Sunday, May 17, 2009

දිනූ නිදහස සමරා අලුත් නිදහස දිනයක්...

පෙරවදන_
මේ ගතවන්නේ මව්බිම ප්‍රීතියෙන් ඔකඳව ගිය මොහොතකි. තිස් වසරක් තිස්සේ රට විනාශය කරා ගෙන ගිය ශාපලත් කොටි ත්‍රස්තවාදය මව් බිමෙන් අතුගා දැමීමේ ප්‍රීතිය හැම මුහුණකම හැම සිතක ම කැටපත් වී තිබේ. ඒ ත්‍රස්තවාදය නිසා නේක දුක් විඳි අයගේ මුහුණු ය. මේ සටන වෙනුවෙන් දිවි පිදූ අත් පා රටට පිදූ වීරෝදාර හමුදාවට අපි අපේ උත්තමාචාරය පුද කරමු. එම සටනට අනේක බාධක මැද නායකත්වය දුන් රජයට අපි ආචාර කරන්නෙමු. මේ සටන හුදු කොටි ත්‍රස්තවාදයට පමණක් නොව නොව රටට හතුරු දෙස් විදෙස් බලවේගවලට එරෙහිව ගෙන ගිය දැවැන්ත සටනකි. මේ ජයග්‍රහණය වඩා සුවිශිෂ්ට වන්නේ එහෙයිනි.

එහෙත් රටම සිහ දජවලින් සැරසෙන කල පිරිසකගේ මුහුණු මැලිවී ඇත. ඒ ත්‍රස්තවාදය බඩ ගෝස්තරය කරගත් එවුන්ගේ ය. මේ අතර දෙස් විදෙස් දෙපිරිස ම සිටිති. ලෝකේ වටේ පාදඩේ යමින් රටට ණය දෙන්න එපා යයි කියූ, රටේ නායකත්වයට එරෙහිව ගතු කියූ, විදෙස් බලවේග සමග අනේක කුමන්ත්‍රණ කළ, හමුදාව අපහාසයට ලක් කළ දීනයින් විළිලැජ්ජා නැති ව අද රටට සුබ පතති. හමුදාවට ප්‍රණාමය පුදති. එහෙත් ජනතාවට මෑත අතීතය අමකත වීමට තරම් කාලයක් ගත වී නැත.

අපේ රජය මේ අවස්ථාවේ ගතයුතු වැදගත් ම තීරණය නම් පෙබරවාරී 04 වෙනුවට අපේ නිදහස් දිනය ලෙස ත්‍රස්තවාදයෙන් රට මුදාගත් දිනය නම් කිරීම ය. අපි 48 ලැබුවේ පිනට දුන් නිදහසකි. එහෙත් අද අපි ලැබුවේ සුවිශේෂ ජයග්‍රහණයෙකි. ඒ වෙනුවෙන් අපි දැවැන්ත සටනක් කළෙමු. අ‍නන්ත පරිත්‍යාග කළෙමු. එහෙයින් වහාම අප දිනූ නැවුම් වූ ද සැබෑ වූ ද නිදහස වෙනුවෙන් නව නිදහස් දිනයක් ප්‍රකාශයට පත්කරන මෙන් ඉල්ලා සිටිමු.

එවන් අසිරිමත් මව්බිම ජයෙන් උදාරයි!

රටේ රාජ්‍ය නායකයා දණින් වැටී මාතෘ භුමියට වැඳ නමස්කාර කොට යුද්ධය නිමාවට පත්ව ඇති බවත් ත්‍රස්තවාදය පරාජය කොට ඇති බවත් ඊයේ (17 දා) උදේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ කල්හී මේ රටේ වෙසෙන දෙකෝටියකට ආසන්න ජනයාගේ සිත ගත වෙළාගත් නිදහස පිළිබඳ හැඟීම අමුතුවෙන් කිව යුතුද? චෝල ආක්‍රමණික එළාර රජු ජීවිතකෂයට පත් කළ දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කළ බව වසර දහස් ගණනකට පෙර ප්‍රකාශයට පත් කළ විට එදා තුන් සිංහලයේ විසු ජනයාගේ සිත ගත නිදහස පිළිබඳ හැඟීමෙන් සහ අභිමානයෙන් වෙළී ගිය අයුරු අද අපට සිතා ගත හැකි ය. එක්දහස් නවසිය හතළිස් අටේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා අප වෙත වීසි කළ නිදහස සහ වසර දෙදහස් නවයේදී ජනාධිපති මහින්ද රාජපකෂ ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව අපට දිනා දුන් නිදහස අතර ඇති වෙනස දැන් පැහැදිලි නොවන්නේද? හතළිස් අටේ නිදහස සැනසිලි තෑග්ගකි. දෙදහස් නවයේ නිදහස සියලු බෝනස් ද සමඟ දිනාගත් අභිමානනීය "පළමුවන තෑග්ග" ය.

රුහුණේ සිංහල ගමක ගොවි පවුලකින් පැමිණි දේශපාලනඥයකුගේ නිර්භීත පුතුන් අතුරින් කෙනකු වු ප්‍රතාපවත් ජන නායක මහින්ද රාජපකෂ රට එක් සේසත් කිරීමේ සටනට නායකත්වය දුන්නේ තමාගේත් තම සහෝදරයන්ගේත් ජීවිත දංගෙඩිය මත තබා දෙකඩ කිරීම සඳහා "ජාත්‍යන්තර ප්‍රජාව" නමැති කාලකන්නි මනුෂ්‍යයන් පිරිස පිහි මුවත් තබමින් සිටින අතර ය. අවසන් ඊළාම් සටනේදී ශ්‍රී ලංකාවට විරුද්ධව නැඟී ආ ජාත්‍යන්තර ප්‍රජාව යනු රුසියාව, චීනය, ඉන්දියාව, ලිබියාව, ඉරානය, පාකිස්තානය වැනි රටවල් අයත් නැති, හිලරි ක්ලින්ටන් සහ ඩේවිඩ් මිලිබෑන්ඩ්ගේ රුකඩ ලෙස ක්‍රියා කළ රටවල් කිහිපයකින් සමන්විත වු ජාත්‍යන්තර ප්‍රජාවකි. ප්‍රභාකරන් යනු ත්‍රස්තවාදියකු නොව සටන්කාමියකු බව කී මේ ජාත්‍යන්තර ප්‍රජාව ඒ මිනීමරුවාට එරෙහිව සටන් වදින ත්‍රිවිධ හමුදාපතිවරුන් ද, සේනාධිනායකයා වු මහින්ද රාජපකෂ ද, ආරකෂක ලේකම් වු ගෝඨාභය රාජපකෂ ද යුද්ධාධිකරණයකට දක්කාගෙන යා යුතු බව කීහ. එවිට මේ රටේ සිටින ඇතැම් නීච දේශපාලනඥයෝ වහා ගුවන්ගතව විවිධ රටවලට යමින් මේ රටේ ස්වාධිපත්‍යය වෙනුවෙන් සටන් කරන උදාර ජන නායකයන්ට සහ ත්‍රිවිධ හමුදාවට විරුද්ධව කේළාම් කීමට පටන් ගත්හ. ඒ නීචයන්ට අනුග්‍රහය දක්වන ලද්දේ අද, මේ මොහොතේදී ගල් ගිල දැමු කිඹුලන් මෙන් ආතබුත වී සිටින එන්. ජී. ඕ. කාරයන් කිහිප පළකි. සාමය පිණිස, විකල්ප ප්‍රතිපත්ති පිණිස, සහජීවනය පිණිස, කුසගින්න පිණිස, එතැනිනුත් නොනැවතී ආහාර ජීර්ණය පිණිස ද යනාදී වශයෙන් විවිධ කාරණා වෙනුවෙන් පෙනී සිටි මේ පිරිස වැඩි කාලයක් වැය කළේ ආරකෂක ලේකම්තුමා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ද නැතහොත් ඇමරිකාවේ පුරවැසියෙක් ද යන්න සෙවීම පිණිස ය. බැසිල් රාජපකෂට මෙතරම් ආරකෂාවක් දෙන්නේ මන්ද යන්න ගැන වාර්තා සෑදීම පිණිස ය. මේ රට කරවන ජන නායකයන්ට ආරකෂාව අවශ්‍ය නම් කවර වියදමක් යටතේ හෝ එය දිය යුතුම ය. මන්ද යත් ඒ මිනිසුන් ආරකෂා වී ජීවත් විය යුත්තේ රටේ ස්වාධිපත්‍යය ආරකෂා කිරීම පිණිස නිසා ය.

මේ යුද්ධය නවත්වා, සටන් විරාම ගිවිසුම් අත්සන් කර, කොටියා යළි බලගන්වා, ඌට ආයුධ, සිමෙන්ති, යුද අවි යනාදිය ගෙනවුත් දී ඊළම ඇති කිරීමට උත්සාහ ගත් ස්වදේශිකයන් සහ විදේශිකයන් විසින් දැන් කරනු ලැබිය යුත්තේ රජයට භාර වු කොටින්ගේ සයනයිඩ් කරල් තොගය අනුභව කර දිවි නසා ගැනීම ය. නැගෙනහිර පළාත මේ රටට නැවත එක්කර ගැනීම කිසි කලෙකත් කළ නොහැකි බව කියු පහත් දේශපාලනඥයෝ මැදවච්චිය - කිලිනොච්චිය, අලිමංකඩ - පාමංකඩ යනාදී වශයෙන් ත්‍රිවිධ හමුදාවට අපහාස කළහ. මෙබඳු දේශද්‍රෝහීන් පිළිබඳව ඔවුන් සිටින පකෂවල නායකයන් පවා කිසිදු පියවරක් ගත්තේ නැත. යම් හෙයකින් මේ යුද්ධය පරාද වී නම් රාජපකෂ සහෝදරවරුන් ගෝල්පේස් පිටිටනිය මැද එල්ලීමට මේ දේශද්‍රෝහීහු කැමැත්තෙන් සිටියහ.

මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවත් ත්‍රස්තවාදී ප්‍රශ්නයක් පමණක් ඇති බවත් කියු නායකයන් සිටියේ දෙදෙනකු පමණි. එයින් පළමුවැන්නා ජනාධිපති ඩී. බී. විජේතුංග ය. දෙවැන්නා මහින්ද රාජපකෂ ය. ඔවුනට අමතරව ගත වු වසර 30 තුළ ක්‍රියාත්මක වු ජන නායකයන් කිහිපදෙනාට යුද්ධය දරාගත නොහැකි විය. ඔවුන

තුරින් ස්වභාවික මරණයකට පත්වීමේ වාසනාව ජේ. ආර්. ට ලැබිණ. ජනාධිපති ප්‍රේමදාස මරණ ලදී. ඒ මරණයේ වගකීම කොටින්ගේ ගිණුමට බැර කර ඇත. ජනාධිපති චන්ද්‍රිකා බෝම්බ පහර කා අවසන් මොහොතේදී ගැලවිණ. අනාගත අගමැතිවරුන් වීමට සුදුසුකම් තිබු ලකෂ්මන් කදීර්ගාමර් සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ස්ථිර වශයෙන් ම කොටින් විසින් මරණ ලදී.

එක්දහස් නවසිය අසුතුනේදී ත්‍රස්තවාදීන් ම්ලේච්ඡ ඝාතන ආරම්භ කිරීමත් සමඟම ත්‍රස්තවාදය විනාශ කළ යුතුය යන ස්ථාවරය ඉදිරියට ගෙන යෑමට "දිවයින" පටන් ගත්තේය. රට පාලනය කළ නායකයෝ ඒ ප්‍රතිපත්තියට එරෙහිව අපට බොහෝ හිරිහැර කළහ. සමහර විට ප්‍රධාන සතුරා ප්‍රභාකරන් නොව "දිවයින" බව පිළිගැනීමට තරම් ඒ නායකයෝ දුර්වල වුහ. එහෙත් අද අපි මහත් සේ ආඩම්බරයටත් සෑහීමටත් පත්ව සිටිමු. ඉතිහාසය පුනරුච්ඡාරණය වෙයි. විජිතපුර සටන, දුටුගැමුණු රජතුමා, රට එක්සේසත් කිරීම යළිත් අප ඉදිරිපිට ප්‍රාදුර්භුත වී තිබේ. මේ මහා සටනට දිවි දුන්, එය විජයග්‍රහණය කරා ගෙන ගිය සියලු දෙනාටමත් ඒ සඳහා සියලු පීඩා වේදනා ඉවසා දරාගත් ජනතාවටත් අපි හිස නමා රට දැය සමය වෙනුවෙන් ආචාර කරමු.
(දිවයින_09/05/18)

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !