Tuesday, December 9, 2008

කප්පම් ආර්ථිකය

රාල මොකද නිස්සද්ද කියලා කීප දෙනෙක් අහපි. කිව්ව ම මොක ද මම අපේ ගමේ ගියා නොවැ. වැඩි විස්තර පස්සේ බැරුවයැ. මෙන්න ලංකාවේ අලුත් ම ලාභදායි කර්මාන්තය ගැන විස්තර ටිකක්.

කරුණාගේ සහ පිල්ලෙයාන්ගේ නම් සඳහන් කරමින් ධනවතුන් බියපත් කර රුපියල් කෝටි ගණන් කප්පම් ගත් පුද්ගලයකු ගැන දැනගන්නට තිබේ. දෙමළ ජාතිකයකු වන මේ මහතා ආදුරුප්පු වීදියේ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ දැනට හිර කුඩුවේ යකඩ කුරු ගණන් කරමින් සිටින බව දැනගන්නට ඇත. ඔහු පොලිසියට හසුවන විට පිටකොටුවේ දෙමළ ජාතික ධනවතකුගෙන් කප්පම් ගැනීමට සුදානම්ව සිටියේ ය. මේ රටේ සිවිල් පුරවැසියෝ ජාති භේදයකින් තොරව කරුණා සහ පිල්ලෙයාන් කෙරෙහි පරාන බියක් දක්වති. ඒ භීතිය මුදල් බවට පත්කිරීමේ ශාස්ත්‍රය සමහරුන් විසින් ප්‍රගුණ කරනු ලැබ තිබේ. එල්. ටී. ටී. ඊ. සංවිධානය කප්පම් කර්මාන්තය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියක් උසුලයි. ඔවුහු ශ්‍රී ලංකාව තුළ පමණක් නොව කැනඩාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල සිටින අයගෙන් පවා කප්පම් එකතු කරති. කරුණා සහ පිල්ලෙයාන් කොටි සංවිධානයට ඉතා ඉහළින් සම්බන්ධ වී සිටි දෙදෙනෙකි. අද ඔවුන් ටී. එම්. වී. පී. නමින් දේශපාලන සංවිධානයක් පිහිටුවාගෙන ඇතත් දෙදෙනා අතර පවත්නා විවිධ අර්බුද, එම සංවිධානයට අයත් පුද්ගලයන් නාඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කරනු ලැබීම වැනි කාරණා නිසා මේ දෙදෙනා සියයට සියයක්ම ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස ඇති බවක් පිළිගැනීමට ජනයා තුළ මැලිකමක් ඇත. විශේෂයෙන් ම මේ රටේ මුල්‍ය ද්‍රවශීලතාවයෙන් හෙවත් නෝටිටු කොල සහ රත්තරන් ලෙස ඇති වත්කම්වලින් වැඩි හරියක අයිතිකරුවන් වන දෙමළ සහ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව තුළ ඒ බිය විශාල වශයෙන් ඇත. එයට හේතුව ඔවුන් නිරන්තරයෙන් කප්පම් ඉල්ලනු ලැබීමට භාජනය වීම ය. සිංහල පාතාලයට අමතරව සිටින දෙමළ පාතාලය සහ මුස්ලිම් පාතාලය මෙවැනි ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස් ගෙල කපා වෙඩි තබා මැරු අවස්ථා බහුල ය.

ඕනෑම බලවත් කෙනකුගේ නමක් විකුණා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරය කොටි ත්‍රස්තවාදයත් සමඟ රට තුළ පැතිර ගියේය. ඒ අතර යුරෝපීය රටවල සිටින කොටින් ඒ රටවැසියන්ගෙනුත් කප්පම් එකතු කරන බවට ලැබුණු ආරංචි නිසා කප්පම්කරුවන්ගේ තත්ත්වය වඩාත් ශක්තිමත් විය. ප්‍රභාකරන්ගේ නම විකුණා රුපියල් කෝටියක් ගැනීම ඉතා සුළු දෙයක් වු අතර එසේ කප්පම් එකතු කරන බවක් ප්‍රභාකරන් හෝ කොටි සංවිධානය දැන නො සිටින්නට ඇත.

අන් අයගේ නම් විකුණා අහිංසක අසරණ මිනිසුන්ගෙන් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරය මේ මොහොතේදීත් සිදු කෙරේ. වරායට සේවකයන් දැමීම සඳහා අදාළ ඇමැතිතුමාගේ නම විකුණා මුදල් ගැරීම, අධ්‍යාපන ඇමැතිගේ නම විකුණා සල්ලි එකතු කිරීම, විවිධ කොන්ත්‍රාත් ලබාදීම සඳහා බලවත් දේශපාලනඥයන්ගේ නම් විකිණීම ඉතා විශාල වශයෙන් කෙරෙන ජාවාරමකි. ඒ ඒ දේශපාලනඥයන්ගේ හා ආයතන ප්‍රධානීන්ගේ ලිපි ශීර්ෂ සහ මුද්‍රා අත්සන් යනාදිය මේ ජාවාරම්කාරයන් සතුව ඇත. මෙයද එක්තරා ආකාරයක කප්පම් එකතු කිරීමකි. ඉන්දියාවේ ජීවත් වු ප්‍රකට කප්පම්කාරයකු හා ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට මුදල් සැපයු ඩාවුඩ් ඉබ්‍රාහිම් නමැත්තකු කලකට පෙර ඉතා ඉහළින් ක්‍රියාකාරී විය. ඔහු කෝටිපතියකු වු අතර සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේ ය. අද ඔහු ආ ගිය අතක් නැති අතර පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවර හටගත් බෝම්බ ප්‍රහාරයට ද ඔහුගේ සම්බන්ධයක් ඇති බව හෙළි විය. ඔහුගේ නමින් ද ඔසාමා බින් ලාදින්ගේ නමින් ද තවමත් විවිධ රටවල කප්පම් එකතු කෙරේ. මේ භයානක තත්ත්වය මර්දනය කිරීමට මුළු මහත් දකුණු ආසියාව වහා පියවර ගත යුතු ය. නැතහොත් ඉදිරි වසර කිහිපය තුළ ඒ ඒ රටවල ආර්ථිකය කප්පම්කරුවන් අතට පත්වනු ඇති අතර ඒ ඒ රටවල ඒ ඒ මහ බැංකුවල අධිපතින් ලෙසින් කප්පම්කාරයා බැගින් ද මුදල් ඇමැතීන් ලෙසින් කප්පම්කාරයා බැගින් ද පත් කිරීමට සිදුවනවා ඇත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !