Monday, May 11, 2009

ඊළාම් මුදල් ගැන අප දන්නා කතාව

කොටි සංවිධානය විසින් උතුර - නැගෙනහිර පළාත්වල පුළුල් ලෙස පවත්වා ගෙන ගිය ඊළාම් බැංකුවට කුමක් සිදුවී ද යන්න ගැන රජය විශේෂ විමර්ශනයක් අරඹා තිබේ. ප්‍රභාකරන් සමඟ ඊළාම් සිහිනයේ ගැලී සිටි උතුර - නැගෙනහිර ව්‍යාපාරිකයෝ ඊළාම් බැංකුවේ රුපියල් කෝටි ගණනක් තැන්පත් කළහ. ඒ මුදල්වලට කුමක් සිදුවී ද? මේ පිළිබඳව අප දැනුවත්ව සිටින ආකාරය මෙතැන් සිට සඳහන් කරමු.

ඊළාම් යුද්ධයට අරමුදල් ලැබුණු මාර්ග කිහිපයක් විය. එයින් එකක් වුයේ ඉන්දිරා ගාන්ධි මහත්මිය සහ රජීව් ගාන්ධි මහතා ඉන්දියාව පාලනය කළ වකවානුවේදී ඉන්දියාවෙන් ලැබුණු මුදල් ය. එහෙත් රජීව් ගාන්ධි ඝාතනයත් සමඟ එම නල මාර්ගය වසා දමන ලදී. ඒ අතර ශ්‍රී ලංකාවෙන් පිටරටවලට පැන ගිය දෙමළ ජාතිකයෝ ද කොටින්ට විවිධ මාර්ගවලින් මුදල් එවුහ. ඊටත් අමතරව ශ්‍රී ලංකාව දෙකඩවනු දැකීමේ ආසාවෙන් වෙලී ගිය විදේශ කිහිපයක් ද කොටින්ට මුදල් සැපයුහ. කෙසේ වුවද කොටින්ට ප්‍රධාන වශයෙන් මුදල් ලැබුණේ පිටරටවලට පැන ගිය දෙමළ ජාතිකයන් වෙතිනි.

මේ මුදල් ඉතා විශාල වශයෙන් ද, ඉතා විවෘතව ද ලැබුණේ සටන් විරාමය පැවැති කාලයේදී ය. එම මුදල් දෙගුණ තෙගුණ කර ගැනීම සඳහා ඇති පහසුතම මාර්ගය ඒවා කොළඹ පිහිටි ව්‍යාපාරවල ආයෝජනය කිරීම බව ඇන්ටන් බාලසිංහම්ගේ මතය විය. ඒ අනුව කොළඹ පිහිටි දෙමළ සහ සිංහල ව්‍යාපාරිකයන්ට අයත් තොග කඩවලට මේ මුදලින් කොටසක් පොලියට දෙන ලදී. ඉතිරි කොටස කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉදිකෙරුණු සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිවල ආයෝජනය කෙරිණ. කොළඹ ඉදිකරන ලද

ලකෂරි එපාර්ටිමන්ටි යනුවෙන් හැඳින්වෙන මෙවැනි ඇතැම් නිවාස යෝජනා ක්‍රමවල පොටිටු අම්මාන්ගේ පවුලේ උදවියට, නඩේසන්ගේ පවුලේ උදවියට, බාලසිංහම්ගේ පවුලේ උදවියට, තමිල් සෙල්වම්ට යනාදී වශයෙන් නිවාස වෙන් කර තිබිණි. පෙර කී ධන සම්භාරය සමඟ ඊළාම් බැංකුවල තිබු මුදල් ද කොළඹ පැමිණ තොග කඩවලටත්, නිවාස යෝජනා ක්‍රමවලටත් ගිය බව අපි අවධාරණය කරමු.

මේ අතර කොටි සංවිධානය දෙකඩ වී කරුණා අම්මන් ප්‍රභාකරන්ගෙන් වෙන් විය. ඉන් පසු පෙර කී නිවාස ව්‍යාපෘති සහ තොග කඩවලින් මාසිකව ලැබුණ පොලිය පිළිබඳ මතභේදයක් හට ගත්තේ ය. ඒ කරුණාගේ පිරිස වෙනමත් ප්‍රභාකරන්ගේ පිරිස වෙනමත් ණය ගැතියන්ගෙන් පොලී ඉල්ලන්නට පටන් ගැනීම ය. දෙපාර්ශ්වයකට පොලී ගෙවීමට නොහැකි නිසා ව්‍යාපාරිකයන්ගේ ඉහ මොළ රත්විය. පොලී ගෙවීමට නොහැකි වු ඇතැම් ව්‍යාපාරිකයෝ ඝාතනය වුහ. තවත් සමහරු ව්‍යාපාර අත්හැරියහ.

මේ අනුව අපගේ වැටහීම වන්නේ ඊළාම් බැංකුවේ මුදල් සියල්ලම නැතත් ස්වල්පයක් හෝ කොළඹ පිහිටි සමහර ව්‍යාපාරවල ආයෝජනය කර ඇති බව ය. කොටි සංවිධානය අතුගෑවී ඇති නිසා මේ මුදල් ඒවා ණයට ගත් අයටම අයිති වන නිසා යළි කිසි කලකත් සොයා ගැනීමට නො හැකි වනවා ඇත. එසේම ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් තම දරුවන්ට විදේශ අධ්‍යාපනය දීම සඳහා යෙදවු මුදල් ද යළි කිසිදු දවසක හමු වන්නේ නැත. එ බැවින් කළ යුතුව ඇත්තේ ඒ පිළිබඳ ගිණුම් පොත් වසා දමා වෙනත් දෙයක් ගැන කල්පනා කිරීම පමණි.
(දිවයින_09/05/12)

පසුවදන_දිවයින කතුතුමා පවසන පරිදි ම ඊළාම් බැංකුවල යම් මුදලක් කොළම ආයෝජනය කර තිබෙනවා විය හැකි ය. එහෙත් ඒවා සොයාගත නොහැකි යයි ඉවත දැමිය යුතු නැත. එසේ ආයෝජනය කළ ආයතන සහ පුද්ගලයින් හදුනාගැනීම වැදගත් ය. ඒ මුදල්වල වර්තමාන අයිතිකුරුවන් සොයා අදාළ මුදල් රාජ සන්තක කළ යුතු ය. මන්ද ඒ මුදල් ඔවුන්ගේ නොවේ. එසේ ම ත්‍රස්ත සංවිධානයකට අනියමින් උදව් කිරීමේ වරදට ඔවුන් නීතිය හමුවට කැඳවිය යුතු ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !