පෙර කොටි නායකයා ඇතුළු මරණයට පත් වු ප්‍රධාන පෙළේ කොටි නායකයන් ඇතුළු සියලු සාමාජිකයන් රුඳී සිට ඇත්තේ යුද මුක්ත කලාපය තුළ ය.

පසුගිය සිකුරාදා දිනයෙන් පසුව කොටි ග්ර්‍‍රහණයේ පැවැති ප්‍රදේශය තුළ සිදු වු ප්‍රධානතම සිදුවීම ලෙස සැලකිය හැක්කේ පොක්කනේ ප්‍රදේශයේ පිහිටි මුහුදු තීරයේදී බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුතු 58 වැනි සේනාංකය සහ බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් යුතු 59 වැනි සේනාංකය එකිනෙක හමුවීමයි. මෙම ඓතිහාසික සිදුවීමත් සමඟම මෙරට මුහුදු තීරය කොටි පාලනයෙන් සම්පුර්ණයෙන් ම නිදහස් විය. මෙම ඓතිහාසික යුද ජයග්‍රහණය සඳහා මෙහෙයුම් සිදුකර ඇත්තේ 58 වැනි සේනාංකයට අයත් 11 වැනි ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 59 වැනි සේනාංකයට අයත් 11 වැනි ගැමුණු බල ඇණිය විසිනි.

එම සේනාංක විසින් මුහුදු තීරය සම්පුර්ණයෙන් ම මුදා ගැනීමත් සමගම මුහුදු මාර්ගයෙන් පලා යෑමේ යම් හෝ අදහසක් කොටි නායකයන් තුළ තිබුණා නම් එය ද බිඳ වැටෙන්නට ඇත. එම ඓතිහාසික සිදුවීම 16 වැනි සෙනසුරාදා උදෑසන සිදු වී ඇති අතර එදින රාත්‍රියේදී ද කොටි නායකයන් යුද මුක්ත කලාපයෙන් පලා යෑමට උත්සාහ දරා ඇති බව පැහැදිලි වන්නේ එදින රාතියේදී 59 වැනි සේනාංකයට අයත් ඉදිරි ආරකෂක වළල්ලට පහර දීමට දැරු උත්සාහය හේතුවෙනි. එදින උදෑසන 58 සහ 59 යන සේනාංක වෙල්ලමුල්ලි වෛක්කාල් ප්‍රදේශයේදී හමුවීමත් සමඟම කොටි නායකයන්ට මුහුදු මාර්ගයෙන් පලා යෑමට තිබු යම් හෝ අවස්ථාව අහෝසි වී යෑමත් සමඟම ඔවුන් වෙනත් ප්‍රදේශයක් වෙත පලායෑම සඳහා 16 වැනි සෙනසුරාදා රාත්‍රියේ 59 වැනි සේනාංකයේ ඉදිරි ආරකෂක වළල්ලට පහර දුන් බව විශ්වාස කළ හැක. නමුත් කොටි ත්‍රස්තවාදීන් දැරු එම උත්සාහය අසාර්ථක වීමට එක් ප්‍රධාන හේතුවක් වුයේ එදින රාත්‍රි 8.30 ට පමණ කොටි ත්‍රස්තවාදීන් යම් ප්‍රහාරයක් සඳහා සුදානම් වන බව රේඩාර් තීරයේ දර්ශනය වීම හේතුවෙනි..

කොටි ත්‍රස්තවාදීන්ගේ එම අසාර්ථක උත්සාහයෙන් පැය කිහිපයකට පසුව, එනම් 17 වන ඉරිදා උදෑසන 5.00 ට පමණ වර්ග කි. මී. 800 කට පමණ සීමා වී තිබු යුද මුක්ත කලාපය තුළ සිර වී සිටි සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුතු 53 වැනි සේනාංකය සහ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුතු 58 වැනි සේනාංකය විසින් දියත් කර ඇත. යුද මුක්ත කලාපයේ උතුරු ප්‍රදේශයේ සිට දකුණට ක්‍රියාත්මක වු මෙම මෙහෙයුමත් සමඟම යුද මුක්ත කලාපයට බටහිර දෙසින් ස්ථානගත වී සිටි 59 වැනි සේනාංකය වෙත සිවිල් වැසියන් විශාල වශයෙනුත් මෙහෙයුම දියත් කළ 58 සහ 53 යන සේනාංක ප්‍රදේශ වෙත සැලකිය යුතු ප්‍රමාණයකුත් ජනතාව පලාවිත් ඇත.

යුද මුක්ත කලාපයෙන් සාමාන්‍ය ජනතාව පිට වී යෑමත් සමඟම කොටි නායකයා සමඟ අවසාන වශයෙන් රුඳී සිටි කොටි ත්‍රස්තවාදීන් ද සැලකිය යුතු පිරිසක් පලා ගිය බව බුද්ධි අංශවල තක්සේරුව වී තිබේ. එම පිරිසේ පලා යෑමෙන් පසුව 500 කට ආසන්න කොටි ත්‍රස්තවාදීන් පිරිසක් අවසාන වශයෙන් කොටි නායකයා සමඟ රුඳී සිටින්නට ඇති බව බුද්ධි අංශවල විශ්වාසය වී තිබේ.

මෙලෙස අවසාන වශයෙන් යුද මුක්ත කලාපය තුළ රුඳුණු පිරිසේ මීළඟ පියවර වුයේ පසුදින එනම් 18 වැනි සඳුදා පෙ. ව. 2.30 පමණ 53 වැනි සේනාංකය සහ 58 වැනි සේනාංකයට අයත් ඉදිරි ආරකෂක වළලු වලට පහර දී යළිත් මුදාගත් ප්‍රදේශයට ඇතුළු වීමයි. එදින පෙ. ව. 2.30 ට පමණ ආරම්භ වු සටන් අප එදින උදෑසන 10 ට පමණ එම ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයට සමීප වු අවස්ථාව වන විට ද දරුණු ලෙස පැවතිනි. එම අවස්ථාව වන විට පුදුකුඩිඉරිප්පු සිට මුලතිව් දක්වා වැටී ඇති ඒ. : 35 මාර්ගයට සමාන්තර ඊට උතුරින් ගමන් ගන්නා මාර්ගයේ තිබී කොටි ත්‍රස්තවාදීන් 54 දෙනකුගේ මළ සිරුරු දැක ගත හැකි විය. ඒ අතර ගැහැනු 14 දෙනකුගේ සිරුරු ද විය. ඒ අතර එක් අතක් පෙර කොටස අහිමිව තිබියදීත් සටන් වැදීම සඳහා පැමිණ මරණයට පත් වු කාන්තාවකගේ සිරුර ද විය.

අවසාන වශයෙන් කොටි ත්‍රස්තවාදීන් 53 සහ 58 යන සේනාංකවලට එල්ල කරන ලද ප්‍රහාරවලින් එම ආරකෂක වළල්ලේ ස්ථාන කීපයක් ම සුළු මොහොතකට බිඳ වැටීමෙන් පසුව ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන් මුදාගත් ප්‍රදේශයට ඇතුළු වී ඇත. ප්‍රභාකරන් ඇතුළු පිරිස ඇතුළු වී ඇත්තේ 53 වැනි සේනාංකයට අයත් නන්දිකඩාල් කලපුවේ උතුරු ප්‍රදේශයේ පිහිටි කඩොලාන ප්‍රදේශයට ය.

එදින උදෑසන ඇති වු සටන් වලින් ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනී, රමෙෂ්, කරිකාලන්, කපිල් අම්මාන්, නඩේෂන්, ඉලංකෝන් (කොටි පොලිසියේ ප්‍රධානියා), පුලිතේවන් ඇතුළු පිරිස මරණයට පත් වී ඇත.

එදින සවස නන්දිකඩාල් කලපුවට උතුරින් ඒ : 35 මාර්ගය ආසන්න ස්ථානයකදී චාල්ස් ඇන්තනි ඇතුළු ත්‍රස්තවාදීන් 67 දෙනකුගේ සිරුරු දැක ගත හැකි විය. එම සිරුරු අතර රත්නම් මාස්ටර්ගේ සිරුර ද විය.කරයාමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී මරණයට පත් වී ඇති චාල්ස් ඇන්තනිගේ සිරුර සම

ඟ ඔහුගේ විභාග සහතික ඇතුළු විවිධ ලියකියවිලි, මුදල් සහ විවිධ භාණ්ඩ විය.

එම ස්ථානයේ තිබු මුදල් ප්‍රමාණය මිලියන 13 ක් වු අතර ඊට අමතරව එම ස්ථානයේ ටී. : 56 ගිනි අවි 18 ක්, සී. 90 :1 (තර්මො බැරක්) අවි 1, ලකෂ 10 ක් පමණ වු වටිනාකමින් යුත් එෆ්. එම්. සී. අවි 1 ක්, පිස්තෝල 4 ක්, ගුවන් විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍ර 55, ගෑස් ප්‍රහාරවලින් ආරකෂා වීම සඳහා පළඳින මුහුණු 1, ටී. 56 අවි සඳහා යොදන මැගසින් 23 ක්, එෆ්. එම්. සී. අවි සඳහා යොදන මැගසින් 17, අත් බෝම්බ 28, බැටරි චාජර් 5, සුර්ය කෝෂ 1, සිතියම් 11, වෛද්‍ය නලාවක්, දුරදක්නයක්, මාලිමා 1 ක්, ගුවන් විදුලි යන්ත්‍ර 2 ක්, චීස් ටිං විශාල ප්‍රමාණයක් සහ වියළි ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද ඒ අතර විය.

චාල්ස් ඇන්තනී මරණයට පත් වී තිබුණේ දකුණු ඇස සහ එම ප්‍රදේශයට එල්ල වු වෙඩි ප්‍රහාරයක් හේතුවෙනි. එම ප්‍රහාරය හේතුවෙන් එම ඇස සහ එම ප්‍රදේශය ඇතුළට නෙරා ගොස් තිබිණි. ඔහු උඩු රුවුල සමඟ නිකට ප්‍රදේශය දක්වා රුවුල වවා තිබුණ අතර, අන් ප්‍රදේශවල රුවුල දින දෙක තුනකින් පමණ කපා නොතිබිණි. චාල්ස් ඇන්තනි ප්‍රහාරයට පත් වන අවස්ථාවේ කළු කලිසමකින් සහ සාක්කු දෙකකින් යුත් තද නිල් පාට කමිසයකින් සැරසී සිට ඇත.

අප එම මළසිරුරු පැවති ප්‍රදේශයේ රුඳී සිටින විටත්, පසුදින ප්‍රභාකරන් ප්‍රහාරයට පත්වු ප්‍රදේශය තුළ සෝදිසි මෙහෙයුම් කටයුතුවල යෙදුණ කමාන්ඩෝ බලසේනාවේ සෙබළුන් සහ කොටි ත්‍රස්තවාදීන් අතර වරින් වර පැවති වෙඩි හුවමාරුවීම් ශ්‍රවණය කිරීමට හැකිවිය. එම මෙහෙයුම් සඳහා කමාන්ඩෝ බලසේනාව යොදවා තිබුණේද 53 වන සේනාංකාධිපතිවරයා විසිනි. එදින සවස් කාලය වන විටත්, සටන් පැවති ප්‍රදේශවලදී මරණයට පත්වු කොටි ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයකගේ සිරුරු ඒ 35 මාර්ගය සමීපයට ගෙන එන අයුරු දැකගත හැකි විය.

ඓතිහාසික දිනය උදාවුයේ එදිනට පසුදිනය. දශක 3 ක පමණ කාලයක් දහස් සංඛ්‍යාත ජනතාවගේ මාරයා ලෙසත් මිල කළ නොහැකි ප්‍රමාණයක දේපළ විනාශ කළ පුද්ගලයා ලෙසත් සඳහන් කළ හැකි කොටි නායක ප්‍රභාකරන්ගේ සිරුර අපට දැක ගැනීමට හැකි වුයේ 19 වන අඟහරුවාදා උදෑසන 11.00 ට පමණය. අප එම ස්ථානයට ළඟාවන විට මාධ්‍යවේදීන්ට අමතරව දහස් සංඛ්‍යාත සොල්දාදුවන් සහ නිලධාරීන් පිරිසක් ප්‍රභාකරන්ගේ සිරුර දැක බලා ගැනීම සඳහා එම ස්ථානය වෙත සමීප වෙමින් සිටියහ. ඒ අතර ලෙප්ටිනන් කර්නල් රෝහිත අළුවිහාරේගේ නායකත්වයෙන් යුත් 4 වන විජයබාහු පාබල බල ඇණියට අයත් සෙබළුන් එම බලඇණියට අයත් ධජය රුගෙන එම භුමිය පුරා ජයඝෝෂා නඟමින් සැරිසරන අයුරු දැකගත හැකි විය. එම සෙබළුන් එලෙස උද්දාමයට පත්වී සිටියේ තම සේනාංකය විසින් ප්‍රභාකරන්ගේ සිරුර අත්පත් කර ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙනි. එම බල ඇණිය අයත් වන්නේ මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුතු 53 වන සේනාංකය යටතේ සටන් වදින කර්නල් රවිප්‍රියගේ නායකත්වයෙන් යුතු 8 වන කාර්ය සාධක බළකායේ 681 වන බලසේනාවටය. එදින උදෑසන නන්දිකඩාල් කලපුවේ උතුරු ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කර ඇත්තේ එම සේනාංකය විසිනි.

පළමුව ප්‍රභාකරන්ගේ සිරුර තබා තිබුණේ නන්දිකඩාල් කලපුවේ නියරට ඉතා ආසන්න ස්ථානයකය. කොටි නායකයාගේ මරණය පිළිබඳව 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සහ 53 වන සේනාංකාධිපති මේජර් ජනරාල් කමල් ගුණරත්න මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේ එම ස්ථානයේදීය. පසුව මළසිරුර එම ස්ථානයට මඳක් ඈතින් වු ඒ:35 මාර්ගයට උතුරින් වු බංකරයක් තුළ තබන ලදී.

ඒ එම ස්ථානයට ප්‍රභාකරන්ගේ අවසානය දැක බලාගැනීම සඳහා පැමිණි නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ පහසුව සඳහාය. පසුව එම ස්ථානයෙන්ද ඉවත් කළ මළසිරුර එම ස්ථානයට මදක් ඒ:35 මාර්ගයේ මුලතිව් දෙසට නන්දිකඩාල් කලපුව සීමාවේදී සවස් කාලයේදී දැඩි ආරක්ෂක විධිවිධාන මැද එම ස්ථානයට පැමිණි කරුණා අම්මාන්ට සහ දයා මාස්ටර්ට මළසිරුර ප්‍රදර්ශනය කර ඇත. ඔවුන් දෙදෙනා විසින්ද මරණයට පත්වී සිටින පුද්ගලයා කොටි නායක ප්‍රභාකරන් බව තහවුරු කර ඇත. ඉන්පසුව ප්‍රභාකරන්ගේ මළසිරුරට සිදු වුයේ කුමක්ද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබු අතර පසුගිය බ්‍රහස්පතින්දා සවස හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ප්‍රකාශ කොට තිබුණේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ගේ මළසිරුරු පුළුස්සා දැමු බවයි.

කොටි නායක ප්‍රභාකරන් ඇතුළු ප්‍රධාන පෙළේ කොටි නායකයන් සියලු දෙනාම මරණයට පත්වීමත්, කොටි පාලනය යටතේ සම්පුර්ණ භුමියම ආරක්ෂක හමුදාවන් විසින් මුදාගැනීමත් නිසා මේ මොහොත වන විට යුද්ධය අවසන් වී ඇති බව සඳහන් කළහ.

ඒ බව නිල වශයෙන් සංකේතවත් කිරීමේ සම්ප්‍රදයානුකුල උළෙලක් පසුගිය බදාදා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයට අයත් වෙල්ලාමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ දී පවත්වන ලදී. යුද හමුදාව වෙනුවෙන් පැවති එම සම්ප්‍රදාායානුකුල උළෙල පැවැත්වීම සඳහා එම ස්ථානය තෝරාගෙන තිබුණි. කොටි සංවිධානය සමග පැවති අවසාන සටන එම භුමියේ දී සිදුවීමත්, කොටි ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් ෆාරා 3 නම්වු ජෝර්දාන් නැව එම මුහුදු තීරයේ තිබීමත් නිසාය.

වන්නි මෙහෙයුමට සහභාගි වු සියලුම සේනාංකවලට සහ බල සේනාවන්ට අයත් ධජ පතාකවලින් සහ ජාතික කොඩියෙන් ජය භුමිය සරසා තිබුණු අතර "සිංහබාහු පරපුරේ සිංහලයකු නම්, සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙළදෙන සිංහල දෙරණේ" යන ගීත ඇතුළු දේශප්‍රේමී ගීත එම භුමියේ ප්‍රචාරය විය.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි වන්නි ආඥාපති මේජර් ජනරාල් ජගත් ජයසුරිය මහතා 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශ්වේන්ද්‍ර සිල්වා විසින් පිළිගෙන උත්සව සභාව වෙත කැඳවාගෙන එන ලදී.

පළමුව සටනේදී දිවි දුන් විරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ශබ්ද්දතාවයක් ආරක්ෂා කළ අතර පසුව වන්නි මෙහෙයුමට සම්බන්ධ සියලුම සේනාංකාධිපතිවරුන් ඇතුළු ප්‍රධානීන් සමුහ ඡායාරුපයකට පෙනී සිටියහ. පසුව මෙරට යුද හමුදාවේ අවි බලය ප්‍රදර්ශනය කිරීම සඳහා මල්ටි බැරල් අවි දෙකක් ඇතුළුව යුද ටැංකිවලින් ප්‍රහාරයක් එල්ල කළහ. පසුව වන්නි ආඥාපතිවරයා සභාව ඇමතීමෙන් පසුව ලෝක යුද චාරිත්‍ර අනුව යමින් යුද්ධය අවසන් බව සංකේතවත් කිරීම සඳහා යුද ටැංකියකින් අවසාන වෙඩි ප්‍රහාරය එල්ල කළහ.

මින් ඉදිරියට කොටි ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුද ටැංකි, මල්ටි බැරල්, කාලතුවක්කු වැනි අවි අවශ්‍ය වන්නේ නැත. එබැවින් යුද්ධය අවසන් වු බව සඳහන් කළ හැක. යුද්ධය අවසන් වී ඇති බැවින් තවදුරටත් යුද පෙරමුණු පවතින්නේද නැත. එබැවින් මෙම ලිපිය යුද පෙරමුණ පිළිබඳව ලියන අවසන් ලිපිය බවද සඳහන් කළ යුතුය. මෙතෙක් කල් යුද පෙරමුණ ලිපිය ලිවීම සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම ස්තුති කිරීමටද අප මෙය අවස්ථාව කරගනිමු. නමුත් යුද්ධය අවසන් වුවත් ත්‍රස්තවාදය අවසන් වු බව සඳහන් කිරීමට අප ඉක්මන් නොවෙමු.

එරික් ගාමිණී ජිනප්‍රිය
(ඉරිදා දිවයින_09/05/24)
පසුවදන_පිරපාහරන් මිය ගියායැයි සිතන්නට අදිමදි කළ පිරිසක් ද අප අතර විය. ඇතැම් මුග්ධයෝ පිරපාහරන් එළාරට සම කළහ. එළාර රජුට ඊට වඩා නින්දාවක් කළ හැකි දැයි ඉතිහාසය කියවූ අයගේ සිතට නැඟිණි. කොටි මුට්ටි කාසි ව්‍යාපාරයේ සිංහල නාමධාරි නියෝජිත ත්‍රිවිල් වාමාංශික පෙරමුණේ නායකයා මේ ත්‍රස්තයා රාවනාට සමකර තිබිණි. සීමාවෙන් පිට යයි beyong frame නම් කොටි අඩවිය වමාරන්නේ ඔහුගේ ඇම්බැට්ටයෙකි. අප හොඳින් මතක තබාගත යුත්තේ කොටින්ගේ මිලිටරි බලය පමණක් මුලිනුපුටා දැමූ බව ය. කොටි ජඩමාධ්‍යවේදීන් සහ වාම වූ ද නාමික වූ ද දේශපාලන පක්ෂ අප අතර තවමත් නිරුපද්‍රිත බව ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !