Tuesday, May 5, 2009

විනාශයේ දූතයෝ

බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ස්වීඩනය යන රටවල විදේශ ඇමැතිවරු අද ලංකාවට පැමිණෙති. ඔවුන් මෙහි එන්නේ කොටින්ට එරෙහි මෙහෙයුම් අත්හිටුවීම සඳහා ලක් රජයට බලකිරීම පිණිස බව දැන ගන්නට තිබේ. පෙරකී රටවල විදේශ ඇමැතිවරුන් නොව ජනාධිපතිවරුන් පැමිණියත් කොටින්ට එරෙහි සටන නවත්වන්නට මේ රටේ ජනතාව ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැත. දැන් යුද්ධය ජන මතයක් බවට පත්ව තිබේ. ජන මතයට එරෙහිව යෑමට ලෝකයේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට නො හැක. වාසනාවකට මෙන් යුද්ධය සම්බන්ධයෙන් හටගත් ජන මතයට මහින්ද රාජපකෂ ආණ්ඩුව බද්ධ විය. මේ ජන මතය සමඟ බද්ධ නොවීම නිසා එ.ජා.ප. ය සිය දේශපාලන අනාගතය විශාල වශයෙන් අඳුරු කර ගත්තේ ය. සිංහලයා යුද කාමියෙක් නොවේ. එහෙත් රටේ ඒකීයත්වයට හා ස්වෛරීභාවයට අභියෝග එල්ල වන විට, ගෙදර පිහියක් නැත්නම් දර කැබැල්ලක් වුව ගෙන සතුරා සොයා යෑම සිංහලයාගේ පුරුද්ද විය. මෙය දුටුගැමුණු රජුගේ කාලයේ පටන් පැවැති පුරුද්දකි. අධිරාජ්‍යවාදීන් විසින් යටපත් කරන ලද එම පුරුද්ද පසු කාලයේදී මතුවෙන්නට පටන් ගත්තේ ය. කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක්, එබඳුම හමුදාපතිවරු තිදෙනෙක්, එබඳුම ත්‍රිවිධ හමුදාවක් සහ එබඳුම ආරකෂක ලේකම්වරයකු සිටීම නිසා සතුරන් සමඟ යුද වැදීම මෙවර ඉතා පහසු විය.

ඉදින්, මෙවර යුද්ධය නැවැත්වීම සඳහා මෙහි එන විදේශ ඇමැතිවරුන්ගේ රටවල් දෙස බලමු. පළමුවෙන් බ්‍රිතාන්‍යය ගනිමු. බ්‍රිතාන්‍යය යනු අයර්ලන්තය වෙනම රාජ්‍යයක් වනු වැළැක්වීම සඳහා අවුරුදු එකසිය පනහකට වැඩි කාලයක් යුද වදින රටකි. ලෝකයේ පැරණිම බෙදුම්වාදී යුද්ධය පවතින රට බ්‍රිතාන්‍යය විය යුතු ය. තමන්ගේ රට කැඩෙනවාට විරුද්ධ ඔවුහු සෙසු රටවල බෙදුම්වාදයට සහයෝගය දෙති. දෙවියන් වහන්සේ විසින් මහ රුජන ආරකෂා කළ යුතුය යනාදී වශයෙන් සිය ජාතික ගීය අරඹන ඔවුහු මහ රුජනගේ ඔටුන්න, සිංහාසනය යනාදිය ප්‍රදර්ශනය පිණිස තබා ටිකටි කඩා ඒවා පෙන්වති. බ්‍රිතාන්‍ය රජ පෙළපත යනු ජාතිය පවා මාරු කළ රජ පෙළපතකි. බැටන්බර්ග් නමැති ජර්මානු රජ පෙළපතකට අයත් බ්‍රිතාන්‍ය රජ පවුල දෙවන ලෝක යුද්ධය හටගත් වහාම ජර්මනිය සමඟ යුද්ධ කිරීමට ඇති බැවින් විශේෂ ආඥාවක් මගින් බැටන්බර්ග් පෙළපත අත්හැර මවුන්ටිබැටන් යන වාසගම ලබාගෙන ජර්මනිය සමඟ යුද්ධ කළේ ය. එවැනි රටකට ආසියාවේ රටවල ඇති අභිමානය, ඒකීයත්වය, ස්වෛරීභාවය යන කාරණා තේරුම් ගත නො හැක. පසුගිය කාලයේදී ලන්ඩනයේ උමං දුම්රියවල අල්ඛයිඩා සංවිධානය බෝම්බ පුපුරුවන ලද කල්හී බ්‍රිතාන්‍ය ආණ්ඩුව ආතබුත නැතිව මුස්ලිම්වරුන් අත්අඩංගුවට ගන්නට පටන් ගත්තේ ය. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහිව කරන යුද්ධය නැවැත්වීම සඳහා අද එන බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ත්‍රස්තවාදයේ තිත්ත රසය ඉතා හොඳින් දනී.

ප්‍රංශය යනු ඇමරිකාව පසුපස යමින් ඒ රටේ න්‍යාය පත්‍රයට අනුව ජීවත් වන මහ බලවතෙකි. ඇමෙරිකාව බෝම්බ දැමීමට යන ඕනෑම තැනකට බ්‍රිතාන්‍යයත් සමඟ යෑම ප්‍රංශයේ පුරුද්ද ය. එවැනි විටෙක ඔවුන් තම රට හඳුන්වා ගන්නේ මිත්‍ර රටක් හැටියට ය. ඒ මිත්‍රකම කුමක් අරභයාද? ඉරාකයට හෝ ඇෆ්ගනිස්තානයට බෝම්බ දැමීම අරභයා ය. ස්වීඩනය යනු රතිඤ්ඤයක් පවා නො පුපුරන රටකි. ඒ නිසා ත්‍රස්තවාදය ගැන අසා මිස අත්දැකීමෙන් දැන ගැනීමක් ඔවුන් තුළ නැත. එවැනි අයට, කිසියම් රටකට ගොස් යුද්ධ නවත්වන ලෙස, සටන් විරාම පටන් ගන්නා ලෙස, ත්‍රස්තවාදීන්ට සමාව දෙන ලෙස ඉල්ලීම ඉතා සුළු කාරණයකි. මේ විදේශිකයන් මෙහි පැමිණීම වැළැක්වීමට තරම් හයියක් තවමත් අපට නැත. ඉන්දියාවට එම හයිය තිබේ. ඒ හයිය මතු යම් කාලයක අපටත් ලැබේවා!
(දිවයින_09/05/06)

පසුවදන-මේ අයියලා ගැන අපි මීට පෙර කතා කර තිබේ. 1818 සිංහලයින් ලක්ෂ ගාණක් මරා අපේ රට කොල්ලකෑ තක්කඩි හොරු අද කිඹුල් කඳුලු සලන්නේ කොටියාගේ ආරක්ෂාව වෙනුවෙනි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !