Monday, December 22, 2008

කොළඹ ගෙදර

ආණ්ඩුවේ මැති ඇමතිවරු ජනතාව ගැනත් හිතන බව පේන දුලබ පුවතක් මේක. රාලගේ හිතේ නම් මේ ගැන කහටක් නැතුවම නෙවෙයි. ඒකත් අර ජේ.ආර්. උතුමගේ ශ්‍රී ජයවර්ධනපුර කෙරුවාව වගේ වෙයි ද කියලයි මට. එහෙම නොවේවා කියලත් ඔන්න රාල පැතුවා! දැන් කියවලා බලමුකෝ ...

කොළඹ ගෙදර

ශ්‍රී ලංකාවේ කාර්ය බහුලම වෙළෙඳ නගරය පමණක් නොව, බොහෝ යස ඉසුරු, නවීන තාක්ෂණ පහසුකම්, විනෝදාස්වාදන මාර්ග, සෞඛ්‍ය පහසුකම්, සුපිරි පාසල්, සුපිරි ගොඩනැගිලි ආදී සියල්ල සපිරි නොනිදන නගරය කොළඹ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. මේ සියල්ලටම අමතරව, දුෂණ, භීෂණ, වංචා පිළිබඳවද කොළඹ නගරයට හිමිවන්නේ කුප්‍රකට කීර්තියකි.

කොළඹට කිරි : ගමට කැකිරි යන්න නිර්මාණය වී ඇත්තේද කොළඹ නගරය විසින් අත්පත් කර ගන්නා ලද ඒ සුවිශේෂත්වය නිසාමය. කලකට පෙර කොළඹ පාර්ලිමේන්තුව සමඟ රජයේ ඇතැම් ගොඩනැගිලි ද ඇතුලු සමහර දේවල්ද කෝටිටේ ප්‍රදේශයට රැගෙන ගියේ ශ්‍රී ලංකාවේ අගනුවර කොළඹ නොව ශ්‍රී ජයවර්ධනපුරය ලෙස යළි අභිෂේක කරමින් ය. එහෙත් ශ්‍රී ජයවර්ධනපුරය ජේ. ආර්. ජයවර්ධන යුගයේ දේශපාලන ව්‍යාපෘතියක් විනා, කොළඹ නගරයට විකල්පයක් නොවු වග අමුතුවෙන් කිව යුතු නොවේ.

කෙසේ හෝ ඒ කොළඹ නගරයේ ප්‍රථම වරට, මේ රටේ සිව් දෙසින් එන හුදී ජනතාව සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මහින්ද රාජපකෂ රජයේ ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත්ව සිටීම අපේ කොළඹ කතාවට පදනම විය.

කොළඹට එන මගී ජනතාව සඳහා අංගසම්පුර්ණ හා සුරක්ෂිත නිවහනක් ඉදිකිරීමට ප්‍රවාහන ඇමැතිවරයා පෙළඹී ඇත්තේ ජනාධිපතිවරයාගේ ද මැදිහත්වීමෙන් බව ද පැවසෙයි. මේ නිවහන ශ්‍රී ලංකා දුම්රිය සේවයට නවතම බලවේග කට්ටල සැපයු හුබෙයි (චීන සමාගමේ තිළිණයක් බව ද කියති.)

ඉකුත් 21 වන ඉරුදින (ඊයේ) මේ නිවහනට මුල්ගල් තැබීමට ආරාධනා කර තිබුණේද මෙරට ජනමාධ්‍ය ප්‍රධානීන් පිරිසකට වීම ද විශේෂ කරුණකි. එය ප්‍රවාහන ඇමැතිවරයා ද මෙයට පෙර සම්බන්ධව සිටි වෘත්තීය මාධ්‍ය ජීවිතයටත්, මාධ්‍ය සගයින්ටත් කළ ගෞරවයක් වැන්න.

ඈත ගම්දොර සිට කොළඹට එන බොහෝ දෙනෙකු රාත්‍රියට නවාතැන් ගන්නා පොදු ස්ථාන බවට පත්ව තිබෙන්නේ කොටුව දුම්රිය ස්ථානය හෝ මධ්‍යම බස් නැවතුම්පොල හෝ වෙනත් පදික වේදිකාවන් ය. පත්තර කඩදාසියක් බිම එලාගෙන ගෙවන ඒ රාත්‍රිය ඇතැම් විට වෙනත් අනතුරුවලින්ද පිරී ගිය ත්‍රාසජනක අත්දැකීම් ද බොහෝ මගීන්ට ලබා දී තිබෙන බව ද රහසක් නොවේ.

කොළඹ යනු නොදන්නා ගැමියන් තබා කොළඹ සිටින කාක්කන්ද නන්නත්තාර කරවන නගරයකි. එවන් නගරයක ඈත ගම්දොරින් එන මගියකුට තිබෙන රැකවරණය කුමක් ද? ප්‍රවාහන ඇමැතිවරයා සඳහන් කළ පරිදි කොළඹ කන්තෝරුවල කාර්යක්ෂම සේවය පිළිබඳව කවුරුත් හොඳින් දනිති. බොහෝ කර්යාලවල සේවකයන්ගේ කාරුණිකභාවයද ඊට නොදෙවෙනි ය.

මේ තතු යටතේ කොළඹට එන සාමාන්‍ය මිනිසාට සිදුවන අතවර බොහෝ ය. සුපිරි හෝටල්වලට යෑමට තබා ගෝනිවලින් වටවු ලොජ් එකකට යෑමට තරම්වත් වත්කමක් නැති අය ඔවුන් අතර බොහෝය. කොළඹ අවට නෑයෙක්, හිතවතෙක් නොමැති ඔවුන්ට හිමිවන්නේ සීතල පොළොව හෝ වෙනත් අගුවකි.

ප්‍රවාහන ඇමැතිවරයාගේ මෙකී සද්කාර්ය ඒ පීඩිත මගී ජනතාවට කෙබඳු සහනයක්දැයි කිව යුතු නැත. කොළඹට පැමිණ නන්නත්තාරවීම වෙනුවට සිත් සේ රුය ගෙවා යෑමට තරම් සුදුසු නවාතැනක් ඔවුන්ට හිමිවේ. කොටින්ම ඔවුන්ට කොළඹින් ගෙදරක් ලැබෙයි.

මෙහිදී කිවයුතු තවත් දෙයක් ද වේ. එනම් මුල්ගල් තැබීම අතින් අපට හිමි වී තිබෙන වාර්තා ගැනය. වාසනාවකට මෙන් මුල්ගල් පැල නොවේ. එසේ පැල නොවුනු මුල් ගල් අදටත් මේ රටේ බොහෝ තැන්වල අපට දැක ගත හැකිය.

මේ රටෙි මුල්ගල්වලට අත්වන ඉරණම ගැන ප්‍රවාහන ඇමැතිවරයා තවත් සාක්ෂියක් ද ඉදිරිපත් කළේය. ඒ කලකට පෙර වත්මන් ජනාධිපතිවරයා විසින් ඇස් රෝහල යාබද ඉඩමක තබන ලද මුල්ගලකි. මුල්ගල තැබුවේ වැඩ කරන ජනතාව සඳහා වෙනම රෝහලක් තැනීමටය. එහෙත් ඒ මුල්ගල වසාගෙන ව්‍යාපාරික ආයතනයක් ඉදිවිය.

මේ මුල්ගලට එබඳු ඉරණමක් අත්වේ යැයි අපි කිසිසේත් නොසිතමු. පොදු ජනාතවට උරුම වු පොදු ප්‍රවාහනය වල් වැදී වැනසී ගිය රටක එය යළි ජනතා සේවයක් බවට පුනරුත්ථාපනය කිරීමට ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ගන්නා අවංක වෑයම අපි දනිමු. මළගමක් වු ලංගම යළි ජීවය ලබමින් එයි. දුම්රියද ජන සේවයට සුදානම්ය. එහෙයින් මේ නිවහනද මගියා සනසන යථාර්ථයක්ම වනු නිසැකය. ගමේ ගෙදර සිට කොළඹට එන ගැමියාට පුංචි මිනිහාට කොළඹින් ගෙදරක් ලැබෙනු ඇත. මොනතරම් සුන්දරද?
(දිවයින 08/12/22 )

2 comments:

තුෂාර ජයරත්න. said...

හොද වැඩක්! අවසානය ඉක්මනින්ම දක්නට බලාපොරොත්තු වෙමි. මෙයින් ඈත පෙදෙස්වල සිට පැමිණෙන මගී ජනතාවට යහපතක් සැලසෙනු ඇතැයි සිතමි. එමෙන්ම නිවැරදි පාලනයකට අවශ්‍ය සැලසුම් දැන්ම සිට සැලසුම් කිරීමෙන් අනවශ්‍ය තදබදයන් වැලැක්වීමට හා නියම සේවාව සැපයීමට හැකිවනු ඇත.

නාමල් උඩලමත්ත said...

ඇත්ත තමා තුෂාර මහත්තයෝ. හොද විධිමත් සැලැස්මක් තියෙන්න ඕන. අගනුවර බස් නැවතුමේ පවා වැසිකිලි අයිති ජනතාවට නෙවෙයිනෙ. අපි යන්නේ සල්ලි ගෙවලා. ඒ වගේ උනොත් මොකට ද?

 
සිය රට දේ සිරි සැප දේ !