Tuesday, December 2, 2008

ත්‍රස්තවාදය බින්ලාදින්ගෙන් අත හිත ඇමෙරිකාවෙන්!

පෙරමුණේ රාළ, උදේ පාන්දර හකුරු කෑල්ලක් සමඟ බෙලි මල් උගුරක් බිව් විගස, දිවයින පත්තරේ අතට ගන්නේ අද ඊයේ සිට නොවේ. 1980 දශකයේ සිට මෙරට සැමට සමගියෙන් ජීවත්විය හැකි පතිරූප දේශයක් කරනට උන්දැලා කළ මෙහෙවර සුළුපටු නොවේ. උන්දැලාගේ මේ මසුරන් කතුවැකිය 'කසාපබ්බත' අඩවියේ පළ කරන්නේ ඒ සඳහා උත්තමාචාරයක් වශයෙනි.

ඇතැම් පුද්ගලයන් ප්‍රභාකරන් ආරකෂා කිරීමට උත්සාහ කරන බවත් ඔවුන් ප්‍රභාකරන්ගේ යථා ස්වරුපය හරි හැටි නො දන්නා බවත් ටී. එම්. වී. පී. පකෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා අම්මන් පෙරේදා (1 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසී ය. මෙය ලෝකයටම පොදු ධර්මතාවකි. ඇමෙරිකානු නායකයන් ඔසාමා බින් ලාදින් නිර්මාණය කළේ ඔහු ගැන හරි හැටි දැනගෙන නොවේ. ඉන්දියාව ප්‍රභාකරන් නිර්මාණය කළේ ඔහු ගැන හරි හැටි දැනගෙන නොවේ. ප්‍රභාකරන් ගැන දන්නා හොඳම මිනිසා කරුණා අම්මන් ය. ඒ වසර ගණනාවක් තිස්සේ ඉතාම භක්තිමත් කොටියකු ලෙස ප්‍රභාකරන්ගේ දර්ශනය අනුව යමින් කටයුතු කිරීමට කරුණාට අවස්ථාව තිබුණ බැවිනි. ඔහු ප්‍රභාකරන්ගේ බලය සේම දුර්වලකම් ද ඉතා හොඳින් දන්නා බව අපගේ විශ්වාසයයි. ඔහු පරණ කරුණා බවට පත් කර නො ගෙන ප්‍රජාතන්ත්‍රවාදී කරුණා ලෙස ම පවත්වාගෙන යෑම වැඩදායක ය.

ප්‍රභාකරන් ආරකෂා කිරීමට උත්සාහ කරන්නේ කවරෙක්දැයි බලමු. අපගේ වැටහීම නම් විදේශ කිහිපයකුත් එම රටවලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකුත් මේ කාරණයෙහි නියුක්තව සිටින බව ය. සියලු විදේශික රාජ්‍ය නොවන සංවිධානවලට තම රටේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීමට සිදුවී තිබේ. රාජ්‍යය ඔවුන්ගේ යැපීම සඳහා මුදල් මුදා හරින්නේ එවිට ය. උදාහරණයක් වශයෙන් නෝර්වේ රට ගනිමු.

තමිල්නාඩුව හැරුණු කොට ප්‍රභාකරන් වෙනුවෙන් වැඩිපුරම කතා කරන්නේ නෝර්වේ රාජ්‍යය යි. ඒ ඔවුන් ශ්‍රී ලංකාව දෙකඩ වනු දැකීමට ඉතා ප්‍රිය නිසා ය. ප්‍රභාකරන්ගේ පාලනය යටතේ බිහි වන ඊළාම් රාජ්‍යය සතු ඛනිජ වර්ග හා විකිරණශීලී මුලද්‍රව්‍ය ලබා ගැනීමට සමහර විට නෝර්වේ රට කල්පනා කරනවා විය යුතු ය. තමිල්නාඩුවේ අරමුණ වෙනස් එකකි. ඔවුන් ප්‍රභාකරන් ප්‍රවර්ධනය කරන්නේ ඒ මුවාවෙන් තමිල්නාඩුවටත් වෙනම රාජ්‍ය තත්ත්වයක් ලබා ගැනීම සඳහා ය. තමිල්නාඩුව වෙනම රටක් වුවහොත්, ඉන්දියාවේ සියලු ප්‍රාන්ත කැඩී බිඳී වෙනම රාජ්‍ය බවට පත් වනවා ඇත. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට උදව් කළ මුල් කාලයේදී ඉන්දියාව මේ බව නිකමටවත් කල්පනා නො කරන්නට ඇති. එසේ කල්පනා කළා නම් රජීව් ගාන්ධි අදටත් ජීවතුන් අතර ය.

ඇමෙරිකාව විසින් ඔසාමා බින් ලාදින් නිර්මාණය කළේ සෝවියටි සංගමයට එරෙහිව කුලී හමුදා රැස් කිරීම පිණිසය. මේ කාලයේදී ඇෆ්ගනිස්ථානය තිබුණේ සෝවියටි රූකඩ පාලකයන් යටතේ ය. එම පාලනයට එරෙහිව මුජහෙඩීන් ගරිල්ලෝ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සංවිධානය කළහ. එයට කුලී හේවායන් සැපයීමත් අවි ආයුධ සැපයීමත් ඇමෙරිකාව විසින් කරන ලදී. ඒ ඔසාමා බින් ලාදින් හරහා ය. තම සේවය වෙනුවෙන් ඇමෙරිකාව ගෙවු අති මහත් ධනස්කන්ධය ඉතිරි කර ගත් බින් ලාදින් එය කෘෂිකාර්මික ව්‍යාපාර වෙනුවෙන් ආයෝජනය කර, ඇමෙරිකානු ව්‍යාප්තවාදයට එරෙහිව අල්කයිඩා නමැති භයානක ත්‍රස්තවාදී ඒකකය නිර්මාණය කළේය. අල් කයිඩා ත්‍රස්තවාදීන් ඇමෙරිකාවට පහර දුන්නේත්, මුම්බායි නුවරදී විශාල පිරිසක් සංහාරය කළේත් ඇමෙරිකාව එදා දුන් සහයෝගය නිසා ය. "අත හිත අසුවල් බැංකුවෙනි" යන කියමන පින්තාරු කරන ලද පෞද්ගලික බස් රථ පාරේ දුවනු අපට දැකිය හැකි ය. ඒ අනුව "ත්‍රස්තවාදය අල්කයිඩා සංවිධානයෙනි - අත හිත ඇමෙරිකාවෙනි" යනුවෙන් පින්තාරු කළ ඇඳුම් මේ ත්‍රස්තවාදීන් පාවිච්චි කළ යුතු ය.

සදාම් හුසේන්ට මුල් කාලයේදී උදව් කරන ලද්දේ ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය යි. අන්තිමේදී සදාම් හුසේන් ඒ දෙරටටම ඉහළින් යනු දුටු විට ඔහු විනාශ කිරීමට මේ දෙරටම එක්විය. මහ බලවතා යනු අත්තනෝමතික ප්‍රභවයකි. ඔවුන්ට යහපත් දේ යහපත් ලෙසත්, ඔවුන්ට අයහපත් දේ අයහපත් ලෙසත් පිළිගැනීමට අපට බල කරනු ලැබේ. අප එය පිළිගත හොත් ඔවුන්, අප ඉතා කීකරු මිනිසුන් ලෙස සලකනු ලැබේ. නැතහොත් අප මත බෝම්බ හෙළනු ලැබේ.
(දිවයින 08/12/03)

2 comments:

Kusumsiri Edirappuli said...

සම්පුර්ණ ඇත්ත

සරත් ගුණතුංග said...

අවි ගත්තෝ අවියෙන්ම නසිති.

 
සිය රට දේ සිරි සැප දේ !