Tuesday, May 12, 2009

කොටි හිතවතුන්ගේ ඊළාමාරුඬය!

මෙතෙර පමණක් නොව එතෙර සිටින කොටි හිතවාදීහුද දැන් බලවත් සේ කැළඹීමටද කෝපයටද පත්ව සිටිති. ඔවුන්ගේ කෝපයේ හා වියරුවේ ප්‍රතිඵල ලෙස යුරෝපයේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල, ආගමික ස්ථාන මෙන්ම ශ්‍රී ලංකාවට හිතවත් රටවල ආයතනවලටද ප්‍රහාර එල්ල වී ඇත.

මෙකී සියලු ප්‍රහාර තුච්ඡ හා නින්දිත ක්‍රියාවන් ලෙස අපි හෙළා දකිමු. කොටි සුරතල් කරන අයට නම් මේවා සැහැසිකම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් ලෙස නොපෙනී යෑමටද පිළිවන. එහෙත් ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානයක කොඩි අතින් ගෙන වීදි බැස කරන ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් බව අපගේ හැඟීමයි. එකී ත්‍රස්තවාදයට ඉඩදී නිදි වැද සිටින රටවල් පිළිබඳව මෙන්ම ඒ රටවල සිටින අපගේ තානාපතිවරුන් ගැනද අපි සංවේගයට පත්වෙමු.

පසුගිය දිනවල නෝර්වේ, බ්‍රිතාන්‍යය, ඇතුලු රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට කොටි හිතවතුන්ගේ ප්‍රහාර එල්ල විය. ඉතාලිය, ප්‍රංශය, කැනඩාව ඇතුලු රටවලද කොටින්ට සහාය පල කෙරෙන පෙළපාලි විය. අලුත්ම සිද්ධිය වාර්තා වන්නේද ප්‍රංශයෙනි.

පැරීසියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට මෙම ඊනියා කොටි හිතවාදීන් පහර දී ඇත්තේ ඉකුත් 10 වනදාය. ඒ හරියටම වෙසක් පොහෝ දිනයට පසු දිනය. ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්ද්‍රරතන නාහිමියන් පවසන පරිදි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ එහි පැවැත්වුනු වෙසක් පිංකමක් අවසන් වීමත් සමගමය.

මුහුණු ආවරණය කරගත් කලහකරුවෝ ගොඩනැගිල්ලට පැන ප්‍රහාර එල්ල කළහයිද තවත් සමහරුන්ගේ මුහුණු එහි තිබුණු ආරක්ෂක කැමරාවල සටහන් ව ඇතැයිද චන්ද්‍රරතන හිමියන් ප්‍රකාශ කර තිබුණි. මේ සිද්ධිය දැනගත් වහාම ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලයනල් ප්‍රනාන්දු මහතාද පැමිණි බව උන්වහන්සේ සඳහන් කර ඇත.

කෙසේ වුවද යුරෝපයේ පැතිරී යන සුකර උණ ලෙස මේ ඊනියා කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම් පැතිර යෑම අපගේ දැඩි සංවේගයට ද හේතු වී තිබේ. ත්‍රස්තවාදී සංවිධානයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රමෝපායන් භාවිත කළ නොහැකි බව අපගේ විශ්වාසයයි.

කොටි හිතවාදීන්ගේ විරෝධයට හේතු පාඨය වී තිබෙන්නේ වන්නියේ සිවිල් ජනතාවට හිරිහැර නොකරනු යන්නය. එහෙත් වන්නියේ සිවිල් ජනතාවට හිරිහැර කරන්නේත්, ඔවුන්ට වෙඩි තබන්නේත් කොටි මිස ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නොවන බවද දැන් තහවුරු වී තිබේ. එහෙත් බටහිර ඇතැම් පිරිස් මෙන්ම මේ කොටි හිතවාදීන් ද සිවිල් ජනතාවට මුවා වී ප්‍රභාකරන් ගලවා ගැනීමේ සටනක නිරතව සිටින බව අපි ඉඳුරා දනිමු.

තමිල් නාඩුවේ විපක්ෂ නායිකා ජයලලිතා ජයරාම් මහත්මියද පසු ගිය දිනවල ප්‍රභාකරන්ගේ ඊළාම් ආරුඪයෙන් පිස්සු විකාර කතා කර තිබුණි. ඇගේ ආරුඬය මේ දිනවල පැවැත්වෙන ඉන්දියාවේ මහ මැතිවරණය නිසාද විය හැකිය. ඒ කුමක් වුවත් එතෙර තැන් තැන්වල මෙම ඊළාම් ආරුඬයෙන් සිදුවන සැහැසිකම් පිළිබඳව පියවරක් නොගතහොත් එය සුකර උණට වඩා අනතුරුදායක විය හැකි බව අපි වේලාසනින්ම කියන්නෙමු.

"අනේ අපේ වන්නියේ සිවිල් ජනතාව යැයි බොරුවට හඬන මේ අයගෙන් කී දෙනෙක් ඒ අහිංසකයන් නතර වී සිටින සරණාගත කඳවුරකට ගොස් බැලුවෝදැයි අපි නොදනිමු. ඒ කඳවුරු වල සිටින අයගෙන් සුව දුක් විමසු වගක්ද අපට වාර්තා වී නැත.

අප දන්නා තරමින් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් පවා ඊළාම් අරුඬයෙන් ඇවිදිමින් ප්‍රභාකරන් ගලවා ගැනීමට වෑයම් කරනු විනා ඒ අහිංසක ජනතාව වෙතට ගොස් නැත.

මේ අතර එකී කඳවුරුවල තත්ත්වය පිළිබඳ යහපත් ප්‍රතිචාර දැක්වු සමහරුද සිටිති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාටද ලංකාවට පැමිණ කඳවුරුවල තතු සියැසින් දැක ගන්නා ලෙසට ආරාධනාවක් ද කර තිබුණි.

තතු මෙසේ හෙයින් අද බටහිර රටවල කෙරෙන මෙම පහරදීම් හා උද්ඝෝෂණ කිසිසේත්ම වන්නියේ ජනතාව වෙනුවෙන් සිදු වන ඒවා නොවන බව අපි පැහැදිලිවම කියන්නෙමු. මේ පෙළපාලිවල යන දෙමළ ජාතිකයන්ගෙන් බහුතරයක්ද ගතවු දසක දෙකකට වැඩි කාලයක් තුළ වවුනියාවට තබා කොළඹ නගරයටවත් නොපැමිණි අය වෙති. තවත් පිරිසත් වීදි බැස ඇත්තේ ත්‍රස්තවාදය අවසන් වුවහොත් තමන්ගේ වීසා දීර්ඝ කර ගැනීමට බාධා ඇතිවන හෙයිනි.

වේළුපිල්ලෙහි ප්‍රභාකරන් සාමාන්‍ය දෙමළ ජනතාවට ලබා දී තිබුණු ජීවිතය කොතරම් කටුක හා පිඩාකාරී එකක් දැයි දැන් හෙළිවී තිබේ. දෙමළ ජනයා අසරණ කර ප්‍රභාකරන් හා ඔහුගේ සුපිරි පවුල ගෙන ගිය ජීවිතයද දැන් හෙළිවී තිබේ. එහෙත් බටහිර රටවල සිටින සමහරු මේ සත්‍ය නොපිළිගනිති. ඒ ඔවුන්ගේ ආත්ම ලාභය උදෙසාම කරනු ලබන්නෙකි.

ජාත්‍යන්තරව සිදුවන මෙම දුෂ්ට ඊළාම් වියරුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ තානාපතිවරුන් ගත් ක්‍රියා මාර්ගයක්ද නැත. සත්තකින්ම ඔවුහු නිදා සිටිත්ද? තම රටේ ගෞරවය, නිදහස, අභිමානය අභියෝගයට ලක් වෙද්දී කුම්භකරණයන් සේ නිදි යාමට නම් තානාපතිවරුන් වුවමනා නැත. තානාපති සේවය යනු ගරු ගාම්භීර රාජ්‍ය තාන්ත්‍රික වගකීමක් බව අපි දැඩිව කියමු. ඒ වගකීම ඉටු කිරීමට අපේ බොහෝ ගරු තානාපතිවරුන්ට නොහැකි වී ඇති බවද අපි ලැජ්ජාවෙන් වුවද කියන්නෙමු. අපේ විදේශ ඇමැතිතුමා නම් කොයි වේලේ බැලුවත් ගුවන්ගතය. එහෙත් එතුමාගේ අමාත්‍යංශය මේ ඊළාම් ආරුඬය නැවැත්වීමට ගත් පියවරක් තිබේද?
(දිවයින_09/05/13)

පසුවදන_අප උතුරේ ගෙන යන මානුෂික මෙහෙයුමට සාපෙක්ෂව එහි සැබෑ යථාර්ථය ලෝකය හමුවට ගෙන යාමට ශක්තිමත් මාධ්‍ය ජාලයක් ගොඩනඟා නැත. ආයුධවලින් කරන යුද්ධයට වඩා මාධ්‍ය යුද්ධය ශක්තිමත් බැවින් ඒ සඳහා ශක්තිමත් හමුදාවක් අත්‍යවශ්‍ය ය. එමෙන් ම රටේ තානාපති සේවය තවදුරටත් කුණු කූඩයට විසිවන දේශපාලකයින්ගේ මහලු නිවාසය හෝ දේශපාලන ඥාතී සංග්‍රහ සේවයක් විය යුතු නැත. එය රටට ආදරය කරන ශක්තිමත් මිනිසුන්ගෙන් සන්නද්ධ කළ යුතු ය. මේ මෙහෙයුමේ අවසානය පමා වන්නේ ද ඊට අනේක බාධා මතුවන්නේ ද මේ දුබලතා නිසා බව සහතික ය. අපේ දුබලතා සතුරාගේ ශක්තිය බව වහාම අවබෝධ කරගත යුතු ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !